බාලගිරි දෝෂය හැදුණු කැබිනට් සංශෝධනය


‍කච්චතිව් බුදු පිළිමය ගැන ජනපති කී කතාව

රටේ ආර්ථිකය ගැන කතා බහ කෙරුණේ ඉකුත් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයේදී ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. වජිර හා සාගලට අමතරව ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැතිවරුන් සමග මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ද එහි පැමිණ සිටියහ.  


‘‘තෙල්, ගෑස් මිල අඩුවීමත් එක්ක ජනතාව තුළ ආණ්ඩුව ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා’’ ජනාධිපති උපදේශක ආචාර්ය සමරතුංග කීවේය.  
‘‘ගිය අවුරුද්දේ මේ කාලේ මිනිස්සු හිටියේ පෝලිම්වල. ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මාස කිහිපයකින් මේ තත්ත්වය වෙනස් කළා’’ සාගල ද කතාවට අලගු තැබීය.  


‘‘අයි.එම්.එෆ්. වැඩපිළිවෙළත් එක්ක ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ විදියට අපට තව මාස කිහිපයක් ඉදිරියට යන්න පුළුවන් වුණොත් රටේ ආර්ථිකය ඉතා හොඳ තැනකට ගන්න පුළුවන්’’ රාජ්‍ය ඇමැති ෂෙහාන් කීවේ එවැන්නකි.
‘‘කොහොමත් අපිට ජූනි ජූලි මාස පසු කළාට පස්සේ අලුත් දිසාවකට ආර්ථිකය හැරෙන නිසා ජනතා ප්‍රශ්න බොහොමයක් විසදේවි’’ රාජ්‍ය ඇමැති සියඹලාපිටිය ද කතාවට එක් වූවේ එලෙසිනි.  


‘‘මෙතුමා අගමැතිවෙලා හිටපු හැම වෙලාවෙම ජනතාවට සිංහල අවුරුද්ද ජයටම සමරන්න ලැබුණා. දැන් ජනාධිපති, ඒ නිසා ජනතාවට ජයක් මිස පරාජයක් නොවන බව නම් විශ්වාසයි’’ මන්ත්‍රී වජිර කියද්දී සැවොම හිස සැලුවේ ගෞරවයෙනි.  
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මානව හිමිකම්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ගැන අවධානයෙන් පසුවන බවට විපක්ෂය ගෙන යන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු මතු වූ අතර, එහිදී ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග විග්‍රහ කළේ ඔවුනට අවශ්‍ය දූෂණ මර්දන පනත ගෙන ඒම ගැන මිසක් වෙනත් කාරණා ගැන නොවන බවය.  
ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා සිටියේ අනුරාධපුරයේය. ඔහු අනුරාධපුරයට පැමිණීමට පෙර සිය නිල නිවසේ දී රාජකාරි හමුවීම් කිහිපයකටද එක් විය. ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සාමාජික ආචාර්ය භාරතී ලාල් ද ඒ අතර විය.  


එදින සවස අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත ජනපති පැමිණියේ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත රටේ ආරක්ෂාවත්, ආර්ථිකයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ගැනත් පැහැදිලි කර දීමටය. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා රඳවනයේ රැස්ව සිටි ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 2000ක පමණ පිරිසක් අමතමින් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය හා නීතිය සාමය රකින ආකාරය පැහැදිලි කර දුන්නේය.  


සිය කතාව අවසන් කළ ජනපති රනිල්, ගුවන් හමුදා සහ නාවුක හමුදා සාමාන්‍ය සෙබළුන් සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කළේය. ජනපතිවරයෙකු එසේ පැමිණ සිය රාජකාරි කටයුතු ගැන විමසන පළමු අවස්ථාව වූ බැවින් බොහෝ දෙනෙක් කතා කළේ අඩුවෙනි. පසු දින උදේම ජනපති ශ්‍රී මහ බෝධින් වහන්සේ අසලට ගියේ අලුත් සහල් මංගල්‍යයට එක්වීමටය.  


සම්ප්‍රදායක් ලෙස ජනපති එහි දී කතා කරන මුත් මෙවර එය සිදු වූවේ නැත. කෘෂි ඇමැති මහින්ද අමරවීර රජය වෙනුවෙන් කතා කළේය. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් රන් නැලියට සහල් දමමින් චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යය ආරම්භ කළ අතර, ජනපති, කෘෂි ඇමැති ඇතුළු පැමිණ සිටි පිරිස ද ඊට සහල් එකතු කරමින් රාජකීය චාරිත්‍රය ඉටු කරනු ලැබූහ.  


මෙහිදී ආදිවාසි නායක වන්නිල ඇත්තන් ද පැමිණ සිටියේ සම්ප්‍රදායක් ඉටු කිරීමටය. එනම් අලුත් සහල් මංගල්‍යයේ මී පැණි පූජාව ඉටු කිරීමටය. ඔහු එය රාජ්‍ය නායකයා වෙත පිළිගැන්වූවේ චාරිත්‍රානුකූලව අටමස්ථානාධිපති හිමියන් වෙත පූජා කිරීමටය. ජනපති රනිල් එම චාරිත්‍රය මෙවර වෙනස් කරමින් පැමිණ සිටි කුඩා දරු පිරිසකට එය භාරදුන්නේ අටමස්ථානාධිපති හිමියන් වෙත පූජා කිරීමටය.  
‘‘මෙයාලා තමයි රට බාර ගන්න ඉන්න අනාගත නායකයෝ’’ යැයි කියමින් ජනපති දරුවන් අතින් අටමස්ථානාධිපති හිමියන් වෙත මී පැණි පූජාව ඉටු කළහ. ඉන් නොනැවතී ජනාධිපති මාධ්‍ය අංශය වෙත ඔහු උපදෙස් දුන්නේ, දරුවන්ට එම අවස්ථාවේ ගත් ඡායාරූප ද යවන ලෙසටය.  
ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා   කිරීම​ට ජනපති උඩමළුව වෙත පියනගද්දී ඔහු වෙත පැමිණි දරුවෙක් ජනපති සමග වැඩ කිරීමට කැමති බව ඍජුව  ප්‍රකාශ කළේ කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයට. ‘‘ආ මේ කලින් වතාවක මම අනුරාධපුරේ ආපු වෙලාවේ සෙල්ෆි ගහපු දරුවා නේද?’’යි කියමින් ජනපති සිය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හට කීවේ මේ දරුවා ජනපති කාර්යාලයට කැඳවන ලෙසට ය.   
උඩමළුවේ සිට අටමස්ථානාධිපති නාහිමියන්ගේ ආවාසය වෙත එන අතරතුර මාර්ගය දෙපස රැඳී සිටි දරුවන් පිරිසක් ජනපති හා කතා කිරීමට ඉදිරිපත් වූවේ නිතැතිනි. ඔවුන්ගේ ගම් පෙදෙස විමසූ ජනපති ‘ආ මෙයාලා අපේ ගමේ​නේ’’ යැයි කියමින් ඔවුන් සමග සෙල්ෆි  ඡායාරූපවලට ද පෙනී සිටියේය.   
පසුව ජනපති රනිල් අටමස්ථානාධිපති හිමියන් සමග සුහද පිළිසඳරක නිරත වූවේය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පිවිසෙන මාර්ගයේ තදබදය ගැන මෙහි දී සාකච්ඡා වූ අතර විකල්ප මාර්ගයක් ගැන ද එහිදී අවධානය යොමුවිය. 

 
නවීන තාක්ෂණය භාවිත කරමින් පුරා විද්‍යා ස්ථාන හඳුනාගෙන එයට හානියක් නොවන ලෙස නව වැසිකිළි කැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට අටමස්ථානාධිපති හේමරතන හිමියන් කළ ඉල්ලීම ජනපති රනිල් සිය කාර්ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත පැවරුවේය. ඔහු නාගරික සංවර්ධන අධිකාරිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට එම කටයුතු කරන බවට එහි දී සහතික වූවේය.   
සඳුදා දිනයේ යොදාගත් රාජකාරි ගණනාවකට එක් වූ ජනපති රනිල් සවස ඇමැති මණ්ඩල රැස්වීමට ද සහභාගි වූවේය. පසුදින ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණ සිටි අතර මේ අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ජනපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියෝය.   
එහි පැමිණි විදේශ ඇමැති අලි සබ්‍ර් දැනුම් දුන්නේ නාවුක හමුදාව විසින් කච්චතිව් හි බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියන් පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීවරු අදහස් දක්වමින් විරෝධයක් පළකර ඇති බවය. විදේශ ඇමතිගේ කාරණය සාවදානව අසා සිටි ජනපති ඔහුට දුන්නේ කිසිවෙකු අපේක්ෂා නොකළ පිළිතුරකි.   
‘‘රාෂ්ඨ්‍රපති බවන් වෙත ඇතුළු වෙනකොටම තියෙන්නේ බුදු පිළිමයක්. ඉන්දියාවෙන් බිහි කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයා කියලා තමයි බුදුන් වහන්සේ හඳුන් වන්නේ. ඉතින් අපි මේකට විරුද්ධ වෙන්න හේතුව මොකක්ද?’’ ජනපති රනිල් කී දේ ඇසූ හමුදා නිලධාරීහු පවා විමතියට පත් වූහ.   
එහි සිටි පිරිස පසුව කතා වූවේ ඉන්දියන් පාර්ලිමේන්තුවේ මේ ගැන කියන්න කිසිවෙකු නොසිටීම ගැනය. එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය මුණ ගැසුණු ජනපති මැයි දිනය ගැන සාකච්ඡා කළේය. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැකිය සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර ඇති බව මහලේකම් රංගේ බණ්ඩාර දැනුම් දුන්නේය.   


ජනපති ද මැයි දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරන අතර එය සජීවීව මෙහි දී ප්‍රදර්ශනය කරනාකාරය ගැන ද එහිදී සාකච්ඡා කෙරිණි. පසුදින පො​හොය දිනයක් වූ බැවින් ඔහු රාජකාරි කළේ නිවසේ සිටය. වෘත්තීය සමිති  කිහිපයක් සඳුදා විරෝධතාවයක නිරත වීමට ගෙන ඇති තීන්දුවත් සමග එම පිරිස හා සාකච්ඡා කිරීමට ජනපති පවරා තිබුණේ ලේකම් සමන් ඒකනායකට හා ආර්ථික උපදේශක  ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග වෙතය.   
ආචාර්ය සමරතුංග විසින් වෛද්‍යවරුන් ආචාර්යවරුන්  ඇතුළු  වෘත්තීය නියෝජිතයන් පිරිස වෙන වෙනම මුණු ගැසුණේ රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කර දීමටය. ඔහු සියලු‍ වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටි​යේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයත් සමග රටේ ආර්ථිකයේ දිසානතිය ජුනි මාසයෙන් පසු වෙනස් වන බැවින් මෙම වසර අවසානය වන තෙක් ආණ්ඩුවට යම් අවස්ථාවක් දෙන ලෙසය.   


ඉන්පසු වෘත්තීය සමිති නායකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුවට සුබදායි උත්සාහයක් ගත හැකි බවද ඔහු වෘත්තීය සමිති නායකයන් දැනුම්වත් කර තිබුණි. ජනපති රනිල් අලු‍ත් අවුරුදු නිවාඩුවත් සමග කොළඹින් බැහැරව ගියේ සිකුරාදා දින සවසය.  


දේශපාලන කරළියේ මතුපිටින් නම් පසුගිය සතියේ පැවතියේ තරමක නිහැඬියාවකි. අලු‍ත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් මැති ඇමතිවරුන් ගම්බිම් බලා පිටත්ව යාමත්, පාර්ලිමේන්තුවේ කටයුතු සීමාවීමත් ඊට තදින්ම බලපෑවේය. එසේ වුව ද දේශපාලන තිරය පිටුපස නම් ගිය සතියේ ද කැලඹිලි ස්වභාවය එලෙසම පැවතුණු බව පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂයේ සහ පොහොට්ටුවේ මීළග ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ම පිරිසක් කලඑළි බැස සිටින බව ගිය සතියේ අපි වාර්තා කළෙමු.   


තිරය පිටුපස පැවති එම සූදානම ගිය සතියේ ප්‍රසිද්ධ කරළියට පැමිණියේ කංචන විජේසේකර ඇමැතිවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් ද හේතුවෙනි. මීළග ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරිපත් කළ යුතු බව කංචන ප්‍රසිද්ධියේම කියා සිටියේය. ඔහුගේ මේ ප්‍රකාශයත් සමග වඩාත් කැලඹීමට පත්ව සිටින්නේ පොහොට්ටුවේ ම පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නැත. පොහොට්ටුවේ ඇතමුන් තැන් තැන්වල දී කංචනට දොස් නගන බව ද වාර්තා වේ.   
 මේ අතර, පොහොට්ටුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොහොට්ටුවේම පිරිසක් චෝදනා එල්ල කරමින් සිටින බවද වාර්තා වේ. එම පක්ෂයේ ඇතැමුන් ඒ ඒ දිස්ත්‍රික්කවල මැති ඇමැතිවරුන් පවා නොමැතිව රැස්වීම් පවත්වන බවට ද එම පක්ෂයේ පිරිස් අතර කතාබහට ලක්ව ඇත. බියගම පැවති පොහොට්ටු රැස්වීම ඉන් එකකි. ආණ්ඩුවේ ප්‍රබලයකු මෙන්ම පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන්නේ ප්‍රසන්න රණතුංග ය. ගිය සතියේ පොහොට්ටුවේ පිරිසක් බියගම ගොස් රැස්වීමක් පැවැත්වූයේ ප්‍රසන්න නොමැතිවය. ප්‍රසන්න මේ දිනවල පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටීම ඊට එක් හේතුවක් වන්නට ඇත. එසේ වුවද වෙනදා නම් ගම්පහ රැස්වීම් පවත්වන විට ඒසම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා කරන්නේ ප්‍රසන්න සමගය. බියගම රැස්වීමට පොහොට්ටුව වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරු සහභාගි වූහ. ප්‍රසන්න මිනුවන්ගොඩදී මීට පෙර එවැනි රැස්වීමක් පැවැත්වූ අතර සාගර කාරියවසම්ලා ඊට සහභාගී නොවූ අතර, මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා ඊට සහභාගි විය.   
මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද එක් එක් දිස්ත්‍රික්කවලට යමින් ක්‍රියාකාරීන් හමුවෙමින් සිටී. ඔහු ගිය සතියේ අනුරාධපුරයේ රැස්වීමකට සහභාගි වූ අතර, එය සංවිධානය කර තිබුණේ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයාය. එසේ වුවද ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා ඊට සහභාගී නොවූ බව වාර්තා විය. මාතලේ ද එවැනි රැස්වීමක් නාමල් ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, පොහොට්ටුව නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක යන මන්ත්‍රීවරුන් ඊට සහභාගී නොවූ බව වාර්තා විය.  

 

බාලගිරි දෝෂය හැදුණු කැබිනට් සංශෝධනය

පොහොට්ටුවේ තවත් පිරිසකට අලු‍තෙන් ඇමැතිධුර අද ලැබෙයි හෙට ලැබෙයි කියා පහුගිය කාලයේ දිගින් දිගටම ආරංචි පැතිර ගියේය. එහෙත් එය තවමත් සැබෑ වී නොමැත. ඇමැති ධූර සම්බන්ධයෙන් පොහොට්ටුවේ ප්‍රබලයන් කිහිපදෙනකු ම දැඩි අපේක්ෂාවෙන් සිටින බව නොරහසකි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉවසීමේ සීමාව ද මේ වන විට ඉක්මවා ගොස් තිබෙන බව පැහැදිලිය. තනතුරු නොලැබීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් තැන් තැන්වල විවේචනය කරන බව ද බොහෝ දෙනාට නොරහසකි. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ද කීවේ මාර්තු මස මැද දී කැබිනට් සංශෝධනයක් වන බවය. මාර්තු මාසේ අවසන් වී සතියකුත් ගතවී ඇත. ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කැබිනට් සංශෝධනය මේ මාසයේ සිදුවන්නේ නැත. එය තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ. එසේ වුවද පොහොට්ටුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, මහින්දානන්ද අලු‍ත්ගමගේ, විමලවීර දිසානායක යන මන්ත්‍රීවරුන් ඇමතිධුර අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.   
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ අභාවයෙන් පුරප්පාඩු වූ එම ධුරයට සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඉකුත් සතියේ පත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. තමා ඒ සඳහා පත් කරන තෙක්ම සුනිල් ආරියරත්නයන් ඒ බවක් නොදැන සිටියේය. සනත් නන්දසිරිගේ මළගෙදරට ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දක්වා එළියට එද්දී මහාචාර්ය සුනිල් හමුවිය. “ආ අලු‍ත් කුලපති තුමත් මේ ඉන්නේ”‍ යැයි  ජනාධිපතිවරයා කියද්දී සුනිල් ආරියරත්න ඒ බව දැන සිටියේ නැත   


ඊට දින දෙකකට පසුව ජනාධිපතිවරයා ඔහු එම ධුරයට පත් කළේය. මේ සඳහා කපුකම කර තිබුණේ ජනාධිපතිවරයාගේ මෙන් ම සුනිල් ආරියරත්නයන්ගේ ද හිතවතකු වන සමන් අතාවුදහෙට්ටි සහ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක කර්තෘවරයකු බව වාර්තා වේ. 

 බන්දුලගේ ‘සහෝ’ බලන්න මහින්දත් එයි 

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු කිහිප දෙනකුගේ නව නිෂ්පාදනයක් වන ‘සහෝ’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත් බ්‍රහස්පතින්දා වන් ගෝල්ෆේස්හි දී පළමුවරට ප්‍රදර්ශනය කෙරිණි. එය මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටය බලන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන ද පැමිණ සිටියහ. බන්දුල ද ඊට කලින් දිනයේ දිවයිනට පැමිණියේ රුසියාවේ සහ බෙලරුසියාවේ සංචාරයක නිරතවීමෙන් අනතුරුවය. ඔහු එම සංචාරයට කොළඹ සිට මොස්කව් බලා ගියේත් ආවෙත් සාමාන්‍ය ගුවන් මගියකු ලෙසය. මේ සංචාරයට සිය පෞද්ගලික ධනය වැය කළ අතර අමාත්‍යාංශයෙන් හිමිවන කිසිදු මුදලක් නොගැනීමට ද ඔහු වග බලා ගත්තේය.

සජබෙන් කවුරුවත් ආණ්ඩුවට යන්නෙ නෑ

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එකතු වන බවට දිගින් දිගටම ප්‍රචාරයක් පසුගිය සතිය පුරාද එල්ල වෙමින් තිබුණි.   
බොහෝ දෙනෙක් තුළ පැවති බරපතළම ගැටලු‍ව වූයේ දිගින් දිගටම මේ අන්දමට ප්‍රචාර සිදු කරන්නේ කෙසේද කියාය. සැබවින්ම සිදුව ඇත්තේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ආණ්ඩුවට යෑම වෙනුවට ආණ්ඩුව නියෝජනය කළ තිහකට වැඩි පිරිසක් විපක්ෂයට පැමිණ අසුන් ගැනීම වුවත් බොරු ප්‍රචාර පැළ කිරීමේ අඩුවක් දකින්නට ලැබුණේ නැති බව සජබයේ අදහසය. 


ඉකුත් 4 වැනිදා පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම හතළිහකට ආසන්න පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ගොස් ආණ්ඩුව පැත්තේ අසුන්ගන්න බවට මාධ්‍ය කිහිපයක්ම ප්‍රවෘත්ති මවා තිබුණි. එහෙත් කිසිවකු එලෙස ආණ්ඩුවට එක් වුණේ නැත. 


මේ සියල්ල අතර පසුගියදා සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදුන්නේ විපක්ෂ නායක සජිත්ගේ ආරාධනයෙනි. ඒ නව වසර ඉලක්ක කර ගනිමිනි. අදාළ කටයුත්ත සංවිධානය කොට තිබුණේ සජිත්ගේ හිතවතෙකු වූ ලක්ෂ්මන් ෆොන්සේකා විසිනි. 
ඊට පසු දින එක් මාධ්‍යයක පළවූයේ හර්ෂ, ඉරාන් ඇතුළු පිරිස ද සමගි ජන බලවේගය හැර යන බවට ප්‍රවෘත්තියක් වාර්තා කරමිනි. 
සජිත් වහාම ට්විටර් පණිවුඩයක් තබමින් අවධාරණය කළේ සැබෑ මාධ්‍යකරණයේ නියැලීමට ඊළඟ වතාවේ හෝ උත්සාහ කරන ලෙසටය. 
හර්ෂ, ඉරාන් දෙදෙනාම වහාම කළේ ට්විටර් පණිවිඩ හරහාම මේ බොරුව රටට හෙළිදරව් කිරීම ය. 
ඒ පුවත් සම්පූර්ණ අසත්‍යයක් බවත්, ඒය පහත් මාධ්‍ය කලාවක් අනුගමනය කිරීමක් බවත් ඉරාන් පෙන්වා දුන්නේය. 
‘‘මේ බොරු මවන අයට මම නම් කියන්නේ දේශපාලන ටොයියෝ කියලා. දේශපාලනය ගැන ගැඹුරක් නැති දැක්මක් නැති චින්තනයක් නැති පරාජිතයෝ ඇවිල්ලා මේ වගේ බොරු පැළ කරන කොට අපිට හිනා යනවා”‍ එහෙම කීවේ මරික්කාර් ය. 


‘‘මේ වගේ වෙලාවක කවුරුහරි ආණ්ඩුවට යනවා නම් යන්නේ සල්ලි හොයන්න. අපෙන් ගිහිල්ලා තියෙන්නේ event Manager කෙනෙක් විතරයි. එයා ඉන්නකම් කළේ Event කරන එක විතරයි. එහෙම ඉවෙන්ට් කරන අය දැන් අපි ළඟ නෑ. අපි ළඟ ඉන්නේ දේශපාලනය කරන අය”‍ කාවින්ද ජයවර්ධන කීවේය. 
‘‘මේ වෙලාවේ අන්ත අසරණ වෙලා කුල්ල කුජීත වෙලා ඉන්නේ පොහොට්ටුව. පොහොට්ටුවට රනිල් කියන්නේ මහ ගහක් උනාට අපිට නම් රනිල් කියන්නේ තුත්තිරි ගහක්”‍ තුෂාර ඉඳුනිල් කීවේය. 


මේ අතර රෝහණ බණ්ඩාර එම ස්ථානයට ආවේ අලු‍ත් ප්‍රවෘත්තියක් ද රැගෙනය. 
ඒ අනුරාධපුර මැදවච්චිය සමූපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගය අතිවිශිෂ්ට ජයක් ලැබූ පුවතය. 
‘‘මැදවච්චිය පොහොට්ටුවේ බලකොටුවක්. අපි ඒ බලකොටුව බින්දා”‍ රෝහණ කීවේය. නිලවරණයෙන් සජබ කණ්ඩායමේ සාමාජිකයන් 70ක් පත්වෙද්දී මාලිමාවට හිමිව ඇත්තේ 34කි. 


මැදවච්චිය නගරයේ කොට්ඨාස 16ම සජබ කණ්ඩායම ජයග්‍රහණය කොට තිබීමද විශේෂ සිදුවීමකි. 
‘‘රෝහණ දක්ෂයි”‍ සජිත් කීවේ රෝහණට සුබපැතුම් එක්කරමිනි. 
‘‘ඉස්සරහට ලංකාව පුරාම තියෙන සමුපකාර ඡන්ද ටිකක් අපි දිනන්න ඕන”‍ මහ ලේකම් රංජිත් කීවේය. 
මේ අතර රටේ ආර්ථිකය පිළිබඳව ද කතා ඇදී එන්නට පටන් ගත්තේය. 
‘‘සමහරු හිතන් ඉන්නවා දැන් සේරම හරි කියලා. මතක තියාගන්න ඊළඟ අවුරුද්ද තවත් අමාරුයි. මේක දේශපාලන ඩීල් ගගහා ඉන්න වෙලාවක් නෙවෙයි. ආණ්ඩුව දැනගන්න ඕන එන අවුරුද්ද තුළ අපේ රට තවත් බරපතළ අඩියකට තල්ලු‍ වෙන්න ඉඩ තියනවා. ඇත්තටම අපේ රටේ ආර්ථිකය තවම ඉතාම අවිනිශ්චිතයි”‍ සජිත් මාතෘකාව වෙනතකට රැගෙන ගියේය. 


‘‘අයි.එම්.එෆ්. ගිවිසුමේ ඇති ප්‍රතිසංස්කරණ ඉදිරි වසර හතර තුළ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යන්න වෙනවා. මේක ලෙහෙසි පහසු අභියෝගයක් නෙමේ. මේ වගේ තීරණාත්මක වෙලාවකත් ආණ්ඩුව දේශපාලන න්‍යාය පත්‍ර අතට ගන්නවා නම් ඒක වැරදියි”‍ ඉරාන් මෙන්ම හර්ෂ ද කීය. 
සජිත් කීවාක් මෙන් ම ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බවත්, එම තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින බවත් ලෝක බැංකුව ඊට පසුදා ම නිවේදනය කළේය. 


ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම බරපතළ ලෙස සාකච්ඡාවට ගත්තේය. 
එහි සඳහන් ඇතැම් වාක්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අතර සමගි ජන බලවේගය තීන්දු කළේ ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ වන්නට ය. 
‘‘එය ජනපීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන පනතක්”‍ සජිත් කීවේය.

ජාතික සම්පත් විකිණීම මඟුලක්ද-උගුලක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම හා රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව පසුගිය සතියේ පැවැති ජාතික ජන බලවේගය විධායක සභාවේ දී සාකච්ඡාවට භාජනය විය. එහිදී පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීමේ මුවාවෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට රජය සැළසුම් සකස් කරමින් සිටින බව මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. ණය ගෙවා ගැනීමට ගෙදර තිබෙන බඩු මුට්ටු හෝ විකිණීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශ මත තේරුම් යන්නේ රාජ්‍ය සම්පත් විකිණීමට ගන්නා උත්සාහය යැයි ද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.  


පසුගිය කාලය පුරා රාජ්‍ය ආයතන 80ක පමණ ප්‍රමාණයක් විකුණා ඇතත් ඒවාට සිදුවූ දෙයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය. මේ සැබෑ තත්ත්වය ජනතාවට වටහා දිය යුතු බව මෙහිදී තීරණය කෙරුණ අතර ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද? යන තේමාව මත ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය විය. ඒ අනුව පළමු සම්මන්ත්‍රණය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම දී පැවැත්වුණි.  


අනෙකුත් සියලු දිස්ත්‍රික්ක මට්ටමින් හා කොට්ඨාස මට්ටමින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉදිරි කාලයේ දී සිදු කිරීමට තීරණය විය.  


මීට අමතරව වෘත්තිය සමිති මර්දනය ත්‍රස්ත පනත මැතිවරණය කල් දැමීම පිළිබඳව විදේශ තානාපති කාර්යාල, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ගිය සතියේ දී ක්‍රියාත්මක විය. ජාතික ජන බලවේගය හා සිවිල් සමාජ එකතුව මූලිකත්වයෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු, ආචාර්ය දිලීප විතාරණ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න එරංග ගුණසේකර නිර්මාල් දේවසිරි ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ. ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, චීනය, රුසියාව, නෙදර්ලන්තය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමේ කටයුතු ගිය සතියේ දී සිදුවිය.

ත්‍රස්ත විරෝධී පනත ගැන කරු ගේ ස්ථාවරය කියයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන මේ වන විට සමාජය තුළ පවතින සංවාද විවාද බොහෝය. විශේෂයෙන්ම සිවිල් සමාජ සංවිධාන නායකයන් හා ක්‍රියාකාරිකයන් අතර ද වෘත්තීය සමිති හා මාධ්‍ය නිදහස අගයන සමාජ කණ්ඩායම් අතර මෙම පනත් කෙටුම්පත පිළිබඳව ගොඩනැගී ඇත්තේ අඳුරු චිත්‍රයකි. ඒ බොහෝ දෙනෙක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා අමතමින් මෙම පනත් කෙටුම්පත සම්මත වුව හොත් ඇතිවිය හැකි බිහිසුණු ප්‍රතිවිපාක ගැන කරුණු කියන්නට විය. ඒ වන විටත් කරුගේ නායකත්වය යටතේ පවතින සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ විශේෂ කණ්ඩායමක් සිටියේ ඒ ගැන අධ්‍යයනය කරමිනි. ඔවුන්ගේ ද අදහස් ගැඹුරින් සලකා බලා කරු තමන් සමග සාකච්ඡා කළ පිරිස් වෙත තම ස්ථාවරය දැනුම් දී ඇත.   


ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මතය ලෙස කරු කියා ඇත්තේ මේ වන විට බලාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුව ඇති බවයි. එමෙන්ම ලෝක ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින් හා රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණ ඇතිව ශක්තිමත් නව පනතක් හඳුන්වාදිය යුතුව ඇති බව තමන් පිළිගන්නා බවයි. එහෙත් ඒ සඳහා මේ වන විට කෙටුම්පත් කර ඇති පනතේ ඇතැම් විධිවිධාන ඉවත් කරගැනීම හෝ සංශෝධනය කරවා ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බව පෙන්වා දෙන කරු ඒ ගැන අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවා ඇත.  

 

ගජබා