'හෙට සිට සතියක් ජාතික ධජය ඔසවන්න'


(ජයන්ත සමරකෝන්)
 
ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් හෙට(01) සිට සතියක් පුරා සෑම පෞද්ගලික හා රාජ්‍ය ආයතන ගොඩනැගිල්ලකම ජාතික ධජය ඔසවා තබන මෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටී.
 
ඒ සමඟම පෙබරවාරි 3 සහ 4 යන දිනයන්හි සියලු රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් සරසන ලෙසද අමාත්‍යංශය රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් දී තිබේ.
 
මෙවර පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින ජාතික උලෙළේ ත්‍රිවිධ හමුදා සහ පොලිස්  ආචාර පෙළපාලිය සඳහා නිලධාරීන්  7267ක් සහභාගී වන බවද, සංස්කෘතික කණ්ඩායම්වල ශිල්පීන් 451දෙනෙකු සහභාගී වන බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
 
යුද හමුදාවෙන් 4325ක්, නාවික හමුදාවෙන් 868ක්, ගුවන් හමුදාවෙන් 815ක්, පොලිසියෙන් 1382ක්, සිවිල් ආරක්ෂක බලකායෙන් 515ක් සහ ශිෂ්‍ය භට බලකායෙන් 355ක් මෙම ආචාර පෙළපාලිය නියෝජනය කිරීමට නියමිතය.
 
තානාපති නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 2000ක් ස ඳහා මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ආරාධනා පත් යවා ඇති අතර මහජනතාවගෙන් 1000කට පමණ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා භූමියේ සිට ආචාර පෙළපාලිය නැරඹීමට අවස්ථාව සලසා ඇතැයිද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීය.