'දස්කොන්-ප‍්‍රමිලා' වේදිකාවට ගෙන එන අනුෂ්කා


2017-02-17-ent-15

අනුෂ්කා ඒකනායක විසින් නිර්මාණය කරන ලද ”දස්කොන් ප‍්‍රමිලා” කථක් නෘත්‍ය නාටකය මෙම 24 දින සවස 6.30ට කොළඹ බිෂොප් ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.

ප‍්‍රධාන පෙළේ උත්තර භාරතීය ශාස්ත‍්‍රීය නර්ථන ශෛලියක් වන කථක් නර්ථනයෙන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික පේ‍්‍රම කතාවක් වන දස්කොන් ප‍්‍රමිලා වෘතාන්තය මෙම නෘත්‍ය නාටකය තුළ ප‍්‍රතිනිර්මාණය කොට ඇත.

මෙම ඓතිහාසික පේ‍්‍රම වෘතාන්තය කථක් නර්තනයෙන් මෙරට වේදිකාව වෙත ගෙනෙනු ලබන ප‍්‍රථම අවස්ථාවද මෙය වන අතර ඒ පිළිබඳව අදහස් දැක්විමට අනුෂ්කා ඒකනායක සඳැල්ල සමඟ එක්වූයේ මෙසේයි.

 

ඔබට ඇයි මේ වගේ නිර්මාණයක් කරන්න හිතුණේ?

2017-02-17-ent-14මම මුලින්ම අවුරුදු 4න් තමයි කථක් ඉගෙනගන්න පටන්ගත්තේ, ඒ සිරිමතී රසාදරී ගුරු මෑණියන්ගෙන්. ඒ විදියට විශාරද වෙනකම් ලංකාවේ ඉගෙනගෙන වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියාවේ ගියා. ඒ ලක්නා බාත් ඛණ්ඩ විශ්වවිද්‍යාලයට.

එහි අවුරුදු පහක් මම ඉගෙනගත්තා පශ්චාත් උපාධිය වනතුරු. එහිදී මගේ ගුරුවරයා වූණේ අර්ජුන් මිශ‍්‍රා.

ඒ විදියට ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි කතිකාචාර්යවරියක් ලෙස සේවය කළා. එතනින් පසුව මගේ ක්ෂේත‍්‍රය වෙනස් කරන්න වුණා. ඒ මට රැුකියාව ලැබුණා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ගුවන් සේවා නිලධාරිනියක් ලෙස සේවය කරන්නට.

ඒ රැුකියාව කරමින් ඉන්න අතරතුරදී තමයි මම ඉගෙන ගත්ත දෙයින් මොනවහරි කරන්න ඕනෑ කියන දේ හිතලා මේ වගේ නිර්මාණයක් බිහි කරන්න හිතුවේ.

මොකද ගොඩක් කාලෙකින් හොඳ නිර්මාණයක් කරන්න ලැබුණෙත් නෑ. ඒ නිසාම තමයි මේ දස්කොන් ප‍්‍රමිලා කියලා කථක් නාට්‍යයක් පළමුවෙන්ම ලංකාවේ කරන්නේ.

 

ඇයි මේ කතාවම කරන්න හිතුවේ?

කථක් කියලා කියන්නේ කතාවක් කියන එක. සාමාන්‍යයෙන් මේ ශෛලියෙදී අපි තෝරාගන්නේ ඉන්දියාවේ තියෙන ආදර කතා නැත්තම් හින්දු කතාන්දර වගේනේ. ඉතින් මම හිතුවා උඩරට යුගයේ තිබුණු දස්කොන් ප‍්‍රමිලා ආදර කතාව පාදක කරගෙන මේ නිර්මාණය කරන්න. එතකොට ලංකාවේ පේ‍්‍රක්ෂකාගාරයට මේ නර්ථනය ගෙනිහින් මේවා ප‍්‍රචලිත කරන්න පුළුවන් වෙයි කියලා.

මම පාසල් යන කාලෙදිත් සංගීතය, නැටුම් ඒ දේවල්වලට තමයි වැඩිපුරම නැඹුරුවෙලා හිටියේ. පාසල් තූර්යවාදක කණ්ඩායමේ උප නායිකාව විදියටත් වැඩ කළා. ඒ වගේම නර්ථන, ගායන තරගවලටත් සම්බන්ධ වෙලා ජයග‍්‍රහණ ලබාගත්තා. ඒ නැඹුරුව නිසාම මම උසස් පෙළට කළෙත් සංගීතය.

වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියා ගියාමත් සංගීතය ඉගෙනගත්තා. ඒ ඉගෙනගත්ත දේවල්වලින් ප‍්‍රයෝජනයක් විදියට තමයි මේ නිර්මාණය එළිදැක්වුණේ.

මේ වෙනුවෙන් සම්බන්ධ වුණු කලාකරුවොත් ලංකාවේ සහ පිටරට ගිහින් මේ ශිල්පය ඉගෙනගෙන ආපු අය. ඒ වගේම මගේ ගෝලයොත් කිහිපදෙනෙක් ඉන්නවා. මෙහි ප‍්‍රධාන චරිතය ප‍්‍රමිලා නිරූපණය කරන්නේ මම. දස්කොන්ගේ චරිතය ශාස්ත‍්‍රපති නුවන් තීක්ෂණ ලියනගේ, නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගේ චරිතය දුමිදු ගුණවර්ධන විසින් නිරූපණය කරනවා. ඔහුත් ඉන්දියාවේ සහ පකිස්ථාන්වල කථක් ඉගෙනගෙන ආපු කෙනෙක්. ඇත්තටම මේ ලොකු අවධානමක් ගත්තු වැඩක්. මොකද මම රැුකියාවත් කරන ගමන් මේ කටයුත්තට අත ගැහුවේ. මේ වගේ ලොකු නිර්මාණයකට අත ගහනවා කියන එක ඇත්තටම අභියෝගයක් වුණා.

කථක් කියන ශෛලිය ඉන්දියානු ශෛලියක්, මේ කතාව සිංහල අපේ රටේ දේශීය මුඛ පරම්පරාවේ ජනප‍්‍රවාදයේ එන කතාවක්. ඉතින් මේ දෙක එකට මුහුවෙන්න ඕනෑ. නැත්තම් මිනිස්සු ප‍්‍රතික්ෂේප කරනවා. ඒ දෙක සමබරව කර ගන්නේ කොහොමද කියන එක තමයි අභියෝගය වුණේ. නමුත් කෙසේ හෝ නිර්මාණය කළා. ඉතින් මේ නිර්මාණය එළිදැක්වූවාට පසුව තමයි දැනගන්න වෙන්නේ මිනිසුන් මේ නිර්මාණය කොයිතරම් දුරට වැළදගත්තද කියන දේ.

මේ සියලූම දේවල්වලට මට ලොකු සහයක් ලබාදුන් සියලූම දෙනාටත් මගේ පසුපසම සිට මට උදව් කරන මගේ අම්මටත් විශේෂ ස්තූතිය පුද කරන්න ඕනෑ.

 

ධනු විජේරත්න

 

2017-02-17-ent-16