පොහොට්ටුව ඇමැතිධුර ඉල්ලයි


පළාත්   පාලන  මැතිවරණය   සම්බන්ධ  අවුල ගිය සතියේ ද දේශපාලන කරළිය ගිනියම් කළේය. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවට ඉඟි පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි. ආණ්ඩුව පැත්තෙන් ද මැතිවරණය පැවැත්වීමට එතරම් වුවමනාවක් තිබෙන බවක් පෙනෙන්නට නොතිබිණි. මේ තත්ත්වය හමුවේ මැතිවරණය කල් යනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස විය. මැතිවරණය කල් දැමීමට විරුද්ධව සහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාගයට ගැනුණේ ඉකුත් බ්‍රහස්පතින්දාය. මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටිය ද එම පෙත්සම් සලකා බැලීම ලබන මැයි මස එකොළොස් වැනිදාට කල් ගියේය. ඒ අනුව මැතිවරණය කොමිෂන් සභාව තීරණය කළ පරිදි නව වැනි දා නොපැවැත්වෙන බව ස්ථිරය.   


 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු ද ඊට සහභාගි වූහ. එහිදී මුලින් ම කතා බහට ලක් වුණේ සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැනය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු නිසා එය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කර දීමට, වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයකු මෙන්ම වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ද වන ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ද පැමිණ සිටියේය. සාකච්ඡාව ආරම්භයේ දී අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා විමසා සිටියේ වරාය නගරයේ චීන කොටස සහ අපේ කොටස කියා කොටස් දෙකක් තිබෙනවා ද කියා ය . වරාය නගරයේ - චීන කොටස සහ අපේ කොටස කියා කොටස් දෙකක් නෑ මේ ඔක්කොම අපේ තමයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් යටතේ ගැසට් කරලා තියෙන්නේ. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කීවේය   


වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ප්‍රියත් බන්දු වික්‍රම ය. කෙරෙන ආයෝජන ගැන ඔහු දීර්ඝ විස්තරයක් කරද්දී ආයෝජන සියල්ල ඩොලර් වලින් ලැබෙන බවත්, සියල්ල වරාය නගර කොමිසම හරහා පැමිණ මහා භාණ්ඩාගාරයට යොමුකරන බවත් ඔහු කීවේය. ජනාධිපතිවරයා හිනාවෙමින් කීවේ පාර්ලිමේන්තුවත් පෝට් සිටියේ තිබුණනම් අපිටත් ඩොලර් වලින් පඩි ගන්න තිබුණා කියාය. වරාය නගර විවාදයේ දී විපක්ෂයේ ඇතැමුන් මේ සම්බන්ධයෙන් යම් කරුණු මතු කරනු ඇතැයි මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා කීවේය. එවිට ජනාධිපතිවරයා කීවේ පෝට්සිටි කියන්නේ නාවලපිටිය නෙමෙයි කියාය.   
මේ අතර එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා කතා කළේය   


විපක්ෂයේ අය මේවා ගැන අහන්නේ නෑ. ඒගොල්ලො අහන්නේ ඡන්දෙ ගැන විතරයි. එස් බී කියද්දි ජනාධිපතිවරයා කිව්වේ කවුද කියන්නෙ ඡන්දෙ කල් යනවා කියලා. අපි කවුරුවත් ඡන්දෙ කල්දාලා නෑ. ඡන්දයක් ප්‍රකාශයට පත් කරලත් නැහැ. ජනාධිපතිවරයා විස්තර කළේය. මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා විමසා සිටියේ සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය පවත්වන ලෙස අධිකරණය නියෝග කළොත් කුමක් කරන්නේ දැයි කියාය. අධිකරණයට ඡන්ද තියන්න කියන්න බෑ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව ද දිග හැර වගන්තියෙන් වගන්තිය පැහැදිලි කළේය. මේ කියන්නේ ඕගොල්ලොන්ට මේ කරුණු දැන ගන්න . විපක්ෂය ඡන්දය සම්බන්ධයෙන් කියන ඒවට ඕගොල්ලෝ මේවට උත්තර දෙන්න ජනාධිපතිවරයා කීවේය.   


 මේ අතර මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂය ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී විරෝධය පළ කළේය. විරෝධතා ප්‍රවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් විපක්ෂය කටයුතුකිරීම නිසා පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත් විය. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව පසු දිනට කල් දමනු ලැබූ අතර, එදින රැස්වීම විනාඩි පනහකට පමණක් සීමා විය.   


විපක්ෂයේ මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයට සහභාගීවී එළියට එද්දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හමුවිය. දයාසිරි ජයසේකර, තුෂාර ඉඳුනිල්, නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි ජේ.සී. අලවතුවල ඇතුළු පිරිසක් එහි සිටියහ. ඔයාලා ඡන්ද තියන්න කියලා මෙහෙ බොරුවට විරෝධතා කරනවා. ඔයාලගෙම කට්ටිය අපිට කතා කරල ඡන්දය කල් දාන්න කියලා ඉල්ලනවා. ප්‍රසන්න කීවේය.   
 මේ අතර නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රැස් විය. ඩලස් අලහපෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, තිලංග සුමතිපාල, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. මැතිවරණය කල් යාම හමුවේ ඉදිරියේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. හෙලිකොප්ටරය ලකුණෙන් තරග කරන අපේක්ෂකයන් හා ක්‍රියාකාරීන් දිස්ත්‍රික් මට්ටමින් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමට ද තීරණය විය.   

 

​පොහොට්ටු ඇමැති ධුර ඉල්ලයි 

කැබිනට් මණ්ඩලයේ ඉතිරි පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට කලින් මන්ත්‍රීවරුන් නව දෙනකුගේ පමණ නම් යවා තිබිණි. ඉන් පසු ගිය දිනවල ඇමැති ධුරයක් ලැබුණේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පමණි. රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක ඇතුළු පිරිසකගේ නම් ද ඒ සඳහා යවා තිබූ බව දැනගන්නට තිබේ. ඔවුන් පත් කිරීම දිගින් දිගටම කල්ගත වෙමින් තිබෙන තත්ත්වයක් තුළ පොහොට්ටුව නැවත ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිහිපත් කර ඇතැයි ද දැනගන්නට තිබේ.  

ලංකාවේ ජනපති වූ  වෙස් නැට්ටුවා

ජනරජ පෙරහැර නැරඹීමට මහනුවර පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි - මල්වතු කාරක සංඝ සභාවන් මුණ ගැසීමට ද අමතක නොකළේය. ඒ මහනුවර ජනපති මන්දිරයේදී ය. ඉරුදින පැවැති මෙම සාකච්ඡාව රාජකාරි සාකච්ඡාවකට වඩා සුහද සාකච්ඡාවක් බවට පත්වූවේය. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ පවතින ගැටලුව ඇතුළු භික්ෂූන් වහන්සේලා මුහුණ දෙන ගැටලු ගණනාවක් ගැන මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. 


ජනපති රනිල් ජනරජ පෙරහර නැරඹීමට පැමිණියේ ජනතාව අසලිනි. ජනරජ පෙරහරක් පැවැත්වීම ගැන ඔවුන් ජනපතිට ස්තූති කළේ දැඩි සතුටකිනි.” සර් අපේ මිනිස්සු දළදා මාලිගාවත් එක්ක බැඳිලා ඉන්නේ. මේ වෙලාවේ පෙරහරක් පැවැත්වීම අපට ගෞරවයක්.” අසල සිටි මහනුවර නගරාධිපති කේසර සේනානායක ජනපති රනිල්ට තුති පුද කළේ මහනුවර ජනතාව වෙනුවෙනි. 


ජනරජ පෙරහරේ ඉතිහාසය ගැන ජනපති එහිදී බොහෝ දෙනෙකු හා කතා බහ කළ අතර ජනපතිගේ දැනුම ගැන පැමිණ සිටි දෙස් විදෙස් ආරාධිතයෝ මවිතයට පත්වූහ. ජනපති දෙස් විදෙස් අමුත්තනට රාජ සමයේ සිට මෙරට දළදා පෙරහර මෙන්ම රාජ පෙරහරද පැවැත් වූ ආකාරය ගැන පුළුල් විස්තරයක් කළේ ඔවුන්ගේ දෑස් විසල් කරමිනි. 
ජනපති අසලට පැමිණි බන්දුල ගුණවර්ධන ද ජනරජ පෙරහර අගය කරද්දී ජනපති බන්දුල දෙස බලමින් අමුතු කතාවක් කීවේය. “බන්දුල දන්නව ද ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නේ වෙස් නැට්ටුවෙක් කියලා.” ජනපති සිනාසෙමින් කියද් දී ජනපති රනිල් කුඩා අවධියේ වෙස් නැටුම් ඉගෙනගත් බව ඇමති බන්දුලට සිහි වූවේ එවිටය. 
ජනපති රනිල් හා හිටපු ජනපති චන්ද්‍රිකා වෙස් නැටුම් ඉගෙන ගත්තේ දක්ෂ නැට්ටුවෙකු වූ ශ්‍රී ජයනාගෙනි. 
ජනරජ පෙරහර පැවැත් වූ දින හා පසු දින මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට වර්ෂාව පතිත වූ අතර රන්ටැබේ ශිෂ්‍යභට වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගී වූවේ ද වැසි මැදය. ජනපතිවරයෙකු ශිෂ්‍යභට වර්ණ ප්‍රදානයකට සහභාගී වී තිබුණේ වර්ෂ ගණනාවකට පසුවය. 
සඳුදා පෙරවරුවේ ඇමැති මණ්ඩල හමුව පැවැතියේ ද මහනුවර ජනපති මැදුරේය. සෙංකඩගල පුරවරය විසල් නගරයක් කිරීම වෙනුවෙන් ජනපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව එහිදී සම්මත වූවේ ඒකමතිකවය. 


ජනපති රනිල් ජනපති මැදුරෙන් පිටත් වූවේ මිණිපේ ඇළ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමටය. ඉක්මණින් අමුණ පිළිසකර කිරීමට උපදෙස් දුන් ජනපති හන්තාන කුරුලු උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූවේය. 
මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන්ගේ හමුවක් එදින සවස පැවැතියේ ජනපති මන්දිරයේදීය. එහිදී ව්‍යාපාරිකයෝ බහුතරයක් ජනපති ගෙන යන වැඩපිළිවෙළ අගය කළහ. වත්මන් බදු ප්‍රතිපත්තිය අගය කළ ඔවුන් රැස්වීමෙන් පසුව ජනපති සමඟ පැවැති සුහද සාකච්ඡාවේ දී ද කීවේ ජනපති ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රට හමුවේ නැති බවය. 


ආරක්ෂක කවුන්සිලයට යන අතරතුර ජනපති පාර්ලිමේන්තුවට ගොඩ වැදුනේ භාෂා දිනය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කළ “සිංහල - දෙමළ අකුරු” යන ග්‍රන්ථය පිළිගැනීමටය. වැඩි කාලයක් එහි ගත නොකළ ජනපති වහාම ඉන් පිටත් වූවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගීවීමට යාමටය. 
එදින සවස ජනපති සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණියේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහාය. පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත විනය පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළේය. 
එම විනය පරීක්ෂණ වාර්තාව අනුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරීපත්ව පසුව සමගි ජන බලවේගයට එක්වී පක්ෂ විනය කඩකර තිබුණි. ඊට අමතරව මෙවර පළාත් පාලන මැතිවරණයට වෙනත් පක්ෂවලින් නාම යෝජනා බාර දුන්න අයද ඔවුන් අතර වෙන බවද මහලේකම් කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත දැනුම් දුන්නේය.

 
“මේ අයගෙන් පිරිසක් නිදහසට කරුණු කියන්න අවස්ථාව ඉල්ලලා තියෙනවා නේද? ඒකට මොකද කරන්නේ.” නියෝජ්‍ය නායක රුවන් විමසීය. 
එහිදී බහුතරයකගේ මතය වූවේ දැන් එවැනි අවස්ථාවක් දීමට කාලයක් නොමැති බවටය. ඒ අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබීය. 


“අලු‍ත් කණ්ඩායමක් මේ අය වෙනුවෙන් පත් කරන්න පුළුවන් ද බලන්න” ජාතික සංවිධායක සාගල කීවේ මහලේකම් දෙස බලමිනි. 
“අපි සුදුසුකම් තියෙන අලු‍ත් කණ්ඩායමක් පත් කරලා යවනවා. ඒකට අදාළව සම්මුඛ පරීක්ෂණ අපි මේ සතියෙම පටන් ගන්නවා.” මහලේකම් රංගේ පිළිතුරු දුන්නේය. 
ජනපති රනිල් සිරිකොතින් නික්ම කිංග්ස්බරි හෝටලය වෙත පැමිණියේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කර තිබූ බදු සමුළුවට සහභාගී වීමටය. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර සමුළුව අවසානයේ ඔහු මුණ ගැසුණු බහුතරයක් දෙනා කීවේ ජනපති ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිය හැර විකල්පයක් නැති බවය. 


“මැතිවරණය වෙනුවෙන් අනෙකුත් ප්‍රධාන පක්ෂ දෙක ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාව බැලු‍වහම ජනපතිතුමා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තියට සමානයි.” එහි සිටි ව්‍යාපාරිකයෙක් කීවේ රුවන් විජයවර්ධන සමඟය. 


රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු වූ රනිල් වික්‍රමසිංහ ජනපතිවීමෙන් පසු පාසලේ පිළිගැනීමේ උත්සවයකට සම්බන්ධ වූවේ පළමු වතාවටය. මෙරට සාමාන්‍ය පාසල් සම්ප්‍රදාය අනුව එහි ආදි සිසුවෙකු ජනපති වී සති 8 ක් ඇතුළත පාසලෙන් ඔහු ආදි සිසුවෙකු ලෙස පිළිගැනීමේ උත්සව පවත්වන්නේය. එහෙත් වත්මන් ජනපතිට එවැනි කැඳවීමක් නොලැබීම පිළිබඳව බොහෝ දෙ​නෙක් දේශපාලනයේ නියුතු ආදී සිසුන්ගෙන් මෙන්ම ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරීන්ගෙන් විමසා තිබුණි. 
එහෙත් එවැන්නක් නොවන බව වැටහුණු ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන් මේ ගැන විදුහල්පති සමඟ සාකච්ඡා කරන්නට වූවේය. අවසානයේ ඔවුන් විදුහල්පති සමඟ එක්වී ජනපති රනිල් පාසලට කැඳවාගෙන උපහාර පුද කළේ රටේ සම්ප්‍රදාය ආරක්ෂා කරමිනි. 
ජනපති රනිල් බ්‍රහස්පතින්දා මැති සබයට ගියේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රජයේ නිලධාරීන්ට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු සැපයීමට ය. ඔහු කතාව නිමවා ලොබියට පැමිණෙද්දී ඔහු වට කරගත් මන්ත්‍රීවරුන් විමසන්නට වූවේ මුජුබර් මන්ත්‍රීවරයාට පණිවුඩ යවපු විදිය හා ඡන්දය කල් දාන්න ඉල්ලු‍ විපක්ෂ මන්ත්‍රීවරුන් ගැනය. 
“ඇයි ඔයාලටත් එයාලා කියලා තිබුණා නේදැයි.” ජනපති විමසද්දී ඔවුන්ට සිනහව නතර කරන්නට නොහැකි විය. 
“ඇත්තටම සර් පාර්ලිමේන්තුවේ දී මැතිවරණ කොමිසම කරපු නීති විරෝධි කටයුතු හෙළි කරපු එක ඉතාම හොඳයි.” ප්‍රසන්න රණතුංග කීවේය. 
“ජනාධිපති මැතිවරණය කල් දානවා කියලා කිව්වට කල් දාන්න ඡන්දයක් කැඳවලා තියෙන්න එපැයි. මේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න ඕන ජනතාව නොමඟ යැව්වට.” චාමර මන්ත්‍රීවරයා ද කතාවට එකතු වූවේය. 


මේ අතර වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද එතනට පැමිණ කිවේ මුදල් කාරක සභාවේ සභාපතිධූරය හර්ෂ වගේම මයන්ත දිසානායකත් විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා යනුවෙනි. 
“ඡන්දයෙන් මේක පත් කර ගන්නේ. කමිටුවේ බහුතරයේ කැමැත්ත අනුව කටයුතු කරන්න ඉඩ දෙන්න.” ජනපති කීවේ එවැන්නකි. 
“හැබැයි සර් ගිය සැරේ හර්ෂව සභාපති කරද්දී ආණ්ඩු පක්ෂයේ සහාය ඉල්ලු‍වා. මෙවර නම් දෙන්නගෙන් කිසි කෙනෙක් අපේ සහාය ඉල්ලු‍වේ නෑ.” මිලාන් ජයතිලක කීවේය. 
“කමිටුවට ඉඩ දෙන්නකෝ සුදුසු තීන්දුවක් ගන්න.” ජනපතිගේ ස්ථාවරය එය විය. 


අවසානයේ කමිටුව මයන්ත දිසානායක තෝරා ගත් අතර හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා එය විවේචනය කර තිබුණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනපතිට කීවේ දැන් ස.ජ.බ නායකයෝ මයන්තට අයින් වෙන්න කියලා බලපෑම් කරනවා කියාය. ජනපති සිනාසුනා මිස ඊට පිළිතුරක් දුන්නේ නැත.

 

ඡන්දයක් ඕනෑ: සජබෙ අරගලය

පසුගියදා විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවැතියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.   
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමටත් එම පිරිස එහිදී තීන්දු කරනු ලැබීය.   
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, මහාචාර්ය ජී.එල්. පීරිස්, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, පලනි දිගම්බරම්, චන්දිම වීරක්කොඩි සහ නාලක ගොඩහේවා සහභාගී වී සිටියහ.   


පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධතාව සංවිධානය කළේ සමගි ජන බලවේගය ය. ඊට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ද සහයෝගය ද ලැබුණි.   
නලීන් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිසක් ඊට අවශ්‍ය සටන්පාඨ සහිත පුවරු කඩිමුඩියේ පිළියෙළ කළහ.   
පාර්ලිමේන්තුවේ ගෙනයන විරෝධතාව පිළිබඳව පිරිස මුලින්ම සජිත්ට දැනුවත් කළේ සජිත් ඒ වන විට පොළොන්නරුවේ රැලියකට සහභාගී වී සිටි නිසාය.   
‘උපරිම හොඳින් කරන්න. සියලු‍ දෙනා එකතු කරගන්න’ සජිත් උපදෙස් දුන්නේය.   

සීල් වෙච්ච ඩීල්කාරයෝ

සභාව රැස්වීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරු පුවරු ඔසවාගෙන ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට සිය විරෝධතාව පළ කරන්නට පටන් ගත්හ.   
‘ප්‍රජාතන්ත්‍රවාදය රකිනු-මැතිවරණය තියනු, ප්‍රෝඩාව වානා-ඡන්දයයි ඕනා, ඡන්දය එක්ක ගේම් එපා, ඡන්දෙට බය-හොර ආණ්ඩුව, ජනතා පරමාධිපත්‍යය රකිමු! රට ගිනි නොතියනු-ඡන්දයකට ඉඩ දෙනු”‍ වැනි සටන් පාඨ වලින් සභාව ගිගුම් දෙන්නට පටන් ගත්තේය.   


එහෙත් සභාව තුළ විශේෂ දෙයක් සිදුවෙමින් තිබුණි. ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා එම විරෝධතාවයට සහභාගී වී සිටියේ නැත. නමුත්, ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ සිටිය ද ඒ කිසිවෙකුත් සභාවේ නොසිටියහ.   
‘හාමුට විරුද්ධ වෙන්න එයාලට බැහැ .ඒවා සීල් වෙච්චි ඩීල්”‍   
නලීන් බණ්ඩාර කීවේ ය. 

 
‘එයාලා හැමදාම කළේ හැම දෙයක්ම හයිජැක් කරන එක විතරයි. අරගලය හයිජැක් කළා. ගුරු සටන් හයිජැක් කළා. ගොවි සටන් හයිජැක් කළා. හැබැයි ඔය හැම අරගලයකටම අවංකව උදව් කළේ සමගි ජන බලවේගය කියලා මුළු රටම දන්නවා”‍   
හර්ෂණ රාජකරුණා එහෙම කීවේ ය.   


‘අපි දැක්කා ළඟදී දවසක හඳුන්නෙත්ති රූපවාහිනිය වැඩසටහනකට ගිහිල්ලා කියනවා සජිත් ආණ්ඩුවට ගහනවා වෙනුවට ජවිපෙට ගහනවලු‍. ජවිපෙට එක වචනයක් නොකියා ඉන්නකොට කුහක කමට තුට්ටු දෙකේ කතා කියපු, බස්මෑන් කියා නායකතුමාට අපහාස කරපු ජවිපෙ දැන් කියනවා අපි එයාලට මඩගහනවා ලු‍. එයාල නායකතුමාට සමගි ජනබලවේගයට මඩගහන එක විතරයි. කළේ   
හෙක්ටර් අප්පුහාමි කීවේය.   


ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කරනු ලැබූ කතාව පිළිබඳව සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ගේ ද අවධානය යොමු ව තිබුණි.   
ඔහු පාර්ලිමේන්තුවේ කතාව කරනවිට සජිත් සිටියේ යාපනයේ ය.   


ජනපති පිස්සුවෙන් හැසිරෙනවා! මැතිවරණයට වැට බඳින කුමන්ත්‍රණකරු ජනාධිපතියි.   
විපක්ෂනායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරමින් යාපනයේදී ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්විය.   


ජනාධිපතිවරයා පිස්සුවෙන් මෙන් නන්දොඩවන බවත්,මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත්, මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් පැවසීය.   
ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ඒකාධිපති ගමනට එරෙහිව සමගි ජන බලවේගය විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ම ගැනීමට නියමිත බව ද වාර්තා වේ.   

වෘත්තිකයන්ගේ කළු විරෝධයට ජාතික ජන බලවේගයේ සහාය

බදු වැඩි කිරීමට එරෙහිව වෘත්තිකයන් පවත්වාගෙන යන කළු විරෝධයට ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු වෘත්තීය සමිතිවල සහාය ලබාදීමට ගිය සතියේදී තීරණය කරනු ලැබීය.   


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ දෙහිවල පිහිටි වෘත්තිය සමිති මධ්‍යස්ථානයේදී මේ සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්වුණි.   


ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තීය සමිතිවල නියෝජිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.   
එහිදී ලාල් කාන්ත මහතා මෙම සාකච්ඡාව කැඳවීමේ අරමුණ පැහැදිලි කළේය. ජනතාව ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේදී වැටුපෙන් බදු අය කිරීම නිසා ජනතාව තවත් අසීරු තත්ත්වයකට පත්වී සිටින බැවින් වෘත්තිකයන් ගෙන යන කළු විරෝධයට සහාය දැක්විය යුතු බව යෝජනා කෙරිණි. එම යෝජනාවට වෘත්තීය සමිති සියල්ලක්ම සහාය දැක්වීය. ලබන 1 වැනිදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහාය දැක්වීමටද මෙහිදී එකඟතාව පළවිය.   
මෙම අවස්ථාවේදී වෘත්තියවේදීන් දක්වන කළු විරෝධය සාධාරණ බවත් අසාධාරණ ලෙස සිදු කෙරෙන බදු අඩු කළ යුතු බවටත් විරෝධතාවට උපරිම සහාය දැක්වීමටත් අවශ්‍ය බව වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයෝ අදහස් දැක්වූහ.   


ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් ජන හමු පැවැත්වීමේ වැඩපිළිවෙළ යටතේ ඇඹිලිපිටිය ජනහමුව පසුගිය 20 වැනිදා පැවැත්වුණි. ‘විසඳුම මාලිමාව’ යන තේමාව මත පැවැත්වෙන මෙම මහජන රැලි මාලාව අකුරැස්ස හා බදුල්ල දිස්ත්‍රික්කවලද පැවැත්වුණි.   


මීට අමතරව අද (26) කොළඹදී රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම ජනතාව එක් රැස් කරවන ජනතා රැළියක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත.   
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට ගන්නා උත්සාහය පිළිබඳව විරෝධය දැක්වීම මෙම රැලියේ ප්‍රධාන අරමුණය.   

කරුගෙන් පණිවුඩ දෙකක්

රටේ ප්‍රමුඛ සිවිල් සංවිධාන හා වෘත්තිකයන් බොහෝ දෙනෙක් කරු ජයසූරිය අමතා අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය බව දන්වා සිටීම නිසා ගෙවුණ සතිය ඔහුටද බොහෝ කාර්ය බහුල විය. ඒ හැම කෙනෙකුම උනන්දුවක් දැක්වූයේ රටේ තත්ත්වය ගැනය. ඒ අනුව සෑම දිනයකම එවැනි පිරිස් සමඟ වෙන් වෙන්ව අවම වශයෙන් සාකච්ඡා වට තුන හතරකට හෝ සහභාගි වන්නට කරුට සිදුවිය. එකී හැම හමුවකදීම ප්‍රමුඛ අවධානය යොමු වූයේ රටේ ආර්ථිකයේ ඇද වැටීම ගැන හා පළාත් පාලන මැතිවරණය ආශ්‍රයෙන් මතුවී ඇති අර්බුදය ගැනය. ඒ හැම කෙනෙකුම අවධාරණයෙන් කියා සිටි ප්‍රධානතම කාරණය වන්නේ ජන ජීවිතය අවුල් විය හැකි ඕනෑම තත්ත්වයක් රටේ අනාගතය කෙරෙහි බරපතළ ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවය. ඔවුන් එහිදී කරුගෙන් ඉල්ලා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මූලිකත්වය ගෙන මෙම තත්ත්වය ගැන රටේ වගකිවයුතු පුද්ගලයන් හා කණ්ඩායම් දැනුවත් කරන ලෙසය.   


ඒ අනුව රටේ සියලුම දේශපාලන බලවේගයන් හි අවධානය යොමු කරමින් විශේෂ ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමට කරු කටයුතු යෙදීය. එයට අමතරව රටේ ප්‍රමුඛ නායකයන් කිහිප දෙනකු අමතා විය හැකි තත්ත්ව පිළිබඳව දැනුවත් කළේය. එහිදී කරුගෙන් පණිවුඩ දෙකක් විය. එකක් සිවිල් හා දේශපාලන සංවිධාන වෙතය. එහි කියැවුණේ රට අරාජික විය හැකි කුමන හෝ ක්‍රියාමාර්ගයකට මේ මොහොතේ පිවිසීමෙන් වළකින ලෙසටය. දෙවැන්න රටේ දේශපාලන නායකයන්ටය. කරු එහිදී කියා ඇත්තේ කාල රාමුවක් පදනම් කරගෙන දේශපාලන සංහිඳියාවකට යොමුවන ලෙසටය. ඒ මගින් අද වනවිට ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික පීඩනයන්ගෙන් ඔවුන් ඉක්මනින් මුදා ගැනීම සඳහා නිශ්චිත කෙටි කාලයකට හෝ යටත්ව පොදු සම්මුතියකට යොමුවන ලෙසය. එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන බලවේගයක්ම එයට සම්බන්ධ කර ගැනීමේ ඇති වැදගත්කමද අවධාරණය කර ඇති කරු එම පියවරෙන් අනතුරුව මහජන මතයට ඉඩ ලබාදීම සඳහා මැතිවරණ නිසි පරිදි පැවැත්වීමේ ඇති අවශ්‍යතාවද පෙන්වාදී තිබේ. 

 

ගජබා