අධිවේගයේ ආදායම එක්කෝටි හතළිස් ලක්ෂයකින් බැහැලා


(සුජිත් හේවාජුලිගේ)

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අධිවේගී මාර්ගවල ආදායම දළ වශයෙන් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකින් පමණ පහත බැස ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

සාමාන්‍ය දිනයක අධිවේගී මාර්ගවලින් රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයක පමණ ආදායමක් ලැබුණු බව අධිවේගී මාර්ග,මෙහෙයුම්,නඩත්තු කළමණා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවැසීය.

ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අධිවේගී මාර්ගවලින් පසුගිය 21 වැනිදා ලැබුණු ආදායම වූයේ රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලකි. එදින අධිවේගී මාර්ගවල ධාවනයවී ඇති වාහන සංඛ්‍යාව විසි හතර දහස් පන් සිය හතකි.

අධිවේගී මාර්ගවල පසුගිය 22 වැනිදා වාහන දාහත් දහස් එකසිය හැත්තෑ දෙකක් ධාවනය වී ඇති අතර එදින උපයා ගෙන තිබූ ආදායම වුයේ රුපියල් පනස් ලක්ෂයකි.

අධිවේගී මාර්ගවලින් ඊයේ (23) සඳුදා රුපියල් කෝටියක පමණ ආදායමක් උපයා ගෙන ඇති බවත් එදින ධාවනය වී ඇති වාහන සංඛ්‍යාව තිස් හත් දහස් දෙසීයක් පමණ වන බවත් එම අධිකාරිය සඳහන් කරයි.

අධිවේගී මාර්ගවල එදින වාහන සංඛ්‍යාව වැඩිවූයේ රජයේ සහ පෞද්ගලික ආයතනවලට රාජකාරි සඳහා පිරිස් පැමිණීම නිසාය.

ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති වාහනවලින් බහුතරයක් අත්‍යවශ්‍ය සේවාවලට අයත් ඒවා බවත් වෙනත් පෞද්ගලික වාහන ධාවනයේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවත් නිහාල් ලොඩ්වික් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.