මැයි රැලි මැද දේශපාලන පුරසාරම්


චාල්ස් රජවෙනු දකින ජනපති 

මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ලන්ඩනය බලා පිටත්වීමට නියමිතව සිටිය ද ජනපති රනිල් බදාදා රාත්‍රිය වන තෙක් මෙරට පැවැත්වුණු වෙසක් උත්සවයන්ට සහභාගීවීමට අමතක නොකළේය. 


ජනපති රනිල් තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට මෙවර යන්නේ මෙරට ඉතිහාසය අලු‍ත් කරමිනි. එනම් චාල්ස් රජුගේ මෑණියන් වූ දෙවැනි එළිසබෙත් රාජිනියගේ රාජාභිෂේකයට සහභාගී වූ මවුපිය යුවලකගේ පුතණුවන් ලෙසිනි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එළිසබත් මහා රැජිනියගේ කිරුළ පැලැඳීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූවේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමගිනි.


ඔහු මෙවර චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වෙන්නේ බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ඉතිහාස පොතට අලු‍ත් පරිච්ඡේදයක් එක් කරමිනි. චාල්ස් රජු සිය රාජාභිෂේකයට සහභාගීවන්නැයි ජනපති රනිල්ට ආරාධනා කළේ ඔහු එළිසබත් මහරැජිනගේ අවමංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේදී ය.


බදාදා දිනය ඉතාම කාර්ය බහුල දිනයක් වූවේ එම සතිය මුලම නිවාඩු දිනයක් ද යෙදී තිබුණ බැවිනි. ජනපති රනිල් එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී නොවුණ ද පක්ෂ මහලේකම් ඇතුළු ක්‍රියාකාරීන් සමඟ මෙන්ම රැලියේ ප්‍රධාන සංවිධායකයන් වූ හරීන් සහ මනූෂ සමඟ ද සාකච්ඡා කළේ එය සාර්ථක කර ගැනීම උදෙසාය.
ඒ වෙනුවෙන් පක්ෂ ක්‍රියාකාරීන් ඉරුදින ජනපති රනිල් මුණ ගැසුණේ ඔහුගේ නිල නිවසේදී ය. පක්ෂ නායකයා ලෙස ජනපති පිරිසට උපදෙස් දුන්නේ නියමිත වේලාවට රැලිය ආරම්භ කරන ලෙසත්, කාලය කළමනාකරණය කරමින් මාතෘකා බෙදාගෙන කතා පවත්වන ලෙසත්ය.


ජනපතිගේ උපදෙස් මත  පොඩ්ඩෝ මැයි රැලිය කරති 

ජනපති උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මැයි දින රැලිය පැවැත්විණි. මැයි රැලිය ආරම්භවීමට ස්වල්ප වේලාවකට පෙර ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක වෙතය.


උත්සවය සජීවිව විකාශය කරන්නේදැයි විමසූ ජනපති එය විකාශය වන නාලිකා ගැන විමසා සිටියේය. ඔහු එය දැනුම් දීමෙන් පසු ජනපති රනිල් සජිවිව මෙය නරඹන බව දැනගත් සාගල එය සිය කතාවේදී ද කීවේ පාක්ෂිකයා උද්යෝගිමත් කරමිනි.

 


හරීන්ට, මනූෂට මල් 

මැයි දින රැලිය අවසන්වීමෙන් පසු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල, සභාපති වජිර අබේවර්ධන ඇතුළු පිරිස මහලේකම් අසලට ගොස් ඔහුට සුබපැතුවේ ඉතාම සාර්ථක මැයි රැලියක් පැවැත්වූ බව කියමිනි.


“මනුෂටයි, හරීන්ටයිත් ස්තූති කරන්න ඕනැ මේ තරම් ලස්සනට මේක හැදුවේ ඒ දෙන්නත් එකතු වෙලා තමයි.” මහලේකම් කීවේ ඔවුන් දෙපල පෙන්වමිනි.
“සර්, බීපු මිනිස්සු නෑ. කෑ කෝ ගැසීම් නෑ. මිනිස්සු පිළිවෙලට ඇවිත් වාඩිවුණා. සර්ලත් කතාව කෙටියෙන් අර්ථවත්ව කළා. මම හිතන්නේ අද තියපු මැයි රැලිවලින් හොඳම මැයි රැලිය මේක.” කෝට්ටේ සංවිධායක දිනේෂ් කියද්දී සැවොම හිස සැලූහ.


“මේකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. තරුණයෝ ඉල්ලු‍වේ මේ වෙනස තමයි. දිනේෂ් වගේ තරුණයෙකුට ඒක තේරුණා.” ජාතික සංවිධායක සාගල කිවේ දිනේෂ්ගේ පිටට තට්ටුවක් ද දමමිනි.


ජනපති රනිල් ද සංවිධායක මණ්ඩලය අමතා මැයි දින රැලියේ සාර්ථකත්වයට සුබපැතුවේ සැවොම දිරි ගන්වමිනි. ඒ පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ජනපති මුණගැසීමට නිල නිවසට පැමිණි අවස්ථාවේ දී ය.


“ගිය වසරේ අරගලය නිසා මැයි දිනයවත් හරියට තියාගන්න බැරිවුණා. එදා කියුබාව ගැන මහ උජාරුවෙන් කියපු අය අද තෙල් නැතුව කියුබාව මැයි දිනය තියා ගන්න බැරිවීම ගැන වචනයක්වත් කියන්නේ නෑ.” වජිර කීවේ සිනාසෙමිනි.


“විපක්ෂයේ කට්ටිය මැයි දිනයක් සංවිධානය කරලා, කොළඹට ඇවිල්ලා ජනාධිපතිතුමාට බැණලා ගියා.” නියෝජ්‍ය නායක රුවන් කීවේ ජනපති දෙස බලමිනි.
“කමක් නෑ. මට බණින්න හරි කොළඹ එන්න එයාලට පුළුවන් වුණේ මම තෙල් ටික ගෙනත් දුන්න නිසානේ.” ජනපති සැහැල්ලු‍වෙන් කියද්දී සැවොම කොක් හැඬලූහ.
“ජනාධිපතිතුමා තෙල් ටික ගෙනත් දුන්නා විතරක් නොවෙයි තෙල් මිල අඩු කරලත් දුන්නානේ.” සිනා මැදම සාගල ද කතාවට එකතුවූවේය. පිරිස නික්ම ගියේ බොහෝ රෑ බෝ වූවාට පසුවය.

“මේක බෝල් රූම් එක, පල්ලෙහා එක ඩිස්කෝ...”

අඟහරුවාදා රාත්‍රියේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණේ කොටුව ජනාධිපති මන්දිරයේ ය. ජනපති රනිල් ද අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් කොට එහි පැමිණියේ ක්‍රීඩකයන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වීමටය. ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත ජනපති ඔවුන්ව රැගෙන ගියේ මන්දිරය නැරඹීමටය. එහි පෞරාණිකත්වය ගැන ජනපති කළ විග්‍රහය ඇසූ ක්‍රීඩකයන් පුදුමයට පත්වූවේ ඔහුගේ ඉතිහාස දැනුම ගැන අගය කරමිනි.
එහි උඩු මහලේ එක් ස්ථානයක නතර වූ ජනපති රනිල් “මෙතන තමයි ඉංග්‍රිසි ජාතිකයන් නර්තනයේ යෙදුනු ස්ථානය. මේක තමයි ඩාන්සින් ෆ්ලෝ එක.” එසේ කියමින් ඔහු ඉතිහාස විස්තරයක් කළේය. එය අවසන් කළ රනිල් “හැබැයි පල්ලෙහාත් ඩාන්සින් ෆ්ලෝ එකක් තියෙනවා. ඒකට නම් අපි සම්බන්ධ නෑ.” යැයි ඔහු සිනාසෙමින් කියද්දී ක්‍රීඩකයන් එහි අරුත විමසන්නට වූවේ එකිනෙකාගේ මුහුණ බලමිනි.


එම අවස්ථාවේ ක්‍රීඩකයන් අසල සිටි නිලධාරියෙකු ඔවුන්ට සෙමින් කීවේ “ඔය කියන්නේ මහින්ද ජනාධිපතිතුමන්ගේ කාලේ හදපු භූගත කොටස ගැන”. කියාය.
“මේක බෝල් රූම් එක. පල්ලෙහා එක ඩිස්කෝ...” කියා යළිත් ජනපති කියද්දී ඔහු කියූ දේ වැටහුණු ක්‍රීඩකයන්ට සිනහව නතර කර ගැනීමට නොහැකි විය.
ජනපති රනිල් බදාදා පෙරවරුවේ කාර්යාලයට පැමිණි විගස අධික වැඩ රාජකාරී මධ්‍යයේම උසස් පෙළ සමත් සිසුන් වෙනුවෙන් සූදානම් කර තිබූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට ද එක්වූවේය. ජනාධිපති අරමුදලේ සාමාජිකයන් එදින දහවල් මුණගැසුණු අතර ඔවුන් එදින රැස්ව තිබුණේ වසර හතරකට පසුව වීම ද විශේෂත්වයකි.
මැති ඇමතිවරු පිරිසක් ද එදින ජනපති මුණගැසීමට පැමිණ සිටි අතර එහි සිටි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මැයි දින රැලි ගැන කතාව ආරම්භ කළේය.
“මැයි දිනයේ විපක්ෂයට මහලොකු සටන් පාඨ තිබුණේ නෑ. හැබැයි ස.ජ.බෙ වඩිවෙල් සුරේෂ් නම් චමින්ද මන්ත්‍රිතුමා එක්ක බදුල්ලේ රැස්වීමක් තියලා විපක්ෂ නායකතුමාට දොස් කියලා තිබුණා කියලා නම් ආරංචියි.” ඇමති ප්‍රසන්න කීවේය.


“හැබැයි එතුමා උදේ ජනාධිපතිතුමා මුණගැසුණා කියලා කිව්වා. පස්සේ හවස එයා යළිත් විපක්ෂ නායකතුමා මුණ ගැසිලා තිබුණා.” මධුර මන්ත්‍රීවරයා ද කීවේ ජනපති දෙස බලමිනි.


“වතු ජනතාවගේ ප්‍රශ්න වගයක් ගැන කතා කරන්න ඕනෑ කිව්වා. ඒ ගැන මම කතා කළා.” ජනපති කීවේ කිසිවක් නොවුණු ගානටය.
“මැයි දිනය විතරක් නෙවෙයි වෙසක් එකත් ජනතාව නිදහසේ සමරනවා.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේය.
“ඔව් වෙසක් කලාප, දන්සල්, තොරණ ආදී සැරසිලි රැසක් කොළඹ තියෙනවා.” කියමින් ජනපති කතාව අවසන් කළේය.


සාගල - ගෝපාල් හමුව 

ජනපති උපදෙස් මත කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මුණගැසුණේ කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේදීය. දෙරට අතර ඇති කර ගැනීමට නියමිත ව්‍යාපෘති ගණනාවක් ගැන මෙහිදි සාකච්ඡා කර තිබුණි.


ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල ඉකුත් සතියේ යාපනය බලා පිටත්ව ගියේ එහි ජනතාවගේ ඉඩම් ගැටළුව ගැන සොයා බැලීමටය. එහිදී ආරක්ෂක අංශ වෙතින් මුදාගෙන ජනතාව වෙත පැවරූ ඔවුන්ගේ ඉඩම්වල ප්‍රගතිය ගැන ඔහු සොයා බැලු‍වේය. ආරක්ෂක අංශ පරිහරණය කළ ජනතාව සතු ඉඩම් අක්කර 110 ක් මේ වෙන විට යළිත් ජනතාව වෙතම මුදාහැර තිබෙන අතර ඔවුන් එම ඉඩම් නිරවුල් කර ගනිමින් ඒවා සංවර්ධනය කරන ආකාරය ගැන ද ඔහු මෙහිදී සොයා බැලු‍වේය.


කෘෂිකර්මාන්තය වෙනුවෙන් පලාලි කඳවුර ආසන්නයේ ඇති තවත් ඉඩම් කිහිපයක් නිදහස් කරනා බවට සාගල එහිදී ජනතාවට පොරොන්දුවක් ද දුන්නේය.


ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ ලන්ඩනය බලා පිටත්ව ගිය අතර එම ගමනට ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ එක්ව සිටියහ. ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි අතර ඇය ද ජනපති සමඟ රාජාභිෂේක උත්සවයට එහිදී එක්වූවාය. ඇය සිය පෞද්ගලික වියදමින් එම සංචාරයට එක්ව සිටියාය.


ගෝල්ෆේස් නොලැබුණු සජබ  ගුණසිංහ පිටියට යයි 

පසුගිය සතියේ වූ කැපී පෙනෙන ම සිදුවීම වූයේ රට පුරා පැවති මැයි දින සැමරුම් ය. විශේෂයෙන්ම සමගි ජන බලවේගය සිය පක්ෂයේ දෙවැනි මැයි දින සැමරුම වෙනුවෙන් මහත් උනන්දුවෙන් කටයුතු කරනු ලැබීය.


විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් විසින් මැයි දිනය වෙනුවෙන් කමිටුවක් පත් කළ අතර නිරන්තරයෙන් ඔවුන් හමුවී මැයි රැලිය සහ පෙළපාළිය පවත්වන ආකාරය පිළිබඳව සැලසුම් සකස් කළහ.


සමගි ජන බලවේගය මුලින්ම අවධානය යොමු කොට තිබුණේ සිය රැලිය ගෝල්ෆේස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමටය. ඒ උදෙසා පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැයි දින කමිටුව සමඟද සාකච්ඡා කළේය.


‘‘ගෝල්ෆෙස් එක ගන්න පුලු‍වන්නම් හරිම වටිනවා. රට වටෙන්ම එන ආරංචිත් එක්ක අපේ පාක්ෂිකයෝ විශාල පිරිසක් රැලියට  එන්න උනන්දුවෙන් ඉන්නවා.”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


“ඔව්, අනිත් එක අපි අරගලය එක්ක හැමදාම හිටියා. විපක්ෂයේ සමහර පක්ෂ අවස්ථාවාදී විදිහට අරගලය මඟහරින කොට අපි දිගටම අරගලය එක්ක හිටියා. එලෙස අපිට ගෝල්ෆේස් එක ලැබෙනවා නම් මාර වටිනවා”‍ එහෙම කිව්වේ නලීන් බණ්ඩාරය.
කොහොම වෙතත් ගෝල්ෆේස් ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට සමගි ජන බලවේගයට ඉඩ ලැබුණේ නැත. අවසාන වශයෙන් ඔවුන්ට තෝරා ගන්නට සිදුවුණේ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණය ය.


කෙසේ වෙතත් එහිදී ගුණසිංහ ක්‍රීඩාංගණය සමගි ජන බලවේගය මැයි රැලියට ලැබීම ඓතිහාසික වශයෙන් ද වැදගත් විය. ඒ බව සිහිපත් කළේ විපක්ෂ නායක සජිත් ය.
“මේ ග්‍රවුන්ඩ් එක අපිට මදි බව ඇත්ත. හැබැයි මේ ග්‍රවුන්ඩ් එක ඒ.ඊ. ගුණසිංහ මහත්මයාගේ නමින් ඉදිකරපු ග්‍රවුන්ඩ් එකක්. එතුමා තමයි ලංකාවේ පළවෙනි මැයි රැලිය තිබ්බේ. ඒ විතරක් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දේශපාලනය ආරම්භ කළේත් ඒ.ඊ. ගුණසිංහ මහත්තයත් එක්ක.”‍
‘ඒ විතරක් නෙවෙයි නායකතුමා, ගුණසිංහපුර ය බිහිකළේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඒ අතින් ගත්තත් මේක ඓතිහාසිකයි’ එහෙම කීවේ මුජබර් රහුමාන් ය.
රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ පස්වරු දෙකට ය. කෙසේ වෙතත් පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ පෙළපාළියට දස දහස් ගණනක් පාක්ෂිකයන් එක්ව සිටීම හේතුකොටගෙන රැස්වීම ආරම්භ කිරීම මදකට පමා විය.


රටේ නන් දෙසින් පැමිණි පාක්ෂිකයන් අතිවිශාල පිරිසක් පෙළපාළියේ ගමන් ගන්නට වූහ. විපක්ෂ නායක සජිත් පෙළපාළියට එක් වුණේ එල්ෆින්ස්ටන් රඟහල අසලින් ය.
පෙළපාළිය ඉදිරියට ඇදෙද්දී සජිත් කළේ එම පෙළපාළියෙන් මිදී ඉක්මනින් ඉදිරියට පැමිණ ක්‍රීඩාංගණයට යාබදව තිබූ තරමක් උස් ස්ථානයක පිහිටි අට්ටාලයට ගොඩ වී පෙළපාළිය නිරීක්ෂණය කිරීම ය.


ඒ නිසා ඔහුට රැලියට සහභාගි වූ පිරිස පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි විය. විශේෂයෙන්ම ආසනයෙන් ආසනය පෙළපාළියේ පෙරට ඇදෙන පිරිසට ආචාර කිරීමට ද සජිත් කටයුතු කළේ එම අට්ටාලයේ සිට ය.


පෙළපාළියෙන් රැලියට සහභාගී වූ පිරිසෙන් අඩක් ක්‍රීඩාංගණයට පිවිසෙන විට මුළු ක්‍රීඩාංගණයම පිරී ඉතිරී ගොස් තිබුණි. ඒ නිසා තවත් අතිවිශාල පිරිසකට සිදුවුණේ ක්‍රීඩාංගණයෙන් පිට සිට රැලිය නැරඹීමටය. ඒ සඳහා විශාල පුළුල් තිර දෙකක් යොදා ගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.
ක්‍රීඩාංගණයෙහි පිහිටි ප්‍රධාන වේදිකාව වහලයකින් තොරව විවෘත දැවැන්ත  වේදිකාවක් විය.
‘අපි අනුමාන කළා වහියි කියලා. එහෙම වුණානම් නායකයො නොතෙමී ඉන්නයි ජනතාව තෙමෙන්නයි දෙකක් බෑ. ඒ නිසා අපි විවෘත වේදිකාවක් හැදුවා’ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර කීවේය.


කෙසේ වෙතත් ඉතාම යහපත් කාලගුණ තත්ත්වයක් තිබූ අතර ක්‍රීඩාංගණයෙත් ඉන් පිටතත් දස දහස් ගණනක ජනකායක් ඉදිරියේ සජිත් මැයි දිනය ඇමතුවේය.
“ජාති, ආගම්, වර්ගවාද, කුලභේද නැතිව හැමෝටම විවෘත මනසකින් එකට එකතු වෙන්න පුළුවන් එකම වේදිකාව අපි නිර්මාණය කළා.”‍ සජිත් කීවේය.
රැලිය අවසන්වීමෙන් පසුව තවත් විශේෂ සිදුවීමක් විය. ඒ, සමගි ජන බලවේගයේ මැයි දින රැලියේ සංවිධායකයන් විසින් ක්‍රීඩාංගණය පිරිසිදු කිරීමට ද කටයුතු කිරීමය.


ආණ්ඩුවේ ඒකාධිපති ගමනට එරෙහිව විපක්ෂය එක්වෙයි 

මාධ්‍ය නාළිකා ප්‍රධානීන්, පුවත්පත් කර්තෘවරුන් සමග හමුවක් බදාදා  පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් සහ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මැන්ඩරීන් හෝටලයේ දී පැවැත්විණි.


ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් මුලපුරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම හමුව පැවැත්විණි. වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව  විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී එකට එක් වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.


ඇල්මැරුණු මැයි රැලි

මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ මෙවර මැයි රැලි හා පෙළපාළි පැවැත්වූයේ වසර දෙකකට පමණ පසුවය. ආර්ථික අර්බුදයත්  කොවිඩ්  වසංගතයත්  හේතුවෙන් පසුගිය වසර දෙකේම  මැයි දිනය සමරන්නට දේශපාලන පක්ෂවලට නොහැකි විය. මෙවර ඒ වෙනුවෙන් රැලි හා පෙළපාළි පැවැත්වුවද, එය ජනතාව අතර එතරම් උනන්දුවක් ඇති කර තිබූ බවක් පෙනෙන්නට නොතිබිණි. ඒවා හුදෙක්  දේශපාලන පක්ෂවල බලය පෙන්වන ව්‍යාපෘති බවට පත්ව තිබූ බව නම් පැහැදිලිය.


 පොහොට්ටුව කොළඹ කැම්බල් පිටියේදී මෙවර මැයි රැලිය පැවැත්වූයේ වෙනදා මෙන්  පෙළපාළි සංදර්ශනවලින් තොරවය. සමගි ජන බලවේගය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී මැයි රැලිය පැවැත් වූ අතර, ඔවුන්  පෙළපාළි ද සංවිධානය කර තිබිණි. එක්සත් ජාතික පක්ෂය රැලියකට වඩා සමුළුවක් ලෙස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී මැයි දිනය සැමරුවේ ය. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ නගර සභාව ඉදිරිපිට මැයි රැලිය පැවැත් වූ අතර, වෙනදා මෙන් පෙළපාළි ද සංවිධානය කර තිබිණි. විමල්ලා, ගම්මන්පිලලා ඇතුළු උත්තර ලංකා සභාව හයිඩ් පිටියේදී මැයි රැලිය පැවැත්වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නිදහස  ජනතා සභාවත් මහනුවරට ගොස් මැයි දිනය සැමරුවේය.

පසුපෙළ, පොහොට්ටු මැයි රැලිය මගහැරියාද?

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ පැවති පොහොට්ටු මැයි රැලියේ වෙනදා මෙන් පසුපෙළ තරුණ මැති ඇමතිවරුන් දකින්නට නොලැබිණි . රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලු‍ත්ගමගේ, ජොන්ස්ටන්  ප්‍රනාන්දු ඇතුළු ප්‍රබලයින් පිරිසක් ඉදිරියෙන්ම  සිටි අතර, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද  කලකට පසුව ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ සිටියේය. පසුපෙළ  තරුණ  මැති ඇමැතිවරුන් අඩුවෙන් සහභාගි වූ අතර සහභාගී වූ පිරිස ද වැඩි වෙලාවක් නොසිට පිටත්ව ගිය බව වාර්තා විය. ප්‍රමිත  බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමතිවරයා සිය පියා වන ජනක තෙන්නකෝන් මන්ත්‍රීවරයා ද සමඟ රැලියට පැමිණ වේදිකාවේ විනාඩි දහයක් පමණ සිට පිටව ගියේය. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ද වේදිකාවට පැමිණ සිටියද විනාඩි කිහිපයකින් ඔහු ද අතුරුදන් විය. එස්.ඒ.ඩී. ජගත් කුමාර මන්ත්‍රීවරයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ රැලියට සහභාගි වුවද වේදිකාවටවත් ගොඩවූයේ නැත. ඔහු වේදිකාවේ ඉදිරිපස පාක්ෂිකයන් අතර  මද වේලාවක්  සිට ටික වෙලාවකින් පිටව ගියේය. ඔහුගේ  චෝදනාව වූයේ පක්ෂයේ නායකයන් ඔවුන් කොන් කර ඇති බවය. කඩුවෙල ආසනය ඔහුට නොදී වෙනත් මන්ත්‍රීවරයෙකුට දීම සම්බන්ධයෙන් ඔහු පක්ෂය සමග සිටින්නේ කලකිරීමෙනි. මේ අතර, රැලියට ආ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කීවේ, පොහොට්ටුව නම් තවමත් පාඩමක් ඉගෙනගෙන නැති බවය. ඔවුන් තවමත් විකුණන්නේ යුද්ධය බව ඔවුහු  කීහ. ‘මේ ගොල්ලොනම් කවදාවත් හැදෙන්නේ නෑ’ යැයි  ඔවුහු කියා සිටියහ.


 මේ අතර ,පොහොට්ටුවේ ප්‍රබලයකු ලෙස කලක් කටයුතු කළ රොෂාන් රණසිංහ  ඇමතිවරයා පොළොන්නරුවේ දී  වෙනම මැයි රැලියක් පැවැත්වීය. දැනගන්නට ඇත්තේ ඔහු ඉදිරි මැතිවරණයට පොහොට්ටුවෙන් නොව වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වීමේ  සූදානමක් පවතින බවය.


ආරක්ෂක - මුදල් වැඩ බලන්න තරුණයෝ දෙදෙනෙක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාල්ස්  රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගිවීමට බදාදා දිවයිනෙන් පිටත්ව ගියේය. ඔහු ලන්ඩන් බලා පිටත්ව යාමට පෙර වැඩබලන ආරක්ෂක ඇමතිවරයා ලෙස රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ද, වැඩබලන මුදල් ඇමති ලෙස  රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ ද පත් කළේය


සම සමාජය දෙකඩ වේ

ලංකා සමසමාජ පක්ෂය ද මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇත . ඊට හේතුව පක්ෂයේ  ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂයේම පිරිසක් නැගී සිටීම ය. අළු යට ගිනි පුපුරු මෙන් තිබූ මේ අර්බුදය ගිය සතියේ කරළියට පැමිණියේ මැයි  දිනයත් සමගය. තිස්ස  විතාරණ කණ්ඩායම මැයි දිනය තනිව පවත්වන්නට  සංවිධානය කළේය. පක්ෂයේ තවත් පිරිසක් කියා සිටියේ උත්තර ලංකා සභාගය සමඟ එක්ව මැයි දිනය පැවැත්විය යුතුයි කියාය. පක්ෂයේ  මධ්‍යම කාරක සභාවේ වැඩිදෙනෙකු සිටින්නේද තිස්සට එරෙහි කණ්ඩායමේය. පක්ෂයේ  නව ප්‍රධාන ලේකම්වරයා  ලෙස දෙහිඕවිට ඩබ්ලිව් අබේසේන පත්ව සිටී. අබේසේනගේ පාර්ශ්වය කියා තිබුණේ ඔහුට ප්‍රධාන ලේකම් ධුරය දී තිස්ස විතාරණට නායකයා ලෙස කටයුතු කරන ලෙසය. එහෙත් තිස්ස එයට එකඟ නොවීය. ගිය සතියේ අබේසේන කණ්ඩායම පක්ෂයේ කාර්යාලයට වී සිටියදී තිස්ස විතාරණ ගේ කණ්ඩායමක් පැමිණීමත් සමග ගැටුමක් ඇති විය. හත් අට දෙනෙකු තුවාල ලැබූ අතර, තිස්ස ගේ කණ්ඩායමේ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය.

ශ්‍රීලනිපයේ හදිසි වෙනස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ කොරියාව  බලා පිටත්ව ගියේ ලෝක සාම සමුළුවට සහභාගිවීම වෙනුවෙනි. මෙවර ඔහු විදේශගත වෙද්දී පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ෂාන්  විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පත් කළේය. එය පක්ෂය තුළත්, පොදුවේ සමාජය තුළත්  දැඩි කතාබහට  ලක් වී ඇත. මීට පෙර වැඩබලන සභාපතිවරයකු පත් කළේ, ජනාධිපතිවරණය සමයේ ය. ඒ ඔහු එවකට නිර්පාක්ෂික ජනාධිපතිවරයා ලෙස පෙනී සිටීම වෙනුවෙනි. එවක වැඩබලන  සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය. මෙවර මැතිවරණයක් හෝ  වෙනත් හදිසි දේශපාලන කටයුත්තක් නොතිබියදී මෛත්‍රි විදේශගතවීමට කලින් ශාන්  වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීම  බොහෝදෙනාගේ කතාබහට ලක්ව ඇත. සමහරුන් කියන්නේ පක්ෂයේ  බලය අල්ලන්න බලන් ඉන්න පක්ෂයේ  සමහරුන්ට දුන්  ටොක්කක් කියාය. ලංකා නිදහස් පක්ෂයේ  මැයි දින කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, ෂාන් ය. ඔහු වැඩබලන සභාපතිවරයා ලෙස ගිය සතියේ බදාදා  පක්ෂ කාර්යාලයට  හදිසියේම ගොස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිස සමග මාධ්‍ය හමුවක් පැවැත්විය.


දයාන් ජයතිලක  හෙලිකොප්ටරයට නගී

රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම, දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය දයාන් ජයතිලක නිදහස ජනතා සභාවේ මැයි දින රැලියේ ප්‍රධාන දේශකයා ලෙස ගිය  සතියේ සහභාගි විය. නිදහස් ජනතා සභාවේ මෙවර මැයි දිනය පැවැත්වුණේ මහනුවර සහස් උද්‍යානයේ ය. මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාම ඊට සහභාගි වූ අතර, ප්‍රධාන දේශනය කරනු ලැබුවේ, ආචාර්ය දයාන් ජයතිලක විසිනි. රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය මෙන්ම ප්‍රතිත්‍රස්ත පනතේ තිබෙන භයානකකම සම්බන්ධයෙන් ද ඔහු කරුණු පැහැදිලි කළේය.


■ ගජබා