යාපනේදී කුඹුරට බැස්ස ජනපති


‘‘නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකකුත් ඕනෑ’’ යැයි ගැමියන් අතර පවතින ප්‍රකට කියමනකි. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද කියන්නට සිදුව ඇත්තේ එවැනි කියමනකි. පළාත් පාලන මැතිවරණය ලබන මස 9 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කළේය. එහෙත් පවතින තත්ත්වය අනුව මැතිවරණය ලබන මස 9 වැනිදාට නොපැවැත්වෙන බව කෙරෙන කියන කතා බහ අනුව පැහැදිලිය.  


 මුදල් දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නේ ඉකුත් සතියේ ය. එය දේශපාලන කරළියේ එය මේ වන විට දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. මේ හේතුවෙන් ආණ්ඩුවට මෙන්ම, රජයේ මුද්‍රණාලයාධිපතිනියට ද ඇතැම් පක්ෂ මෙන්ම දේශපාලන කණ්ඩායම් ද චෝදනා එල්ල කරමින් සිටි. රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියන්නේ මුදල් නැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවය. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට කලින් මුදල් දීමේ ක්‍රමයක් මීට පෙර ද නොතිබූ බව ය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ පසුව මුදල් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ගිය සතියේ ලිපියකින් දැනුම් දුන්නේය.   


 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා යොදාගෙන තිබුණේ 22, 23, 24 සහ 28 යන දිනයන්ය. තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් බෙදා හැරීමට නියමිතව තිබුණේ පහළොස් වැනිදාය. ඒ වන විටත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නොතිබූ බැවිනි. ඒ අනුව තැපැල් ජන්ද ප්‍රකාශය කිරීම නියමිත පරිදි සිදු නොවනු ඇත. 


 මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව සිකුරාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කීවේ, කලින් යොදා ගත් පරිදි 22, 23, 24 සහ 28 ද යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදු නොවන බවය. 


ඉන් පැහැදිලි වන්නේ ලබන මස 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බව ය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර නොතිබීම හේතුවෙන් තැපැල් ඡන්දය තවදුරටත් කල් යාම මත, පළාත් පාලන මැතිවරණය නව වැනිදා පැවැත්වීම යථාර්ථයක් නොවනු ඇත. 


 නිදහස ජනතා සභාවේ දේශපාලන මණ්ඩලය ගිය සතියේ පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී රැස්වූයේ ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි. මහාචාර්ය ජී.එල්. පිරිස්, මහාචාර්ය චරිත හේරත් , ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගි වූහ. ඔවුන් ද දිගින් දිගටම කතා කළේ මැතිවරණය කල් යාම සම්බන්ධයෙනි. පෙනෙන්නට තිබෙන කරුණු අනුව මැතිවරණය කල් දමන්නට සිදු වනු ඇතැයි ඔවුහු කියා සිටියහ. ඉදිරියේ දී නිදහස් ජනතා සභාවේ දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළ අලු‍ත් මුහුණුවරකින් ජනතාව අතරට ගෙන යාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. 


 මේ අතර, නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඉකුත් අඟහරුවාදා රැස්විය. මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ආචාර්ය චරිත හේරත් ආචාර්ය නාලක ගොඩහේවා, තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල , විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ. පවතින තත්ත්වය අනුව ඡන්දය කල් දමන්නට ආණ්ඩුව ද මැදිහත් වී සිටින බව ඔවුන්ගේ අදහස විය. එසේ වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොම්ෂන් සභාවට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් ලිවීමටත් ආණ්ඩුවෙන් එල්ල වන බාධක හමුවේ වුවද ඡන්දය පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් බාර දීමටත් එහිදී තීරණය විය. මේ අතර කතාබහට ලක් වූයේ මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලා නිදහස් ජනතා සන්ධානයේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට භාර දීමට ය. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එතරම් බර තැබීමක් සිදු කර ඇති බවක් පෙනෙන්නට නොතිබිණි. ප්‍රධාන පෙළේ රැස්වීම් නොපැවැත්වුව ද අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පමණක් පවත්වන්නට එම පක්ෂයේ නායකයෝ පියවර ගත්හ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු‍ම පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල නගරයේ ප්‍රධාන පෙලේ හෝටලයක පැවැත්විණි. ඊට පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කීපදෙනකු සහභාගී වී සිටි අතර, එය සංවිධානය කරනු ලැබුවේ ශාන් විජය ලාල් ද සිල්වා මන්ත්‍රීවරයා විසිනි. 


 කටුනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළට ගිය අඟහරුවාදා රාත්‍රියේ හදිසියේ පැමිණි විශේෂිත ගුවන් යානා දෙකක් සම්බන්ධයෙන් ද ඉකුත් සතියේ දේශපාලන කරළියේ ද කතාබහට ලක්විය. ඇමරිකාවේ සිට ආ විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් යානා දෙකක් මෙසේ පැමිණි බවට ද වාර්තා විය. ගුවන් යානා දෙකකින් පැමිණි මෙම පිරිස විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් හෝ සාමාන්‍ය මගී පර්යන්තයෙන් නොපැමිණ භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයෙන් විශේෂ ආරක්ෂාවක් යටතේ පැමිණීම මේ කුතුහලයට හේතු විය. ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් ගුවන්තොටුපළ අවට ආරක්ෂාව ද දින කීපයක් තිස්සේ තර කර තිබූ අතර, එම ආරක්ෂාව එදින හැන්දෑවේ තවත් වැඩිකර තිබිණි. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ද වසා මෙම පිරිස පොලිස් වාහන රැසකින් ආරක්ෂාව සපයමින් කොළඹට රැගෙන ඒමද බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. එම විශේෂ පිරිස පසුව දා දහවල් එම යානා දෙකෙන්ම පිටත්ව ගොස් ඇති බවට ද කතා පැතිර ගිය නමුත්, පැමිණි පිරිස ලංකාවේ සිටිය දී යානා දෙක දිල්ලිය බලා පිටත්ව ගිය බවට වාර්තා විය. දැනගන්නට ඇති පරිදි මෙම පැමිණි පිරිස අතර සිටියේ, ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ජෙඩ්ඩිය පී. රොයල් මහතා ප්‍රමුඛ පිරිසක් බව දැනගන්නට ඇත. පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ද හමු වූහ. 


 මේ අතර, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉන්දියාවේ පැවැති එරෝ ඉන්දියා වැඩසටහනකට ගිය සතියේ සහභාගී විය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහනට එක් වූ ප්‍රමිත එරට ආරක්ෂක කැබිනට් ඇමැති රාජ් නාත් සිං ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ද හමු වී සාකච්ඡා කළේය.

 

යාපනේදී කුඹුරට බැස්ස ජනපති'

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට ඉකුත් සෙනසුරාදා එහි ගිය ජනපති රනිල් ප්‍රමුඛ පිරිසට අතරමඟදී මනරම් කුඹුරු යායකට ගොඩ වැදීමට ද අවස්ථාව උදා වූවේය. සංස්කෘතික ආයතනය විවෘත කිරීමෙන් පසු සංස්කෘතික සංදර්ශනය නැරඹීමට ද ජනපති රනිල්, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල, ජනපති ලේකම් සමන් ඒකනායක, උපදේශක රුවන් ආදී පිරිසක් සමඟ එක්ව සිටියෝය.   


සංස්කෘතික සංදර්ශනය නරඹමින් සිටින අතරතුර ජනපති ආරාධිතයන් දෙසට හැරී කීවේ “අපි මෙතන ඉන්න එක සාමාන්‍ය ජනතාවට මේක බලන්න බාධාවක්. ආරක්ෂකයන් නිසා ජනතාවට පහසුවෙන් බලන්න බෑ.” කියාය.   


එයින් පසු ඔවුන් එතනින් නික්මීමත් සමඟම ආරක්ෂක රැකවල් ඉවත්වීම නිසා ජනතාවට වේදිකාව ආසන්නයටම පැමිණ සංස්කෘතික සංදර්ශනය නැරඹීමේ අවස්ථාව උදා වූවේය. පසු දින කොළඹ බලා පිටත්වීමට සුදානම් වෙමින් සිටි ජනපතිට නිලධාරියෙකු පැමිණ කීවේ කිලිනොච්චි පන්නකාඩි ප්‍රදේශයේ හොඳින් පීදුනු කුඹුරු යායක් පවතින බවට වූ ආරංචියකි. ඔහු ඒ පණිවුඩය ගෙනාවේ එවැනි තැනක් ඇතිදැයි සොයා බලන ලෙස රනිල් කළ දැනුම්දීමකට අනුවය.   
ලද ආරංචියත් සමඟම ජනපති ඇතුළු කණ්ඩායම ක්ෂණිකව එම පෙදෙසට යාමට තීන්දු කළේය. කිසිවෙකු නොසිතු මොහොතක පැමිණි ආගන්තුකයා ගැන ජනතාවට ඇතිවූවේ මහත් උද්ෙ‌යා්ගයකි. කෙටි දැනුම්දීමකින් පිටත්වීම නිසා ආරක්ෂකයන් වැඩි ප්‍රමාණයක් නොසිටීමෙන් ජනපතිට ජනතාව අතරට තනිව ගොස් කතා බහ කිරීමේ අවස්ථාව උදාවූවේය.   


ගොවීන් හමුවට ගිය ජනපති රනිල් ගොවිතැන ගැන විමසා සිටියේය.” සර් අපිට අවශ්‍ය පහසුකම් දෙනවා නම් අපිට හොඳ අස්වැන්නක් රටට දෙන්න පුළුවන්.” ගොවීහු කීහ.   
“හරි මම පොහොර, බෙහෙත් වගේ අවශ්‍ය ඔක්කොම දෙන්නම්. ඔයාලා මට රටටම කන්න හාල් ටික දෙන්නකෝ.” ජනපති කීවේ සිනාසෙමිනි.   
ප්‍රදේශය ගැන ජනපති විස්තර කරද්දී ගොවී ජනතාව ද අසා සිටියේ පුදුමයෙනි. ජනපති එම ස්ථානයෙන් පිටත්ව ගිය පසු ඔවුනොවුන් කතාවූයේ ජනපතිට තමන්ට වඩා දැනුමක් ප්‍රදේශය ගැන තිබෙන බව කියමිනි.   


එහි සිටි වයස්ගත ගොවියෙකු කොළඹින් ගොස් සිටි පිරිස හමුවේ කීවේ “යුද්දෙට කලින් තිබ්බ ජනාධිපතිවරණයේදී කොබ්බෑකඩුව මහත්තයා ආවම අපි ඉල්ලු‍වේ කාරණා දෙකයි. එකක් අධ්‍යාපනය අනික කෘෂිකර්මාන්තය. අද වත්මන් ජනාධිපතිතුමාම අපි ළඟටම ඇවිල්ලා ඒක කියනවා.” කියාය.   
පොහොර ගැටලුව විසඳීමත් වී කිලොවක් වෙනුවෙන් රුපියල් 100 ක මුදලක් ගෙවීමටත් ජනපති රටටම පොරොන්දු වූවේ එහි සිටය. ඉරිදා සවස කොළඹ පැමිණි ජනපති රනිල් සඳුදා පෙරවරුවේම ගියේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙතය. ඒ ඇමරිකානු තානාපති කාර්යාලය සූදානම් කර තිබූ තරුණ හමුවකට සහභාගී වීමටය.   
ශ්‍රී ලංකාව හා ඇමරිකානු එක්සත් ජනපදය අතර සබඳතාවලට 75 වසරක් සැපිරීම වෙනුවෙන් ඇමරිකානු තානාපති කාර්යාලය නායකත්ව සංසඳ සමුළුවක් සංවිධානය කර තිබුණි. ඊට එක්වූ ජනපති තරුණයන් අමතා කතාවක් කිරීමෙන් පසුව සැවොම ඉදිරි කටයුතුවලට යාමට සුදානම් වූවත් ජනපති රනිල් තරුණයන්ට ඔහුගේ ප්‍රශ්න ඇත්නම් විමසන ලෙස දැනුම් දුන්නේය.   


තරුණ තරුණියන් රැසක් ජනපතිට ප්‍රශ්න ඉදිරිපත් කළ අතර ඔහු ඒ සියල්ලටම පරිපූර්ණ පිළිතුරු ලබා දුන්නේය. එයින් ද නොනැවති තේ පැන් සංග්‍රහය අතරතුර ද ඔහු තරුණ තරුණියන් අසලට ගොස් නොයෙක් කරුණු විමසුවේය. අරගලය ගැන මෙන්ම “සිස්ටම් චේන්ජ්” ගැන ද ඔහු තරුණ තරුණියන් හා අදහස් හුවමාරු කර ගනු ලැබීය.   
ඔහු සඳුදා දින කාර්යාලයට පැමිණෙන විට දහවලට ආසන්නව පැවැතුනි. එදින ඉතා කාර්ය බහුල දිනයක් වූවේ ඇමැති මණ්ඩල රැස්වීම ද පැවැති බැවිනි. ඔහු ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබූවේ ජනතාවට සහන රැසක් ලබාදීම වෙනුවෙනි. දිළිදු ජනතාවට සහල් කිලෝ 20 ක් කිලෝ දහය බැගින් මාස දෙකක් ලබාදීමටත්, ඖෂධ මිලදී ගැනීමට හා සේවක පාරිතෝෂික ගෙවිම වෙනුවෙන් රුපියල් බිලියන 19 ක් වෙන් කරමින් එම කැබිනට් පත්‍රිකාව යොමු කර තිබුණි.   
අඟහරුවාදා උදෑසන ආරක්ෂක මණ්ඩල හමුවට එක්වූ ජනපති සවස නැවත කාර්යාලය වෙත පැමිණියේය. එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩල නිලධාරීන් පැමිණ සිටියේ පක්ෂයේ ඉදිරි කටයුතු ගැන ජනපතිට දැනුම් දීමටය. පළාත් පාලන මැතිවරණය ගැන ද එහිදි කතා බහට ලක්වූවේය.   


කතාව ආරම්භයේදීම ජනපති කීවේ මැතිවරණ කටයුතුවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. “මැතිවරණ කොමිසම සල්ලි ඉල්ලනවා. අනෙක් පැත්තෙන් මුද්‍රණාලායාධිපතිනිය සල්ලි නැත්නම් ඡන්ද කාඩ් ගහන්න බෑ කියනවා.” මහලේකම් රංගේ කතාව ආරම්භ කළේය.   


“කොහොම වුණත් අපි දන්න තරමින් මහාභාණ්ඩාගාරයට දෙන්න සල්ලි නෑ. විපක්ෂයේ කණ්ඩායම්වලට තිබුණේ මුලින්ම ජනාධිපතිතුමා කියපු සභිකයෝ 8000 සියයට 50 කින් අඩු කරන යෝජනාව ක්‍රියාත්මක කරලා ඡන්දයකට යන්නයි.” ජාතික සංවිධායක සාගල කීවේ එවැන්නකි.   
“එහෙම වුනා නම් අගෝස්තු - ඔක්තෝම්බර් අතර කාලය තුළ මැතිවරණය ඉතාම හොදින් තියන්න තිබුණා.” නියෝජ්‍ය නායක රුවන් ද කතාවට අලගු තැබුවේය.   
“විපක්ෂයේ කොටස් දෙකක් ඡන්දය වෙනුවෙන් කඩා ගෙන ගියා. මෙතන ගොඩක් අයට ඕනෑ වුණේ ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙළ කඩාකප්පල් කරලා එතුමාව වට්ටන්න.” අකිල ද කතාවට එකතුවූවේ එලෙසිනි.   


“මම දැන් වුණත් ලැහැස්තියි පාර්ලිමේන්තුවේ සියලු‍ කණ්ඩායම් එක්ක එකතු වෙලා ආර්ථිකය ගොඩ දාලා සභික ගණන අඩු කරලා ඡන්දයකට යන්න. මම දැනුත් ආරාධනා කරනවා ඔක්කොටම මේ වැඩපිළිවෙළට එකතු වෙන්න කියලා.” ජනපති කීවේ බැරෑරුම්වය.   
“කොහොමවුණත් විපක්ෂ කණ්ඩායම් නිලධාරීන්ව බිය වද්දනවා. ඔවුන් කියන්නේ මුදල් ලේකම්, මුද්‍රණාලයාධිපති, මැතිවරණ කොමිසමේ අය ගෙනල්ලා ජනාධිපති කාර්යාලයේ ඉදන් මැතිවරණය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ කරනවා කියලා.” ශමල් සෙනරත් කියද්දී ජාතික සංවිධායක සාගල කීවේ නිලධාරින්ට ජනපති හමුවී තමන්ට තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට බාධාවක් නැති බවය.

   
කොළඹ ට්‍රේස් සිටි හි පැවැති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති හා පර්ෙ‌ය්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනපති රනිල් අපූරු කතාවක් කළේය. ඒ ඔහුට ලැබී තිබූ ඉල්ලීමක් ගැනය. රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කරන ලෙස ආචාර්ය සංගම් ඉල්ලා ඇති බව කියූ ඔහු වෘත්තීය සමිති කියනාකාරයෙන් ආණ්ඩුවට කටයුතු කළ නොහැකි බවද කියා සිටියේය. ඔහු සුහද හමුවේදි පවා කියා සිටියේ නිතී රීතිවලට පිටින් තමන් කිසිවක් නොකරන බවය. 
බදාදා සවස මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් මෙන්ම විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ද පැමිණ සිටියේ විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් ජනපති සමඟ සාකච්ඡා කිරීමටය. එහිදී ජනපති ඔවුන්ට උපදෙස් දුන්නේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට අවසර දී ඇති බැවින් ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසයි. 


එසේම අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමටත් පූජනීය ස්ථාන හා රාජ්‍ය ආයතනවලට සූර්ය පැනල සවී කිරීමට සහන දෙන ලෙසත් ජනපති නිලධාරීන්ට දැනුම් දුන්නේය. ආර්ථික කටයුතු හා රටේ මූල්‍ය තත්ත්ව සමාලෝචන රැස්වීම සෑම බ්‍රහස්පතින්දාවකම පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යාංශයේය. ඊට ජනපති ලේකම් සමන් ඒකනායක ද එක් වන්නේය. 
ඔහු ජනපති ලේකම් කාර්යාලය පසු පසින් මුදල් අමාත්‍යාංශය වෙත පා ගමනින් එනු දුටුවේ එම අවස්ථාවේ ජනපති මුණ ගැසීමට පැමිණ සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකය. ඔහු මුදල් අමාත්‍යාංශයේ පෝටිකෝව අසල රැඳි සිටිමින් ජනපති ලේකම්ගෙන් විමසුවේ “මොකද අද පයින්ම වාහනේ කැඩිලාද” යනුවෙනි. 
“මේ ටික එන්න මොකටද වාහනයක් ගන්නේ. මම පිටිපස්සෙන් එනවා. ඇවිදින එක ඇගටත් හොඳයිනේ.” කී ජනපති ලේකම් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සමඟ මුදල් අමාත්‍යාංශය වෙත පියනැගුවේය. 


ඔවුන්ගේ දෙබස අසා සිටි ආරක්ෂක නිලධාරීන් කතා වූවේ අතීතයේ සිටි නිලධාරීන් දෙස බලන විට වත්මන් ජනපති ලේකම් කොපමණ සරල කෙනෙක්ද යනුවෙනි. 
බ්‍රහස්පතින්දා ජනපති හමුවූ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම කතා බහ වූවේ මාධ්‍ය වාර්තා කර තිබෙන ඇමරිකානු ප්‍රබල ආරක්ෂක නිලධාරීන් පිරිසකගේ පැමිණීම ගැනය. ඇමරිකානු සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානියා ආවා කියලා තමයි කියන්නේ. ඒක ඇත්ත නම් ලංකාවට එහෙම කෙනෙක් ආපු පළමු අවස්ථාව.” ඇමැති බන්දුල කියද්දී එහි නිලධාරියෙකු කීවේ එහි සත්‍යතාවයක් පවතින බවය. 


මේ සියලු කතා සිනාසෙමින් අසා සිටිය ද ජනපති රනිල් කිසිවක් කීවේ නැත. ආර්ථිකය ගැන හා විදුලි බිල ගැන කතා කරද්දී ජනපති කීවේ “රටේ ජනතාව විඳින ආර්ථික අපහසුතාව මට හොඳට තේරෙනවා. ඒත් මේ ප්‍රශ්න හැදුවේ මම නොවෙයි හිටපු ජනාධිපතිතුමා. ඒ නිසා මට රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා.” කියාය. 

 

සජබෙන් බ්ලු ප්‍රින්ට්

මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව මුලින්ම හෙළිදරව් කළ දෙදෙනකු සිටියේය. 

 
එක් අයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය. අනිත් කෙනා විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ය. ඒ දෙදෙනාම මේ අවදානම මුලින්ම රටට කීවේ මීට වසර දෙකකට පමණ පෙර සිටය.   


එදා විපක්ෂ නායක සජිත් ඒවා කියන විට ඇතැම්හු උපහාසයෙන් සිනාසුනහ. ඔවුන් කීවේ සජිත් දන්නා ආර්ථික විද්‍යාව කියලා ය. හර්ෂ ද සිල්වා මේ අනතුර ගැන කියන විට සමහරු ඔහුට ද සිනාසුනහ.   


එහෙත්, සිනාසුණු සියලු‍ දෙනාට අඬන්නට වෙමින් ඉතිහාසයේ පළමු වතාවට රට බංකොලොත් වී ඇතැයි සජබෙ කියයි.   
කයිවාරු ගැසීමෙන් ඵලක් නැත. ඒවායෙන් ලැබෙන ප්‍රතිඵලයක් ද නැත. විසඳුමක් පේන තෙක් මානයක නැති රටට උත්තරයක් අවශ්‍ය බව සමගි ජන බලවේගය තේරුම් ගත්තේය.   
ඒ උත්තරය රැගෙන පසුගියදා සමගි ජන බලවේගය සුවිශේෂී වැඩසටහනක් එළිදැක්වීය. 

 
එය, බ්ලු ප්‍රින්ට් නම් විය. “The Blue Print” ආර්ථික සමුළුව නමින් එය හැඳින්විය. ආර්ථික සමාජ දේශපාලනික වශයෙන් සෑම අතින්ම බැට කන සියලු‍ ප්‍රජාව මේ පිළිබඳව විශාල උනන්දුවක් දැක්වීය.   


‘ද බ්ලු ප්‍රින්ට්’ ආර්ථික සමුළුව පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේ දී ය. රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, විද්වතුන් දහසක පිරිසක් ඊට සහභාගි වෙතැයි අපේක්ෂා කළ ද 1500කට අධික පිරිසක් පැමිණීම හේතුකොටගෙන හිල්ටන් හෝටලයේ යාබද ශාලාවක් ද ආර්ථික සමුළුවට විවෘත කිරීමට සිදුවිය.   
මෙහිදී ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසර සංවර්ධනය වෙනුවෙන් වෙන සැලැස්ම එළිදැක්වීම ද සිදුවිය.   
 කබීර් හෂීම් විසින් පළමු අදහස් දැක්වීම සිදු කළ අතර වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට පසුබිම් වූ හේතු කාරණා සියල්ල ඔහු එකිනෙක පැහැදිලි කළේය.   
2004 දී තීරණාත්මක ලෙස අගාධයකට යන්නට පටන් ගත් රටේ ආර්ථිකය මහින්ද රාජපක්ෂ යුගය තුළ අධික ණය බරක් සමග ඛේදවාචකයකට තල්ලූ වූ හැටි ඔහු එකිනෙක විස්තර කළේය.   


මේ වන විට ලෙබනනය ආර්ථික වශයෙන් ඉතාමත් අර්බුදකාරී තත්වයකට පැමිණ සෞඛ්‍ය පහසුකම් නොමැතිව ආහාර හිඟ තත්වයකට පත්ව ඇති බවත් ලංකාව එවැනි තත්වයකට පත්විය යුතු නැති බවත් හර්ෂ ද සිල්වා පැවසීය.   


“රට ගොඩනැගීමට අපි වැඩපිළිවෙළක් දුන්නා. එම වැඩපිළිවෙල අදටත් වලංගුයි. අපේ සැලැස්ම පිළිවෙළක් සහිතව ක්‍රමවත්ව ඉදිරිපත් කළා”   
සියල්ලටම පෙර දූෂණය නැවැත්වීමට සමගි ජන බලවේගය විදියට හඬ නැගු බව හර්ෂ ද සිල්වා පැවසීය.   


ව්‍යාපාරිකයෙක් විදියට බඩු ගෙන්වනකොට බැංකුවට ගිහින් LC එකක් ඇරලා භාණ්ඩ නිෂ්කාශනය කරගන්නට රේගුවට යනවා. කතාවේ ඉතුරු ටික කියන්න ඕනෑ නෑ. රේගුව නිෂ්කාශන මධ්‍යස්ථානය බවට පත්වෙනවා පමණයි. සුරාබදු සහ දේශීය ආදායම් ඒ හා සමානයි, ඒවාට තාක්ෂණය භාවිත කළ හැකිය, මේවා අලු‍ත් අදහස් නොවේ, වෙනත් රටවල් මේවා කර තියෙනවා. තක්සේරු කිරීම එක් ස්ථානයක දී සිදු කර ගෙවීම් සිදු කරනු ලබන්නේ මධ්‍යගත ක්‍රමය මගිනි. එවිට නිලධාරීන් සමඟ අන්තර්ක්‍රියාව අවම වේ. ගෙවීම් මධ්‍යගතව සිදු කිරීමෙන් පසුව රේගුවෙන් භාණ්ඩ නිෂ්කාශනය කළ හැකි උපදෙස් රේගුවට නිකුත් කරනවා”‍ ඉරාන් වික්‍රමරත්න පැවසීය.   


”‍අපි දකින අඩුපාඩුවක් නම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූවාට මදි. ප්‍රතිපත්ති අධීක්ෂණය කරන්න ඕනෑ. ඒ සඳහා මම සඳහන් කළ මේ කණ්ඩායමට අමතරව තරුණ වෘත්තීය වේදීන් දහස් ගණනක් ඉන්නවා. මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය පාලන ගැටලු‍වක්. ඒ ප්‍රතිසංස්කරණවලට සූදානම්. අපි අනුගමනය කරන්නේ නිදහසෙන් පසු පක්ෂ ක්‍රියාත්මක කළ සුපුරුදු ගමන් මාර්ගය නොව මැද මාවතක්. අවසාන වශයෙන් මේ කතා කරන සියලු‍ම දේ කතාවට පමණක් සීමා වුවහොත් මෙය තවත් එක් කතාවක් විතරයි. කතාව ක්‍රියාවට නැංවීමට අප සතුව වඩාත් ශක්තිමත් උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා. 

කණ්ඩායමකින් රට දිනවන හැටි  සජිත් කියයි!

සජිත් ප්‍රේමදාස දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.   


එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදියෙක් අවසානයේ දී සජිත්ගෙන් මෙහෙම ඇසුවේය.   


‘අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ රට අගාධයට යනවා. මෑතකදී ගත්තොත් මහින්දටත්, ගෝඨාභයටත්, රනිල්ටත් මේ අර්බුදය ජය ගන්න බැරි වුණා. එහෙම එකේ ඔබ කොහොමද මේ අර්බුදය ජය ගන්නේ?”‍ ඊටත් සජිත් දුන්නේ ඉතාම කෙටි නිරවුල් උත්තරයකි.   


‘එයාලට හිටියේ එයාලා පමණයි. ඒ හැමෝම තනි තනියම උත්සාහ කළා. කාටවත් තනියම කිසිවක් කරන්න බැහැ. මට කණ්ඩායමක් ඉන්නවා. එක් කණ්ඩායමක් සමග මේ රට ගොඩ දාන්න පුළුවන්”‍ ඔහු කීවේය.   


ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අත්හිටුවීමට තීන්දු කිරීමේ පුවත සැලවීමත් සමඟ සජිත් වහාම නිවේදනයක් නිකුත් කළේය.   
‘ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව වහාම විපක්ෂයේ සහ ප්‍රගතිශීලී බලවේග එකතු විය යුතු බව එහිදී සජිත් අවධාරණය කළේය.   
‘මැතිවරණයක් මුලින්ම ඉල්ලු‍වෙත් අපි. මැතිවරණයක් ඉල්ලලා නඩු දැම්මෙත් අපි. මැතිවරණයක් ඉල්ලලා උද්ඝෝෂණ කළෙත් අපි.”‍   
නලීන් බණ්ඩාර කීවේය.   


‘ඔව්, එහෙම මැතිවරණයක් ඉල්ලපු නැති කණ්ඩායම් අතර තියෙන්නේ යූ.එන්.පී එකයි, පොහොට්ටුවයි ජවිපෙ යි තමා”‍   
ජේසී එහෙම කීවේය.   


‘ඔව්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් එක්ක සෙල්ලම් කරන ආණ්ඩුවට විරුද්ධව නඩුවක් දාන්නවත් එදා ජේවීපී එක ආවෙ නෑ. හැබැයි එයාල කියනවා, එයාලා කියන වෙලාවට එළියට බහින්න ලු‍. තැනයි දවසයි එයාලා කියනවලු‍”‍ එහෙම කීවේ මරික්කාර් ය. 

 
‘කවුරු ඔළු‍වෙන් හිටගෙන කීවත් මුළු රටම දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය එක්ක කියලා. මවලා තියෙන රැල්ල මැතිවරණයක් තිබ්බොත් එළිදරව් වෙනවා කියලා එයාලා දන්නවා”‍ තුෂාර ඉඳුනිල් කීවේය.  

ආණ්ඩුවේ කටයුතු ගැන  ජාත්‍යන්තරයට පැමිණිලි

ශ්‍රී ලංකා රජය ගනු ලබන තීන්දු-තීරණ නිසා ජනතාව අසීරුවට පත්වී ඇති ආකාරය පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීමට පසුගිය සතියේ රැස් වූ ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේය.   


ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී රැස්වූ ජාතික ජනබලවේගයේ මධ්‍යම කාරක සභාව පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමට රජය අනුගමනය කරනු ලබන උපක්‍රම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. මේ තත්ත්වයට විරෝධය දක්වා රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට මෙහිදී තීරණය කළේය.   
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මැතිවරණය නොපැවැත්වුවහොත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. මේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කළ යුතු බව විජිත හේරත් මහතා යෝජනා කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, මානව හිමිකම් සංවිධානය ඇතුළු සංවිධාන මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි. ඒ අනුව ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පිරිසක් ගිය බ්‍රහස්පතින්දා මානව හිමිකම් සංවිධානයට ලිපියක් ඉදිරිපත් කළේය. මීට අමතරව එදිනම සවස බිමල් රත්නායක, සුනිල් වටගල යන මහත්වරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා හමුවී රටේ තත්ත්වය පෙන්නුම් කළහ.   


ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභාවේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවයි. ඒ සම්බන්ධයෙන් මැදිහත්වී ක්‍රියාකරන ලෙස පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා නීතිඥ සුනිල් වටගල මහතාට බාර කළේය.   
මෙහිදී බිමල් රත්නායක මහතා අදහස් දක්වමින් ජාත්‍යන්තරව සිටින ශ්‍රී ලාංකිකයන් පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ උනන්දුවෙන් සිටින බව ප්‍රකාශ කළේය. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට එවිය හැකි බව ඔවුන් පෙන්වාදී තිබෙන බවද බිමල් රත්නායක මහතා කීය.   
මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලබන 17 හා 18 දිනවල උතුරේ සංචාරයක යෙදීමට නියමිතව ඇත.   
ලබන 17 වැනිදා යාපනය, කිලිනොච්චිය ප්‍රදේශවලද 18 වැනිදා වැලිඔය සම්පත් නුවර හා වවුනියාවේද ජනතාව ඇමැතීමට නියමිතය.   

 

විය හැකි දෙයක් ගැන කරුගෙන් පුරෝකථනයක්

පළාත් පාලන මැතිවරණය නියමිත දිනයටම පවත්වන්නේ ද? නැත්ද? යන්න මේ දක්වාම කිසිවෙක් හෝ නිශ්චිතව කියා නැත. පළාත් පාලන වැනි මැතිවරණයකින් රටේ පාලනයෙහි හෝ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයෙහි වෙනසක් ඇති නොවෙතත් නියමිත දිනයට එම මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වුවහොත් රට තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකි බව කරු ජයසූරිය විසින් පෙන්වා දී ඇත. ඔහු එහිදී වඩාත්ම බිය පළකර ඇත්තේ ඒ හරහා රට තුළ අරාජික තත්වයක් ඇතිවේද යන්න ගැනය. කරු මේ බව කියා ඇත්තේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි. එහිදී රටේ සියලුම දේශපාලන බලවේගයන්ගෙන් ඔහු ඉල්ලා ඇත්තේ රට එවැනි තැනකට තල්ලු‍ නොකරන ලෙසටය.   
කරු එහිදී වැඩිදුරටත් කියා ඇත්තේ මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්විය යුතු යැයි තමන් ද පිළිගන්නා බවය. එසේ නමුත් රටට අනවශ්‍ය බරක් පටවමින් පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අටදහසක් තරම් ප්‍රමාණයකට වැඩිකිරීම ගැන තමන් නියෝජනය කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිදු එකඟත්වයක් පළනොකරන බව ද ඔහු එහිදී කියා ඇත.   


එමෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය බලය නිවැරදිව අභ්‍යාස වන හා ඒ මගින් ප්‍රකාශ වන ජනමතය හරහා යහපත් ආණ්ඩුකරණයකට අවස්ථාව සැලසෙන මැතිවරණයකට කල් නොයවා යොමුවිය යුතු බව ද කරු එහිදී කියා තිබේ.  

 

ගජබා