අක්කර 1,02,000 ක කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක්


(ඩයනා උදයංගනී)

අපනයනය සඳහා ඖෂධීය නිෂ්පාදන සකස් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1,02,000ක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් නම් පුද්ගලික සමාගම මගින් කාබනික ක්‍රමයට කෝමාරිකා වගාකිරීමට යන මෙම ව්‍යාපෘතිය ‘වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේ කර්මාන්තශාලාව, මෙහෙයුම් කාර්යාල පරිශ්‍රය ඉදිකර ගබඩා හා මෙහෙයුම් කටයුතු කිරීම සඳහා අක්කර 66කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් වසර 30ක දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීම සඳහා වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන යන මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ කෝමාරිකා ශාකයේ මුල්, අල, පත්‍ර ආදිය භාවිතා කර අධි ශක්තිජනක පානයන්, ඖෂධීය පෙති, ආලේපන, ආශ්වාස කැප්සියුලර්, හිස ගල්වන තෙල් ආදිය නිෂ්පාදනය කිරීමට නියමිත බව කී ඇමතිවරයා එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් 783ක් බව ද සඳහන් කළේය.

එහි පළමු අදියර යටතේ ඩොලර් මිලියන 300ක මුදලක් යෙදවෙන බව කී ඇමතිවරයා කෝමාරිකා තවාන් ඇතිකිරීම සඳහා රාජාංගණය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි අක්කර 2,000ක් යොදාගැනීමට නියමිත බව ද කීවේය.