අතුරුදන්වූවන් පිළිබඳ අතුරු වාර්තාවක් ලබන 30 වැනි දා


තිළිණි  ද සිල්වා  
 
විවිධ කාලවකවානු වලදී මෙරටේදී අතුරුදන් වූ සහ බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සැකසූ අතුරු වාර්තාවක් ලබන 30 වැනිදා එළිදක්වන බව එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා  පැවසීය.

 
එලෙස අතුරුදන් වූ පුද්ගලයන් සිටින පවුල් 2000කට ආසන්න සංඛ්‍යාවක්   තම කාර්යාලයට ලබා දුන් මෙම තොරතුරු ආශ්‍රිතව සැකසූ    අතුරු වාර්තාව එදිනම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පිළිගන්වන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් කීය.
 
ලබන 30 වැනිදාට යෙදී ඇති අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල සභාපතිවරයා මේ බව කීය.
 
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසූයේ අතුරුදන් වූ සහ බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයින්ගේ පවුල් වලට සිදු කළ යුතු සුබසාධන කටයුතු , ඔවුන්ගේ ගැටලූ විසඳීම ,යුක්තිය ඉටුවිය යුතු ආකාරය ආදිය සම්බන්ධයෙන් වන නිර්දේශයන් මෙම අතුරු වාර්තාවේ අඩංගු වන බවයි.
 
‘‘පසුගිය කාල වලදී මන්නාරම හා මාතලේ ප්‍රදේශයෙන් සමූහ මිනීවළවල් වලින් මිනිස් ඇට සැකලි සොයා ගනු ලැබුවා.මේවා ඉහත අප සඳහන් කළ ආකරයට අතුරුදන් වූවන්ගේද කියා දන්නේ නැහැ.ඒ නිසාම මේ සම්බන්ධයෙන් යම් නීතිමය රාමුවක හිඳිමින් එම පරීක්ෂණ සඳහා මූල්‍ය හෝ තාක්ෂණික සහාය දැක්වීමට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත් වන බව සඳහන් කළ යුතුයි. දශක හතරක් තිස්සේ සිදුවූ සිද්ධීන්ට අපට ක්ෂණිකව පිළිතුරු ලබා දිය නොහැකියි.නමුත් මාස හයකට වැනි කෙටි කාලයක් තුළදී අප විසින් සිදු කළ විමර්ශනයන් අනුව මෙලෙස අතුරු වාර්තාවක් නිකුත් කිරීමට හැකි වුණා.‘ යැයිද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කීය.
 
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු , ජෙයදීපා පුණ්‍යමූර්ති , විශ්‍රාමික මේජර් ජෙනරාල් මෝහන්ති ,මිරාක් රහීම් ,සෝමසිරි කේ.ලියනගේ සහ කනපතිපිල්ලෙයි වේන්දන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.