අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීමට යයි


(ඩයනා උදයංගනී)

අර්ධ සුඛෝපභෝගී  (Semi Luxery)  බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
 එම බස් සේවාව මගී ජනතාවට කිසිඳු පහසුකමක් නොදී මගී ජනතාව ගසාකන බස් සේවාවක් බවට පත්ව ඇති බැවින් පාර්ශව ගණනාවක් සමග සාකච්ඡ  කර මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සදහන් කළේය.
 
 ජාතික ගමනාගමන කොමිසම මගින් මගීන් 10,000කගෙන් කළ මත විමසුමකදී එම මගීන් සියලූ දෙනාගේ අදහස වී ඇත්තේ මෙම බස් රථ සේවාව අහෝසි කළ යුතු බව යැයි ද අමාත්‍යවරයා කීවේය.
 
 වසර ගණනාවක් තිස්සේ නොසේදීම නිසා  දූවිලි බැදී දුර්වරණ වී ගිය තිර රෙදි මිස කිසිඳු අර්ධ සුඛෝපභොගී පහසුකමක් නොමැති බව එම ජනතාවගේ අදහස වී තිබේ.
 
 එම අදහස් සැලකිල්ලට ගනිමින් සෙස බස් රථ සේවාව ඉතා කෙටි කලකින් අවසන් කරන්නැයි තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවත්, මෙය ඉදිරි මසක පමණ කාලයේදී අහෝසි කළ හැකි වනු ඇතැයි අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසූ බවත් ඇමතිවරයා කීවේය.
 
 මෙම සේවාව අහෝසි කිරීමෙන් පසු එම බස් රථ අවම මිලක් යටතේ අධිවේගී මාර්ගවල ධාවනය කරවිය හැකිද යන්න සොයාබලන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.