
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සුරා බදු නියාමකවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා අද (23) නියෝග කළේය.
මෙසේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී ඇත්තේ සුරා බදු නියාමක ලෙස කටයුතු කළ සාලින්ද රුක්මාල් ජයසුරිය හා ජී.එල්.ඉෂාන් උමිත ගමගේ , එස්.පි .මධුෂංක විමලසේන , ඒ .පී .ප්‍රදිප් කුමාර යන අනුරාධපුර , කැකිරාව හා මරදන්කඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකි.
පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවය කරන සුරා බදු පරීක්ෂකවරයකුගෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 126 ක් මිලදී ගෙන රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේදී පාලවිය ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගේ තොරතුරක් මත පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුවන් හා කාන්තාවන් සිව් දෙනෙකු සහ කුඩා දරුවකු අත්අඩංගුවට ගෙන තිබුණි.
වැටලීම සිදුවන අවස්ථාවේදී සුරාබදු පරීක්ෂකවරයා ඔහුගේ මෝටර් රථයෙන් පලා ගොස් තිබුණි.
පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පොලිසිය මෙම සැකකරුවන් අතරින් සුරාබදු නියාමකවරයා ඇතුළු පිරිස රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරයා , නියාමකවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පමණක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබුණි.
අධිකරණයට ඉදිරිපත් කර සිටි කාන්තාවන් සිව් දෙනා සහ කුඩා දරුවා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
නැවත මෙම සැකකරුවන් පිරිස ජූලි 25 දින අධිකරණයට ඉදිරීපත් කිරිමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
සැකකාර සුරා බදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට සුරා බදු අධ්‍යක්ෂ ජනාරාල්වරයා නියෝග කළ බව සුරා බදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
(ඡායාරූප - එච්.චන්දන)


