( තිලිණි ද සිල්වා)
අබුඩාබිහිදී සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි
එලෙස රිය අනතුරින් මිය ගොස් ඇත්තේ, අබුඩාබිහි ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ය.ඔවුන් සමඟ එම ආයතනයේ සේවය කළ තවත් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි එම තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටී.
ලාංකික කතුන් දෙදෙනා ඇතුළු එම පිරිස රැගත් කුඩා බස් රථයක් අඩුබායි නගරයේ සිට අල් ෂහාමා ප්‍රදේශය පිහිටි ඔවුන් ගේ නවාතැන් පොළවල් වෙත ඇරලවීම සඳහා අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී එම මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනරයක පසුපස ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇත.
රිය අනතුරු සිදුවූ ස්ථානයේ දීම ලාංකික කතුන් දෙදෙනා ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත.මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා සඳහා වන්දි ලබා ගැනීම සම්බන්ධයන් ඔවුන් සේවය කළ ආයතනය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එසේම ඔවුන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන ඒම සඳහා එම මරණ සැකකටයුතු නොවන බවට පවුලේ සාමාජිකයින්ගෙන් ලිපියක් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ එම ලිපිය ලද විගස එය අබුඩාබි රජයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරන බවත්, ඉන්පසුව මියගිය කාන්තාවන්ගේ මෘත දේහයන් දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිදු කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
අදාළ ශ්‍රී ලාංකික කාන්තාවන් ගමන් ගත් බස් රථය අනතුරට ලක්වන ආකාරය සී.සි.ටී.වී. කැමරාවක ද සටහන් වී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

