සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව


අගමැතිත් පුදුමවුණු  එස් එම් එස් පණිවිඩය

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසිනි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් බදාදා හවස පාර්ලිමේන්තු සංකීර්ණ​ෙය් කමිටු  ශාලා අංක දෙකේදී පැවැත්වුණේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

 ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ. එහෙත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙම රැස්වීම වර්ජනය කළහ. මේ සඳහා පක්ෂවලට ආරාධනා කර තිබුණේ අගමැතිවරයා විසිනි.

 සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය කියා තිබුණේ මෙය  සැබැවින්ම මැතිවරණ ක්‍රමය සංශෝධනයට යහපත් අරමුණකින් ගෙන එන යෝජනාවක් නොව මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උපක්‍රමශීලීව කටයුතු කරන බවය. එනිසා ඊට සහභාගි නොවන බව එම පක්ෂ දෙකම කියා තිබිණ.
සාකච්ඡාව ආරම්භයේදී ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමතිවරයා මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව විග්‍රහ කළේය. ඔහු කීවේ ආසන ක්‍රමයට 160 කුත්  අනුපාත ක්‍රමය යටතේ හැට පස් දෙනෙකුත් පත්කර ගැනීමට මෙමගින් යෝජනා කර ඇති බවය. මෙය තවදුරටත් සාකච්ඡා කර තීන්දු කළ හැකි බවද ඔහු කීවේය

මේ අතර ඔහු කීවේ ජනාධිපතිවරණයට, මහ මැතිවරණයට සහ අනෙකුත් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් ද වැඩි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවය. දැනට අය කරන ඇප මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු කීවේය . අනතුරුව කතා කළේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ය. “ඡන්ද  ක්‍රමය සංශෝධනය කරන එක හොඳයි. මේ යෝජනාවලත් හොඳ ඒව තියෙනවා. නමුත් අපට තියෙන ගැටලු‍ව ආණ්ඩුව මේ කරන්නේ සද්භාවයෙන් ද කියන එකයි. මේක ඡන්ද  කල් දමන්න උපක්‍රමයක් කියලත්  බොහෝ දෙනා කියනවා” යැයි ගම්මන්පිල කීවේය.

අනතුරුව කතා කළේ  නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ය. ‘‘2008 දී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත් කළා . ඒ වෙලාවේ පළමු යෝජනාව කළේ මම. මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. අනුපාත ක්‍රමය සංශෝධනය කිරීම එහෙම . සාධනීය දේවල් තියෙනවා. හැබැයි අපට තියන ගැටලු‍ව මේක ගේන්නේ  සද්භාවයෙන් ද කියන එකයි. ආණ්ඩුවේ මැතිවරණ ගිණුම බංකොලොත් කියන එක පැහැදිලියි. ඒ නිසා මේ ගැන රටම බලන්නෙ සැකයෙන්. ප්‍රධාන පක්ෂ දෙකක් අද මේ සාකච්ඡාවට ආවේ නැත්තෙත් ඒ සැකය නිසායි. ආණ්ඩුව  පළාත් පාලන මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් අතුරුදන් කරලා තියෙන්නේ.”‍ ඩලස් කීවේ ප්‍රසාදයකින් නොවේ.


ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් සහභාගි වූ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කීවේ මේ සම්බන්ධයෙන් බරපතළ සැකයක් තිබෙන බවය.
සමගි ජන බලවේගය සහභාගි නොවුණ ද සමගි ජනබල සන්ධානයේ අවසරය මත සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදුයුදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු ද පැමිණ සිටියහ. ඔවුන් දෙදෙනාම කීවේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ය. ‘‘අනික මේ සුළු ජාතිකයන් කපා දමන්න කරපු වැඩක්. පළාත් සභාවලත් ප්‍රාදේශීය සභාවලත් මේවා  කරන්න ගිහිල්ලා වැරදුණා. එනිසා අපිට මේකට එකඟ වෙන්න බැහැ’’ ඔවුහු කීහ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් යන මැති ඇමතිවරුන් ද සහභාගි වී සිටි නමුත් ඔවුන් කිසිවකු මේ ගැන කියන්නට ගියේ නැත. ඔවුන් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ආණ්ඩුවට පසුව සිය අදහස් ඉදිරිපත් කරන බවය.

මේ අතර සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ද කතා කළේය. “පක්ෂයක් හැටියට අපි ඡන්ද කල් දාන එකට  විරුද්ධයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නැහැ. ඊළඟ ඡන්දෙ වෙනකොට මේක කරගන්න බැරි වුණොත් පැරණි ක්‍රමයට ඡන්දෙ තියෙනවා කියලා මේකට අතුරු වගන්තියක් ඇතුළත් කළොත් හොඳයි” ඔහු යෝජනා කළේය. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාද කතා කළේය.

 ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට නිතර උත්සාහ කරන නිසා මේ දෙස ද සැකයෙන් බලන්නට සිදු ඇති බව ඔහු කීවේය.
මේ කතාබහ යද්දී මන්ත්‍රීවරුන්ගේ ජංගම දුරකථනවලට නිව්ස් ඇලට් එකක් ලැබුණේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබ ඇති බව කියමිනි. හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කොමිෂන් සභාව පත් කර තිබූ අතර එය දුටු වහාම උදය ගම්මන්පිල ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.


“ඔබතුමාලා මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් මෙතන සාකච්ඡා කරනවා. ජනාධිපතිතුමා මේකට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා කියලා දැන් නිව්ස් ඇලට් එකක් ආවා. ඔබතුමාලා මේ ගැන දැනුවත්ද?” යනුවෙන් උදය ගම්මන්පිල අගමැතිවරයාගෙන් සහ විජයදාස රාජපක්ෂ ඇමතිවරයාගෙන් විමසීය.
එහෙත් අගමැතිවරයාට ඊට දෙන්නට පිළිතුරක් එක්වරම නොවීය. හේතුව වූයේ ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටීමය. විනාඩියක් දෙකක් පමණ නිහඬව සිටි අගමැතිවරයා අනතුරුව කීවේ ජනාධිපතිවරයා එවැනි කමිටුවක් පත් කළ ද ඒ සියල්ල පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව ය. විජයදාස ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන්නට ගියේ නැත.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩල රැස්වීමක් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. පක්ෂයේ නිලධාරී මණ්ඩලය මසකට වරක් රැස්වීමට මීට පෙර තීරණය කර තිබූ නමුත් පසුගිය කාලයේ රැස්වීමට නොහැකි විය.

ඒ නිසා මෙම රැස්වීම හදිසියේම කැඳවා තිබූ අතර, සහභාගි වූයේ සීමිත පිරිසක් පමණය. පක්ෂයේ වැඩ බලන ලේකම් ලෙස පත්කළ දුෂ්මන්ත මිත්‍රපාලගේ නම මැතිවරණ කොමසාරිස්වරයාට මෙතෙක් යවා නොමැත. ඒ සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා කතා කළේය. ඔහු දැනුම්  දුන්නේ  දුෂ්මන්තගේ නම මැතිවරණ කොමිෂන්  සභාවට යවන ලෙස ය.

මේ අතර හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ කාර්ය මණ්ඩල ප්‍රධානී මියුරු භාෂිත සහ සනත් වත්තේගෙදර දෙදෙනාට පැවරුවේ පක්ෂයේ ලිපි ලේඛන කඩිනමින් යොමු කරන ලෙසය. පක්ෂයේ මුදල් කමිටුවේ සහ පරිපාලන කමිටුවේ කටයුතු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා විය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කීවේ පක්ෂයේ ප්‍රතිසංධාන වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීමට පසු විපරමක් කළ යුතු බවය. මේ අතර ඔහු කිව්වේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් පුරප්පාඩුව තිබෙන බවත් එය දයාසිරි ජයසේකර පැමිණි පසු ලබා දීමට සූදානම් බවත්ය.


තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ විනය මණ්ඩලය අලු‍තින් පත් කළ යුතු බව ය. ඒ අතර 2024 වසරේ දී පක්ෂයේ වැඩ කටයුතු සම්බන්ධයෙන්  ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්නැයි ඔහු යෝජනා කළේය. පක්ෂයේ නායකයන්ගේ වැදගත් දින ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යනාදිය සම්බන්ධයෙන්ද ඊට  ඇතුළත් කළ යුතු බවය.
පක්ෂයේ පරිපාලන කමිටුවේ කටයුතු නිතර පසු විපරම් කළ යුතු බවට ඔහු යෝජනා කළේය. “මම මහ ඇමති කාලෙ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වන යෝජනා මාස 3කට වරක් සමාලෝචනය කරනවා. ඒ වගේ අපි කරන වැඩවල සමාලෝචනයක් අවශ්‍යයි” ෂාන් කීවේය.

ශ්‍රිලනිපය දයාසිරි නැතිව කුරුණෑගල යයි

ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ දිනවල සිටින්නේ විදේශ ගතවය. ගිය සතියේ ඔහු නැතිව පක්ෂයේ  කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයන්ගේ විශේෂ හමුවක් කුරුණෑගල හෝටලයක දී පැවැත්විණ. පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු එක්ව සිටියහ. එහිදී සාකච්ඡාවට ලක් වුණේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩකටයුතු  කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙනි .

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙන්ම, සිවිල් සංවිධාන ද කැඳවා ඔවුන්ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සිටී. ගිය සතියේ ඔවුන් මාධ්‍යවේදීන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඊට හිටපු ඇමැති ඩිව් ගුණසේකර, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඩිව් ගුණසේකර හිටපු ඇමතිවරයාත්, වෛද්‍ය වීරසිංහ ප්‍රධාන ලේකම්වරයාත් දිගින් දිගටම කියා සිටියේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා ආණ්ඩුව නිසි වැඩපිළිවෙළකට ගොස් නැති බව ය. පක්ෂය ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්, එය පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරමින් සිටින බවත් ඔහු කීවේය.

මේ අතර උත්තර ලංකා සභාගයේ විධායක සභාව ද ගිය සතියේ රැස්විය. උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි, වෛද්‍ය ජී. වීරසිංහ, ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් ඊට සහභාගී වූ අතර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන්  එහිදී සාකච්ඡාවට ලක් විය. ඔවුන් කියා සිටියේ යෝජනා දෙකම හොඳ වුවත් මේ අවස්ථාවේ දී ඒ කරන්නට යන්නේ මැතිවරණ කල් දැමීමේ අරමුණකින් ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව ය

පසුගිය සතියේ පාර්ලිමේන්තු ලොබියේ දී අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, නිමල් ලන්සා ,නලින් ප්‍රනාන්දු ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටිය දී පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එතැනින් යන්නට පැමිණියහ. එම  මන්ත්‍රීවරුන් විමසා සිටියේ “ආ  නායකතුමා වටකරගෙන කට්ටිය ගේමක් ගහන්න ලෑස්ති වෙනවද” කියාය.
ඊට  උත්තර දුන්නේ අනුර යාපා යි. “අපි මල්ලි ගේමක් ගහනව නම් ගහන්නෙ එළියේ . හැංගිලා ගේම් ගහන්නේ නෑ. අපි  විහිළුවක් කළේ” අනුර යාපා කීවේය.

මහින්දගේ උපන්දිනය සමරන්න  පොහොට්ටුව සැරසේ

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය ලබන මස 18 වෙනිදාට යෙදී ඇති බැවින් ,ඒ වෙනුවෙන් පින්කම් මාලාවක් කිරීමට පක්ෂය දැන් සිටම සැලසුම් කරමින් සිටී. මේ පිළිබඳ සාකච්ඡාවක් පැවති අතර එයට ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන , එස්.එම්.  චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ, නාමල් රාජපක්ෂ  ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. ඔවුන් කීවේ රට පුරා පැවැත්වෙන පින්කම් මාලාවේ ප්‍රධාන උත්සවය කසාගල රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ය.

 

 

■ ගජබා