(මනෝප්‍රිය ගුණසේකර)
හෝමාගම හිටපු දිසාවිනිසුරුවරයාට හා ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
විත්ති පාර්ශවයට වාසි සහගත වන අන්දමට තීන්දුවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂ 03ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමට මොවුන්ට චෝදනා එල්ල විය.
විත්තිකරුවන් අධිකරණ ක්‍ෂෙත්‍රයට හා පොලිස් ක්‍ෂෙත්‍රයට විශාල කළු පැල්ලම් ඇති කොට ඇති හෙයින් ඔවුන්ට ලිහිල් ආකාරයෙන් දඬුවම් ලබාදිය නොහැකි බව අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් 20,000/- බැගින් දඩ මුදල්ද නියම කළේය.
විත්තිකරුවන්ට අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 03 ක අල්ලස් මුදල විත්තිකරුවන් දෙදෙනාගෙන් වෙන වෙනම දණ්ඩන ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදගල් නොගෙවුවහොත් අමතර වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම්ද විත්තිකරුවන්ට නියම කළේය.
මෙම වකවානුව වන පොලිස් ක්‍ෂෙත්‍රය මෙන්ම අධිකරණ ක්‍ෂෙත්‍රයද බරපතල කඩාවැටීමකට ලක්ව ඇති බවත් එම ක්‍ෂෙත්‍ර මෙන්ම සමස්ථ සමාජයම අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඩුවම් නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හතර බැගින් වෙන වෙනම ඉදිරිපත් කොට තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවන්ට අදාළ දඩුවම නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ හෝමාගම දිසාවිනිසුරුවරයා ලෙස කටයුතු කළ සුනිල් වික්‍රම අබේසිංහ හා ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහන්ද කිත්සිරි නමැත්තන්ටය.
2013 මැයි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හෝමාගමදී හෝමාගම දිසාවිනිසුරුවරයා ලෙස කටයුතු කරමින් තමන් ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකාරියට වාසි වන අන්දමින් තීන්දුවක් ලබාදීම සඳහා ඇගෙන් රුපියල් ලක්‍ෂ 3 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම පළමු විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.
එමෙන්ම මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන මහන්ද කිත්සිරි නමැත්තාට එරෙහිව හෝමාගම හිටපු දිසාවිනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කරමින් අධිකරණයේ විභාග කරන නඩුවක තීන්දුවක් වාසි වන අන්දමට ලබාදීමට උපකාර කිරීම සඳහා ඇගෙන් රුපියල් ලක්‍ෂ 3 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම දෙවැනි විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මෙම නඩුවේ පැමිණිලිකාරිය හංවැල්ල ඇඹුල්ගම හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයට එරෙහිව ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් හෝමාගම දිසා අධිකරණයේ පළමු විත්තිකරු ඉදිරිපිට නඩුවක් විභාග කෙරුණු බවත් එහි තීන්දුව ඇයට පක්‍ෂව ලබාදීම සඳහා විත්තිකරුවන් ඇගෙන් ඇගෙන් අල්ලස් මුදල් ඉල්ලා එම අල්ලස් මුදල් ලබාගැනීම සඳහා හංවැල්ල ඇඹුල්ගම හෝටලය අසළට ගොස් සිටියදී අත්අඩංගුවට ගත් බවත් හෙළිවිය.
මෙම නඩුවේ පැමිණිලිකාරියගේ නිවසට ගියේ වඩුබාස් කෙනෙකු හමුවීම සඳහා මිස අල්ලස් ලබාගැනීමට නොවන බව විත්තියේ මුලික තර්කය වු අතර පළමු විත්තිකරු අධිකරණ විනිසුරුවරයකු වන තත්වයක් තුළ වඩුබාස් කෙනෙකු හමුවීමට අවශ්‍ය නම් ඔහු තමන්ගේ නිවසට ගෙන්වා ගැනීමට ඔහුට හැකියාව තිබු බවත් මෙවැනි තනතුරක් ඇති අයෙකු තමන් ඉදිරියේ ඇති නඩුවක විත්තිකාරියකගේ නිවසට යෑම පිළිගත නොහැකි බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ වරදකාරී හැසිරීම ඔවුන්ගේ දුරකථන වාර්තා අනුවම පැහැදිල වන බවත් සඳහන් කළේය.

