පොහොට්ටු මන්ත්‍රීන්ට ජනපති කී රහස


ඡන්දය සඳහා දින ගණන් ප්‍රකාශයට පත් කළ ද ඡන්දය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් කිසිවකුටත් නිශ්චිත පිළිතුරක් නැත. ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙකු කියන්නේ ජනාධිපතිවරණයකට පෙර වෙනත් කිසිදු මැතිවරණයක් නොමැති බවය. ආණ්ඩුව පාර්ශවයෙන් පාර කපමින් සිටින්නේද ජනාධිපතිවරණයකට බව පැහැදිලිය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ රැස්විය. සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙනත් කාරණා පිළිබඳව කතාබහට ලක්විය. එහිදී විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා නීති විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් පමණක් ඉගැන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළේය. එමගින් සිසුන්ට අසාධාරණයක් සිදුව ඇතැයි ඇතැම් පිරිස් චෝදනා කරන බව ඔහු කීවේය. ජනාධිපතිවරයා කීවේ මේ ප්‍රශ්නයට මැති ඇමතිවරුන් මැදිහත් නොවී අගවිනිසුරුවරයා හා පාලක මණ්ඩලය සමග සාකච්ඡා කරන ලෙස එම පාර්ශ්වවලට දැනුම් දෙන්නැයි කියාය.


මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලැබීම සම්බන්ධ ප්‍රගතිය ගැන ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය. ණය මුදල ලබාගැනීමට අදාළ සියලු‍ කටයුතු සම්පූර්ණ වී ඇතැයි ඔහු කීවේය. මෙම ණය මුදල ලැබීමත් සමග බඩු මිල ආදිය අඩුවනු ඇති බව ද ජනාධිපතිවරයා කීවේය.


මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන්ගේ සාකච්ඡාවක් විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඉකුත්දා පැවැත්විණි. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී බී රත්නායක , රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලු‍ත්ගමගේ, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වූහ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එතරම් විශ්වාසයක් නොමැති බව එහිදී සමහරු කීහ. එසේ වුවද මැතිවරණය සඳහා සූදානම් විය යුතු බව බැසිල් කීවේය. ඉදිරියේ දී බඩු මිල අඩු විය හැකි බව කී බැසිල් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව කීවේය. පොහොට්ටුව මැයි දිනය ඉහළින් පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

හේමසිරි මෛත්‍රී මගහරී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණගේ දුවගේ විවාහ මංගල උත්සවය ඉකුත්දා පැවැත්වුණේ බෙන්තොට ප්‍රසිද්ධ හෝටලයක ය. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරු රැසක් ද ඊට එක්ව සිටියහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, ආචාර්ය බන්දුල ගුණවර්ධන, රංජිත් සියඹලාපිටිය, ෂාන් විජයලාල් ද සිල්වා, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටි අතර පිරිස ආගිය තොරතුරු කතාකරමින් රෑ බෝ වන තෙක් ම රැඳී සිටියහ. පිරිස සමඟ කතාබහ කරමින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රී කලින් පිටත්ව ගිය අතර ඔහු පිටව යාමත් සමග එම මේසයට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැමිණියේය. ඔහු කලින්ම පැමිණ සිටියද එම පිරිස අසලට නොපැමිණියේ හිටපු ජනාධිපතිවරයා එහි සිටි බැවිනි. තමාට පසුගිය කාලයේ හිරේ විලංගුවේ ලගින්නට වීම ගැන හේමසිරි සිටින්නේ දැඩි කෝපයෙනි. ඇමැතිවරුත් ඔවුන් සමග කතාබහ කරමින් සිටියදී ඔහු හිටපු ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කරමින් කතා කළ බව වාර්තා වේ.

දයාසිරිගේ වැඩ බලන්න සරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් සතියේ ලන්ඩන් බලා පිටත්ව ගියේය. දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමට ගිය දයාසිරි සති තුනක පමණ කාලයක් දිවයිනෙන් බැහැරව සිටින බවද වාර්තා වේ. ඔහු ගිය පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩබලන මහ ලේකම්වරයෙකු පත් කිරීම හේතුවෙන් දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක් විය. දයාසිරිට පක්ෂයෙන් කැපිල්ලක් දැයි සමහරු ප්‍රශ්න කරන්නට වූහ. වැඩබලන මහලේකම්වරයා ලෙස පත්කරනු ලැබුවේ පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු මෙන්ම හිටපු මහ ඇමතිවරයකු වන සරත් ඒකනායක ය. මීට පෙර අවස්ථාවලදී වැඩබලන ලේකම්වරයකු පත් කරනු ලැබූ නමුත් ඔහුට පක්ෂයේ සභාපතිවරයා විසින් පත්වීම් ලිපියක් පිරිනැමීමක් සිදු නොවූ බව සමහරු කියති. එමෙන්ම වැඩබලන ලේකම්වරයා පක්ෂ මූලස්ථානයට ගොස් උත්සවශ්‍රීයෙන් වැඩ බාර ගැනීම ද බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත. සරත් ඒකනායක සූදානමින් සිට ඇත්තේ පක්ෂයේ මූලස්ථානයට ගොස් සිය කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ය. එහෙත් පක්ෂයේ ඉහළින් ලැබී තිබූ උපදෙස් අනුව, ඔහු වැඩ බාර ගැනීමට සුබ වේලාවක් බලා තිබූ අතර, එම අවස්ථාව උත්සවශ්‍රීයෙන් පැවැත්විණි . හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් ද ඊට එක්ව සිටියහ.

දුමින්ද ආපසු හැරුණාද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්ව ඇමැති ධුරයක් බාරගන්න යන බවට පසුගිය කාලයේ දිගින් දිගටම කතා බහට ලක් විය. නිමල් සිරිපාල, මහින්ද අමරවීර කණ්ඩායම සමඟ ආණ්ඩුවට එක්ව ඔහු කැබිනට් ඇමැති ධූරයකට යනු ඇතැයි එයින් කියැවිණි. මේ අතර, ඔහු පසුගිය සතියේ අනුරාධපුරයේ කළ ප්‍රසිද්ධ කතාවක් හේතුවෙන් එම ගමන වැළකී ඇත්දැයි සැකයක් හට ගෙන ඇත. ඔහු එහිදී කියා සිටියේ පක්ෂය හැර ගිය සියලු‍ දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට අවස්ථාවක් තිබෙන බවය . පසුගිය කාලයේ සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී දුමින්දට රාජ්‍ය අමාත්‍ය ධූරයක් දීමට ආණ්ඩුවෙන් යෝජනා කර තිබූ බව පැවසේ. එහෙත් දුමින්ද රාජ්‍ය ඇමැතිධුරයක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා විය. ඔහුගේ අපේක්ෂාව වී තිබුණේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමය.
තමන් පක්ෂයේ දරන ලද තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ලද ක්‍රියා මාර්ගය අභියෝගයට ලක් කර තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන ලද තනතුරුවලින් ඉවත් කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ DSP 423/22 දරන නඩුව පවරන ලදී.


කොළඹ දිසා අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව දිස්ත්‍රික් විනිශ්චයකාරතුමිය අතුරු තහනම් නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.
ඉන් අනතුරුව එකී තීරණයට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා මහතා අභියාචනයක් බස්නාහිර පළාත්බද සිවිල් මහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර එකී අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව සිවිල් අභියාචනා අධිකරණයේ විනිශ්චකාරවරුන් වන එම්.සී.එස්. මොරායස් හා ඩී.එෆ්.එච්. ගුණවර්ධන යන විනිශ්චයකාරවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චයකාර මණ්ඩලය විසින් දිසා අධිකරණයේ තීන්දුව නිෂ්ප්‍රභා කර වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා මහතා දරන තනතුරුවලින් ඔහු ඉවත් කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නියෝග කරන ලදී.

රටට හිතැති කාන්තාවන් තිදෙනා

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ජනපතිට දුරකථන ඇමතුමක් ගත්තේ සඳුදා රාත්‍රියේය. ඇය ජනපතිට දැනුම් දුන්නේ රටේ ආර්ථිකය යථාවත් කිරීමට ගන්නා උත්සාහය අගය කරන බවකි. ඉන් නොනැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට සහාය දෙන බව ද ඇය ජනපති රනිල් හමුවේ කීවාය.
ඊට පෙර ජනපති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටීනා ජොර්ජ්ජිවා ද සූම් තාක්ෂණය ඔස්සේ කතා කර තිබුණි. මේ සියලු‍ සාකච්ඡාවල ප්‍රගතිය පාර්ලිමේන්තුවට දැනුම්දීමට තීරණය කළ ජනපති රනිල් ඉකුත් අඟහරුවාදා එහි ගොස් විශේෂ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමතවීම ගැන ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත නොවීමට ප්‍රධාන බාධකය වූ චීන එක්සිම් බැංකුවේ ලිපිය පෙර දින රාත්‍රියේ ලද බව කී ජනපති රනිල් මුදල් ඇමැතිගේ හා මහ බැංකු අධිපතිගේ අත්සනින් යුතු එකඟතා ලියවිල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත රාත්‍රියේම යොමු කළ බවද කීවේය.


පාර්ලිමේන්තුවේදී ජනපති කළ ප්‍රකාශය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසකගේ ඇගයීමට ලක්විය. මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව වරප්‍රසාද පැනයක් ප්‍රේමනාත් සී දොලවත්ත විසින් ඉදිරිපත් කළ ආරංචිය මන්ත්‍රීවරයෙකු ජනපතිට කීවේ පාර්ලිමේන්තු ලොබියේදී ය.
“අධිකරණ දෙකකින් නියෝග දෙකක් ඇවිල්ලා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේය.


“ක්‍රියාකාරි අය වැය ප්‍රකාශනය වෙබ් එකට ගිහින් කියෙව්වා නම් ඇත්ත මූල්‍ය තත්ත්වය ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්.” ඇමැති බන්දුල කීවේ ජනපති දෙස බලමිනි.
ජනපති ඇතුළු මන්ත්‍රීවරුන් සිටි ස්ථානයට පැමිණි දොලවත්ත මන්ත්‍රීවරයා කීවේ සිය වරප්‍රසාද ප්‍රශ්නය කතානායකතුමා වරප්‍රසාද කමිටුව වෙත යොමු කළ බවකි. මේ අතර එහි පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග “ඩොලරය වේගයෙන් අඩු වෙනවා. බඩු මිලත් ඒත් එක්කම අඩු වෙනවා.” යැයි කීවේය.
“මේක අහලා දැන් විපක්ෂය හොඳටම කලබල වෙලා. එයාලා හිතුවේ නෑ ජනාධිපතිතුමා මේ තරම් ඉක්මනට රුපියල ශක්තිමත් කරයි කියලා.” ඇමැති කාංචන ද කතාවට එකතු වූවේය.


“අනේ ඔව් බඩු මිලත් දැන් ටික ටික අඩුවෙනවා වගේම උද්ධමනයෙන් දෙවැනි ස්ථානයේ හිටපු අපි දැන් ඒ ලේඛනයේ 16 වෙනි තැනට ඇවිල්ලා. මේ අවුරුද්ද අන්තිම වෙන කොට තවත් පහළට එනවා. ඒකයි මේ අය මෙච්චර දගලන්නේ.” ඇමති චාමර සම්පත් කීවේ එවැන්නකි.
මේ සියල්ල අසා සිටි ජනපති කීවේ “දැන් අපිට ඩොලර් එනවා. බැංකුවලින් ණයවර ලිපි විවෘත කරන්න පුළුවන්. දැන් අපිට වී තියෙනවා. දැන් අපිට ඉන්ධන තියෙනවා. පැය 24 ම විදුලිය තියෙනවා. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් දැන් සම්පූර්ණයි. ඇකිලු‍ණු ආර්ථිකය දැන් විස්තාරණය වෙලා තියෙන්නේ.” යනුවෙනි.
“හැබැයි සර් ගිය අවුරුද්දේ මේ කාලේ නම් පෝලිම් තමයි තිබුණේ.” වජිර කී දේ ඇසු ජනපති සිනාසෙමින් එතනින් පිටත්ව ගියේය.
වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩ නැගීමට උපකාර කළ කාන්තාවන් තිදෙනෙකු පිළිබඳව ජනපති රනිල් සිහිපත් කළේ කාන්තා දින වැඩසටහනට එක් වෙමිනි. ඉන්දියාවේ මුදල් ඇමැති නිර්මලා සීතාරාමත්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා යනු ඔවුන් තිදෙනාය.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වූ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසිනි. එම උත්සවය අවසන් වන තුරු ඔහුට එහි රැඳී සිටීමට නොහැකි වූවේ පවුලේ අවමංගල්‍යයකට සහභාගීවීමට යාමට තිබූ නිසාය.


පිටත්වීමට පෙර ජනපති රනිල් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ අසලට ගොස් “ඔබතුමියගේ කතාව අහන්න ඉන්න වෙන්නේ නෑ. ඒත් රටට හිතැති කාන්තාවන් තිදෙනෙකු ගැන ඔන්න මම කිව්වා.” යැයි කියමින් ඉන් පිටත්ව ගියේය.
වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ජාත්‍යන්තර කාන්තා දින උත්සවය අවසන් කොට ජනපති රනිල් කෙළින්ම පැමිණියේ සිය ආදරණීය බිරියගේ මෑණියන්ගේ අවමංගල්‍යය පැවැති මල් ශාලාවටය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ මෑණියන්ගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණි.
පැය 24 ක් තුළ අවසන් කටයුතු කරන ලෙසට ඇය කර තිබූ ඉල්ලීමට අනුව අවසන් කටයුතු එදිනම අවසන් කරනු ලැබූවේ නාවල පොදු සුසාන භූමියේදී ය. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. මහනාහිමිවරුන් ඇතුළු පක්ෂ නායකයින් දුරතනයෙන් අමතා සොව පළකර තිබුනි.


මල් ශාලාව වෙත විපක්ෂ නායක සජිත් පැමිණියේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමඟය. විපක්ෂ නායකවරයා හා ජනපති එහි අසුනකට බර දෙද්දී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ද එහි පැමිණියේය. “මෙතුමලගේ වැඩ හින්දා අපට නිදහසේ පාර්ලිමේන්තුවෙන් එළියට එන්න විදියක් නෑනේ.” සුසිල් ජනපති හා විපක්ෂ නායක දෙස බලමින් කීවේය.
“විපක්ෂය කියන්නේත් ඒක තමයි. විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙවෙයිනේ.” විපක්ෂ නායක සජිත් ද පෙරලා කීවේය.
“මෙයාලා ඉතින් බොරුවට කෑ ගහන එක විතරනේ.” ජනපති ද සරදමක් කළේය.


අවමංගල්‍යයක් වුව ද දේශපාලනඥයන් රැසක් එහි එක්වීම හේතුවෙන් මෙය දේශපාලන කතා මණ්ඩපයක් වූවේය. වැඩිවේලාවක් එහි රැඳී නොසිටි සභානායක සුසිල් ඉන් පිටත් වූවේ පාර්ලිමේන්තු කටයුතු ඇති බව ජනපතිට සිහිපත් කරමිනි.
“සභානායකතුමා කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මම කළ යෝජනාව පිළිගන්නවා කියා කියපු එක ඇත්තටම අගය කරන්න ඕනෑ.” සජිත් කීවේ පිටව යන සුසිල් දෙස බලමිනි.


“ඒක හොඳ යෝජනාවක්.” ජනපති ද ප්‍රචාර ද දැක්වීය.
“ඒකට මම ස්තූති කරනවා.” සජිත් කීවේ ජනපති දෙස බලමිනි.
“ඒක අගය කිරීම ගැන සතුටුයි.” කී ඇමැති සුසිල් ඉන් පිටව ගියේය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මෑණියන්ගේ දේහය ඔවුන් විසින් සුසාන භූමියක් වෙනුවෙන් රජයට පරිත්‍යාග කළ ඉඩමක පිහිටි පොදු සුසාන භූමියේදි සිදු කෙරුණේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ඉතාම චාම් අයුරිනි.
මුදල් කාරක සභාවේ මූලාසනය ගැනීම ගැන පාර්ලිමේන්තුවේ ඇතිවූ කතා බහෙන් පසුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වාට මන්ත්‍රී වජිර අබේවර්ධන මුහුණට මුහුණ මුණ ගැසුණේ මෙම අවමංගල්‍ය ශාලාවේදීය.


“ඔබතුමා ඉතින් මට විරුද්ධයිනේ.” හර්ෂ කීවේ වජිර දෙස බලමිනි.
“අපෝ නෑ. මම ඔබතුමාට විරුද්ධ නෑ. මම පාර්ලිමේන්තුවේදි කීවේ මුදල් කාරක සභාව ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ගැන විතරයි.” වජිර ද පිළිතුරු දුන්නේය.
“ඔබතුමාලා සභාපතිකම මට දෙන්නේ නෑනේ.” හර්ෂ කීවේය.


“ඒ ගැන නම් ඔබතුමා ආණ්ඩු පක්ෂයේ කට්ටිය එක්ක කතා කර ගන්න වෙනවා.” වජිර කීවේ හර්ෂ පිටත් වෙද්දීය.
මේ අතර විපක්ෂ නායක සජිත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට ද සරදමක් කළේ ජනපති ඉදිරියේ ය.
“මෙතුමා ඉන්නේ අපිත් එක්ක.” සජිත් කීවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක දෙස බලමින.
“එයා තීරණය කරන්න ඕනෑ ආණ්ඩුවත් එක්ක ද ඉන්නේ විපක්ෂයත් එක්ක ද ඉන්නේ කියලා” ජනපති කියද්දී සජිත් කීවේ ‘‘මම විහිළුවක් කළේ’’ කියාය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් කණ්ඩායමක් ජනපති මුණ ගැසුණේ පක්ෂ කටයුතු ගැන මෙන්ම රටේ පවතින තත්ත්වය ගැන සාකච්ඡා කරන්නටය. මෙහිදී පැන නැගුණු මාතෘකාවක් වූවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය විරෝධතාවයන්ය.


“විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල ඇතුළට ගිහිල්ලා පොලිසිය පහර දුන්නා කියලා කියනවා. තව පැත්තකින් විශ්ව විද්‍යාල තුළට උපකුලපතිගේ අවසරයකින් තොරව යන්න බෑ කියලාත් කියනවා. මොකක්ද මේ කතාව.” ශමල් සෙනරත් විමසුවේ එහි සිටි පිරිස‍ගෙනි.
“මම දන්න තරමින් නම් නීතිය හා සාමය රකින්න ඕනෑම අවස්ථාවක ඕනෑම් ස්ථානයකට යන්න පොලිසියට අවසර තියෙනවා. ඒක ගැන කාගෙන්වත් අහන්න ඕනෑ නෑ.” මහලේකම් රංගේ බණ්ඩාර කීවේ හිටපු පොලිස් නිලධාරියෙකු ලෙස නීතිය මතක් කර දෙමිනි.


“විශ්ව විද්‍යාල කියන්නේ වෙනම රාජ්‍යයක් නොවෙයි. උපකුලපතිගෙන් අවසර අරන් යනවා කියන එක මා දන්නා තරමින් සම්ප්‍රදායක්. උප කුලපති කැදෙව්වත් නැතත් නීතිය හා සාමය කඩවෙනවා නම් පොලිසියට ඇතුළට යන්න පුළුවන්.” සභාපති වජිර පැහැදිලි කළේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිතය මතක් කරමිනි.
“වෙනත් රටවල යුනිවසිටි පොලිස් කියලා වෙනම පොලිසි තියෙනවා.” ජාතික සංවිධායක සාගල ද කතාවට එකතු වූවේ විදෙස් විශ්ව විද්‍යාල ගැන විස්තරයක් ද සහිතවය.
ලංකාවෙත් ඒ වගේ යුනිවසිටි පොලිසි දාන්න යෝජනාවක් ඇවිත් තිබෙනවා නේදැයි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කියද්දී ජනපති එය හිස සලා තහවුරු කළේය.
ජනාධිපතිවරයා ඉකුත් සිකුරාදා කොළඹින් බැහැරට ගියේ පෞද්ගලික සංචාරයක් සඳහාය.

 

කඳුළු ගෑස් ප්‍රමිතිය බාල ද?

උද්ඝෝෂණ හා පෙළපාලිවලට එල්ල කරනු ලබන ජල ප්‍රහාර හා කඳුළු ගෑස්වල තත්ත්ව වාර්තාවක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමට ජාතික ජන බලවේගයේ නීතිඥ අංශය පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළේය.


කඳුළු ගෑස් හා ජල ප්‍රහාර පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතීන් නොසලකා ශ්‍රී ලංකා පොලිසිය හා හමුදාව අමානුෂික ලෙස ගෙන යනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ජන බලවේගයේ නීතිඥ අංශය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ලබා ගැනීමේ කටයුතු නීතිඥ සඳුන් යාපා කරුණාරත්න මහතාට පවරනු ලැබුවේය.


කොළඹ විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතා ව්‍යාපාරයට ඉවක් බවක් නොමැතිව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් කුඩා පාසල් සිසුන් ඒ මේ අත දිවගිය ආකාරය පිළිබඳව කරුණු අනාවරණය කළ නීතිඥයන් පොලිසිය හා හමුදාව පොළු මුගුරු රැගෙන පැමිණීම පිළිබඳවත් පහරදීම් පිළිබඳවත් විරෝධය දැක්වීමට තීරණය කළේය.
මෙම මැර ප්‍රහාරවලට ජන බලයෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වාදී ඇත. ජාතික ජන බලවේගය කිසිදු ආකාරයකට මැර බලයට මැර බලයත් ක්‍රියාත්මක නොකරන අතර ඒ සඳහා ජනතා බලයම උපයෝගී කරගත යුතු බව ද මෙහිදී සාකච්ඡා විය.


සමගි ජන බලවේගයේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවක තොරතුරු මෙහිදී අනාවරණය විය. එනම් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය උඩට එන බව සාකච්ඡා වී ඇති බව පක්ෂ නායක අනුර කුමාර මහතා ප්‍රකාශ කළේය. එවැනි තත්ත්වයක් ඇති වුවොත් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජනබලවේගය විශාල ජයග්‍රහණයක් ලැබීම සිය පක්ෂවලට බලවත් ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවද මෙහිදී පක්ෂ නායකයන් පෙන්වාදී ඇතැයි ද අනුර කුමාර දිසානායක මහතා කීය. දැනට පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන නිසා මහ මැතිවරණයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇතැයි ද ඔහු කීය.
පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල්යාම නිසා රනිල්ගේ බලය ස්ථාවර වෙන අතර එම ඡන්දයෙන් ජාතික ජන බලවේගය ලබන ජයග්‍රහණය මහ මැතිවරණයකදී තම පක්ෂයට බෙහෙවින් බලපාන බව සජිත් ප්‍රකාශ කර ඇතැයි අනුර කුමාර දිසානායක මහතා මෙහි දී කීය.


මේ අවස්ථාවේ විධායක සභිකයන් පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගය දේශීය ආර්ථිකයට මුල් තැනදීම ගැන රටේ ජනතාව දැඩි ප්‍රසාදයෙන් සිටින බවයි.

අයි එම් එෆ් සල්ලි ගැන සජිත් කී කතාව

විපක්ෂ නායක සජිත් පසුගිය සතිය ආරම්භ කළේ ප්‍රමුඛ පෙළේ රාජතාන්ත්‍රිකයන් දෙදෙනෙකු මුණ ගැසීමත් සමග ය.


ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් (Michael Appleton) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විණි.


දෙරට අතර ආර්ථික, දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා නවසීලන්ත මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.


ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටු දැකීම උදෙසා නවසීලන්ත රජයේ සහාය අපේක්ෂා කළ විපක්ෂ නායකවරයා, රටේ දේශපාලන ස්ථාවරත්වයේ වැදගත්කම ද අවධාරණය කළේය.
මෙරට දේශපාලනය තුළ සුවිශේෂී සලකුණක් තබමින් විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රටට අගයක් එකතු කළ බව විපක්ෂ නායකවරයා සිහිපත් කළ අතර ඊට නවසීලන්ත මහ කොමසාරිස්වරයාගේ ප්‍රශංසාව ද හිමිවිය.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, මාධ්‍යවේදියෙකු හා විද්වතෙකු වන ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ද කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිල නිවසේ දී සිදුවිණි.


ඔහු කලක්, සයිප්‍රසයේ, ඕස්ට්‍රේලියාවේ සහ පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විය. ඔහු අගමැති රජිව් ගාන්ධි මහතාගේ නිල ප්‍රකාශකවරයා වූ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කොට ඇත. එම කාලය තුළ අවස්ථා ගණනාවකදීම හෙතෙම ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔහු දැනට ජම්මු මධ්‍යම විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා සහ ඉන්දියාවේ නවදිල්ලියේ වායු බලශක්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහු පසුගිය වසර විස්සක කාලය තුළ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න පිළිබඳව ඉංග්‍රීසි සහ හින්දි නාලිකාවල රූපවාහිනී විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාව ගොඩනැංවීම උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අපේක්ෂා කරන බව එහිදී පැවසූ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන, ශක්තිමත් ද්වීපාර්ශීය සබඳතාව පිළිබඳව ද සිහිපත් කළේය. මේ අතර රුපියලේ අගය ශක්තිමත් වීමට පටන් ගැනීම පිළිබඳව බොහෝ දෙනා අසුභවාදීව අදහස් දක්වනු දැකිය හැකි විය.
”‍රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම්, රට ගොඩනැගෙනව නම් ඒ ගැන සතුටු වෙන්නේ නැතිව ඉන්න තරම් කුහකයෝ නොවේ අපි. හැබැයි හැමෝම මතක තියාගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ මූල්‍ය අරමුදල ලබා ගැනීම වෙනුවෙන් අපි පොරොන්දු වුණේ මොනවද කියන එකත්. මොකද ගොඩක් අය මේ වෙලාවේ මෝහනය වෙලා ඉන්නේ. අපි එහෙම මෝහනයක නෑ. විදුලි බිල සියයට 200කින් වැඩි කරලා, ඒ බිල ගෙදරට එනකොට ගොඩක් දෙනෙක් ඒ මෝහනයෙන් ඉවත් වෙයි”‍  සජිත් සිය මන්ත්‍රීවරුන් සමග පැවසීය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීම පිළිබඳ බලාපොරොත්තු මධ්‍යයේ වසරේ මුල් කාර්තුව තුළ ඉහළ ශක්තිමත් භාවයක් අත්කරගෙන තිබෙන ශ්‍රී ලංකා රුපියල, වසර අවසානය වන විට නැවත බිඳ වැටෙනු ඇති බවට ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකතනය කරයි.
මෙම පුරෝකතනය පිළිබඳව හර්ෂ ද සිල්වා ඉරාන් වික්‍රමරත්න මෙන්ම කබීර් හෂීම් ද සිය අවධානය යොමු කළේය.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම නුදුරේදීම අනුමත විය හැකිය. ආර්ථික අර්බුදය සහ පළාත් පාලන මැතිවරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගනු ලබන එකඟතා මත රැඳී සිටීමට බාධාකාරී තත්ත්වයක් රටතුළ නිර්මාණය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් ආයතනය පවසන බව මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේ හර්ෂ ද සිල්වා ය.
‘මෙරට බරපතළම තත්ත්වය තමයි වසර අවසන් වන විට ඩොලරයක වටිනාකම රුපියල් 390 ක් දක්වා ඉහළ යන්න පුලු‍වන් කියලා ෆිච් රේටිංග්ස් ආයතනය අනුමාන කිරීම”‍  අශෝක් අබේසිංහ කීවේය.


”‍අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන්නේ බිලියන 2.9ක ඉතා සුළු ප්‍රමාණයක්. ඕගොල්ලෝ දන්නවා අපි ණය ගෙවීම අත්හිටුවා තියෙන මේ අවස්ථාවෙදිත් බිලියන 2.6ක් විතර යනවා ණය ගෙවන්න. ඒ, බහුපාර්ශ්වික ණය අපි ගෙවිය යුතු නිසා. උදාහරණයක් විදියට අයි.එම්.එෆ්. එකේ ණය ඔක්කොම එකපාර ගත්තත්, ඒ එකපාර ගන්න මුදල් මේ අවුරුද්දෙම අයි.එම්.එෆ්. එකටයි, ලෝක බැංකුවටයි, ඒ.ඩී.බී. එකටයි ගෙවන්න වෙනවා. එහෙම බැලු‍වොත් එහෙම ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නෑ. හැබැයි අයි.එම්.එෆ්. එක අවශ්‍ය ඇයි? අයි.එම්.එෆ්. එක අවශ්‍ය ලෝකයේ අනෙක් රටවල් අපි කෙරෙහි තියෙන විශ්වාසය ගොඩනගන්න. ඒක තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස එන්න කලින් අපි මේ සම්බන්ධයෙන් රජයට අවධානය යොමු කළේ”‍
ආර්ථික විද්‍යානුකූල තර්කානුකූල පැහැදිලි කිරීම් කළේ හර්ෂ ද සිල්වා ය.

ජීවන වියදම අඩුකරන මාර්ග  කරු පෙන්වා දෙයි

ජීවන වියදම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සමාජිකයන් පසුගිය සතියේ කරු ජයසූරිය මහතා හමුවිය. එම හමුව සිදු වූවේ අමරසේකර මාවතේ පිහිටි කරු ගේ නිවසේදීය. එයට පාරිභෝගික සේවා අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ද සහභාගි වී සිටියහ. 
එහිදී කරු පෙන්වා දුන්නේ ඉන්දියානු රුපියල යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රජාවට ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට හැකියාව ලැබීමේ වාසිය උපරිම ලෙස ජනතාවට ලබාදීමට නිසි වැඩපිළිවෙලක් සැකසීම අත්‍යවශ්‍ය වී ඇති බවය. එහිදී එකී ආනයන භාණ්ඩ සඳහා පාලන මිල ක්‍රමයක් හඳුන්වා දීම වැනි අසාර්ථක ක්‍රමවේදයන්ට නොගොස් දර්ශක මිල ක්‍රමය යොදාගැනීමේ වැදගත්කම පෙන්වා දුන් කරු රට බරපතළ ලෙස ඩොලර් හිඟයකට මුහුණ දී ඇති මෙවන් මොහොතක ඉන්දීයානු රුපියල භාවිත කරමින් ඉන්දීය වෙළෙඳපොළ සමඟ ගණුදෙනු කිරීමට ලැබුණ මෙම අවස්ථාවෙන් රටක් ලෙස අප උපරිම ලෙස වාසිය ගත යුතුව ඇති බව සඳහන් කළේය.


පාරිභෝගිකයාගේ ආරක්ෂාව හා අයිතීන් තහවුරු කිරීමේදී මතුවන ඇතැම් බාධක පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී වැදගත් අවධානයක් යොමුවිය. එහිදී හෙළි වූ එක් කරුණක් වන්නේ තිරිඟු‍ පිටි ආශ්‍රිත පාන් වැනි ආහාර නිශ්පාදනයට අදාල නීති බොහෝ සේ යල්පැන ඇති නිසා එහි වාසිය ඇතැම් බේකරි හිමියන් කූඨ ලෙස යොදාගනිමින් සිටින බවය. පාන් හා බේකරි නිෂ්පාදන සඳහා බලාත්මක නීති ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1864 තරම් ඉතා ඈත කාලයක දී වන අතර එය සංශෝධනය කර ඇත්තේ 1940 දශකයේ දී බව ද එහිදී හෙළි විය. කරු එම අවස්ථාවේදීම අවධාරණය කරන ලද්දේ එවැනි යල්පැන ගිය නීති වහාම සංශෝධනය කර පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ එක් වගකීමක් වන බවය.

 

 

ගජබා