මන්ත්‍රී සාදයට ගෝඨාභය එද්දී නැගිට ගිය මන්ත්‍රී


විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ දිනවල වැඩි අවධානය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙනි. ඒ වෙනුවෙන් රට පුරා දේශපාලන රැස්වීම් මෙන්ම සංවිධාන කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතින බව පෙනේ. මැතිවරණ කොමිෂන් සභාව ද ඉකුත් බ්‍රහස්පතින්දා නිවේදනය කළේ මේ මස අවසන් සතියේ දී මැතිවරණය ප්‍රකාශයට පත්කරන බව ය. එසේ වුව ද ආණ්ඩුව පැත්තෙන් නම් තවමත් මැතිවරණය සඳහා සූදානම් වීමක් පෙනෙන්නට නැත. බොහෝ දෙනෙකු කියන්නේ ආණ්ඩුව පළාත්පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක සිටින බව ය. පළාත් පාලන පනත අනුව පළාත් පාලන ආයතන වල සභා ලබන මාර්තු මස විසි වැනිදාට පෙර පිහිටුවා අවසන් කළ යුතුය. ඒ සඳහා මේ මස අගදී හෝ ලබන මස මුල දී මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු වේ. පළාත් පාලන ආයතනවල කටයුතු විශේෂ කොමසාරිස්වරුන් යටතට හෝ ලේකම්වරුන් යටතට පත් කිරීමේ සූදානමක් ඇති බවට ද කතා පැතිර යමින් තිබේ.


මේ අතර, අයවැය අවසන් ඡන්ද විමසීම ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්විණි. අය-වැය සම්බන්ධයෙන් ආණ්ඩුවේ බෙදීමක් ඇති වෙතැයි ඇතැමුන් සිතුවද අයවැය වැඩි ඡන්ද 43 කින් සම්මත විය. එය ආණ්ඩුවේ ජයග්‍රහණයකි. ජෝන් සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මනෝ ගනේෂන්ගේ පක්ෂයේ වේලුකුමාර් ඇතුළු පිරිසක් ද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ. අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී විපක්ෂව ඡන්ද අසූ හතරක් ලැබුණද මෙවර එය 80 දක්වා 4 කින් අඩුවී තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කිහිපදෙනෙක් ද අවසන් ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තුවේ නොසිටියහ.

මන්ත්‍රී සාදයට ගෝඨාභයත් එයි

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතීන් සඳහා සාදයක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ පැවැත්විණි. එය සංවිධානය කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සංසදය විසිනි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නම් මේ දිනවල සාද වලින් අඩුවක් නැත. ඉකුත් සතියේ බදාදා රාත්‍රියේ ද අගමැතිවරයා විසින් අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.
වෝටර්ස් ඒජ් හි පැවැති මන්ත්‍රී සාදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ද සහභාගි වී සිටියහ. මුලින්ම පැමිණියේ ජනාධිපතිවරයාය. ටික වෙලාවකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසු ව ආණ්ඩුවේ කටයුත්තක් වෙනුවෙන් සහභාගි වූ පළමු අවස්ථාව එය විය. ජනාධිපතිවරයාත් ගෝඨාභය රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම ජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, චමල් රාජපක්ෂ යන මහත්වරුද එකම මේසයක අසුන් ගෙන සිටියහ. ආ ගිය තොරතුරු කතා බහ කරමින් සිටියදී ගෝඨාභය කීවේ ප්‍රසන්න වැඩ ටික හොඳට කරගෙන යන බවය. ජනාධිපතිවරයා පැය භාගයකට පමණ පසු එතැනින් පිටව ගියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේසයෙන් මේසයට යමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමඟ කතාබහ කළේය. ගෝඨාභය එක් මේසයකට එද්දී හිටපු ඇමැති සරත් වීරසේකර සිටියේ චමල් රාජපක්ෂ මහතා සමඟ කතාබහක යෙදෙමිනි. ගෝඨාභය පැමිණීමත් සමග වීරසේකර ඔහු මඟ හැර වෙනත් මේසයකට ගියේය. ඔහු සිය හිතවතුන් සමග කියා තිබුණේ රට මේ තැනට ඇද දමා තිබියදී තව මොනවා කතා කරන්නට තිබේද කියාය.
සාදය මැදියම් රැය වන තෙක්ම ඇදී ගියේ ගී ගායනා, නර්තන අංග වලින් සමන්විත ව ය. මුලින්ම ගීත ගැයීමට පැමිණියේ මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයාය. ඔහු සින්දුවක් කියන්නට කලින් ඇසුවේ, වන්මෝද නෝමෝ ද කියාය. ඔහු අමරදේවයන්ගේ ආරාධනා ගීතය මුලින්ම ගායනා කළේය. ඔහුගේ ගායනයට ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. ඔහු වන්මෝද නෝමෝද කියා අහද්දි මන්ත්‍රීවරුන් කීවේ වන්මෝ වන්මෝ කියාය. මහින්දානන්ද තවත් ගීත දෙක තුනක් ගායනා කිරීමෙන් අනතුරුව, සම්පත් අතුකෝරල, සමන්ප්‍රිය හේරත් ඇතුළු කිහිප දෙනෙක්ද ගීත ගායනා කළහ. ගී ගයද්දි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් නර්තන ඉදිරිපත් කළේ සාදය රසගන්වමිනි. නටන්නට වැඩිම ඉල්ලු‍ම තිබුණේ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය ට ය. ඩයනා නටද්දී තරුණ මන්ත්‍රීවරුන් කීවේ ඩයනා තමයි සුපර් ස්ටාර් කියාය.
සාදය සූදානම් කිරීම ගැන අගමැති දිනේෂ් ප්‍රසන්න රණතුංගට ස්තුති කළේය. හොදට වැඩේ ලෑස්ති කරලා තියෙනවා දිනේෂ් කියද්දී ප්‍රසන්න කිව්වේ නෑ සර් මම නෙමෙයි ලෑස්ති කළේ අපේ මන්ත්‍රී සංසදය. ඒගොල්ලෝ තමයි සියලු‍ බරපැන දැරුවේ. අපට තිබුණේ එන්න විතරයි කියාය. ප්‍රසන්න ලංසා ඇතුළු කිහිප දෙනෙක්ම පැමිණ සිටියේ සිය බිරින්දෑවරුන් ද සමඟය.

 

රනිල් ගැන බැසිල්ගෙන්  සහතිකයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය පිහිටුවා වසර හතරක් පිරීම නිමිත්තෙන් චාම්  උත්සවයක් ඉකුත්දා පැවැත්වුණේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී ය. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ලේකම් සාගර කාරියවසම් ඇතුළු කිහිප දෙනෙක් ඊට සහභාගී වූහ. කේක් ගෙඩියක් ද කපා සංවත්සරය සැමරූ අතර, ජනාධිපතිවරයා ගැනත්, ආණ්ඩුව ගැනත් මාධ්‍යවේදීහු බැසිල්ගෙන් ප්‍රශ්න කළහ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට පොහොට්ටුව ගත් තීරණය නිවැරදි බව ඔහු කීවේය. පාරට බැස දේශපාලනය කරන්නට නැවත අවස්ථාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බව ඔහු කීවේය.

මහින්දගේ අමාදම් සිසිල දිනේෂ් ගේ ධම්මදීපනී වෙයි

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී සහ අගමැති ව සිටිය දී සෑම පොහෝ දිනකම අමාදම් සිසිල නමින් ධර්ම දේශනා මාලාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. දැන් ඒ වෙනුවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මාසික ධර්ම දේශනා මාලාවක් ආරම්භ කර ඇත. එය නම් කර ඇත්තේ ධම්මදීපනී නමිනි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ  සභාපතිධුරවලට  ආණ්ඩුවේ අවුලක්

ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් පත්කිරීම මේ දිනවල සිදු කෙරෙන්නේ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙනි. ඒ සඳහා පොහොට්ටුවේ ද මැදිහත් වීමක් තිබේ. ඉකුත් සතියේ ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් කිහිප දෙනෙකුට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පාර්ලිමේන්තුවේ දී පත්වීම් ලිපි පිරිනැමිණි. පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සිටි ජගත් කුමාර මන්ත්‍රීවරයාට දී තිබුණේ දෙහිවල රත්මලාන සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයයි. ඔහු අපේක්ෂාවෙන් සිටියේ ඔහුගේ දේශපාලන කටයුතු කරගෙන ගිය කඩුවෙල ආසනයේ සභාපති ධුරයයි. කඩුවෙලට පත් කර තිබුණේ ප්‍රදීප් උඳුගොඩ මන්ත්‍රීවරයාය. පත්වීම් ලිපිය ගැනීමෙන් අනතුරුව එය දැකගත් ජගත් කුමාර මන්ත්‍රීවරයා අගමැතිවරයා ළඟට ගොස් සර් මේකෙන් නම් මට වැඩක් නෑ සර් මේ ලියුම තියාගන්න යැයි කියමින් අගමැතිට ලිපිය දී පිටව ගියේය.

නිදහස බදුල්ලට

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාවේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව ඉකුත් සති අන්තයේ පැවැත්විණි. ඩලස් අලහප්පෙරුම, උදයන කිරිඳිගොඩ, වෛද්‍ය තිලක් රාජපක්ෂ අකිල එල්ලාවල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කොළඹ සිට බසයෙන් ගිය අතර තවත් පිරිසක් ඔවුන්ගේ පෞද්ගලික වාහනවලින් බදුල්ලට පැමිණ සිටියහ. සිකුරාදා හැන්දෑවේ ඔවුන් ඇල්ලට පැමිණි අතර එහි නවාතැන් සූදානම් කර තිබුණේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසිනි. ඔවුන් පිළිගනු ලැබුවේ හින්දු පූජකවරුන් මොට්ටු තබමිනි. පහුවදා උදේ වරුවේ යොදාගෙන තිබුණේ බදුල්ල නගරයේ ආගමික කටයුතු වෙනුවෙනි. මුතියංගන විහාරය, හින්දු කෝවිල, මුස්ලිම් පල්ලිය, කතෝලික දේවස්ථානය ඇතුළු ආගමික ස්ථාන වලට ගොස් ආශිර්වාද ලබාගත් අතර ඩලස්, මහාචාර්ය ජීඑල් පීරිස් ඇතුළු කණ්ඩායම නගරය මැදින් පයින්ම ඇවිද යාම එහි විශේෂත්වයක් විය. ඉස්ලාම් පල්ලියට ගිය පසුව එහි සිටි මුස්ලිම් අය කීවේ ඩිලාන් හාලි ඇළට නොව බදුල්ලට දෙන්න කියාය. ඩිලාන් අපි දාල තියෙන්නෙ බදුල්ලට විතරක් නෙමේ බදුල්ල දිස්ත්‍රික්කයටම තමයි ඩලස් කීවේය.


එදින හවස්වරුවේ වෘත්තිකයන්ගේ හමුවක් එම හෝටලයේදී පැවැත්විණි.


වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු විද්වතුන් පමණක් නොව ව්‍යාපාරිකයෝ පිරිසක් ද එයට එක්ව සිටියහ.

ලන්ඩන් යන්න සිටි ඩිලාන්ගේ බිරියත් ලංගම බසයෙන් බදුල්ලට

වෘත්තිකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ හමුව පැවැත්වෙන අතරතුර තවත් කාන්තාවක් එම ස්ථානයට පැමිණ සිටියාය. ඒ ඩිලාන් පෙරේරාගේ බිරිඳ කනක ය. ඇය එහි සිටිනු දුටු ඩිලාන් ද පුදුම විය. ඇය ඩිලාන්ට කියා තිබුණේ, සතිඅන්තයේ ලන්ඩන් යන බවය. බොහෝ කාලයක් ඇය සිටියේ ලන්ඩනයේ ය. ඩිලාන් බදුල්ලට ගිය පසු ඇයද ලංගම බසයක නැගී බදුල්ලට පැමිණියාය. ඇය පැමිණ විමසා සිටියේ, රාජපක්ෂවරුන්ගේ දූෂණ වංචා ගැන කතා නොකර ඔයාලා කරන්නේ පොහොට්ටුවේ ඩීල් එකක් ද කියාය. ඇගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ ඩලස් ය. ඔහු ඊට කරුණු කාරණා සහිතව උත්තර දුන්නේය.


මන්ත්‍රීවරුන් පිරිස එදින රාත්‍රියේ බදුල්ල නගරයේ හෝටලයක නවාතැන් ගත් අතර, බිරිය පැමිණීම ගැන ඩිලාන්ට මන්ත්‍රීවරුන්ගෙන් ගැලවීමක් නොතිබුණි. ඔවුන් කීවේ එදින මාධ්‍යවල හයිලයිට් වූයේ ඩිලාන්ගේ බිරිය බවය. සමහරුන් කීවේ ඩිලාන්ට අයින් වී දේශපාලනයට බිරිඳ ගේන්න කියාය.


නිදහස සභාවේ සමුළුව පැවැත් වුණේ ඊට පසු දිනය. ඊට ද විශාල පිරිසක් පැමිණ සිටි අතර ඩලස්, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් රැස්වීම ඇමතූහ.


සංවිධාන කටයුතු සියල්ල ම භාරගෙන තිබුණේ ඩිලාන් ය. ඔහු ඉතා හොඳින් එය කර තිබූ අතර රැස්වීම අවසානයේ මන්ත්‍රීවරුන්ට පැන්සලෙන් අදින ලද චිත්‍රය බැගින් ද පිරිනමන්නට ඔහු පියවර ගෙන තිබිණි. ඩිලාන් ඡායාරූපයක් පිරිනමද්දී ඩලස් කිව්වේ උඹට දෙන්න කියලා ප්‍රදීපා මේ වගේම පින්තූරයක් දුන්නා, මට ඒක ගේන්න බැරි වුණා කියාය. එම චිත්‍රය ඓතිහාසික එකක් බව ද ඔහු කීවේය. ඩලස් ඩිලාන් සහ ඝාතනයට ලක්වූ නාලන්ද එල්ලාවල යන තිදෙනා ලන්ඩන් ගිය අවස්ථාවේදී ඩලස්ගේ හා ඩිලාන්ගේ ඡායාරූප දෙකක් පැන්සලෙන් ඇඳ ඔවුන් දෙදෙනාට දී තිබුණේ නාලන්ද විසිනි. එම චිත්‍රය තවමත් ඇත්තේ ඩලස්ගේ නිවසේය. ඔහුගේ බිරිය ඩිලාන්ට දෙන්නැයි කීවේ එය එතරම් වැදගත් ඡායාරූපයක් නිසාය.

හවුල් පක්ෂ ඡන්දෙට සූදානමක

මේ අතර උත්තර ලංකා සභාගය ද ඉකුත් සඳුදා හැන්දෑවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වූයේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමටය. විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, මොහොමඩ් මුසම්මිල්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන දෙදෙනා එදින සාකච්ඡාවට පැමිණ සිටියේ නැත. වැඩි අවධානයක් යොමුවූයේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙනි.


විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ ද එක්ව මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර උත්තර ලංකාසභාගයේ හවුල් පක්ෂවල නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමට ද එහි දී තීන්දු විය.

කැට හොල්ලන තරුණ පරම්පරාවක් වෙනුවට ලෝකය දිනන පරම්පරාවක්

සමගි ජන බලවේගයේ සංවත්සර සම්මේලනය ඉරිදා පැවැත්වෙයි. එය සාර්ථක කරගැනීමට පක්ෂයේ සියලුම නායකයන් ද සංවිධායකයන් ද විශාල උනන්දුවකින් කටයුතු කරමින් සිටී.


ඒ අතර සජිත් සංවිධායක කමිටුවට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර මහලේකම් රංජිත් නිරන්තරයෙන්ම මේ කටයුතු අධීක්ෂණය කළේය.


“අද මේ රට මොනතරම් අගාධයකට ඇද වැටිලා ද කිව්වොත් දුප්පත්කම දරාගන්න බැරිව මිනිස්සු ශරීර අවයව විකුණන මට්ටමට වැටිලා.”‍ නලීන් බණ්ඩාර කීවේය.
“ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්න යනවා. ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින නොරොච්චෝල තාප විදුලි බලාගාරය චීනයටත් ලක්ෂපාන ජල විදුලි බලාගාරය කොරියානු සමාගමකටත් දෙන්න යනවා. මේ ආණ්ඩුව කරන්නේ විකුණලා බැරි තැනට රටම පත් කරන එක. එතකොට විකිණීම ඇර, වෙන විකල්පයක් නැති වෙනවා.”‍ එහෙම කීවේ හර්ෂණ රාජකරුණා ය.


“මේ ආණ්ඩුව ගහන්නේ බැසිල් ගහපු මැච් එකේ දෙවැනි ඉනිම. ඒකට උදව් කරන්න බැසිල් ආපහු ලංකාවට ආවා.”‍ හේෂා කීවේය.


“ඉතිහාසයේ බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා තියෙනවා. සාමාජිකත්වයත් අරගෙන තියෙනවා. දැන් ඒක ආපහු අලු‍ත් කරගන්න විතරයි තියෙන්නේ.”‍ අශෝක් අබේසිංහ කීවේ අතීත සිදුවීමක් සිහිපත් කරමින් ය.


“දැන් මේ රටේ තියෙන දැවැන්තම දේශපාලන බලවේගය මොකක්ද? අද පොහොට්ටුව තියෙනවා ද? අද එජාපය තියෙනවා ද? අද වෙන දේශපාලන බලවේගයක් තියෙනවා ද? නෑ, අද තියෙන දැවැන්තම දේශපාලන බලවේගය සමගි ජනබලවේගය යි.


ඒ නිසා අපි මේ රට ගොඩනගන වැඩපිළිවෙළ නිර්මාණය කරන්න ඕනෑ. තවදුරටත් මිනිස්සුන්ට ප්‍රශ්න වැඩක් නැහැ. රටට අවශ්‍ය විසඳුම්. අපි සම්මේලනයෙන් දෙන්න ඕනෑ අන්න ඒ පණිවිඩය”‍
සජිත් කීවේය.
“සමහරු කියනවා සජිත් ප්‍රේමදාස පාසල්වලට බස් එකක් දෙන්නේ ඒක ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලලු‍.” රෝහිණි කීවාය.
“ඔහොම කියන්න පුලු‍වන් බස් ගිනි තියපු අයට තමයි. ඕවා කුහක කතානෙ”‍ තිස්ස අත්තනායක සිනාසෙමින් කීවේය.
“අපි කරන සක්වලටත්, හුස්මටත් දර්ශනයක් තියෙනවා. මේ හැම වැඩකින්ම කරන්නේ රටට අගයක් එකතු කරන එක. ඒකට හිනාවෙන, ගරහන දේශපාලන අවස්ථාවාදීන්ට මං කියන්නේ ඉස්කෝලෙකට, රෝහලකට ගිහින් ඕවා කියන්න කියලයි”‍ සජිත් කීවේය.


“ඇත්ත, මේ හුස්ම නිසා ජීවිත කීයක් බේරිලා තියෙනවා ද?. සක්වල නිසා දරුවන් කී දාහකට සහනයක් ලැබිලා තියෙනවා ද?.”‍ රෝහිණී කවිරත්න කීවාය.


“අදටත් මේ රටට විදේශ විනිමය ගෙනෙන ශක්තිමත්ම වැඩසටහන තමයි ඇඟලු‍ම් කම්හල් ව්‍යාපාරය. අද අපේ සක්වල වැඩසටහනට, හුස්ම වැඩසටහනට ඔච්චම් කරන, ගරහන, උදවියම එදා ඔය විදිහට ඇඟලු‍ම් කම්හල් ව්‍යාපාරයට ගැරහුවා.”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


“නායකතුමාට අවශ්‍ය දානපතියෝ දෙන උදව් උපකාරවලින් පක්ෂ අරමුදල් ශක්තිමත් කරගන්න නෙවෙයි. පක්ෂ අරමුදල් ගොඩ ගහගන්නත් නෙමේ. අපට අවශ්‍ය, මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් යමක් කරන්න.”‍ චමින් ද විජේසිරි කීවේය.
“අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ දරු පරම්පරාව කැට හොල්ලන පරම්පරාවක් වෙනුවට ලෝකය දිනන පරම්පරාවක් කරන්නයි.”‍ සජිත් උත්තර දුන්නේය.

 

තම රජයක කටයුතු ජවිපෙ නායකයා කියයි

ජාතික ජනබලවේගය පිහිටුවන රජයක අමාත්‍ය මණ්ඩලය රටේ ජනතාවට ලැබෙන දෙයට වඩා වැඩි කිසිම දෙයක් ලබා නොගන්නා බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ මහර සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.


මෙම ප්‍රකාශයට රැස්ව සිටි ජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. මහර සමුළුව කඩවත පැවැති අතර ධාරානිපාත වර්ෂාවක් පැවතුණත් පැමිණ සිටි පිරිසට වර්ෂාව බාධාවක් වී නොතිබුණි. කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හා ගණනාවක් මේ අවස්ථාවේ වේදිකාවේ අසුන් ගෙන සිටි අතර අනුර කුමාර දිසානායක මහතා සමුළුව අමතා කතාව ආරම්භ කළේය. මේ ස්ථානය හරියට තක්සලාවක් වගෙයි යැයි කියමිනි.


මුල්කිරිගල ආසන සමුළුව හිටපු මන්ත්‍රී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ද, හලාවත සමුළුව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වුණි.


ප්‍රධාන නගරවල ව්‍යාපාරික සංගම් හමුවීම ද පසුගිය සතියේදී සිදුවිය. එහි පළමු පියවර ලෙස මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, හොරණ ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු හොරණ වෙළඳ සංගමය හමුවූහ. එහිදී කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව සාකච්ඡා විය. පෞද්ගලික ව්‍යාපාරිකයන් නගාසිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
අය වැය විවාදය අවසන් දිනයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කතා කරමින් රටේ ආර්ථිකයේ කඩා වැටීම, වෙළෙඳපොළ හැකිලීම, ව්‍යාපාරික ගැටලු ආදිය පිළිබඳව කරුණු දැක්වීය. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍ය බව කියා සිටියේය.


මේ අතර අනුර කුමාර දිසානායක මහතා මේ සතියේ යුරෝපයේ සංචාරයකට පිටත්ව ගියේය. එහිදී ඉතාලිය, ප්‍රංශය හා ජර්මනිය යන රටවල ශ්‍රී ලාංකිකයින් හමුවීමට ඒ මහතා බලාපොරොත්තු වෙයි. බිමල් රත්නායක මහතා රුමේනියාව, බෙල්ජියම හා අයර්ලන්ත යන රටවල ශ්‍රී ලාංකිකයන් හමුවීමට ගොස් ඇති අතර පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ දිනවල නෙදර්ලන්තයේ ශ්‍රී ලාංකිකයන් හමුවීමට ගොස් සිටියි.

 

දූෂණ විරෝධී සටනකට කරු පණ පොවයි

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රටේ පවත්නා අන්ත දූෂණයට එරෙහිව කඳවුරු බඳින්නට තීරණය කර තිබේ. ඒ සඳහා පෙරමුණ ගැනීමට කරු ජයසූරිය දැනටමත් පියවර ගෙන තිබේ. එහි පළමු අදියර ලෙස සාධාරණ සමාජයක් ව්‍යාපාරය සිය සංවිධානය තුළ විශේෂ අනු කමිටුවක් නිර්මාණය කරගෙන තිබේ. 
එහි ප්‍රමුඛත්වය පවරා දී ඇත්තේ ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙතටය. ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලසිටර් ජනරාල්වරියක් මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියද වේ. කරු ඇය පෙරටුකරගෙන සූදානම් වන්නේ පසුගිය කාලය තුළ රටේ සිදුව ඇති බරපතළ වංචා හා දූෂණ ගණනාවක් පිළිබඳව විධිමත් ලෙස තොරතුරු සම්පාදනය කර ඒවාට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයන්ට අවශ්‍ය සහය දෙන්නටය. එමෙන්ම දූෂණ මර්දනය සඳහා අවශ්‍ය නව නීති හා උපාය මාර්ග පිළිබඳ අධ්‍යයනය කරමින් ඒ ගැන අදාළ ආයතනයන් වෙත බලපෑම් කණ්ඩායමක් කටයුතු කරන්නට ද කරු ගේ අරමුණ වී තිබේ.


එහි පළමු පියවර තබන ලද්දේ පසුගිය සිකුරාදාය. දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනය සමරමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති එම සමාරම්භයට ලංකාවේ ආර්ථිකය පිළිබඳ පර්‌යේෂණ ගණනාවක්ම සිදුකර ඇති වෙරිටේ රිසර්ච් ආයතනය මෙන්ම වගවීමේ පුරවැසි ව්‍යාපාරයද එක්ව සිටියේය. එහි දක්නට තිබුණ අනෙක් විශේෂත්වය වන්නේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද යෝජිත නව දූෂණ විරෝධී කෙටුම්පත පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් කිරීමයි

 

ගජබා