අගමැති මාලගමුවට කතා කර ඝාතනය සැලැසුම ගැන තොරතුරු විමසයි


(සුජිත් හේවාජුලිගේ)

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැසුම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාලගමුව මහතාට දුරකථනයෙන් පෞද්ගලිකව කතා කර අද (14) කරුණු විමසා ඇත.

මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව ඊයේ මාධ්‍යවල පළවී තිබූ තොරතුරු වාර්තා දැකීමෙන් පසුව අගමැතිවරයා මාලගමුව මහතාට කතා කර මෙසේ තොරතුරු විමසා තිබිණි.

තමා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව ඩිලන්ත මාලගමුව මහතා අගමැතිවරයාට මෙහිදී තොරතුරු රැසක් හෙළි කර ඇති බවත් ඒ සියලු තොරතුරු පොලිස්පතිවරයාට දී වහාම සුදුසු පියවර ගන්නා බව අගමැතිවරයා මාලගමුව මහතාට දැනුම් දී තිබෙන බවත් පැවැසීය.

මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලබන්නේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි දැනට අනාවරණයවී ඇති තොරතුරු අනුව හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකු මාර්ගයෙන්  මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට උත්සහ දරා ඇතැයි පැවැසේ.

ඝාතන සැලැස්ම පිළිබඳව පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදීය.