19 අහෝසි වෑයමට එරෙහිව නැගී සිටිමු


ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය අතුගා දැමීමේ භයානක අනතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට එක්වන මෙන් සියලු ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරන බව ද එජාප මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට, ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමට අපට හැකිවිණි. නමුත් වත්මන් රජය පිඹුරුපත් සකසමින් සිටින්නේ 19 වන සංශෝධනය හා ස්වාධීන කොමිසන් සභා අහෝසිකරලීමටය.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ නිදහස් සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාද පරිසරය වෙනුවට යළිත් ඒකාධිපති පවුල් බලය ස්ථාපිත කරලීමටය. මෙය රටේ ජනතාව ඉතා අසීරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අගයයන් ගණනාවක් යළි අවුරාලීමකි.

ප්‍රජාතන්ත්‍රවාදය අතුගා දැමීමේ රජයේ වෑයම වළක්වා දිනා ගත් නිදහස ආරක්ෂා කර ගැනීම මේ රටේ ජනහිතවාදී ප්‍රජාවගේ යුතුකමකි. එහෙයින් මේ භයානක අනතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට එක්වන මෙන් අපි සියලු  ප්‍රගතිශීලි බලවේගයන්ට ආරාධනා කරමු.