අර්තාපල් ඉඩම් වෙන වැඩවලට තහනම්


(අංජුල මහික වීරරත්න)

අර්තාපල් වගාව සඳහා යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන හෙයින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීම හෝ  ගොඩනැගිලි වෙනත් ඉදි කිරීම් නොකල යුතු යැයි අමාත්‍යවරයා දුන් උපදෙස් වල සඳහන්ය.

අර්තාපල් වගාව සදහා විශේෂිත වූ ඉඩම් ඇත්තේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් බවත්  එයිනුත් වැලිමඩ, නුවරඑළිය හා යාපනයේ තිබෙන ඉඩම් විශේෂ බවත් අමාත්‍යාංශය පවසයි.

2023 යල කන්නයේ දී හෙක්ටෙයාර්  2700ක් හා මහ කන්නයේ දී හෙක්ටෙයාර් 1881 වශයෙන් හෙක්ටෙයාර් 4581ක අර්තාපල් වගා කිරීමට සැලසුම් කර තිබේ. එමගින් මෙට්‍රික් ටොන් 14,400ක අස්වැන්නක් අපේක්ෂිතය. එසේ වුවත් තවත් අර්තාපල් මෙට්‍රික් ටොන් 154,000ක් ආනයනය කිරීමට සිදුවේ.ලංකාවේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 230,000කි.