60ට වැඩි ජනගහනය 2037දී ඉහළට


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් සඳහන් කරයි.

මේ අනුව දැනට සමස්ත ජනගහනයෙන් සියයට 14ක් වන අවුරුදු 60ට වැඩි ජනගහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි මෙරට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නිකුත් කරන ලද වාර්තාවක් සඳහන් කරයි.

2012 වසරේ දී කරන ලද ජනගහන හා නිවාස සංගණනය පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.

රටේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමඟ ඉදිරියේදී ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා සමාජ හා ආර්ථික ආයතන සුරක්ෂිත කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන් අත්‍යාවශයෙන්ම කටයුතු කළ යුතු බව ද සඳහන් කරයි.