අධිවේගයේ ප්‍රධාන මුදල් අයකැමියෙක් ලක්ෂ 14ක් සමග අතුරුදහන්


(  බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයට අයත් ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ  සේප්පු දෙකක  තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

එම මුදල් භාරව කටයුතු කළ ප්‍රධාන  මුදල් අයකැමි වරයෙක්ද ඒ සමග  අතුරුදන්ව ඇතැයි පොලිසිය  සඳහන් කරයි 

සේවාමුරය භාරව පැමිණි   ප්‍රධාන මුදල් අයකැමිවරයකු සිදු කළ මුදල් ගණනය කිරීමේදී රුපියල් 14 ලක්ෂ 18,000 ක මුදලක්   අඩු බවට   අනාවරණය වීමෙන් අනතුරුව අදාළ බලධාරීන්ට සිදු කළ දැනුම්දීමක් අනුව එම බලධාරීන්ගේ උපදෙස් මත  ප්‍රධාන ඉංජිනේරුවරියක් විසින් එම පැමිණිල්ල සිදුකළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි 

මුදල්  අයකැමිවරුන්ගේ සේප්පු වෙන් සහ දෛනික ආදායම තැන්පත් කරන සේප්පුවෙන්  මුදල් සොරාගෙන ඇති බවට  අභ්‍යන්තරව  සිදුකළ මූලික විමර්ශනවලදී   අනාවරණය වී ඇත.

මේ වන විට අතුරුදන්ව ඇති ප්‍රධාන මුදල් අයකැමිවරයා  තදින් සූදුවට ඇබ්බැහිව සිටින පුද්ගලයකු බවත් ඒ හේතුවෙන් මොහු අධික ලෙස ණය තුරුස් වී ඇති බවද සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඔහුගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත ව ඇති අතර බුලත්සිංහල පදිංචි නිවසින් ද අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.