අනවසර ධීවර කර්මාන්තය නවත්වන්නැයි දේවානන්ද ඉන්දියාවෙන් ඉල්ලයි


(විනීතා එම් ගමගේ)

ඉන්දීය ධිවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නැවැත්වීමට ඉක්මණින් කටයුතු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී ඉල්ලීමක් කර ඇත.

ඉන්දීය ධීවර ප්‍රජාව මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කර්මාන්තයේ යෙදීම දිනෙන් දින වැඩි වන බැවින් මෙම ඉල්ලීම කළැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා පැවසීය.

මෙසේ මුහුදු සීමා උල්ලංඝනය කරන්නන් උතුරු මුහුදේ ට්‍රෝලර් යාත්‍රා යොදාගනිමින් මහා පරිමාණයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන බවත් එයින් මෙරට ධීවරයන්ට දැඩි බලපෑමක් ඇති වී ඇතැයි මහ කොමසාරිස්වරයාට පෙන්වා දුන් බව ද හෙතෙම කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ කළ සංචාරයේ දී මෙම තත්ත්වය මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඉන්දීය රජයේ අගමැතිතුමන් වෙත භාර දී ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී ඊට හොඳ ප්‍රතිචාරයක් ලද නමුත් කොරෝනා තත්ත්වය හමුවේ එය ක්‍රියාවට නැංවිය නොහැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.

එබැවින් මේ පිළිබඳ සාධනීය විසඳුමක් ලබා දීමට දායකත්වය දෙන්නැයි ඉල්ලා සිටි බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධව ඉන්දීය රජයේ මෙරට නියෝජිතයා වන මහ කොමසාරිස්වරයා දැනුවත් කළේ ඉක්මණින් එකඟතාවක පැමිණිය යුතු බැවින් යැයි ද කීය.