අධික උණුසුම මැයි දක්වා


(ඩයනා උදයංගනී)
 
 දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින අධික උණුසුම් තත්ත්වය ලබන මැයි මාසය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ලංකාදීපයට අද (1) පැවසීය.
 
 විශේෂයෙන්ම මාර්තු, අප්‍රේල් මාසවල රාත්‍රී කාලයේ දී දැනටත් වඩා වැඩි උණුසුමක් ඇති විය හැකි බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
         
 මාර්තු මාසයේ අවසාන කාලයේදී අන්තර් මෝසම සක්‍රීය වී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ආරම්භ වනු ඇතැයි අපේක්‍ෂා කරන බව කී මෙරිල් මෙන්ඩිස් මහතා එම කාලයේදීත් දහවල කාලයේ දැඩි උණුසුමක් පවතිනු ඇතැයි කීවේය.
         
 ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ද අප්‍රේල් මාසයේදී සිදුවන බව හෙතෙම ප්‍රකාශ කළේය. මේ අතර හෙට (2) දිනයේදීත් වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් දැඩි උණුසුමක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
 
 
විශේෂයෙන් ළදරුවන්,  අවුරුදු 4 ට අඩු ළමයින්, අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයින් ,  අධික ලෙස කය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
         
අධික උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට ගත හැකි ප්‍රධානම පියවර වන්නේ ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම වන අතර කය වෙහෙසවන අවස්ථා වලදී පැයකට ජලය වීදුරු 2 ත් 4 ත් ප්‍රමාණයක් ගැනීම සුදුසු බව ද එහි සඳහන්ය.
         
 හැකි සෑම විටම ගෘහස්ථව හෝ ආවරණ සහිත ස්ථාන වල හෝ සෙවන ඇති ස්ථාන වල රැදී සිටීම, වායු සමීකරණ හෝ විදුලි පංකා භාවිතය, සිසිල් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම ලා පැහැති,  කපු රෙදි වලින් මැසූ සැහැල්ලු ඇඳුම් ඇඳීම, සිරුර හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට තොප්පියක් පැළඳීම හා කුඩයක් භාවිතා ආදී පියවර අනුගමනය කළ යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.