අමාත්‍යාංශයෙන් දුන් මාරුවීම් 25 ක් බන්ධනාගාර අධිකාරී අත්හිටුවයි


(ජයන්ත සමරකෝන්)

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් වැලිකඩ බන්ධනාගාරයෙන් සහ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් පිට පළාත්වලට මාරු කරන ජේලර්, සැරයන් හා නියාමකවරුන් 25 දෙනෙකුගේ මාරුවීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා විසින් ඊයේ (22)  සිට අත්හිටවනු ලැබ ඇත.

බන්ධනාගාර ජේලර් සංගමය, සැරයන් සංගමය හා නියාමක සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (22) පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හමුවී කරුණු දැක්වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉතා අසාධාරණ ලෙස මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවට සේවක සංගම් නියෝජිතයන් මෙහිදී චෝදනා කර ඇත.

මෙසේ මාරු කර හරිනු ලැබූ පිරිස අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ජේලර්වරු 7ක් හා වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරු 4ක් ද වෙති.

මේ අතර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් ලබාදුන් මෙම මාරුවීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බන්ධනාගාර ජේලර්, සැරයන් හා නියාමක සංගම්වලට අයත් නියෝජිතයන් පිරිසක් ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය හමුවීමට පසුගිය 20 වැනිදා අමාත්‍යාංශයට ගොස් ඇතත්, ඇමැතිවරිය ලබන 24 වැනිදා සිට විදේශගතවීමට නියමිත බැවින් 28 වැනිදායින් පසුව දිනයක් ලබා දෙන බවට අමාත්‍යාංශ ලේකම්වරිය ඔවුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.