අලුවිහාරේ උප තැපැල් කාර්යාලයට මුද්‍රා තබයි


(මහේෂ් කිර්තිරත්න)

මාතලේ අලුවිහාරේ උප තැපැල් කාර්යාලයේ සිදුව ඇතැයි කියන මුල්‍ය වංචාවක් හේතුවෙන් එම කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි මුද්‍රා තැබීමට පියවර ගත් බව මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී අනුර රත්නායක මහතා පැවසීය.

අලුවිහාරේ උප තැපැල් කාර්යාලයට විදුලි බිල් පාරිභෝගිකයින් විසින් ගෙවා ඇති අතර තැපැල් ස්ථානාධිපති විසින් එම මුදල් නිසි ආකාරව විදුලිබල මණ්ඩලයට දත්ත පද්ධතිය ඔස්සේ මුදල් ගෙවා නොමැති අතර රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදල් ප්‍රමාණයක් මෙසේ වංචා සිදුව ඇති බව මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

 මේ හේතුවෙන් දිවිල්ල,අලුවිහාරේ,බිරිදෙවල ආදී ප්‍රදේශවල  නිවෙස් ගණනාවක  විදුලිය විසන්ධී කිරිමට විදුලිබල මණ්ඩලය පියවර ගැනිම නිසා ඒ පිළිබදව පාරිභෝගිකයින් විසින් තමන් වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ සිදු කිරිමේදී මෙම මුල්‍ය වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් බවද රත්නායක මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති මාතලේ ප්‍රධාන තැපැල් කාර්යාලයට ස්ථාන මාරු කළ බවත් දින තුනක් ඇතුළත අදාළ මුදල් දෙපාර්තමේන්තුව වෙත ලැබිමට සලස්වන ලෙස දැන්වු බවත් එසේ නොවුණහොත් නීති මගින් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් දෙපාර්තමේන්තුව මගින් කණ්ඩායමක් යොදවා පරික්ෂණයක් සිදු කරන බවද මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරි අනුර රත්නායක මහතා කීය.