විපක්ෂය චන්දයක් ඉල්ලා සටනක


ලබන වසර සඳහා වන අය වැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳුදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙවර අයවැය ගැන වැඩි දෙනකු කතා කරන්නේ විදේශ විනිමය ලබා ගැනීම සඳහා ත්‍රෛලෝක විජය පත්‍ර හෙවත් කංසා අපනයනය පිළිබඳව ඇතුළත්ව තිබෙන යෝජනාව සම්බන්ධයෙනි. රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා කන්සා අපනයනයට අවසර දෙන්නැයි දිගටම කියා සිටියේ ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියයි. මේ යෝජනාව මෙවර අයවැයෙන් ඉදිරිපත්ව ඇති නිසා බොහෝ දෙනා මෙවර අය-වැය හඳුන්වන්නේ ඩයනාගේ අයවැය කියාය.

ඩයනාගේ අයවැය

අයවැය කතාව හමාර වී පැවති සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයේදී ද වැඩි දෙනකු ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියට කීවේ මෙදා ඉදිරිපත්වී ඇත්තේ ඔයාගේ අයවැය කියාය. අය-වැය තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වුණේ චාම් අන්දමිනි. මැති ඇමැතිවරුන්ට අසුන් පනවා නොතිබූ අතර අසුන් පනවා තිබුණේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු කිහිප දෙනකුට පමණි.


තේ පැන් සංග්‍රහයට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු ද විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ඉන් වැඩිදෙනකු ජනාධිපතිවරයා සමඟද බොහොම සමීපව කතා බහ කරනු දක්නට ලැබිණි. මන්ත්‍රීවරුන් එළියට එද්දී ජගත් කුමාර මන්ත්‍රීවරයා හේශා විතාන මන්ත්‍රීවරයාට කීවේ ඔයාල රූපවාහිනී සංවාදවලට ගියාම ජනාධිපතිතුමාට හොඳටම ගහනවා. දැන් ඇවිල්ල මෙතන වට කරගෙන කතා කරනවා. අපිට කතා කරන්නත් වෙලාවක් නෑ”‍ යනුවෙනි. ජගත් කුමාර ගේ විහිළුවට හේෂා හිනාවකින් පිළිතුරු දුන්නා මිස, වෙනත් කිසිවක් කියන්නට ගියේ නැත.


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී පැවැත්විණි. අයවැය නිසා මෙවර ආණ්ඩු පක්ෂ රැස්වීමට මන්ත්‍රීවරුන් නොවන විශේෂ අමුත්තෝ දෙදෙනෙක්ද පැමිණ සිටියහ. ඒ මුදල් අමාත්‍යංශයේ ලේකම් සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහය. ආර්ථික තත්ත්වය ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මන්ත්‍රීවරුන් දැනුවත් කළේය. කෘෂිකර්මයට සහ තේවලට අලු‍තින් බද්දක් පනවනවාදැයි පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය විමසා සිටියාය. මුදල් ලේකම්වරයා කීවේ එවැනි එකක් නොමැති බවය. ජනාධිපතිවරයාද අයවැය ගැන පැහැදිලි කිරීමක් කළේය. රට සාමාන්‍යයෙන් ඉදිරියට ගෙනයන්න හිතලයි මේ අයවැය හැදුවේ. මේක හොඳම එක කියලා ඔබතුමාලා පිළිගන්න එකකුත් නෑ. නමුත් හොඳ ආරම්භයකින් ඉදිරියට යන්න පුළුවන්. අයවැයෙන් ලොකු ලොකු බදු ගහයි කියලා ගොඩක් අය හිතුවා. ඒත් අපි ගහන්න ඕනෑ බදු ටික කලින්ම ගැහුවා යැයි ජනාධිපතිවරයා කීවේ පිරිස හයියෙන් හිනස්සමිනි.
චාමර සම්පත් මන්ත්‍රීවරයා කියා සිටියේ මේකෙන් මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් වෙන්කර නෑ කියාය. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඒ ගැන විමසූ විට ඔහු කීවේ ගිය වර අයවැයෙන් විමධ්‍යගත අරමුදල් වෙන් කළාට සල්ලි දෙන්න බැරි වුණා කියාය. ජගත් කුමාර මන්ත්‍රීවරයා ද ඒගැන කතා කළේය. ඔහු කීවේත් චාමර සම්පත් රාජ්‍ය ඇමැතිතුමා කියන එක ඇත්ත. පසුපෙළ මන්ත්‍රීවරුන් විදියට අපට වගකීමක් දීලත් නැහැ. වැඩ කරන්න විදිහකුත් නෑ. ගමට වැඩ කරන්න විමධ්‍යගත අරමුදල් නෑ. ඒ නිසා අපට ගමට වැඩ කරන්න විමධ්‍යගත අරමුදල් දෙන්න යැයි ඔහු යෝජනා කළේය.”‍ ගමට යන්න පුළුවන් වැඩපිළිවෙළක් හදනවා. ඒ නිසා ඔයාල බය නැතුව ගමට යන්න. ජනාධිපතිවරයා කීවේය. ජගත් කීවේ අපට ගමට යන්න පුළුවන්. මං ගමට යනවා. හැබැයි ඒ වුණාට ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්ට නම් ගම්වලට යන්න ප්‍රතිපාදන තියෙනවා යනුවෙනි. ජනාධිපතිවරයා කීවේ මේ වසරේ විමධ්‍යගත අරමුදල මේ වසරේ ලබාදිය නොහැකි බවය. ලබන වසරේ ආදායම් තත්ත්වය හරි ගියොත් එය ලබා දිය හැකි බව ජනාධිපතිවරයා කීවේය.


අයවැය විවාදය අතර ජනාධිපතිවරයා බදාදා හැන්දෑවේ හදිසියේම පාර්ලිමේන්තුවට ආවේය. විවාදයට එක්වෙමින් සිටියේ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාය. ඔහුගේ කතාව අසා සිටි ජනාධිපතිවරයා කීවේ ඔහු හොඳට කතා කළ බවය. ඒ අසල ප්‍රසන්න රණතුංග, සුරේන් රාඝවන්, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටිය දී ජනාධිපතිවරයා ඔවුන් අසලට ගොස් ප්‍රසන්නට කීවේ ඔයා හොඳ බැට්ස්මන්ල දානවා නේද කියාය.”‍ අපි අලු‍ත් අයටත් තැන දෙන්න ඕනෑ නේ සර්’ ඔහු කීවේය.


පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා පසුගිය මාස එක හමාරක කාලයේ   සිටියේ    ඇ​ෙමරිකාව  බලා  පිටත්ව ගොසිනි. ඔහු පෞද්ගලික සංචාරය නිමා කර මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිතව සිටී. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කරමින් 21 සංශෝධනයෙන් මෙවර වගන්තියක්ද පනවා තිබේ. බැසිල් ද්විත්ව පුරවැසියෙකි. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට යාමට බාධාවක් තිබුණද දේශපාලන කටයුතුවල නියැලීමට තහනමක් නැත. ඒ නිසා ඔහු යළි දිවයිනට පැමිණි වහාම දේශපාලන කටයුතු යළි ආරම්භ කරනු ඇතැයි වාර්තා වේ.

මහින්දගේ උපන් දිනය පොහොට්ටුවේ සමහරු මග හරිති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය පසුගිය සිකුරාදා යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් ජය පිරිත් දේශනයක් පැවැත් වුණේ තංගල්ලේය. පිංකමට පොහොට්ටුවේ මැතිඇමැතිවරුන්ට මිල මුදලින් හා විවිධාකාරයෙන් දායක වන ලෙස සංවිධායක මණ්ඩලය දැනුම් දී තිබූ අතර ඒ සඳහා සහභාගි වන ලෙස ද දැනුම් දීමක් කර තිබිණි. සමහරුන් බැහැලා වැඩේට උදව් කළ අතර තවත් පිරිසක් පිරිත් පිංකමට සහභාගි නොවූ බව වාර්තා විය. මේ පිරිස පොහොට්ටුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ කලකිරීමක සිටින පිරිසක් බව ද දැනගන්නට ඇත

සිංහල කොටියා

ඩලස් හා ජීඑල් කණ්ඩායම නියෝජනය කරන නිදහස ජනතා සභාව ගිය සතියේ සිය දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළ කොළඹදී එළිදැක්වීය. මේ උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක නායකයෝද සහභාගි වූහ. දේශපාලන පසමිතුරන් ලෙස කටයුතු කරන පාඨලී චම්පික සහ උදය ගම්මන්පිල යන දෙදෙනා ද මේ උත්සවයට පැමිණ සිටීම විශේෂත්වයක් විය. තවත් විශේෂත්වයක් වූයේ එය නිදහස ජනතා සභාවේ වැඩක් වුවද එහි නායකයින් ඉදිරියට නෑවිත් අලු‍ත් පිරිසක් ඉදිරියට ගෙන ඒමය. ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක පිළිගන්වනු ලැබුවේ ද විද්‍යාල සිසුන් ඇතුළු තරුණ තරුණියන් කිහිපදෙනෙකු වෙතය. මේ උත්සවයට පැමිණි පක්ෂ නායකයන් ඇතුළු පිරිස පිළිගැනීම බාර වී තිබුණේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාටය. ඔහු බුලත් අතක් දෙමින් සියලු‍ දෙනා පිළිගත්තේය. ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමේ අවස්ථාවට ජීඑල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන තිදෙනාට ඉදිරියට ආරාධනා කළ අතර, නිවේදකයා ඔවුන් තුන්දෙනා හැඳින්වූයේ විශේෂණ පද තුනකිනි. ඔහු ජීඑල් පිරිස් හැඳින්වූයේ ලෝකය පිළිගත් විද්වතා ලෙසිනි. ඩලස් හැඳින්වූයේ නිර්මල දේශපාලනඥයකු හැටියටය. ඩිලාන් පෙරේරාට අමුතුම පූර්විකාවක් යෙදිණි. සිංහල කොටියා, තම්බියා වචන යොදා නිවේදකයා ඔහු හඳුන්වද්දී සභාවේ සියලු‍ දෙනාට හිනාය. ඊට හේතු වූයේ ඔහු ජාතිභේදයකින් තොරව, දිගින් දිගටම, සිය මතය වෙනුවෙන් පෙනී සිටීමය.


කණ්ඩායමේ නායකයන් ලෙස ඩලස්, ජීඑල් යනාදීන් එහිදී සභාව ඇමතීම නොකළ අතර, නවක පිරිසකට කතා කරන්නට අවස්ථාව ලැබිණි. දේශපාලන වැඩපිළිවෙළ පැහැදිලි කිරීම පැවරුණේ එය සකස් කළ කමිටුවේ ප්‍රධානියා වූ මහාචාර්ය චරිත හේරත්ටය. එක්දහස් නවසිය හතළිස් අටේ සිට මේ දක්වා ගතවූ වසර හැත්තෑ හතරකට අධික කාලය තුළ රට මුහුණ දුන් ඛේදනීය තත්ත්වය ගැන ඔහු ගැඹුරු, හරබර කතාවක් කළේය. ආර්ථික වැඩපිළිවෙළ ගැන පැහැදිලි කළේ ආර්ථික වැඩපිළිවෙළ සකස් කළ කමිටුවේ ප්‍රධානියා වූ ආචාර්ය නාලක ගොඩහේවාය. මහාචාර්ය චන්න ජයසුමන, කුමාරසිරි ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එහිදී අදහස් දැක්වූහ.
උත්සවය සංවිධානය කිරීමේ කටයුතුවලට පක්ෂ නායකයන් මෙන්ම බොහෝ පිරිසක් ඊට මැදිහත්ව සිටියහ.


එවැනි වැඩවලට වෙනදා සම්බන්ධ නොවන මහාචාර්ය ජීඑල් පීරිස් ද මෙවර හරි හරියට එම කටයුතුවලට සම්බන්ධ විය. මේ අතර උත්සවය අවසානයේදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඒ වැඩ කටයුතු කළ තරුණ පිරිස වෙනුවෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක විශේෂ සාදයක් සූදානම් කර තිබිණි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ද නරඹමින් පිරිස සාදයට සම්බන්ධ වූ අතර, සාදය මධුවිතෙන් ද අඩුවක් නොවීය. ඩිලාන් පිරිසට ආරාධනා කරමින් කීවේ, ’නාවල කාර්යාලයේදී විතරයි මේවා තහනම්. මෙහෙදී තහනමක් නැහැ’ යනුවෙනි.

මන්ත්‍රීට පාරෙදිම නින්ද ගිහින්

නිදහස ජනතා සභාවේ මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා එදා පැවැති උත්සවයට කලින් දිනයේ ද පටිගත කිරීමේ කටයුතු සඳහා මහරගම ප්‍රදේශයේ ස්ටුඩියෝ එකක ට සහභාගී විය. පටිගත කිරීමේ කටයුතු අවසන් වන විට පසු දින උදේ 05.00 පමණ වී තිබිණි. මන්ත්‍රීවරයා කැබ් රථයෙන් පිටව යද්දී තරමක නිදිමතක් ආ බැවින්, වාහනය පාරේ අයින් කරගෙන සුළු වෙලාවකට ඇස් පියාගත්තේය. ඔහුට දිගටම නින්ද ගොස් තිබූ අතර ඇහැරුණේ පොලිස් නිලධාරියෙකු පැමිණ වාහනයේ වීදුරුවට තට්ටු කිරීමෙනි. මන්ත්‍රීවරයා තමා හඳුන්වා දෙමින් කීවේ උදේ පාන්දර යද්දී නිදිමත ආ බැවින් වාහනය එහෙම ම පාර අයිනේ නතර කර නින්දට ගිය බවය. පොලිස් නිලධාරියා කිව්වේ එතන වාහන නතර කළ නොහැකි බවය. ඔබතුමා මට දඩයක් ගහන්න මන්ත්‍රීවරයා කීවේය. පොලිස් නිලධාරියා කීවේ දඩයක් ගහන්න ඕනැ නෑ. අනතුරක් වළක්වා ගත් එකම ඇතිනෙ කියාය.

හිටපු මැකෝ සර් ගැන ෂාන් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉකුත්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ෂාන් විජයලාල් මන්ත්‍රීවරයා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ගැන අපූරු කතාවක් කීවේය. දේශප්‍රිය පළාත් පාලන සීමා නිර්ණ කමිටුවේ ප්‍රධානියා ය. ඔහු පරිපාලන සේවයට එන්නට පෙර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශාන් විජයලාල්ගේ රසායන විද්‍යා ගුරුවරයා ලෙස කටයුතු කළේය. මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට සිටියදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඡන්ද අයිතිය ගැන දිගින් දිගටම පෙනී හිටියා. එතුමා දැන් සීමා නිර්ණ කමිටුවේ සභාපතිවරයා වුණත් එතුමා ඡන්දය පැවැත්වීම වෙනුවෙන් ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී ඉදී කියල මම හිතනවා’ යයි ෂාන් කීවේය

විමල්ට - වාසුට විරෝධය පෑවේ කවුද

විමල් වීරවංශලාගේ උත්තර සභාවේ අනුරාධපුර සහ මහනුවර රැස්වීම්දෙක අතරවාරයේ විමල් සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන්ට පිරිසකගෙන් විරෝධය එල්ල විය. මහනුවර රැස්වීමේදී විමල් එය මගහරිමින් ගිය අතර කොටු වූයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාය. මේ විරෝධය දැක්වූ පිරිස සම්බන්ධයෙන් එම කණ්ඩායම සිටින්නේ මත දෙකකය. විමල් සිටින්නේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පිරිස් ඊට සම්බන්ධ වී ඇතැයි කියාය. තවත් පිරිසක් කියා සිටින්නේ පෙරටුගාමීන් හා සමගි ජන බලවේගය නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයෙකු ඊට මැදිහත් වී සිටින බවය.


මේ අතර උත්තර සභාව මේ සති අන්තයේ දී කොළඹ දී ලොකු රැස්වීමක් පැවැත්වීමට සූදානම් කර ඇත. ජනතා ගැටලු විසඳන ලෙස ආණ්ඩුවට බල කිරීමේ පියවරක් ලෙස මෙය පැවැත්වේ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ රැස්වීමට විශාල පිරිසක් ගෙන්වා ගැනීම ඔවුන්ගේ අපේක්ෂා වී ඇත.

ඡන්ද සූදානම

ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණය කල් තැබීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව සජිත් ඇතුළු සමගි ජන බලවේගය තේරුම් ගත්තේ මීට මාස කිහිපයකට පමණ පෙර සිටය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පත් කිරීමේ දී පොහොට්ටුව පාර්ශවය විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවක් වූයේ ආණ්ඩුව විසුරුවීම නොකළ යුතු බවය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වුවත් එය පවා නොපැවැත්වෙන තැනට කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි.
ඒ නිසා සජිත් සිය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට උපදෙස් දී තිබුණේ මේ තත්ත්වයට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතු බවය.
ඒ අනුව පොදු විපක්ෂය එකට එක් වී මීට මුහුණ දිය යුතු බවත් වහාම නිසි පරිදි නිසි කලට මැතිවරණ ඉල්ලා සිටීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.


එහි ප්‍රතිඵලයක් ලෙස මුලින්ම ඩලස් පාර්ශවය විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් මුණගැසුණි.
“මේ ආණ්ඩුව හදන්නේ මැතිවරණය කල් දාන වැඩේට. ආණ්ඩුව මොන තරම් නෑ කීවත් ඇත්ත ඒක තමයි. මොකද ආණ්ඩුව දන්නව මේ වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා”‍ සජිත් කීවේය.


“ඒක ඇත්ත, අනිත් එක මැතිවරණය කල් දාන්න කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. මේ වෙලාවේ මේකට විරුද්ධව එකතුවෙන එක ඉතාම වැදගත්”‍ ජී.එල් පීරිස් කීවේය.
‘විපක්ෂයේ සියලු‍ම දේශපාලන පක්ෂ එක්ක මේ ගැන කතා කරමු. පොදු එකඟතාවයකට ඇවිල්ල ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව මැතිවරණ කොමිසමට යමු”‍ ඩලස් කීවේය.
“එක පැත්තකින් අපි ලියුමක් දෙමු. ඒ එක්කම අපි මැතිවරණයක් ඉල්ලලා අත්සන් ලේඛනයකුත් දෙමු.” සජිත් කීවේය.
ඒ අනුව සෙසු පක්ෂ සමඟ කටයුත්ත සම්බන්ධීකරණය කිරීමට සමගි ජන බලවේගය අසෝක අබේසිංහත්, ඩලස් පාර්ශ්වයෙන් ඩිලාන් පෙරේරාත් නම් කරනු ලැබීය.
ඒ මොහොතේම ක්‍රියාත්මක වූ එම දෙපළ මුලින්ම කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය.
‘එක මොහොතක් හරි මැතිවරණය කල් දානවට අපි විරුද්ධයි. එ් නිසා ආණ්ඩුවේ ඒ වැඩේට විරුද්ධ වෙන ඕනෑම කණ්ඩායමක් එක්ක අපි එකතුවෙනවා’ ශ්‍රී ල නි පෙන් සුබවාදී පිළිතුරක් ලැබුණි. ද්‍රවිඩ සන්ධානයෙන් ලැබුණේ ද එවැනිම ප්‍රතිචාරයකි.


ඒ අනුව විපක්ෂය කණ්ඩායම සාමූහිකව තීන්දු කළේ වහාම නිසි කලට නිසි පරිදි මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් ලිවීමට ය.
ඒ සඳහා නීතිඥ කණ්ඩායම්වලට උපදෙස් දුන් සජිත් සමගි ජන බලවේගය වෙනුවෙන් ඊට යොමු කළේ ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ් ය.
ඊට සමගාමීව මැතිවරණයක් ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ද සජිත් උපදෙස් දුන්නේ ය..
ඒ අනුව ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරන අතරතුරදී අත්සන් එකතු කිරීමේ මෙහෙයුම ආරම්භ කොට තිබුණි.
මේ මෙහෙයුම දුටු සැනින් ආණ්ඩු පක්ෂය බලවත් කුතුහලයටත් තිගැස්මටත් ලක්ව ඇත.
අශෝක සහ ඩිලාන් දෙදෙනා මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කරන්නේ කුමකටද යන්න දැනගැනීමේ කුතුහලය ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනාට ඇති විය.
කෙසේ වෙතත් ඒ ​ෙවන විටත් අවශ්‍ය අත්සන් ප්‍රමාණය ලබාගැනීමට අශෝක සහ ඩිලාන් කටයුතු යොදා තිබුණි.
ඊට පසුදා පිරිස මැතිවරණ කොමිෂන් සභාව වෙත පිටත් වූ අතර වෙන් වෙන්ව පැමිණි විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණ කොමිෂන් සභාවේ දී එකට එක්විය.
“මැතිවරණ කොමිෂන් සභාවේ දැන් තියෙන්නේ භාරකාර තත්ත්වයක්.”‍


මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකු එසේ පැවසූ විට ඒ ප්‍රකාශය වැරදි බව සජිත් පැවසීය. රංජිත් මද්දුම බණ්ඩාර, අනුර යාපා, චන්දිම වීරක්කොඩි, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, සුමන්තිරන් ඇතුළු සියලු‍ දෙනා ද සජිත් ගේ තර්කය අනුමත කළහ.


“දැන් පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන්න පුළුවන් කවද්ද?”‍ මහලේකම් රංජිත් ඇසුවේය.
“ජනවාරි දෙවැනි සතියේ නාමයෝජනා කැඳවීම කරන්න පුළුවන්”‍ මැතිවරණ කොමිසමෙන් පැවසීය.
“නියමිත කාලයට මැතිවරණය තියෙනවද? එහෙම තියන්න පුළුවන්ද?”‍   එහෙම ඇහුවේ සජිත් ය.
“නියමිත කලට මැතිවරණය තියෙනවා”‍
මැතිවරණ කොමිෂන් සභාවේ පිළිතුර විය.


ඉන් අනතුරුව නිසි කලට නිසි පරිදි මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ සියලු‍ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීම් ලිපිය විපක්ෂ නායක සජිත් විසින් භාර දුන්නේය.


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු වෙ බවට ඇතැම් මාධ්‍යවල ප්‍රකාශ නිකුත් වුණේ අද ඊයෙක සිට නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ එවැනි පුවත් නිර්මාණය කිරීමට ඒ මාධ්‍ය කටයුතු කළ ද සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සම්බන්ධ වනු දැකිය නොහැකි විය.
ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරන විට අනිවාර්යයෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩුව සමග එක්වන බව ආසන්න වශයෙන් ප්‍රකාශ කර තිබුණි.
නමුත්, හිටි ගමන් සිදු වූ සිදුවීමක් හේතුකොටගෙන ආණ්ඩු පක්ෂයට කට උත්තර නැති විය.


පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් (14දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත විය.
ඒ අනුව, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් මුලින්ම සමගි ජන සන්ධානය සමග එක් වූහ. රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිළිබඳව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව, කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් සජිත් එහිදී පැවසීය.
‘‘සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වූ බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

සාධාරණ මිලකට කරුගෙන් හඬක්

ගණනාවක තොග මිල ගණන් පහළ බැස තිබියදී සාමාන්‍ය පාරිභෝගිකයාට එහි වාසිය නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබීම ගැන පසුගිය සතියේදී කරු ජයසූරිය මහතා පාර්ශව කිහිපයක් සමඟම සාකච්ඡා කර තිබේ.


එහිදී කරුගේ නිගමනය වී ඇත්තේ විවෘත ආර්ථික ක්‍රමයක් තුළ මිල පාලනයක් හඳුන්වා දීම කිසිසේත්ම ප්‍රායෝගික හා සාර්ථක ක්‍රමවේදයක් නොවන බවය.
එහිදී කරු යෝජනා කර ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සඳහා මිල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් හා දර්ශක මිලක් හඳුන්වා දීමට කටයුතු කළයුතුව ඇති බවයි. මෙම ක්‍රමවේදය 2000 මුල් දශකය තුළ අප රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වූ බව කරු​ෙග් අදහස ය.

එජාපය ශක්තිමත් කරන්න කතාබහක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් අතර හමුවක් ඉකුත් අඟහරුවාදා පැවැත්විණි. එහිදී රටේ දේශපාලන තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ යුතු බවට තීරණය විය. එජාපය ශක්තිමත් කරන ආකාරය ගැන වාර්තාවක් සකස් කිරීම හිටපු මහ ලේකම් වත්මන් උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට භාර විය. ඒ අනුව කාරියවසම් මහතා එදිනම එහි වැඩකටයුතු ඇරඹූ අතර මේ වන විට පක්ෂයේ ආචාර්ය මහාචාර්යවරුන්, සහ නීතිඥයන් සමග සාකච්ඡා වට කීපයක් පවත්වා ඇති අතර ඒ අනුව සැකසූ වාර්තාව හෙට (සඳුදා) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.


මෙහිදී ජනාධිපතිවරයා සහ එජාප ප්‍රබලයන් සාකච්ඡා කර ඇත්තේ ඉදිරි කාලයේ දේශපාලන සන්ධාන ගොඩ නැගීමට ඉඩ ඇතත් එහිදී එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් විය යුතු බවය.


මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා ජනාධිපති ධුරයට පත්වූයේ බහුතරයක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් නිසා හැමදෙනාම එකතු කරගෙන ඉදිරි කටයුතු සිදුවිය යුතු බවය.

ගජබා