(මොහොමඩ් ආසික්)
රජයේ පාසල්වලට පළමු වසර සදහා සිසුන් ඇතුලත් කර ගැනීමේ දී අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ට සිදුව ඇති අසාධාරණය 2018 වසර සඳහා සිසුන් ඇතුළත් කිරිම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛයෙන්ද විසදී නැති බැවින් එම අසාධාරණය වහාම නිවැරදි කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියකින් දන්වා සිටියි.
2006 වසර දක්වා පළමු වසරට ඇතුලත් කරන සිසුන්ගෙන් අධ්‍යාපන කාර්ය මණ්ඩලය සදහා සියයට හතරක් වෙන් කර තිබූ අතර එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිළධාරී සමඟ කළ සාකච්ඡාවලින් පසුව අනධ්‍යයන සේවකයින්ට සියයට එකක් වන පරිදි එම සියයට හතර සියයට පහ දක්වා වැඩි කරනු ලැබීය.
එසේ වුවද එම චක්‍රලේඛයෙන්ද අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අසාධාරණයක් සිදුව තිබිණි. එනම් දුෂ්කර පාසැල්වල සේවය කරන අධ්‍යාපන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් සදහා ලකුණු 25 ක්ද පෙර දුෂ්කර සේවය නම් ලකුණු 15 ක්ද ද වශයෙන් ලකුණු දීමේ කුමයක් හදුන්වා දී තිබීමයි.
අනධ්‍යයන කාර්ය මණ්ඩලයට දුෂ්කර පාසැල්වල සේවය කිරීම සඳහා එම පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා ඒ සදහා ලබා දෙනු ලබන ලකුණු 25 ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව දිගින් දිගටම පෙන්වා දී ඇති බවත් 2017.04.21 වන දින අධ්‍යාපන ලේකම්තුමන් සමඟ කළ සාකච්ඡාවේදීද දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවත් මෙවර නිකුත් කරනු ලබන චක්‍රලේඛයෙන් එය සංශෝධනය කිරීමට එකඟතාවය පළ කළද නිකුත් කර ඇති චක්‍රලේඛය මගින්ද එම ඉල්ලීම ඉටු වී නොමැති බවද පෙන්වා දෙන අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ලෙකම් අජිත් කේ.තිලකරත්න මහතා තම සාමාජිකයින්ගේ ඉල්ලීම ලබා ගැනීම සදහා අවශ්‍ය වුවහොත් වෘත්තීය ක්‍රියාමර්ගය වුවද ගැනීමට වුවද සිදු විය හැකි බවද පෙන්වා දෙයි.

