අරලගංවිලදී සිසුන් 11 දෙනකු කැබ් රියට යට කළ රියදුරු රිමාන්ඩ්


(ක.ග.කරුණාරත්න)

අරලගංවිල,බෝගස්වැව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදුවන පරිදි කැබ් රථයක් පදවා  මාරක රිය අනතුරක් සිදුකළ  බීමත්  රියැදුරා අරලගංවිල පොලීසිය මගින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 24 වැනිදා තෙක්  රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(10) නියෝග කළේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ මොණරාගල,දඹගල්ල,දෙලිව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රංහොටි බණ්ඩාරලාගේ විමලසේන 47 යන අයයි.

අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන උපකාරක පන්තියකට සහභාගීවී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනෙකු අරලගංවිල බෝගස්වැව මාර්ගයේදී ඊයේ (09)  දින පස්වරු3.40ට පමණ සැකකාර රියැදුරා විසින් පදවාගෙන පැමිණි කැබ් රථයෙකට හැපිම නිසා සිදුවූ අනතුරකට ලක්වූ බවත් එම අනතුර හේතුවෙන් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ 11 වැනි  ශ්‍රේණියේ ඉගෙනුම ලබන,අරලගංවිල,රත්මල්තැන්න,අංක14එච් කොටස ප්‍රදේශයේ පදිංචි රාජපක්‍ෂ මුදියන්සේලාගේ හසින් දේශාන් කරුණාතිලක නැමැති 16 හැවිරිදි පාසැල් සිසුවා මරණයට පත්වී තවත් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට පොලොන්නරු මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්  පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
 
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියැදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්‍ෂණ වලින් තහවුරුවී ඇති බවත් මෙම අනතුරට හේතුව කැබ් රථයේ රියැදුරා බීමත්ව අපරීක්‍ෂාකාරීව රිය පැදවීම බව විමර්ශනවලදී අනාවරණයවී අතැයිද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
 
අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති,ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ .පී.ඩබ්ලිව්.ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අ.ශයේ ස්ථානාධිපති,පොලිස් පරීක්‍ෂක ජී.ආර්.ජී.නෙත්තසූරිය මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.