අභියාචනාධිකරණයෙන් සුරාබදු කොමසාරිස්ට රිට් ආඥාවක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පාළ)

ප්‍රාදේශීය සුරාබදු නිලධාරීන්ගේ සහ දේශපාලන බලධාරීන්ගේ පළිගැනීම හේතුවෙන් තම සුරාබදු සැල් බලපත්‍රය අලුත් නොකිරීම පිළිබදව සුරාබදු සැල් හිමියන් දෙදෙනෙකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගනු ලැබූ අභියාචනාධිකරණය ඔවුන්ට නව සුරාබදු බලපත්‍ර නිකුත් කරන ලෙස නියෝග කරමින් සුරාබදු කොමසාරිස්වරයාට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කර ඇත.

කැළණිය ප්‍රදේශයේ පදිංචි කේ.ඩී.ද සිල්වා සහ කේ.ඩි.ප්‍රියදර්ශන යන අය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමහි වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස්වරයා ඇතුළ පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ගේ එකගත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරුවෝ ප්‍රදේශ කීපයකම සුරාබදු සැල් පවත්වා නෙ යන ව්‍යාපාරිකයෝ වෙති.

පෙත්සම්කරුවන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වගඋත්තරකරුවන් විසින් සුරාබදු සැල් බලපත්‍රය අලුත් නොකිරීමට එරෙහිවය.තම සුරාබදු බලපත්‍රය අලුත් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිට රිට් පෙත්සමින් ඉල්ලා සිටිති.

මිට පෙර අවස්ථා කිහිපයකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් ගේ සහ දේශාපාලන ප්‍රතිවාදීන්ගේ හිරිහැර වලට නිරන්තරයන්ම ලක්වීම හේතුවෙන් හා  බලපත්‍ර අලුත් නොකිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් අධිකරණය පැමිණ ඇත.

පෙත්සම් 2001 වසරේ ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව පැමිණි රජයෙන් තම බලපත්‍ර අලුත් කරන ලෙස ඉල්ලා සිටියත් , ඔවුන් එම ඉල්ලීම් ඉටු වී නොමැත.පසුව පෙත්සම්කරුවන් තමා ගේ ඉල්ලීම් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද පැමිණිලි කර ඇත.පසුව හිටපු ජනාධිපති මෙම පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස්වරයාට ඉදිරිපත් කර ඇත.

පසුව සුරාබදු කොමසාරිස්වරයා මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ති‌බේ.එම වාර්තාවේ සදහන් කරුණු අනුව අවුරුදු 5ක කාලය ඉක්මවා ඇති බැවින් සුරාබදු රෙගුලාසි හා ප්‍රතිපත්ති අනුව සුරාබදු බලපත්‍රය නිකුත් කළ නොහැකි බවට දන්වා ඇත.

පෙත්සම්කරුවන් මෙම රෙගුලාසි හා ප්‍රතිපත්ති පිළිබද සොයා බැලුවත් , ඒ පිළිබද සොයා ගැනීමට නොහැකි වු බව ඔවූහු අධිකරණයට කියා සිටිති.

ඉදිරිපත් වූ කරුණු හා මේ සිද්ධියට අදාළ පූර්වා දර්ශ නඩුවක් වන විජේසේකර නඩුව සැලකිල්ලට ගැනීමේදී  සුරාබදු කොමසාරිස්වරයා සිය රාජකාරිය පැහැර හැර ඇති බව අධිකරණයේ මතයයි.

එබැවින් පෙත්සම්කරුවන්ට ආදළ බලපත්‍ර ලබා දෙන ලෙසට නියෝග කරමින් සුරාබදු කොමසාරිස්වරයාට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන බවද නියෝගයේ සදහන් වේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ රුක්ෂාන් සේනාධීර මහතා සමග ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියහ.

නීතීපති වෙනුවෙන් රජයේ නීතීඥ ආචාර්ය චාරුක ඒකනායක මහතා පෙනී සිටියේය.