අලුත් වන එජාප ගමනට නායකත්වය ගන්නැයි තරුණයන්ගෙන් ඉල්ලයි


(අංජුල මහික වීරරත්න)

නව ශ්‍රී ලංකාවක් බිහි කරන වැඩපිළිවෙළ සමඟ අලුත් වූ එක්සත් ජාතික පක්ෂය අරඹන ගමනට නායකත්වය ගනිමින් එකතු වන්නැයි තරුණ පරපුර ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බව එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ 75 වන සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය.

තව වසර විසි හතකින් නිදහසේ සියවස සමරන දා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරන්නට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. "ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්" යන තේමාවෙන් මෙවර එජාප සංවත්සර සැමරුම් උත්සවය ඔන්ලයින් තාක්ෂණයෙන් පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ ආදි නායකයන් සිහිපත් කිරීමෙන් අනතුරුව වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරමින් සංවත්සර උත්සවය අමතනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පිළිගැනීමේ කතාව කළ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ සභාපති වජිර අබේවර්ධන ,උප නායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.