මෛත්‍රී - විමල් - ඩලස්ලා - ගොඩවුණේ ගොඩහේවාගේ හෙලිකොප්ටරයට


හමුදාව ලක්ෂයකට අඩුකරයි

මෙරට සමස්ත හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය දක්වා අඩුකිරීමට රජය තීරණය කර ඇත. දැනට ලක්ෂ දෙකකට මදක් වැඩි සංඛ්‍යාවක් හමුදාවල සේවය කරති. නව තීන්දුව අනුව මෙම වසර අවසන් වෙද්දී හමුදා භටපිරිස් ප්‍රමාණය එක්ලක්ෂ තිස්පන්දහසකට සීමා වන අතර 2030 වන විට ලක්ෂය දක්වා අඩුවනු ඇත.


මේ අනුව ඉදිරියේදී විහාරස්ථානවල ඉදිකිරීම්, මහමාර්ග නඩත්තුව ආදියට හමුදා සෙබළුන් නොයෙද වේ. ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ හමුදාමය කටයුතු සඳහා පමණක් හමුදා සාමාජිකයන් යෙදවෙන බවය. 1983 මෙරට සිටියේ හමුදා සාමාජිකයන් අතළොස්සකි. 1983 දී එල්ටීටීඊ ක්‍රියාකාරකම් වර්ධනය වෙත්ම ක්‍රමයෙන් හමුදා සාමාජිකයන් ගණන ඉහළ නැංවිණි.


රාජ්‍ය සේවය රජයට බරක් හෙයින් රජයේ ​සේවකයන් සංඛ්‍යාව අඩුකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙන අතර හමුදා සාමාජිකයන් ගණන අඩු කරන්නේ ද එම අයිඑම්එෆ් යෝජනා අනුවය.


කැබිනට් මණ්ඩලය ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධ තීන්දුව එදින ගැනීමට නියමිතව තිබුණු නිසා එදින කැබිනට් රැස්වීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණි. ඒ අනුව විදුලි බිල සියයට 66 කින් ජනවාරි මාසයේ සිට වැඩි කිරීමේ යෝජනාව කංචන විජේසේකර ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. විදුලි බිල වැඩි කිරීමට හේතු සාධක කාරණා ද ඔහු දිගින් දිගටම විස්තර කළේය. ජනාධිපතිවරයා ද කීවේ විදුලි බිල වැඩි කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවය. ඒ අනුව විදුලි බිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.


එහෙත් එය සම්බන්ධ තීන්දුව ක්‍රියාත්මක වන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලැබෙන අනුමැතිය අනුවය. විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය මෙතෙක් ලැබී නැත. ඒ අනුව එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?, කොයි ආකාරයෙන් ද? යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුවක් නොමැත.
මේ අතර පොහොට්ටුවේ ජගත් කුමාර මන්ත්‍රීවරයා විදුලි බිල වැඩි කිරීමට ප්‍රසිද්ධියේම විරෝධය පළ කළේය. ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීම සඳහා කටයුතු කරන බවය. තමා එම යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බව ද ඔහු කීවේය.

මත ගැටුම් මැද කරළියට ආ නව සන්ධානය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගයත් තවත් පක්ෂ හා කණ්ඩායම් කිහිපයකුත් එක්ව පිහිටුවා ගනු ලැබූ නිදහස් ජනතා සන්ධානය නමැති නව දේශපාලන සන්ධානය ගිය සතියේ කරළියට පැමිණියේය. අනුර යාපාගේ කණ්ඩායමත් ශ්‍රී ලංකා මහජන පක්ෂය හා කණ්ඩායම් කිහිපයකුත් එම නව සන්ධානයේ කොටස් කාරයන් බවට පත්ව සිටි. සන්ධානය පිහිටුවීම සම්බන්ධ සාකච්ඡා වට ගණනාවක් පසු ගිය සතිය පුරාම මෛත්‍රිගේ නිල නිවසේත්, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේත් කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ හා තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදීත් පැවැත්විණි. සන්ධානයේ නම සම්බන්ධයෙන් මෙන්ම එහි ලකුණ සම්බන්ධයෙන් ද දිගින් දිගටම විවිධ මත ගැටුම් ඇති විය. ආචාර්ය නාලක ගොඩහේවාගේ නිදහස ජනතා පෙරමුණ සන්ධානය සඳහා යොදා ගැනීමට අවසානයේ තීන්දු විය. ලකුණ සම්බන්ධයෙන් ද ගැටලු‍වක් මතු විය. මේ අතර කතා බහට පැමිණියේ ලකුණ ලෙස පහන යොදා ගැනීමටය. එය වාසුගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණත් ලංකා සමසමාජ පක්ෂයත් එක්ව පිහිටුවා ගනු ලැබූ සමාජවාදී ජනතා පෙරමුණේ ඡන්ද ලකුණ ය. මේ අවස්ථාවේ ඡන්ද ලකුණ වෙනස් කිරීම ගැටලු‍වක් විය හැකි බැවින් අවසානයේ තීන්දු වූයේ ගොඩහේවාගේ පක්ෂයේ ලකුණ වන හෙලිකොප්ටරය ලකුණින් මැතිවරණයට තරග වැදීමට ය. නව සන්ධානයේ ලේකම්වරයා කවුරුන්ද යන්න ගැන ඊළඟට කතාබහ ඇතිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම කියා සිටියේ සන්ධානයේ ලේකම් ධූරය එම පක්ෂයට අවශ්‍ය බවය. ඒ සම්බන්ධයෙන් ද විවිධ මත ගැටුම් ඇති වූ අතර, අවසානයේ තීන්දු වූයේ තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයා සන්ධානයේ නව ලේකම්වරයා ලෙස පත් කරන්නට ය.


මේ පිළිබඳ අවසන් සාකච්ඡාව පැවැත්වුණේ සඳුදා හැන්දෑවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය යන පක්ෂවල නායකයෝ මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපාගේ කණ්ඩායම ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ. හවස පටන් ගත් සාකච්ඡාව රාත්‍රී නවය පමණ වන තෙක් පැවැත්විණි. එහිදී තීරණය වූයේ නව සන්ධානය බදාදා පස්වරුවේ පිහිටුවා ගැනීමටය.


ඒ අනුව නව සන්ධානය සඳහා ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී බදාදා පස්වරුවේ උත්සවාකාරයෙන් සිදුවිය. ඊට මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල්. පීරිස්, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල, වෛද්‍ය ජී. වීරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ශාන් විජයලාල් ද සිල්වා, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


නව සන්ධානයට චම්පික රණවක මහතාගේ 43 වැනි සේනාංකය සහ කුමාර වෙල්ගම මහතාගේ නව ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂය එක්කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. සාකච්ඡා පැවැත්වුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේය. අවසානයේ දී වෙල්ගම කියා තිබුණේ ඔවුන් මැතිවරණයට වෙනම තරග කරන බව ය. චම්පික රණවක මන්ත්‍රීවරයා ද හේතු කීපයක් මත සන්ධානයට එක් වීම කර හැරිය බව වාර්තා වේ.


නව සන්ධානයේ විධායක සභාව 61 දෙනකුගෙන් සමන්විතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 15 ක් ද, නිදහස ජනතා සභාව ට 15 ක් ද උත්තර සභාගයට පහළොවක් ද හිමිව ඇති අතර, මහජන පක්ෂයට පහක් ද, අනුර යාපා කණ්ඩායමට පහක් සහ නාලක ගොඩහේවාගේ පක්ෂයට 5 ක් ද වශයෙන්, විධායක සභික ධුර හිමිව ඇත.

 

 මැතිවරණය ගැන මහින්ද,  බැසිල්, ප්‍රසන්න හදිසි හමුවක

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් කිහිපදෙනෙකු අතර ඉකුත් අඟහරුවාදා නෙලු‍ම් මාවත පක්ෂ කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව පැවැත් වුණේ බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතරය. ටික වෙලාවක් යද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට පැමිණියේය. පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සහ එහි අභියෝග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති අතර, එහිදී කතාබහ වූ දේවල් ප්‍රසිද්ධ නොකිරීමට ද තීරණය වී ඇත.


මේ අතර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පොහොට්ටුව මාතර දිස්ත්‍රික්කය සඳහා වැඩි බරක් තබා ඇති බව වාර්තා වේ. එහි මැතිවරණ ව්‍යාපාරය දැන් සිටම ආරම්භ කර ඇති අතර, පොහොට්ටුවේ කාර්යාලයේ බොහෝ දෙනකු මාතරට දැන් සිටම ගොස් සිටින බව දැනගන්නට ඇත. ඉකුත් මහ මැතිවරණයේදීද පොහොට්ටුව අනෙකුත් දිස්ත්‍රික්කවලට වඩා වැඩි බරක් මාතරට දමා තිබිණි.

ඡන්දය ගැන ජනපති කී කතාව

එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව සමඟ එක්ව තරග කරන බවට ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනා මේ ගැන විමසන්නට වූවේ ජනාධිපතිගෙනි.
‘ඔය ගැන මගෙන් අහන්න එපා. මම මැතිවරණයෙන් ඈත් වෙලා ඉන්නේ. මට ඊට වඩා වැඩක් තියෙනවා කරන්න. ආර්ථිකය බොහොම අමාරුවෙන් යන්නේ. ඒක විසඳා ගත්තේ නැත්නම් අපි ඔක්කෝටම ගිලෙන්නයි වෙන්නේ.’ ජනපති දුන්නේ සැර පිළිතුරකි.


සඳුදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී ද මැතිවරණය ගැන කතා බහක් ඇතිවිය. ඔවුන් බොහෝ දෙනෙක් විමසා සිටියේ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැනය.
‘සර් අපි මැතිවරණයට බය හින්දා කියනවා නෙමෙයි. ඒත් මැතිවරණ කොමිසම වැඩ කරන විදිය ගැන ගැටලු තියෙනවා. මෙහෙම ගියොත් මැතිවරණ කොමිසම ගැන බලාපොරොත්තු බිඳ වැටේවි’ ඇමැති ප්‍රසන්න සිය පැනය ඉදිරිපත් කළේ එලෙසිනි.
‘මැතිවරණයට අදාළ පූර්ව කටයුතු කිසිවක් මැතිවරණ කොමිසම කරලා නෑ. පවතින ප්‍රශ්න ගැන නීතිපති උපදෙස් ගන්න කිව්වට මම දන්න තරමින් තවම ඒක කරලාත් නෑ.’ ඇමැති මනූෂ ද තර්ක කළේය.


‘නෑ මාව හම්බවුණු වෙලාවේ එයාලා නීතිපති උපදෙස් ගන්නවා කිව්වා. ජනපති රනිල් කොමිසම පැත්තේ සිට ගත්තේය.
‘සර් ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නෑ. ඡන්දේ ඕනෑ කියන දේශපාලන පක්ෂත් උඩින් ඉල්ලුවාට යටින් ඡන්දේ තියනවාට කැමැති නෑ.’ ඇමැති බන්දුල කියද්දී සැවොම සිනාසුනහ.
‘කොහොම වුණත් පූර්ව මැතිවරණ කටයුතු නොකිරීමත්, නීතිපති උපදෙස් නොගැනීමත් ගත්තම තේරීම්භාර නිලධාරීන් ඇප මුදල් බාර ගැනීම නීති වි​රෝධියි.’ එහි සිටි නිලධාරියෙක් නීති තර්කයක් මතු කළේය.


ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇමැති මණ්ඩලය පසුව නීතිපති උපදෙස් ගන්නා තෙක් ඇප මුදල් බාර නොගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දීමට තීන්දු කළේය. එම තීන්දුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමුකර තිබුණි. පසුව නීතිපති උපදෙස් ගත් බවට වාර්තා වීමත් සමඟ රාජ්‍ය පරිපාලන ලේකම් විසින් එම ලිපිය නැවත කැඳවා ගෙන තිබුණි.
බ්‍රසීලයේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධි අරගලය හෙළා දකිමින් තානාපති කාර්යාලය හරහා පණිවුඩයක් නිකුත් කිරීමට ද ජනපති රනිල් කටයුතු කළේ මෙරට වූ දේශපාලන අරගලය ද සිහිපත් කරමිනි.


ඊට අමතරව නිදහස් දින සැමරුම ගැන ද විශේෂ සාකච්ඡාවක් පැවැති අතර ඊට​ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ඇතුළු නිලධාරිහු කණ්ඩායමක් සහභාගි වී සිටියහ.
නිදහස් සැමරුම ගැන මෙහිදී සාකච්ඡා පැවැත්වූ අතර මෙයට වැය වන වියදම පිළිබඳව එහිදී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අශෝක ප්‍රියන්ත ඇමැතිවරයා කීවේ මෙයට යම් වැය බරක් පැවැතිය ද සංචාරක ආකර්ෂණයට මෙය පිටුවහලක් වනු ඇති බවය. ජනපති රනිල් ද සිහිපත් කළේ නත්තල් සමයේ කළ සැමරුම් හේතුවෙන් ලන්ඩනය පෙබරවාරි මාසයේ මෙරට සංචාරය සුදුසු රටක් ලෙස නම්කොට ඇති බවය.


බදාදා දිනය ජනපතිට ඉතා කාර්ය බහුල දිනයක් වූ අතර එදින පෙරවරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලින් ලොබකර් මුණගැසී සාකච්ඡා කළේය. ඊට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ජනරාල් දිනුක් කොළඹගේ එක්ව සිටියහ.
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටේසි ෆුජිමරු ඇතුළු ව්‍යාපාරික කණ්ඩායමක් එදින පස්වරුවේ මුණ ගැසී දෙරට අතර නව ආයෝජන අවස්ථා ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එදින සන්ධ්‍යාවේ ජනපති රනිල් කිංග්ස්බරි හෝටලය වෙත ගියේ කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ කාන්තා ව්‍යවසායකයන් ඇගයීමේ උත්සවයට සහභාගි වීමටය.


ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මැති ඇමැතිවරු පිරිසක් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශය වෙත පැමිණ සිටි අතර ඔවුන් මැතිවරණ කොමිසමේ කාර්යයන් ගැන ජනාධිපති දැනුම්වත් කිරීමට ද එහිදී කටයුතු කර තිබුණි.
ජනපති එදින දවසම මුදල් අමාත්‍යාංශයේ ගත කළ බැවින් එහි නිලධාරීන් ද මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ. මැතිවරණ කොමිසමේ සභාපති සහ කොමසාරිස් ජනරාල් මුණ ගැසීම ගැන මැති ඇමැතිවරුන් මෙහිදී විමසා සිටියේ මුදල් අමාත්‍යාංශ නිලධාරින්ගෙනි. ඊට ඔවුන් දුන් පිළිතුර වූයේ පවතින ආර්ථික අපහසුතා ගැන ඔවුන් මැතිවරණ කොමිසම දැනුම්වත් කළ බවය.


රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් සේම සමෘද්ධි දීමනා ගෙවීමද ගැටලු සහගත තත්ත්වයක පවතින බව තමන් දැනුම්වත් බවත් නැවතත් සභිකයන් 8000ක් නඩත්තු කිරීම ද ගැටලුවක් බව පෙන්වා දුන් බවත් ඔවුන් මැති ඇමැතිවරුන්ට කීවේය.
පොලිස්පතිවරයා ද මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් මුණ ගැසී ඇති බවද එහි සිටි නිලධාරියෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුම්වත් කළේ මේ අතර වාරයේය. එහිදී අනාවරණය වූයේ පොලිස්පතිවරයා ඉකුත් මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ලැබිය යුතු දීමනා තවමත් ලැබී නැති බැවින් එය කඩිනමින් ලබාදෙන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවය.


එහිදී වෙබ් මාධ්‍යයේ පළවූ පුවතක් ගැන ජනපති දැනුම්වත් කළේ ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංගය. ඔහු ඒ පුවතේ සත්‍ය අසත්‍යතාව ගැන සොයා බැලීමක් කර තිබුණි.
‘මැතිවරණ කොමිසමේ සභාපතිට නීතිපති මුණ ගැහිලා උපදෙස් ගන්න කියලා තියෙද්දී එයයි කොමසාරිස් ජනරාලු‍යි ගිහින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මුණ ගැහිලා උපදෙස් අරගෙන.’ ඇමැති ප්‍රසන්න කීවේය.


‘මටත් ඔය ගැන ආරංචි වුණා. සම්පූර්ණ වැරැදි වැඩක්. එහෙම කරන්න බෑ. සභාපතිතුමා කොමිසමට කියලා තියෙන්නේ නීතිපති අධිකරණයේ නඩුවලට පෙනී සිටින්න බෑ කිව්වා. ඒක නිසා සාලිය පීරිස් මුණ ගැසෙනවා කියලයි. මම මේ ගැන සොයලා බැලු‍වා. හැබැයි නීතිපතිතුමා කියලා තියෙන්නේ එක නඩුවකට විතරයි බැරි අනිත් නඩුවලට පුළුවන් කියන කාරණයයි.’ වජිර කීවේය.


‘මේක වැරැදි පූර්වාදර්ශයක්. මේ ගැන මටත් පැමිණිලි ගණනාවක් ආවා.’ දිළුම් අමුණුගම ද කතාවට එක්වූයේ එලෙසිනි.
ජනපති ඔවුන්ට කීවේ තමන් මේ ගැන සොයා බලන බවටය. ඒ අතර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ දුරකථනයට සම්බන්ධ වූ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා ජනපතිට කතා කොට මේ ගැන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා සිටියේය.


ජනපති රනිල් සෙනසුරාදා යාපනය බලා පිටත්ව ගියේ තෛපොංගල් උත්සවයට සහභාගි වීමටය. ඉරිදා පෙරවරුවේ සහ පස්වරුවේ උත්සව දෙකක් යාපනයේ දී පැවැත්වීමට නියමිතය.


පළාත් පාලන මැතිවරණයට තනිව තරග කරන්නේ ද නැතිනම් පක්ෂ සමග එක්ව තරග කරන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් එක්සත් ජාතික පක්ෂය හා සෙසු පක්ෂ අතර පැවැත්විණි. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන. සභාපති වජිර අබේවර්ධන. මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන පිරිස ඊට එක්ව සිටියහ.
පළමු වටයේ සාකච්ඡා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැති අතර තවත් පක්ෂ කිහිපයක් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය. එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඉකුත් සඳුදා සවස පොන්නම්බලම් රාමනාදන් ගුණ සමරුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූවේ ඩී.එම්. ස්වාමිනාදන්ගේ ඉල්ලීමකට අනුවය.

මැතිවරණයක් ගන්න  සජබ සටනක!

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට ගන්නා වූ කූට උපක්‍රම පිළිබඳව මේ වනවිට සමගි ජන බලවේගය දැඩි අවධානයකින් සිටී.


විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට සහ නීතිඥයන්ට උපදෙස් දී තිබුණේ මේ පිළිබඳව නිරන්තර සෙවිල්ලෙන් සිටින ලෙසය.
මේ අතර ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් කැඳවීම සම්බන්ධව ද සමගි ජන බලවේගය තිබුණේ දැඩි විවේචනයකි.
පළාත් පාලන මැතිවරණයට අදාළව අපේක්ෂක ඇප තැන්පත් මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් සියලු‍ම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් යැවීමත් සමග තත්ත්වය තවත් උග්‍ර විය.


අදාළ ලිපිය මාධ්‍යයට ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් මීට එරෙහිව පළමු ප්‍රහාරය දියත් කළේය.
‘මන්දිර කුමන්ත්‍රණ එපා. වහා මැතිවරණය පවත්වනු.”‍ යනුවෙන් සජිත් විශේෂ ප්‍රකාශයක් ද කළේය.
එජාප පාක්ෂිකයන්ට කතරගම දී සජිත්ගෙන් ආරාධනයක්!


‘එක්සත් ජාතික පක්ෂය යි පොහොට්ටුවයි යි එකට එකතුවෙලා ඡන්දයට යන්න තීරණය කරලා”‍ එහෙම කීවේ අශෝක් අබේසිංහය.
‘ඕව ඉතින් අමුතුවෙන් වෙන දේවල් නෙමේ.. ලිවින්ටුගෙදර් හිටපු දෙන්නෙක් කසාද බඳින්න තීරණය කරලා”‍ මරික්කාර් කීවේ සිනාසෙමිනි. ඔහුගේ කතාවට සියලු‍ම දෙනා සිනාසුනහ.


‘මෙතනින් එහාට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයක් නැහැ. දැනට ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් එකතු වෙන්න තියන එකම තැන සමගි ජන බලවේගය විතරයි. එතනින් එහාට ආයෙ වෙන දෙයක් නැහැ. අපි හැමෝටම ආරාධනා කරමු, අපිත් එක්ක එකතු වෙන්න කියලා”‍ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
‘හෙට මම යනවා කතරගම. උදේ කතරගම ඉස්කෝලෙට බස් එක දීලා, ඊට පස්සේ කතරගමදීම මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා”‍ විපක්ෂ නායක සජිත් කීවේය.


කිව්වා වගේම පසුදින සජිත් ඒ ආරාධනාව කළේය.


ඒ ආරාධනාවත් සමගම රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම්වලට ඉවරයක් නොවීය.
‘දැන් වෙන විකල්පයක් නැහැ. අනිත් එක සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ම බිහි වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ උරුමය තියෙන තැන. අපිට දෙගිඩියාවක් නැතිව එතෙන්ට එන්න පුළුවන්”‍


බොහෝ දෙනා එලෙස පැවසූහ.

මඩවලට වැඩ වලින් උත්තර!

”‍දැන් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් ආණ්ඩුවට ගහනවා වෙනුවට කරන්නේ විපක්ෂයටම ගහන එක”‍


එහෙම කිව්වේ ගයන්ත කරුණාතිලක ය. ‘ජේවීපී එක නම් ප්‍රවෘත්ති සාකච්ඡාවකට යන්නෙත් දැන් අපිට ගහන්න බලාගෙන‘  මරික්කාර් කීවේය.
‘ඒ විතරක් නෙමේ අර පැත්තකින් ඉන්න නායකතුමාගේ අම්මවත් පටලවාගෙන ඒ අය මඩ ගහනවා.”‍  ජේ.සී. අලවතුවල කීවේය.
‘ඒ අය චෝදනා කරනවා විපක්ෂ නායකතුමාගේ අම්මව නඩත්තු කරන්නේ මහජන මුදලින් කියලා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ. රණසිංහ ප්‍රේමදාස මහත්මයා මියගියේ එල්ටීටීඊ ප්‍රහාරයකින්. එතුමියට විශේෂ වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ.” මහලේකම් රංජිත් කීවේය.
‘ඔය ටිකම ඩී.බී. විජයතුංග මහත්මයාගේ බිරිඳටත් උරුමයි. ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගේ බිරිඳටත් උරුමයි. සාමාන්‍යයෙන් ස්වාමියාගේ හරි බිරිඳගේ හරි කලත්‍රයාට විශ්‍රාම වැටුප ලැබෙනවා.”‍ එහෙම කීවේ කිරිඇල්ල ය.


‘මේ වෑයම් කරන්නේ කලත්‍රයාට විශ්‍රාම වැටුප ලැබෙන එකටත් තට්ටු කරන්න ද දන්නෙ නෑ”‍   වඩිවෙල් සුරේෂ් කීවේ බැරෑරුම්වය.
‘රෝහණ විජේවීර මහත්මයාගේ බිරිඳ ඇතුළු දරු පිරිස ජීවත් වුණේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ. එයාලට අවශ්‍ය පහසුකම්, ඒ දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දුන්නේ ආණ්ඩුව හරහා. අදත් අපි කියනවා ඒක කළ යුතු දෙයක්.


ඒ දරු පවුල ගැනවත් ඇහැක්වත් ඇරලා නොබලපු ජනතා විමුක්ති පෙරමුණට සහකම්පනය නැති එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. හැබැයි අපි චෝදනා කරන්නේ නැහැ විජේවීර මහත්තයාගේ පවුල නඩත්තු වුණේ ආණ්ඩුවෙන් කියලා. මොකද ශිෂ්ට සම්පන්න මිනිස්සු හැටියට ඒක අපිට කරන්න බැහැ.”‍ එහෙම කීවේ මුජිබර් රහුමාන් ය.
ඒ විතරක් ද අදටත් ලාල්කාන්ත මහත්තයා ජීවත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි නිල නිවාසෙක. හැබැයි ශිෂ්ට සම්පන්න මිනිස්සු විදිහට අපි අහන්නේ නෑ කොහොමද ලාල්කාන්ත මහත්තයා මන්ත්‍රීවරයෙකුත් නොවී එහෙම නිවසක ජීවත් වෙන්නේ කියලා.”‍ නලීන් බණ්ඩාර කීවේය
‘මඩ ගහන අයට මඩ ගහන්න කියන්න. අපිට තියෙනවා වැඩ කරන්න. මම කවදාවත් ඒ අයගෙ නම් කියලා චෝදනා කරලා නැහැ. ශිෂ්ට සම්පන්න කවුද කියලා මේ රටේ මිනිස්සු තේරුම් ගනී”‍ සජිත් කීවේය.

සඟ සමුළුව තංගල්ලේ

ජාතික භික්ෂු පෙරමුණ පවත්වන හම්බන්තොට දිස්ත්‍රික් මහ සඟ සමුළුව ලබන 21 වැනිදා ප.ව. 2.30ට තංගල්ල නගර සභාවේ දී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ගිය සතියේ දී තීරණය කළේය. ‘‘සතුරු බල බිඳින ජාතියට මග කියන මහ සඟ සමුළුව’ යන තේමාව මත මෙම සමුළුව පැවැත්වෙයි. සභාපති වකමුල්ලේ උදිත හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි සමුළු රටපුරා දිස්ත්‍රික්ක ගණනාවක ජනවාරි පෙබරවාරි මාසවලදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ගිය සතියේ දී තීරණය කරනු ලැබුවේය.


මේ අතර ජාතික ජන බලවේගයේ විධායක සභාව රැස්වී පැවැත් වූ සාකච්ඡාවේදී පළාත් පාලන ඡන්දය කල් දැමීමට රජය ගන්නා විවිධ උපක්‍රම පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඇප මුදල් බාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්වී ඇත. අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ ලේකම්වරයාගේ ලිපිය ව්‍යවස්ථා විරෝධී එකක් බවයි.


මීට අමතරව නාම යෝජනා පත්‍ර සකස් කිරීම ඉතාම නිවැරදිව සිදු කිරීමට වගබලා ගත යුතු බවද අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වඩාත්ම විධිමත්ව සිදුකරන ලෙසට උපදෙස් දුන්නේය.

 

 

 

 

කරුගේ වැඩක් ගැන විදෙස් සංවිධානයක් ප්‍රශංසා කරයි

ජර්මනියේ ප්‍රමුඛතම ස්වේච්ඡා සංවිධානයක් වන ටී.යූ.අයි. සංවිධානයේ සභාපතිනිය මෙන්ම එරට හිටපු අමාත්‍යවරියක් ද වන ඩැග්මා වූල් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටිති. හිටපු අමාත්‍යවරිය ඇතුළු එම පිරිස පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කරු ජයසූරිය මහතා සිදුකරමින් සිටින සමාජ සත්කාරක ව්‍යාපෘතියක කටයුතු නිරීක්ෂණය කරන්නට පැමිණියහ. 


එහිදී ඔවුන්ගේ අවධානය යොමු වූයේ පාසල් දරුවන්ට ගණිතය, විද්‍යාව ඇතුළු විෂයන් ආවරණය කරමින් සිදුකරන දුරස්ථ අධ්‍යාපන වැඩසටහනකි. එහි කටයුතු මෙන්ම පසුගිය කාලය තුළ ඒ මගින් ඊට සම්බන්ධ දරුවන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඔවුන් ඉමහත් ප්‍රසාදයකට පත්වූවා පමණක් නොව ඒ පිළිබඳව ඔවුන්ගේ ප්‍රශංසාවද පළකෙරිණි.
කරු මෙම සමාජ සත්කාරක වැඩසටහන මෙහෙයවන්නේ සූර්ය පදනම නමින් පවත්වාගෙන යන ස්වේච්ඡා සංවිධානයක් මුල් කරගෙනය. ඒ මගින් පාසල් දරුවන්ට විවිධ අකාරයේ අධ්‍යපන අවස්ථා ලබාදෙනවා මෙන්ම උතුරේ තරුණ තරුණියන්ට සිංහල භාෂාව හා දකුණේ තරුණ තරුණියන්ට දෙමළ භාෂාව ඉගැන්වීමේ කටයුතු ද සිදුකරමින් පවතී. සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකරන මෙම කටයුතු සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව එහිදී දැනුම් දුන් ජර්මනියේ හිටපු අමාත්‍යවරිය විශේෂයෙන්ම උතුරේ හා දකුණේ තරුණ පිරිස් ඉලක්ක කරගෙන සිදුකරන භාෂා අධ්‍යාපන කටයුතු හරහා කරු ජයසූරිය සිදුකරමින් සිටින ජාතික සංහිඳියා කාර්යභාරය පිළිබඳව බලවත් ලෙස ප්‍රශංසාවට ලක් කළාය.

 

ගජබා