19 වැනි ව්‍යවස්ථාව කියවන්නැයි මහින්දගෙන් ඉල්ලයි


( මුදිතා දයානන්ද )

19 වැනි ව්‍යවස්ථාව කියවන ලෙස තමන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

“හොරකම් අතටම අහුවුණාට පස්සේ මහින්ද රාජපක්ෂලා ලලිත් වීරතුංග ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නිලධාරියෙක්ද යන සාකච්ඡාවක් පටන් අරන්.දැන් කතාකළ යුත්තේ ඔහු ව්‍යාවස්ථානුකුල හොරෙක්ද නැද්ද යන්න නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙකුට වුවත් ජනතා දේපළ ජනතා මුදල් අවභාවිතය කළ හැකිද යන්න ගැන “
 
“19වැනි ව්‍යවස්ථාව කියවන්න කියලා අපි මහින්ද රාජපක්‍ෂට කියනවා. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ලේකම් රාජ්‍ය නිලධාරියෙක්. 19 සංශෝධනයට පෙර වුවත් ජනාධිපති ලේකම්වරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ නොහැකියි. ඔහුට ජාත්‍යන්තර නීතියවත් කඩ කරන්න බැහැ. ලිඛිත නීතියක් අනුව කටයුතු කළ යුතුයි. ඔහු රාජ්‍ය නිලධාරියෙක් නෙවෙයි නම් පාරේ යන මිනිහෙකුට කොහොමටත් බැහැ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් තමන් කැමති දේවල්වලට යොදවන්න. රටේ කාටවත්ම ජනතා මුදල් අවභාවිතා කරන්න බැහැ.

මහින්ද රාජපක්‍ෂ කියනවා මේක ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් අනුව කි‍්‍රයාත්මක වුණා කියලා. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් නම් එය අයවැය ප‍්‍රකාශනයට ඇතුළත් විය යුතුව තිබෙනවා. නමුත් අයවැය ප‍්‍රකාශනවල එය යෝජනාවක් ලෙස සඳහන් වෙන්නේ නැහැ. ඒවගේම ටී.ආර්.සී. එක අදාල වර්ෂයන් සඳහා ඉදිරිපත් කරන කි‍්‍රයාකාරී සැලැස්මේ එම ව්‍යාපෘතිය යෝජනාවක් ලෙස සඳහන් කළ යුතුව තිබෙනවා. නමුත් මේ කිසිදු ලියවිල්ලක සිල්රෙදි බෙදීමේ ව්‍යාපෘතිය යෝජනාවක් ලෙස සඳහන් නොවන බව අධිකරණයේදී ඔප්පු වුණා. ඒ නිසා රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුවූ බව ඉතා පැහැදිළියි. තීන්දුව දුන්නට පස්සේ මහින්ද රාජපක්‍ෂ කියනවා වගකීම බාර ගන්නවා කියලා. නමුත් අධිකරණ කි‍්‍රයාවලිය යන අතරතුර එම වගකීම බාර ගත්තේ නැහැ. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
හේරත් මහතා මෙසේ පැවසූයේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදි, ලලිත් වීරතුංග මහතා ව්‍යාවස්ථාවට අනුව රාජ්‍ය නිලධාරියෙක් නොවේ යැයි මහින්ද රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.