අලියයි වඳුරයි නැතිව සාමනේර හිමි අමාරුවේ


රුපියල් 130ක පුස්තකාල පොතක් නැතිවීම නිසා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් වීමේ ලකුණු පහළවී තිබේ. දැනට මුද්‍රණයේද නැති ”අලියයි, වඳුරයි” නම් එම පොත බාරදෙනතුරු පිරිවෙනකට යාම සඳහා අස්වීමේ සහතිකය නොදෙන බව එහි විදුහල්පති ජී. එල්. ඩබ්ලිව්. එස්. ඉන්ද්‍රලාල් මහතා පවසයි. නැතිවූ පොත වෙනුවට වෙනත් පොතක් ගන්නවත් ඒ වෙනුවට මුදලක් ගන්නවත් මට බැහැ. ඒ නිසා මට අස්වීමේ ලිපිය ලබාදීමට බලයක් නැහැ. පුස්තකාලය බාර ගුරුවරිය පොත ගැන වගකීම බාරගන්නවනම් මට අස්වීමේ සහතිකය දිය හැකියි” යනුවෙන් විදුහල්පති පැවැසීය. සිද්ධිය පිළිබඳව ලංකාදීපය විදුහල්පතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අධ්‍යාපන ලේකම්ගේ ලිඛිත අවසරයක් ගෙන ආවොත් පමණක් ලංකාදීපය සමග කතා කළ හැකි බවයි. දැන් සසුන්ගතව සිටින කීණපැලැස්සේ සම්බෝධි සාමණේර හිමියන් මේ අසාධාරණයට ලක්වී සිටියි. ඒ හිමියනට පියාද නැත. මව ස්ථිර රැකියාවක් නැතිව ඉතා අසරණව ජීවත්වෙයි. මෙම ගැටලූව පිළිබඳව ජාතික පාසල් අධ්‍යක්ෂ ජී. එන්. සිල්වා මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පාසල් පුස්තකාල පොතක් නැතිවූ විට එම පොත හෝ පොතේ වටිනාකම ගෙවා අවසන් කළ හැකි බවයි. අස්වීමේ සහතිකය ගන්නා සිසුවකුටද ඒ ක‍්‍රමය අනුගමනය කළහැකි බව පැවැසූ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා මෙසේද කීය. ”මෙය ලොකු ගැටලූවක් කරගත යුතු ප‍්‍රශ්නයක් නොවේ. සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් කළ යුතු සිද්ධියකුත් නොවේ. ඒ විදුහල්පතිට මම කතා කරනවා.” කීන පැලැස්ස සම්බෝධි හිමි ශ්‍රියානි මංගලිකා