අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට


 

 

(***සුජිත් හේවාජුලිගේ සහ ***නාලක සංජීව දහනායක)

පාතාල කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවැසෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නැමැත්තා මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී පොලිස් නිලධාරීන් පිරිසක් කළ වෙඩි තැබීමකින් මරුමුවට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මොහු පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ දරා ඇතැයි කියති. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් ඔහු මියගිය බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මියගිය පුද්ගලයා ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත. මේ සිද්ධියෙන් පසුව පොලිසිය විසින් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹන ලදී.

පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කා නමැත්තාද මීට සති කිහිපයකට ඉහතදී ඉන්දියාවේදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණ.