අල්ලස් ගත් සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ

අක්කරෙයිපත්තුව ඇලයෙඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතලිස්  පන් දහසක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ ආරංචි මාර්ග කියයි.

අක්කරෙයිපත්තුව සාගම පාරේ පදිංචි පුද්ගලයෙකු සිය ව්‍යාපර කටයුතු වලට අමතරව මාර්ග කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ මාර්ග 4ක් ඔහු සංවර්ධන කිරීම සඳහා කොන්ත්‍රාත් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි.

මාර්ග තුනක සංවර්ධන කටයුතු නිමකර ප්‍රදේශීය සභාවෙන් ඒ සඳහා අයවිය යුතු මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේ සැකකාර නිලධාරියා රුපියල් 15,000ක මුදලක්  ලබා ගත් බව ව්‍යපාරිකයා පොලිසියට පැමිණිලි කර තිබේ.

සංවර්ධනය කරන ලද අනෙක් මාර්ගයේ මුදල් ලබා ගැනීම අනුමත කිරීමට ව්‍යාපාරිකයාගෙන් රුපියල් 45,000ක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව ව්‍යාපාරිකයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ