අරාබිය කේරළයට දුන් ඩොලර් මිලියන 100 ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේරළ ප්‍රාන්තයට ලබාදුන් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක විශේෂ ආධාර මුදලක් ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 

ගල්ෆ් රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම මුදල් පරිත්‍යාගය කරන ලද්දේ කේරළ ප්‍රාන්ත මහ ඇමැතිවරයා ප්‍රාන්තයට මුදල් ආධාර අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසුය. කෙසේ නමුත් ප්‍රාන්තය ඉල්ලන තරම් ප්‍රමාණවත් මුදල් ලබාදීමට ඉන්දීය මධ්‍යම රජය අපොහොසත් වී ඇතැයි ද පැවසේ. 

“අපේ දැන් තිබෙන ප්‍රතිපත්ති අනුව පුනරුත්ථාපන කටයුතු සහ සියලු අවශ්‍යතා දේශීයව සපුරා ගන්නා උත්සාහ කරනවා” යැයි ඉහත තීරණය පැහැදිලි කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. 

ඉන්දියාවට විදේශ මුදල් ලබාදිය හැක්කේ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් හරහා හෝ පදනම් හෝ තුළින් පමණක් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. 

ආපදා අවස්ථාවලින් පසු විදේශ ආධාර ප්‍රතික්ෂේප කිරීමේ වාර්තාවක් ඉන්දියාව සතුව ඇත. වසර 2004 දී සුනාමි ව්‍යවසනයෙන් පසු ඉන්දියාවට ආධාර කිරීමට රටවල් මැදිහත් වූ නමුත් ඉන්දියාව එම ආධාර ප්‍රතික්ෂේප කළේය. 

තමන්ට ඕනෑම හදිසි තත්ත්වයක් පාලනය කිරීමට හැකි බව ලෝකයට ඔප්පු කර පෙන්වීමට ඉන්දීය රජයට අවශ්‍ය යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥයෝ සඳහන් කරති. 

“ගංවතුර නිසා ඇති වූ ඛේදජනක තත්ත්වයෙන් නැවත යථා තත්ත්වයට පත්වීමටත් ජන ජීවිතය නගා සිටුවීමටත් විදේශ රජයන් ඇතුළු රටවල් කිහිපයක් අපට උපකාර කරන්න කැමැති බව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් කෘතඥ වෙනවා. එය අපේ ඇගයීමට ලක්වනවා” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය ආධාරය ගැන විශේෂ සඳහන් නොකරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.   

කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර හා නායයෑම්වලින් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

ඒ.එෆ්.පී 055