බැසිල් ආදා කිතුලෙන් වැටුණු පොලිස් කොමිසමේ ලොක්කා


දෙමළ සන්ධානය හදිසියේම ආරක්ෂාවට ඡන්දයක් ඉල්ලයි

අය වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ ඡන්ද දෙකකි. ඒ දෙවැනිවර කියවීමේ අවස්ථාවේ ඡන්දය සහ තෙවැනි වර කියවීමේ අවස්ථාවේ ඡන්දයයි. දෙවැනිවර කියවීමේ ඡන්දය තිබුණේ ගිය සතියේය. මේ බ්‍රහස්පතින්දා ආරක්ෂක වැය ශීර්ෂයට හදිසියේ ඡන්දයක් තිබුණි. ඒ ඡන්දය ඉල්ලුවේ දෙමළ සන්ධානයේ ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයාය. එහිදී ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 91 ක් ද විපක්ෂව ඡන්ද 10 ක් ද හිමි විය. ඒ 10 දෙමළ සන්ධානයේය. එහෙත් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය හා ජාතික ජනබලවේගය සභාවේ සිටියේ නැත.

ඇමරිකාවේ මාස එක හමාරක පමණ කාලයක් පෞද්ගලික සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ යළි මෙරටට පැමිණීමේ ප්‍රවෘත්තිය ද දේශපාලන කරළියේ කැලඹීමක් ඇති කළේය. ඉරිදා උදේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා පිළිගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු විසි දෙදෙනෙක් පමණ පැමිණ සිටියහ. රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත , පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න ඇතුළු මැති ඇමැතිවරු ද ඒ අතර වූහ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ද බැසිල් පිළිගන්නට පැමිණ කලින්ම පිටත්ව ගොස් තිබුණේ වෙනත් කටයුත්තක් තිබෙන බව කියමිනි.


මේ සිද්ධියේ ආන්දෝලනාත්මක කරුණු දෙකක් දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක් විය. ඉන් එකක් හිටපු අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් පැමිණීම සහ ඔහුට පොලිස් පෙරගමන් යතුරු පැදියක් ලබා දීමය. දෙවැන්න ඔහු පිළිගන්නට ගිය පිරිස අතර ජාතික පොලිස් කොමිසමේ සභාපති , හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මෙන්ම, එහි සාමාජිකයකු ද පැමිණ සිටීම ය. මේ කාරණා දෙක එළියේ දේශපාලන වේදිකාවේ පමණක් නොව පාර්ලිමේන්තුවේද ආන්දෝලනයට ලක්වූ මාතෘකා දෙකක් බවට පත්විය. එය විවේචනය කරන බොහෝ දෙනෙකු විමසා සිටියේ ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු නොවන පුද්ගලයෙකුට පොලිස් ආරක්ෂාව ලබාදුන්නේ කෙසේ ද යන්න ය. ස්වාධීන කොමිෂන් සභාවක් ​ෙවන පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයකු බැසිල් පිළිගන්නට ගුවන් තොටුපොළට ගියේ කුමන කාරණයක් මත දැයි දැන් ඊළඟ ප්‍රශ්නය විය. පොලිස් කොමිසමේ සාමාජිකයා නම් ඇත්තම කියා තිබූ නමුත් කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු දුන් පිළිතුර හරියට කිතුලට නැග්ග මිනිහා දුන් උත්තරය හා සමානය. ඔහු කීවේ තමා එහි කලබලයක් දැයි සොයා බැලීමට ගිය බවය. ස්වාධීන යැයි කියන ආයතනයක සභාපතිවරයකු මේ ආකාරයෙන් වගකීම් විරහිතව සහ දේශපාලන පක්ෂපාතිත්වයෙන් කටයුතු කිරීම බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට ලක්විය.

මැති සබේ විසුරුවන්නේ නැති බව ජනපති යළි කියයි

ලබන මාර්තු මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරියි ද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. අනෙකුත් පක්ෂවලටත් වඩා ඒ ගැටලු‍ව තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ය. ඔවුන් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කලින් විසුරුවා නොහරින ලෙස ය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට කලින් තිබූ ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද ඔවුන්ගේ මේ ඉල්ලීම් ඉදිරිපත් විය.


වික්‍රමසිංහ මහතාද එහිදී කියා තිබුණේ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව කලින් විසුරුවා නොහරින බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයෙන් පසුව විසුරුවා හැරීමට අවස්ථාව ලැබෙයි. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරීවි ද යන දෙගිඩියාව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ට තිබිණි. ජනාධිපතිවරයා ගිය සතියේ පැවති ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳ කතාවේදී ප්‍රසිද්ධියේම කියා සිටියේ තමා පාර්ලිමේන්තුව කලින් විසුරුවා නොහරින බව ය. එය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ අමන්දානන්දයට හේතු වන පිළිතුරක් බව නම් නිසැකය

ශ්‍රීලනිපය සන්ධානවලට පණ දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳුදා හවස පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමට සියලු‍ දෙනාම පාහේ පැමිණ සිටි අතර විශේෂත්වයක් වූයේ පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාද සහභාගී වී සිටීමය. දුමින්ද පැමිණ හිටපු ජනාධිපතිවරයාට යාබද අසුනේ ඉඳ ගත්තේය. පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමත් සමග ඇතිව තිබූ පුරප්පාඩු පිරවීම ද එහිදී සිදුවිය. ඒ අනුව නව ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් තිදෙනකු පත්කළ අතර ඒ තිදෙනාම පත් කරනු ලැබුවේ සියලු‍ ජාතීන් නියෝජනය ​ෙවන පරිදිය . උපසභාපතිවරයකු වූ ෂාන් විජයලාල් ද සිල්වා, ෆයිසර් මුස්තාපා සහ අංගජන් රාමනාදන් යන තිදෙනා නව ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ලෙස පත්කරනු ලැබූහ. මධ්‍යම කාරක සභාවේ ඇතිව තිබූ පුරප්පාඩු සඳහා ආණමඩුවේ ආනන්ද සරත් කුමාර, දෙවිනුවර නිලංග හෙන්දවිතාරණ, දෙනියායේ විජය දහනායක යන තිදෙනා පත්කරගනු ලැබූහ. උප සභාපතිවරුන් ලෙස තිස්ස කරලියද්ද, සරත් ඒකනායක , කීර්ති උඩවත්ත යන තිදෙනා පත්වූහ. ලසන්ත අලගියවන්න ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ භාණ්ඩාගාරික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී භාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත්කරගනු ලැබීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අක්‍රීයව පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණට ද යළි පණ දෙන්නට උත්සාහ දරමින් සිටී. එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉකුත් සඳුදා පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම පක්ෂ දෙක සඳහා ද නව මහ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කරනු ලැබූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල, පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පත් කරගනු ලැබීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ, නිමල් සිරිපාල සිල්වා ඇතුළු ආණ්ඩුවට එක් වූ නව දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබීය. ඊට දුමින්ද දිසානායකගෙන් තරමක් විරෝධය පළවිය. එසේ වුවද ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාවට මධ්‍යම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ගේ එකඟතාව පළ විය.


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අය-වැය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉන් අනතුරුව ය. එය සාකච්ඡාවට ගැනීමට කලින් ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඉන් පිටව ගියේ වෙනත් කටයුත්තක් තිබෙන බව කියමිනි. එහි සිටි බොහෝ දෙනකු කීවේ දුමින්ද මේ බව දැනගෙන පිටව ගිය බවය. මධ්‍යම කාරක සභාව තීරණය කළේ අය වැයට විරුද්ධව ඡන්දය දීමට ය. පක්ෂය එසේ තීරණය කරනු ලැබූවද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා නිමල් සිරිපාල මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම සමග එක්ව අයවැයට පක්ෂව ඡන්දය දුන්නේ ය.


මේ අතර එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර අයවැය ඡන්දය දා ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ නිල නිවසේදී බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට කලින් තීරණය කර තිබූ නමුත්, එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඔවුහු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.


නිදහස් ජනතා සභාවද දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් මාලාව යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මේ සති අන්තයේ මීරිගමදී ඔවුන්ගේ සමුළුව පැවැත්වෙන අතර ඊට ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම සහභාගිවීමට නියමිතය. එහි ඊළඟ සමුළුව ලබන 4 වැනිදා බදුල්ලේ දී පැවැත්වෙන අතර එය සංවිධානය කිරීමේ සම්පූර්ණ බර කරට ගෙන ඇත්තේ ඩිලාන් පෙරේරා ය. ඊට සහභාගි ඳැවන මන්ත්‍රීවරුන්ටද ඔහු දැනුම් දී ඇත්තේ ඊට කලින් දිනයේ බදුල්ලට පැමිණ සිටින ලෙසය. ඒ සඳහා නවාතැන් පහසුකම් ඇතුළු සියලු‍ පහසුකම් සපයන බව ඩිලාන් ඔවුන්ට දැනුම් දී ඇත

බැසිල් වැඩට බහී

ඇෙමරිකාවේ   සිට  පැමිණි බැසිල්  රාජපක්ෂ හිටපු ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු යළි ආරම්භ කර ඇත. ඒ අනුව පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් හා ප්‍රධාන ක්‍රියාකාරීන් මේ සතියේ වරින් වර පක්ෂ මූලස්ථානයට කැඳවා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මේ අතර, පක්ෂයේම තවත් පිරිසක් පොහොට්ටුවේ ගමන්මග සම්බන්ධයෙන් පැහැදීමෙන් නොසිටින බව වාර්තාවේ. ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡා වල දී පොහොට්ටුවේ ගමන් මග වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් විවෘතව ඉදිරිපත් කිරීමට මේ පිරිස සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

 

සජිත්ට එරෙහි බොරුවක් හෙළිවෙයි

කරමින් විපක්ෂ නායක සජිත්ට එරෙහිව පසුගිය වකවානුවේ විවිධ ප්‍රචාර දියත් විය.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ඇතැම් මන්ත්‍රීවරුන් විසින් කරන ලද ප්‍රකාශ යම් යම් මාධ්‍ය විසින් උලු‍ප්පා දක්වමින් ඒ ප්‍රකාශ තහවුරු කරන්නට ගත් උත්සාහයක් දැකිය හැකි විය.


සංස්කෘතික අරමුදල අරබයා එල්ල වෙමින් තිබූ චෝදනා සහමුලින්ම අසත්‍ය බව ඔප්පු වී තිබියදීත් ඇතැම් කණ්ඩායම් විසින් සිය මඩ ප්‍රහාර එල්ල කිරීම නතර කළේ නැත.
මේ සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක් උදා වූයේ කෝප් කමිටුවට මේ ප්‍රශ්නය ගිය විටදීය.
එහි සියලු‍ කරුණුවලින් අනාවරණය වුණේ සජිත් සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුව තුළ කිසිදු දූෂණයක් හෝ අවභාවිතාවක් සිදුවී නැති බවය.
‘කෝප් කමිටුවේ දී ආණ්ඩුවෙන් ආපු සමහර මන්ත්‍රීවරුන් පුන පුනා උත්සාහ කළා මෙතන වරදක් වෙලා තියෙනවා කියලා බොරුවට ඔප්පු කරන්න. හැබැයි ඇත්ත ගෙඩිපිටින් ඔප්පු වුණා”‍ මුජුබර් කීවේය.


”‍මේ රටේ බොරුව කීප වතාවක් කිව්වට පස්සේ බොරුව ඇත්තක් විදියට පිළිගන්නවා. සාක්කියක් දෙන්න පොලීසියට ගියත් සමහරු හිතන්නේ වැරදිකාරයෙක් කියලා. එහෙම රටක නායකතුමාට මෙහෙම බොරුවට මඩ ගහපුවම ඒක ඇත්ත කියලා පිළිගන්න තරම් මිනිස්සු මෝඩයි කියලා සමහරු හිතනවා. හැබැයි අන්තිමට කෝප් එකේදි ඔක්කොම ඇත්ත හෙළිදරව් වුණා.”‍


‘ජේවීපී එකේ සමහරුත් මේ ටොම් පච කරේ තියාගෙන ගියා. ඒ අයත් ඉන්දික අනුරුද්ධ පන්නයට වැටුණා. කොහොමත් එයාලා ඉන්නේ කොතැනද කියන එක මුළු රටම දන්නවා”‍
අශෝක් අබේසිංහ කීවේය.
‘සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ රාජ්‍ය ආයතන මගින්. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින්ම පමණක් මුදල් වැයකර තියෙනවා.


මුලින්ම රුපියල් බිලියන 5.25ක වියදම් සඳහා 2019 මාර්තු 15 දින අරලියගහ මන්දිරයේදී පැවති පාලක මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාගෙන”‍ එහෙම කිව්වේ ඉරාන් ය.
වර්තමානයේදී එම මුදල්වලට කුමක් සිදුවුණේද යන්න සොයා බැලිය යුතුයි.”‍ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
”‍අපි දන්නවා වැඩ කරනකොට මඩගහනවා. ඒ වැඩේ වෙනුවෙන්ම සමහරු ඉන්නවා. හැබැයි අපි හරියට වැඩ කළොත් මඩ ගහන අයටම ආපහු ඒ මඩ වදිනවා. මම හැමදාම කළේ මට ගහන ගල් එකතු කරලා ගෙවල් හදන එක”‍ සජිත් කීවේය.


මේ දිනවල ජනාධිපතිවරයා විසින් කරනු ලබන ඇතැම් තර්ජනාත්මක ප්‍රකාශ පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය.
‘ජනාධිපති කතා කරන්නේ මේක ඒකාධිපති රටක් කියලා හිතාගෙන. ආයෙ අරගලයක් කරන්න ආවොත් හමුදාව පොලීසිය දානවා කියලා එයා කරන තර්ජනය සුළුපටු නැහැ”‍ ගයන්ත කීවේය.


‘එතුමගෙන් ඔය ඇහෙන්නේ රාජපක්ෂලාගේ වොයිස් එක. අනික එතුමාට ජනතා පරමාධිපත්‍යය ගැන හැඟීමක් නැහැ. මොකද එතුමා පත්වුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්”‍ චමින්ද විජේසිරි කීවේය.


‘එතුමා හිට්ලර් කියලා එතුමම කියනවා. හැබැයි ඇත්ත කතාව කීවේ දුමින්ද නාගමුව”‍බුද්ධික කීවේය.
‘ඒ මොකක්ද ?”‍ එහෙම ඇසුවේ හේෂා ය.


‘එතුමා හිට්ලර් නෙවෙ එතුමා චාලි චැප්ලින් ලු‍”‍ බුද්ධික සිනාසෙමින් කීය.


කෙසේ වෙතත් ජනාධිපති විසින් කරන ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් විපක්ෂ නායක සජිත් විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
‘ආර්ථික ඝාතකයන්ට රතුපලස් දමා පිළිගෙන ජනතාවට තර්ජනය කරන ජනාධිපතිගේ ප්‍රකාශය හෙළා දකිමු !”‍ මැයෙන් නිකුත් වූ එම නිවේදනය තුළින් සජිත් අවධාරණය කළේ මේ රටේ පුරවැසියන් ඉලක්ක කොටගෙන ජනාධිපතිවරයා අද අතිශයින්ම බියගුළු සහ ගෝත්‍රික පන්නයේ ප්‍රකාශයන් කරන බවත් එකී ප්‍රකාශ ඒ ප්‍රකාශයටම උරුම පිළිකුලෙන් යුතුව බැහැර කරන බවය.


මේ අතර සමගි ජන බලවේගය සිය වාර්ෂික සංවත්සරය සැමරීමට සූදානම් වෙයි. දෙසැම්බර් 11 බොරැල්ල කැම්බල් පිටියේදී එය පැවැත්වෙන්නේ දස දහස් ගණන් පාක්ෂිකයන් සමග බව එම පක්ෂය කියයි.

ජාතික ජන බලවේගයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය ජනවාරියේ

ප්‍රතිපත්තිය ලබන ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේදී ප්‍රකාශ කළේය. මේ සඳහා පොලිසියේ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.


ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව හදිසියේ රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී ඇත. ගාල්ල දිස්ත්‍රික් රැලිය දෙසැම්බර් 1 වැනිදා සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


එහිදී නලීන් හේවගේ මහතා ප්‍රකාශ කර සිටියේ සමනල ක්‍රීඩාංගණය පිරී ඉතිරී යාමට මෙම රැලියට පිරිස සහභාගී කරවන බවයි. බොහොමයක් පොලිස් නිලධාරීන් දක්වන සහාය පිළිබඳවද මෙහිදී නලීන් හේවගේ මහතා ප්‍රකාශ කර සිටියේය.
මීට අමතරව දෙසැම්බර් 10 සිට 20 දක්වා දිනවල පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට නියමිත බවද අනාවරණය විය.


බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව හා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට එරටට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවය. එම ඉල්ලීම සම්බන්ධයෙන් ද දින වෙන් කිරීමට තීරණය විය.
බිමල් රත්නායක හා​ වෛද්‍ය නලින් ද ජයතිස්ස මහත්වරුන් තුර්කියේ ඉස්තාන්බුල්හි පැවැති ආසියානු දේශපාලන පක්ෂවල සමුළුවට සහභාගී වීමේ තොරතුරු මෙහිදී අනාවරණය කළේය. රටවල් 37ක දේශපාලන පක්ෂ 70ක් මෙම සමුළුවට සහභාගි වී සිටි අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා රටේ සිදුවන දූෂණය හා වංචාව පිළිබඳවත් විමසා සිටි බව ඔවුහු ප්‍රකාශ කළහ.


එරට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා විමසා සිටි බවද අනාවරණය කළේය.
මීට අමතරව ගිය සතියේදී ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවන් ගණනාවක්ම අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇඟලුම් කර්මාන්තය මුහුණපා සිටින අසීරුතා පිළිබඳව සාකච්ඡා කළේය.


භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීන් දෙදෙනකු දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කිරීම පිළිබඳවද පිරිසක් අනුර කුමාර දිසානායක මහතා හමුවී කරුණු පෙන්වාදී ඇත. එහි ප්‍රධානියෙක් සම්බන්ධ සමාගමක් මගින් ත්‍රිකුණාමලය හා මුතූර්වල වැලි කැණීමේ සිද්ධියක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කරු හමුවෙන්න ආ තානාපතිවරු

ශ්‍රී ලංකාවේ ඇ​ෙමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් මහත්මිය පසුගිය සතියේදී කරු ජයසූරිය හමුවන්නට අමරසේකර මාවතේ පිහිටි ඔහුගේ නිවසට පැමිණියේය. කරු හමුවන්නට ඇය පැමිණ ඇත්තේ සිය කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අනාමිකා චක්‍රවර්තී මහත්මියද කැටුවය.


එහිදී ඔවුන් කරු සමග සිදුකළ සාකච්ඡාවේදී මූලික කරුණු පිළිබඳව ඇ​ෙමරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දක්වා තිබුණි. එම කරුණුම කරු ජයසූරිය මහතාද සනාථ කර තිබේ. ඒ අනුව එහිදී මූලික වශයෙන් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීමේදී යහපාලන මූලධර්ම තහවුරු කර ගැනීමේ ඇති වැදගත්කම කෙරෙහිය.


පසුගිය සතියේදී තවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්ද කරු හමුවන්නට ඔහුගේ නිවසට පැමිණ තිබේ. ඒ සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් සමු ගැනීමට සූදානම්ව සිටින මැලේසියා මහ කොමසාරිස් ඩාටෝ යැන්ග් ථායි මහතාය. ශ්‍රී ලංකාවට සමුදීමට පෙර ඔහු කරු හමුවන්නට පැමිණ තිබුණේ මැලේසියා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තහවුරු කිරීම සඳහා කරු දක්වා ඇති සහයෝගයට ස්තුති කරන්නටය.

 

ගජබා