විපක්ෂය එකම වේදිකාවට


 

බදු ඉහළ දැමීමත්, පළාත්පාලන මැතිවරණය කල් දමන බවට කළ ප්‍රකාශත් හේතුවෙන් ඉකුත් සතියේ දේශපාලන කරළිය දැඩි සේ ගිනියම් බවක් ගෙන තිබිණි. ඒ නිසා දේශපාලන කරළියේ බොහෝ දෙනා කතා කළේ මේ මාතෘකා දෙක ගැනය. ආර්ථික අර්බුදයෙන් නට්ටං වී සිටින ජනතාව මත මේ ආකාරයෙන් බදු පැනවීම ජනතාව උස්සලා පොළොවේ ගැසීමක් බව බොහෝ දෙනාගේ අදහස ය. ආණ්ඩුව සිටින්නේ බදු ඉහළ දැමීමේ තීරණය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ දැඩි තීන්දුවක බව පැහැදිලිය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කොමිෂන් සභාවත් පත්කරන බව සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ගණන අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ කළ ප්‍රකාශයක් ද දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ උණුසුම යන්නටත් මත්තෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊට එරෙහිව අවි අමෝරන්නට විය. ඒ සඳහා විපක්ෂයේ පක්ෂ එකතු කිරීමේ බර කරට ගත්තේ ඩලස් අලහප්පෙරුම මහතා ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමය. ඔවුන් ඉකුත් සඳුදා හැන්දෑවේ නාවල පිහිටි සිය කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය. ඩිලාන් පෙරේරා කීවේ ජනාධිපතිවරයාගේ මේ කතාවට එරෙහිව පහර දිය යුතු බවය. එය අනුමත කළ මහාචාර්ය චරිත හේරත් කීවේ ජනාධිපතිවරයා කියන විදිහට ප්‍රාදේශීය සභා කොමසාරිස් පාලනයට යට කරන්න ඉඩ දිය නොහැකි බව ය. ඒ අනුව මේ ප්‍රකාශයට එරෙහිව විපක්ෂයේ සියලු‍ පක්ෂ එකතු කර වෙනම සාකච්ඡාවක් කැඳවන්නට තීරණය විය. එය වැඩිය කල් නොදැමිය යුතු බව ඩලස් කීවේය. ඒ අනුව තීන්දු වූයේ බදාදා හැන්දෑවේ මොනාක් ඉම්පීරියල්හි දී මේ සාකච්ඡාව කැඳවන්නටය. පක්ෂයේ සියලු‍ පක්ෂවලට ඒ සඳහා ආරාධනා කරන්නට තීරණය වූ අතර, සාකච්ඡාව අතරතුර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පක්ෂ නායකයන් කිහිප දෙනෙකුටම දුරකථන ඇමතුම් දෙමින් මෙම සාකච්ඡාවට සහභාගි වෙන්නයි ආරාධනා කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දුන්නේ තමා කොළඹින් පිට රැස්වීම්වලට සහභාගි වී සිටින බැවින් පක්ෂයේ නියෝජිතයන් ඊට සම්බන්ධ කරන බවය. ඔහු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ආරාධනා කළේය. හෙතෙම සාකච්ඡාවට සම්බන්ධවීමට කැමැත්ත පළ කළේය.


සාකච්ඡාවට සහභාගි වෙන්න ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළ නමුත් අනුර දිසානායක කියා තිබුණේ, එම අදහසට කැමති නමුත්, පක්ෂයේ අනෙකුත් අයගේ අදහස් දක්වන්නට වෙලාව ප්‍රමාණවත් නොමැති බැවින් සාකච්ඡාවට සහභාගිවීමට නොහැකි වන බව ය. අනෙකුත් සියලු‍ පක්ෂවල නායකයන් පොරොන්දු වී තිබුණේ ඔවුන් හෝ නියෝජිතයන් ඊට සම්බන්ධ කරන බවය. ඒ අනුව සංවිධාන කටයුතු ඩිලාන්ට පැවරිණි.


යොදාගත් පරිදි මොනාක් ඉම්පීරියල්හි දී බදාදා හැන්දෑවේ පිරිස රැස්වූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන හිමි, මනෝ ගනේෂන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, එම්.ඒ. සුමන්තිරන්, අසංක නවරත්න, කුමාර වෙල්ගම, ජයන්ත සමරවීර, මුසම්මිල්, රාසමානික්කම් ඇතුළු පක්ෂ නියෝජිතයෝ සහභාගි වූහ. ඩලස්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු දොළොස් දෙනාගෙන් සහභාගි වූයේ පස්දෙනෙකි. අනිකුත් පක්ෂවලින් දෙතුන් දෙනෙකු පමණක් සහභාගී වී සිටියදී මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම ඊට සම්බන්ධ වීම නුසුදුසු බව ඔවුන්ගේ අදහස විය. ඒ අනුව ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා සාකච්ඡාවට සම්බන්ධ වූ අතර, පිරිස පිළිගන්න එකයි ඔවුන්ට සංග්‍රහ කරන්න එකයි මම බාරගන්නම් යැයි ඩිලාන් කීවේය. කණ්ඩායමේ අනෙකුත් මන්ත්‍රීවරු ඩිලාන් සමඟ එක්ව සංවිධාන කටයුතුවලට සම්බන්ධ වූහ. එහිදී සියලු‍ දෙනාම එකඟ වූයේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එක්ව සටන් කරන්නටය. ක්‍රියාමාර්ග තුනක් ගැනීමට තීරණය විය. පළමුවැන්න මැතිවරණය කල් දැමුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමය. දෙවැන්න මැතිවරණය කල් දැමීමට එරෙහිව එළියේ හඬ නැගීමය. තුන්වැනි ක්‍රියාමාර්ගය වූයේ පළාත් සභා මෙන්, මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණවලට මුවා වී පළාත් පාලන ඡන්දය අතුරුදන් කිරීමට ගන්නා උත්සාහය පරාජය කිරීමය
මේ හමුවෙන් පසුව පිරිස තේ පැන් සංග්‍රහය අතරතුරදී විදුලිය විසන්ධි විය. “දැන් කට්ටිය ටිකක් කළුවරේ ඉන්න ඕනැ”, ඩලස් කියද්දී, රංජිත් මද්දුම බණ්ඩාර කීවේ ‘ඔව්, ඒක තමයි ලංකාවේ හැටි’ කියා ය. අනතුරුව පිරිස පිටත් වන්නට සූදානම් වෙද්දී ඩලස් ඩිලාන්ට ස්තුති කළේ සංවිධාන කටයුතු හොඳින් සිදු කිරීම ගැනය. ‘වැඩේ නම් හරි හොඳයි. දැන් වැඩ ඉවර වෙච්ච නිසා ඩිලාන් පාන්දර වෙනකම් මෙහෙ ඉන්න ඕනැ වෙන එකක් නෑ.’ ඩලස් කීවේ ඩිලාන් මේවගෙ තැන්වල රාත්‍රිය ගත කරන හැටි හොඳින් දන්න නිසාය.

 

 

පොහොට්ටුව කළුතරින් වැඩ පටන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලට එතරම් සම්බන්ධ නොවූයේ, සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගනිමිනි. ඉකුත් සතිඅන්තයේ පොහොට්ටුව කළුතර ආසන බලමණ්ඩලය කැඳවා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි


රැස්වීම සංවිධානය කිරීමේ බර කරට ගෙන තිබුණේ පොහොට්ටුවේ ප්‍රබලයකු වන රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාය. නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පක්ෂයේ කැපීපෙනෙන නායකයෝ රැසක් ඊට සම්බන්ධ වී සිටියහ. ඔවුන් කියාසිටියේ මහින්දගේ නායකත්වයෙන් අලු‍ත් ගමනකට මුල පුරා ඇති බවය. විශාල පිරිසක් ඊට සහභාගී වී සිටි අතර, අර්බුද රැසක් මැද එතරම් විශාල පිරිසක් කැඳවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්විය.

දුමින්ද දිසානායක නැති ශ්‍රීලනිප සංවිධායක හමුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන් ගේ විශේෂ රැස්වීමක් පක්ෂ මූලස්ථානයේ දී ඉකුත්දා පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට ඒ සඳහා ආරාධනය කර නොතිබිණි. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා කතාබහ කළ අතර උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීහු මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ද විමසීමක් කළහ. ඔහු දුන්නේ අපූරු පිළිතුරකි. ‘මමත් දුමින්ද ඉන්නව දැක්කෙ නෑ. පක්ෂ මූලස්ථානයෙන් තමයි ආරාධනා කරන්නේ’. මෛත්‍රී ඇඟ බේරාගෙන කීවේය. එම රැස්වීමට පමණක් නොව පසුගිය කාලයේ තිබූ කිසිදු රැස්වීමකට දුමින්දට ආරාධනා කර නො තිබිණි. හේතුව ලෙස බොහෝ දෙනා කියන්නේ දුමින්ද ආණ්ඩුවට ගොස් ඇමැතිකමක් ගැනීමට සූදානමින් සිටින බව ය. ඒ නිසා දැන් සිටම ඔහුව පක්ෂයේ තනතුරට අදාළ කටයුතුවලින් ඉවත් කර ඇති බව දැනගන්නට තිබේ. සංවිධායකවරුන්ගේ රැස්වීමේ පිළිගැනීම කළේ පක්ෂයේ උපසභාපතිවරයකු වන ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාය. ඔහු සංවිධායකවරුන්ට කිව්වේ ‘හිතන්න එපා පක්ෂයේ අර්බුද ඇති වූ පළවෙනි අවස්ථාව මේක කියලා’ කියා ය. අර්බුද, ගැටලු මැදින් පක්ෂය ප්‍රබල වෙච්ච අවස්ථා තිබෙන බව ඔහු කීවේය. දයාසිරි කීවේ පක්ෂයේ තනතුරුවලින් අයින් කරපු අය පහුගිය කාලයේ පක්ෂයත් සමග සිටි අය නොවන බවය. සන්ධාන ගහන්න කලින් අපි ශක්තිමත් වෙන්න ඕනැ.


ඒ නිසා අපි දැන් සිටම ලෑස්ති වෙන්න ඕනැ මෛත්‍රී කීවේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සැමරුම වෙනුවෙන් පිරිත් පින්කමක් පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේ පැවැත්විණි. විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව වෙනත් පක්ෂ හා කණ්ඩායම්වලට බෙදී ගොස් සිටින මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ මූලස්ථානයට නැවත පැමිණීමය. පිරිත ආරම්භයටත් පෙර උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කල්තියාම පැමිණ සිටි අතර, ටික වෙලාවක් යද්දී මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම යන දෙදෙනා ද එතැනට පැමිණියහ. ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න ඇතුළු තවත් කිහිප දෙනෙකු ද පැමිණ සිටි අතර, මර්වින් සිල්වා හිටපු රාජ්‍ය ඇමැතිවරයා ද පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් විනෝදයෙන් ගත කරනු දක්නට ලැබිණි. මහාචාර්ය ජී.එල්. පීරිස් පිරිස සමග කතාබහ කරමින් සිටින අතරේ කීවේ ‘මෙතන ඉතින් අපිට අලු‍ත් තැනක් නෙමෙයි. පුරුදු තැන තමයි’ කියාය. පිරිස මෙසේ පක්ෂ මූලස්ථානයට එකතුවීම අලු‍ත් සන්ධානයක පෙරනිමිත්තක් දැයි බොහෝ දෙනා අතර කතාබහට ලක්ව තිබේ. ඉදිරියේ එන මැතිවරණවලට කණ්ඩායම් එක්ව අලුත් ලකුණක් යටතේ තරග කිරීමට ඉඩ ඇති බවද සමහරු කියති.

 

බන්දුල බලය බෙදයි

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන යටතේ රාජ්‍ය ඇමතිවරුන් සිව් දෙනකු පත් කර ඇත. ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සිරිපාල ගම්ලත්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්දුල යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනාය. බන්දුල ගිය සතියේ ගැසට් නිවේදන නිකුත් කරමින් ඔවුන් සිවුදෙනාටම අමාත්‍යාංශයේ ආයතන පැවරුවේය. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවත්, ලංගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන තුන පමණක් තමා යටතේ තබාගනිමිනි.

විපකෂනායක බලමණ්ඩල රැස්වීම්වල

විපක්ෂනායක සජිත් පසුගිය දින කිහිපයම ගතකළේ කොළඹින් පිට ය. මහියංගන, මහනුවර, අම්පාර වැනි ප්‍රදේශවල ඔහු බලමණ්ඩල රැස්වීම් රැසකටම සහභාගි විය.
සජිත් සහ බිරිඳ ජලනි විසින් සංවිධානය කරනු ලැබූ අටමහකුසල් සුපරිපූර්ණ කඨින පිංකම පැවැත්වුණේ මහියංගන රාජමහා විහාරයේ බැවින් ඒ කටයුතුවලට ද සහභාගි වීම පහසු වන පිණිස සජිත් එම ප්‍රදේශයට ආසන්න කොට්ඨාසවල බලමණ්ඩල රැස්වීම් සංවිධානය කරන්නට සංවිධායකවරුන්ට උපදෙස් දී තිබුණි.
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුදුම්බර, හේවාහැට, ගම්පොල වැනි ආසනවල බලමණ්ඩල ඇමතූ සජිත් අනතුරුව මහියංගනය, හසලක, වියළුව, අම්පාර වැනි කොට්ඨාසවල ද බලමණ්ඩලය ඇමතුවේය.


ඒ බලමණ්ඩල හමුවලට සජිත් සමග සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත, ඉම්තියාස්, විජිතමුනි, චමින්ද විජේසිරි, මයන්ත දිසානායක ඇතුළු පිරිසක් ද එක් වූහ.
සියලු‍ බලමණ්ඩල හමු අතිශයින් සාර්ථක වූ අතර ඒ සියල්ල ජනතාවගෙන් පිරී ඉතිරී තිබෙනු දැකිය හැකි විය. එනිසාම සජිත් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් සිටියේ ඉමහත් ප්‍රබෝධයකිනි.


බොහෝ රැස්වීම්වලට සජිත් ගයන්ත සමගම ආවේය.
“අපි දෙන්නම එකට පාර්ලිමේන්තු ආවේ. හැමදාම ගයන්ත කෙළින් තීරණ ගත්තා.”‍
සජිත් ගයන්ත පිළිබඳව එහෙම කිව්වේ ලක්ෂ්මන් සෙනෙවිරත්න සමගය.
“ප්‍රේමදාස ජනාධිපතිතුමා ගයන්තගේ හැකියාව මුල ඉඳලම දැක්කා. ඒක තමයි එච්චර පුංචි වයසකදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති කළේ.”‍ ලක්ෂ්මන් කීවේය.
“මේ ජනරැල්ල දැක්කමනම් ආණ්ඩුවට කලන්තේ හැදෙනවා.”‍
එහෙම කිව්වේ ලක්ෂ්මන් කිරිඇල්ල ය.


“මේවා දැකල තමයි එක එක උප්පරවැට්ටි දාන්නෙ මැතිවරණ කල් දාන්න.”‍
විජිතමුණි සොයිසා කීවේය.
“ඒකට ඉඩ දෙන්න බැහැ. එහෙම වුණොත් අපි පාර්ලිමේන්තුව ඇතුළේ වගේම එළියෙත් අරගලය පටන් ගන්නවා.”‍
සජිත් කීවේය.

ආදිවාසීන්ට සජිත්ගෙන් ලැබෙන තෑග්ග!

බලමණ්ඩල රැස්වීම් අතරතුර සජිත් දඹාන ආදිවාසී ගම්මානයටද ගියේය. එහි පැමිණි සජිත්ව මහත් හරසරින් පිළිගත්තේ වන්නිලඇත්තෝ විසිනි. ඔවුන් සමග බොහෝ වේලා කතා කිරීමට ද සජිත් අමතක නොකළේය. ඔවුන් මුහුණ දෙන ගැටලු‍ රැසක් පිළිබඳව එහිදී ආදිවාසීන් සජිත්ව දැනුවත් කරනු ලැබීය.


“අපි හරිත පක්ෂයක්. අපේ දේශපාලනය තියෙන්නේ සොබාදහමට කිට්ටුව. ආදිවාසීන් හැටියට ඔබතුමන්ලාට අවශ්‍ය නිදහස සහතික විය යුතුයි. අපි මේ රටේ හැම දෙනාටම දෑත් දිගු කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපි අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඔබතුමාලගේ ආදිවාසීන්ගෙන් කෙනෙක් පත්කිරීමට තීරණය කරනවා.”‍


සජිත් එහෙම පොරොන්දුවක් ලබා දුන්නේය. මේ වන විටත් ආදිවාසී තරුණයින් කිහිප දෙනෙක්ම සමගි ජන බලවේගය සමඟ එක්ව විවිධ කටයුතුවලට දායක වෙමින් සිටී.
“නායකතුමනි, අපේ ආදිවාසී තරුණයන් මේ වෙනකොට කැම්පස්වල ඉන්නවා. ඒ වගේම බොහෝ තැන්වල ඉන්නවා. හැබැයි ඔබතුමා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට ආදිවාසින් වෙනුවෙන් තමන්ගේ දේශපාලන පක්ෂයේ ඉහළම වගකීමක් දෙන්න තීරණය කළේ”‍ එහි සිටි ආදිවාසී තරුණයින් කිහිප දෙනෙක්ම සජිත්ට එහෙම කීවේය.

මහියංගනයේ නායක හාමුදුරුවෝ සජිත් ට කී දේ!

සජිත් ප්‍රේමදාසගේ සහ ජලනි ප්‍රේමදාසගේ සම්පූර්ණ දායකත්වයෙන් මහියංගනය අටමහකුසල් කඨින පින්කම පැවැත්විණි. විශේෂයෙන්ම ජලනි ප්‍රේමදාස ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙස වී කටයුතු කළාය.


“මට විශාල සතුටක් දැනෙනවා අට මහා කුසල් කඨින පුණ්‍යකර්මය කිසිම අඩුපාඩුවක් නැතිව, ඉතාම ඉහළින් ඉෂ්ට සිද්ධ කරන්න ඔබතුමන්ලාට පුළුවන්කම ලැබුණා. මේක මහා කුසල කර්මයක්. හැම දෙයක්ම අකුරට නූලට හොයලා බලලා ඉෂ්ට කළා. මේ තරම් වැඩ කන්දරාවක් තියෙද්දිත් විපක්ෂ නායකතුමාට පුළුවන් හැම වෙලාවෙම මේ ස්ථානයට පැමිණියා. ඇත්තටම රටකට අවශ්‍ය වෙන්නේ අවංකව වැඩ කරන නායකයෝ.”‍ උන්වහන්සේ පැවසූහ.


කඨින පිංකම නිමිති කොටගෙන පැවැති පරිත්‍රාණ ධර්ම දේශනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
ඒ අතර වසර දෙකකට වැඩි කාලයක් දේශපාලන වේදිකාව තුළ දකින්නට නොලැබුණු චරිතයක් ද පැමිණ සිටිනු දැකිය හැකි වීම සහ ඔහු ගැන අවධානය යොමු වීම විශේෂ විය. ඒ සුජීව සේනසිංහය.


පසුගිය මැතිවරණයෙන් පසුව සුජීව සක්‍රීය දේශපාලන කටයුතුවලට මැදිහත් වනු දක්නට ලැබුණේ නැත. නමුත් මහියංගනය කඨින පිංකමට පෙර දින පැවති පරිත්‍රාණ ධර්ම දේශනාවට ඔහු පැමිණ සිටීම කාගේත් විමසිල්ලට සහ උද්‌යෝගයට හේතු විය. “දැන් ඉතින් නිහඬව හිටියා ඇති. මේ තමයි හොඳම වෙලාව. ආපහු වැඩ පටන් ගමු”‍
සජිත් සුජීවට කීවේය. අනෙක් මන්ත්‍රීවරු ද එය අනුමත කළහ.


“සුජීව සාමාන්‍යයෙන් නියම වෙලාව බලලා, වැඩට බහින මනුස්සයා. ඔයා වගේ අය මේ වෙලාවේ ඉස්සරහට එන්න ඕනැ”‍ මහ ලේකම් රංජිත් කීවේය.
බොහෝ දෙනෙක් විශ්වාස කරමින් සිටින්නේ සුජීව සේනසිංහ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවය.

ජනතා ඒකරාශිවීමෙන් ජවිපෙ ප්‍රීතියෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්වරයෙක් වශයෙන් සිටි එරික් වීරවර්ධන මහතා පසුගිය සතියේදී ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට එක්විය. පක්ෂයේ මහනුවර කොට්ඨාස සභා රැස්වීමකට සහභාගි වූ එරික් වීරවර්ධන මහතා මේ රට ගොඩනැගීමට හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය බැවින් ඉදිරියටත් අවශ්‍ය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර සිටියේය. රටේ පවතින අදූෂිත බලවේගය ජාතික ජන බලවේගය වන බැවින් රටේ අනාගතය සාර්ථක කර ගැනීමට එම පක්ෂයට හැකි බවද ඔහු කීවේය.
ජාතික ජන බලවේගය මගින් ආරම්භ කරන ලද ප්‍රජා ගොවිපළවල අස්වැන්න නෙළීම පසුගිය සතියේදී සිදුවිය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත එම අස්වැන්න අවට දුගී දුප්පත් ජනතාව වෙත බෙදාදීම සිදුවිය.


මීට අමතරව පක්ෂයේ කොට්ඨාස සභා පිහිටුවීමේ වැඩ පිළිවෙළ සාර්ථකවීම පිළිබඳවද පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.


එහිදී මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසේකර මහත්මිය හා පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ කොට්ඨාස සභාවලට විශාල ජනතාවක් සහභාගි වන බවය. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ භේදයකින් තොරව ජනතාව කොට්ඨාස සභා වටා රොක්වන බවයි.

කරු අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් හමුවී විශේෂ කරුණු දැක්වීමක් සිදුවිය. ජනාධිපතිවරයා විසින් කරු ජයසූරිය මහතාට සහ වික්ටර් අයිවන් මහතාට ඒ සඳහා ඇරයුම් කර තිබිණි. කරු එම අවස්ථාවට සහභාගි වූයේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙසටය. නිමිත්ත වූයේ ජන සභා යෝජනාව පිළිබඳව පැහැදිලි කිරීමය. 


ජන සභා යනු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සංකල්පයකි. කරු එහිදී කැබිනට් අමාත්‍යවරුන් වෙත කරුණු පැහැදිලි කරමින් අවධාරණය කර සිටියේ ජන සභා වැඩ පිළිවෙළෙහි ඒකායන අරමුණ ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලියට පුරවැසියන්ගේ දායකත්වය ලබා ගනිමින් ඔවුන් බලගැන්වීම පමණක් වන බවය. දේශපාලන පක්ෂවල ඇඟිලි ගැසීම්වලින් තොරව ග්‍රාමසේවා මට්ටමින් සෑම ගමකම හා නාගරික ප්‍රදේශ මට්ටමින් ගොඩ නගන්නට යන ජන සභාවන්ට ඒ ඒ වසම්වල පදිංචි අවුරුදු 16ට වැඩි සෑම පුරවැසියකුටම සාමාජිකත්වය හිමිවනු ඇත. 


තනතුරු සඳහා තෝරාගනු ලබන්නේ ද පොදු සම්මුතියට ඉහළම අවස්ථාව ලබා දෙමිනි. ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එවැනි වැඩ පිළිවෙළකට එරෙහිවීමට කිසි හේතුවක් නැති බවය. පසුව පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය පළවී තිබේ.

 

ගජබා