පොලිස් බලතල ගැන ජනපති ඉදිරිපිට රණ්ඩුවක්


මැතිවරණයට සූදානම්වන්න ජනපතිගෙන් උපදෙස්

පළාත් පාලන මැතිවරණය ගැන නැවත කතා බහක් ඇති වූවේ මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීමත් සමඟය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව සාමාජිකයන් පත් කෙරුණු මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ධුර කාලය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු අවලංගු වුවත් ව්‍යවස්ථාදායක සභාව පත් නොවීම හේතුවෙන් හිටපු සාමාජිකයන්ම එහි රාජකාරි කළෝය.


පළාත් පාලන මැතිවරණය පැමිණියේ මේ අතර වාරයේය. මැතිවරණ කොමිසමේ බෙදීමක් ගැනද එහිදී කියැවිණි. මේ සියලු කාරණා අභිමුව කීර්තිමත් හිටපු පරිපාලන නිලධාරිනියක වූ පී. එම්. එස්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉවත්වන්නේ මේ අතර වාරයේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉවත්වන බවට වූ පණිවුඩය ජනපතිට ලැබෙන්නේ ජනපති ලේකම් සමන් ඒකනායකගෙනි. ඒ බදාදා සවසය.
‘සර් චාල්ස් අයින් වෙනවා කියලා පණිවුඩයක් තියලා තියෙනවා. හෙට උදේම ලියුම එවන බව දැනුම් දුන්නා.’ ලේකම් සමන් කීවේ එවැන්නකි.
‘මැතිවරණ කොමිසම බෙදිලා කියන එක අපි කිව්වාම විපක්ෂයේ සමහරු අපිට හිනාවුණා. දැන් පැහැදිලි වෙනවානේ අපි කිව්වේ ඇත්ත කියලා.’ ඒ අසල සිටි මන්ත්‍රී වජිර කියද්දී ජනපති හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.


‘මේ ගැන ව්‍යවස්ථාදායක සභාවත් දැනුම්වත් කරන්න.’ ජනපති විගස ලේකම් සමන් ඒකනායකට කීවේය.
බ්‍රහස්පතින්දා ද ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැති ඇමැතිවරුන් කතා කරන්නට වූවේ මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීමේ සිද්ධිය ගැනය. ඔවුන් බහුතරයකගේ පැනය වූවේ ඇය අස්වූවේ ඇයිද යන්නය.
‘මැතිවරණ කොමිසම බෙදිලා කියන කතාව දැන් මිනිස්සු පිළිගන්නවා. මේ වැඩෙන් වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ විපක්ෂය.’ ඇමැති ප්‍රසන්න කීවේය.
‘බෙදීමක් නෑ කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියලා තියෙන්නේ බොරු. දැන් ඒක පැහැදිලියි. මැතිවරණ කොමිසම විපක්ෂයට ඕනෑ විදියට වැඩ කළ බව දැන් ඔප්පුවෙලා ඉවරයි.’ ඇමැති බන්දුල ද කතාවට එකතු වූවේය.


‘නාම යෝජනා බාර ගත්ත නිසා අපේක්ෂකයෝ දැන් තරගයේ ඉන්නේ. මෙහෙම ගියාම අපේක්ෂකයෝ පවා ලොකු හිරවීමකට යනවා. මැතිවරණ කොමිසමත් හිරවෙලා අපේක්ෂකයොත් හිරවෙලා.’ ඇමැති ප්‍රමිත බණ්ඩාරගේ අදහස එය විය.
‘මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තිය අනුව ඔවුන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතුයි. ඒ කිසිවක් සභාපති කළේ නෑ. ප්‍රශ්නයක් නෑ කියලා කිව්වට දැන් රටටම ප්‍රශ්නය පෙනුනා.’ ඇමැති ප්‍රසන්න කීවේය.


‘මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුල ඉඳලම වැරැදි පාරේ ගියේ. නීතිපති උපදෙස් ගන්න කිව්වාම අරගලයේ නීතිඥ සාලිය පිරිස්ව මැතිවරණ කොමිසමේ නීති කටයුතුවලට සම්බන්ධ කර ගත්තා. පෞද්ගලික අංශයෙන් නීතිඥයෙක් ගන්න ඕනෑ නම් ඇයි රොමේෂ් සිල්වා වැනි නීතිඥවරයෙක් ගත්තේ නැත්තේ. තවත් මේ වගේ වෙනත් ප්‍රසිද්ධ නීතිඥයෝ ඉන්නවානේ.’ නීතිඥ දොලවත්ත මන්ත්‍රීවරයාද කතාවට එක්වූවේ එලෙසිනි.
මැතිවරණ කොමිසමේ කටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් පසු ජනපති රනිල් ඇතුළු පිරිස අනෙකුත් රාජකාරි වෙනුවෙන් පිටව ගියහ. ජනපති රනිල් එදින සවස කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමට ගියේය. ජනතා විමුක්ති පෙරමුණ හැරුණු කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයෝ එහි පැමිණ සිටියහ. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණි.


සාකච්ඡාවෙන් පසුවත් බොහෝ දෙනා ජනපතිගෙන් විමසා සිටියේ මැතිවරණය ගැනය. ඒ සැමටම ජනපති දුන් පිළිතුර වූවේ මේ මැතිවරණයට මගේ සම්බන්ධයක් නැත යන පිළිතුරය. තවත් පිරිසක් මෙහිදී ආදායම් බදු පැනවීම ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ගැන විමසන්නට වූහ.
ජනපති රනිල් ඉකුත් සතිය කොළඹ ගත කළ අතර සඳුදා සිට සිකුරාදා තෙක් ඔහු ජනපති ලේකම් කාර්යාලයේ රැඳී සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිලධාරීන් පිරිසක්ද ඔහු සඳුදා මුණ ගැසුණේය. එදිනම සවස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට පිරිනැමුණු රුපියල් බිලියන 03ක චෙක්පත ජනපතිට පිළිගැන්වූවේ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසිනි.


එදින සවස ජනපති මුණගැසීමට පැමිණියේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු සාමාජිකයන්ය. නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් රංගේ, සභාපති වජිර, ජාතික සංවිධායක සාගල ඇතුළු නිලධාරිහු පිරිසක් ජනපති මුණගැසීමට පැමිණ සිටියහ. මහලේකම්වරයා විසින් පළමුව නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් විස්තරයක් කළ අතර ඉන් පසුව ආසන සංවිධායකවරුන් පත් කිරීම ගැනද කතා කළේය. ඒ සියලු කතා සාවධානව අසා සිටි ජනපති රනිල් මැතිවරණයට සූදානම් වන්නැයි පිරිසට පැවැසීය.
‘සර් අපි හිතුවේ ඡන්දය කල් දානවා කියලායි.’ රංගේ විමසද්දී ජනපති කීවේ මම කොහෙවත් කියලා නෑ ඡන්දේ කල් දානවා කියලා.’ යනුවෙනි.
මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විමසා සිටියේ ‘සර් මොන ඡන්දයටද අපි සූදානම් වෙන්න ඕනෑ.’ කියාය. ඒ පැනයට සැවොම සිනාසුනහ.
‘පක්ෂයක් වුණාම එන ඕනෑ ඡන්දයකට මුහුණ දෙන්න ඕනෑ’ ජනපති කීවේ සිනාහඬ නතර වූ විගසය.


මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදි බදාදා හා බ්‍රහස්පතින්දා යන දින දෙකෙහිදීම මුණගැසී සාකච්ඡා කළෝය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටු රැස්වීමේදී සියලුම අපේක්ෂකයන්ට ගමින් ගමට ගොස් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන ලෙස උපදෙස් දීමට තීරණය කෙරුණි.
එසේම ගම් මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන් කළ යුතු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැනත් එය අලුත් මැතිවරණ පනතට අනුව කටයුතු කිරීම ගැනත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.


ජනපති රනිල් අඟහරුවාදා සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත ගියේ ඉන්දියානු ජනරජ දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට සහභාගිවීමටය. ජනපති එහිදී දෙරට අතර පවතින සහෝදර සම්බන්ධය සිහිපත් කළේ ඉතිහාසය සිහිපත් කරමිනි.
ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ජනපති මුණගැසුණේ දේශගුණික විපර්යාස කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. එහිදී රුවන් ජනපතිගේ අවධානයට ලක් කළේ දේශගුණික විපර්යාස ගැන අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය අන්තර් ජාතික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙනි.


එහිදී ජනපති රුවන්ගෙන් විමසා සිටියේ නැගී එන රටවල තිරසර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනය මෙරට සම්බන්ධකර ගන්නා ආකාරය ගැනය. මෙරට දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය ඉදිකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේද උනන්දුවක් පවතින බැවින් ඒ ගැන සොයා බලන්නැයි ජනපති රුවන්ට උපදෙස් දුන්නේය. ‘සර්ගේ උපදෙස් අනුව අපි ජී.ජී.ජී.අයි ආයතනයේ සභාපති, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන්ට ආරාධනා කළා. එතුමා පෙබරවාරි මාසේ ලංකාවට එනවා’ රුවන් කීවේය.


දකුණු කොරියානු රජයට සම්බන්ධ ආයතනයක් වන මෙම ජී.ජී.ජී.අයි ආයතනය මෙරට සමඟ එක්ව වැඩ කිරීමේ ගිවිසුම් කිහිපයක් බෑන් කී මූන් පැමිණීමෙන් පසුව අත්සන් කිරීමට නියමිතය. ජනපති රනිල්ගේ ආරාධනයෙන් බෑන් කී මූන් මෙරටට පැමිණීමට නියමිතය.
නියෝජ්‍ය නායක රුවන්, ජාතික සංවිධායක සාගල ඇතුළු පිරිස ඉකුත් සෙනසුරාදා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර දුන් අතර පක්ෂ මැතිවරණ මෙහෙයුම් යාන්ත්‍රණයද මොවුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඉකුත් බදාදා ජපන් සමාගමක නියෝජිතයන් පිරිසක් මුණ ගැසුණේ අපවිත්‍රව පවතින බේරේ වැව පිරිසුදු හා අලංකාර ස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීමටය. මෙය ඩොලර් මිලියන 3ක ව්‍යාපෘතියක් වන අතර ජපන් සමාගම ආධාරයක් ලෙස එය ලබාදීමට තීන්දු කෙරුණේ රුවන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.


ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක නෙදර්ලන්ත නියෝජිත කණ්ඩායමක් ඉකුත් සතියේ මුණගැසුණේ මෙරටින් රැගෙන ගොස් එහි රඳවා ගෙන සිටින මෙරටට අයත් පෞරාණික භාණ්ඩ නැවත ලබා ගැනීමටය.


එදා ඕලන්දය ලෙස හැඳින්වූ වර්තමාන නෙදර්ලන්තය මෙරටින් ගෙන ගිය සියලු භාණ්ඩ යළි මෙරට ලබාදීමට එකඟතාව පළ කළේය. එම භාණ්ඩ මෙරටට ගෙන්වාගත් පසු ඒවා සුරක්ෂිතව තැබීමට අවශ්‍ය පහසුකම් සකසා ගන්නා තුරු එම භාණ්ඩ එරට රඳවා තබා ගැනීමටත් ඒ ගැන අධ්‍යයනය කිරීමට කැමැති සියලු දෙනාට එහි ගොස් පරිහරණය කිරීමට අවස්ථාව සලසා දීමටත් නෙදර්ලන්ත කණ්ඩායම ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට පොරොන්දු විය.
කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ජපන් තානාපති මුණ ගැසුණු අතර ආයෝජන ව්‍යාපෘති රැසක් තානාපති විසින් ඔහු හමුවේ තැබුවේය.
මැතිවරණය පැවැත්විය යුතු බව හා කල් දැමිය යුතු බව පවසමින් පාර්ශව දෙකක් අධිකරණයට ද ගොස් ඇත. මේ සම්බන්ධයෙන් වන තීරණය ලබන දහවෙනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. එබැවින් ලබන දහවැනි දා පැවැත්වෙන අධිකරණ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වී ඇත.
ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමේ සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින් දා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදීම සම්බන්ධයෙන් තරමක උණුසුම්වාදයක් ඇති විය. ජනාධිපතිවරයා කිව්වේ දහතුන්වැනි සංශෝධනය බලාත්මක කරමින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදීමට සූදානම් බව ය. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊට විරෝධය පළ කළේය. ඔහු කිව්වේ රණවිරුවන් ජීවිත පූජා කරමින් බේරාගත් රට දෙකඩ කිරීමට ඉඩ දිය නොහැකි බවය. පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදීම මගින් රට දෙකඩ වන බව ඔහු කීවේය. සරත් වීරසේකරගේ අදහසට දැඩි විරෝධය පළ කෙළේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාය. ඔහු ඉල්ලීමක් කළේ මෙවැනි බිල්ලන් මැවීමෙන් වළකින ලෙස ය. උතුරේ වැසියන්ගේ ඉඩම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන අයත් නිදහස් කර ඇති බව ඔහු ගණන් හිලව් ඇතිව ම කීවේය. ජාතික ප්‍රශ්නය විසඳන්නට යාමේ දී එය අවුල් නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.


අනතුරුව කතා කළේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාය. ඔහු කතා කළේ සරත් වීරසේකරගේ අදහස අනුමත කරමිනි. ගෙවිඳු කතා කළේ ජනාධිපතිවරයාට ද චෝදනා එල්ල කරමිනි. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට ඉඩම් බලතල දීමට බලයක් නැති බව ඔහු කීවේය.
ජනාධිපතිවරයා ඒ ගැන විග්‍රහයක් කළේය. මම පත් වුණේ ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන්. විධායකයේ බලතල ක්‍රියාත්මක කරන්න මම බැඳිලා ඉන්නවා. මම වගේම ඔබතුමත් පත්වුණේ ජාතික ලැයිස්තුවෙන් යයි ජනාධිපතිවරයා කීවේය.
අතුරලියේ රතන හිමියෝ අදහස් දක්වමින්, ඉඩම් බලතල ලබා දීමට විරුද්ධත්වය දැක්වූහ. පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදීමට විරුද්ධ බව උන්වහන්සේ සඳහන් කළහ.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද කතාබහට මැදිහත් විය. ඔහු කීවේ ඉඩම් බලතල ලබාදිය යුතු බවය. මේ ප්‍රශ්නය දිගින් දිගටම යන්නට නොදී ඉඩම් බලතල ලබා දී අර්බුදය විසඳීය යුතු බව ඔහු කීවේය.


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අදහස් දැක්වීය. පළාත් සභා ගෙනා වෙලාවේ තරුණ මන්ත්‍රීවරයකු විදිහට තමා සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමග ඊට විරුද්ධව අදහස් දැක්වූ බව කී මෛත්‍රී මේ සම්බන්ධයෙන් දැන් තමා දරන ස්ථාවරය ඊට වැඩිය වෙනස් බව කීවේය. එදාට වඩා පරිණත වී ඇති තමා මේ අර්බුදය විසඳිය යුතු ය යන ස්ථාවරයේ සිටින බවද ඔහු කියා සිටියේය.

සාගරගේ කොළපාට ටයි එක

පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීමට සහභාගි වූ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා එය අවසන් වී විදුලි සෝපානයෙන් පහළට එද්දී මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා හමුවිය. සාගර පැළඳ සිටි කොළපාට ටයි පටිය දුටු චරිත ‘‘ඔබතුමා දැන් දාන්නෙත් කොළපාට ටයි නේදැයි’’ විහිලු‍ කළේය. මේක වෙනම කොළපාට ටයි දැමීමක් නෙමේ ‘මේක මං ගාව තිබුණා’ අනිත් දවස්වල දැම්මෙ නැත්තේ කට්ටියට පේන නිසා. ඒත් අද කාටවත් නොපෙනෙන්න දැම්මට ඔබතුමා දැක්කනෙ යයි සාගර හිනාවෙමින් කීවේය.


ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ සාදයක් පැවැත්විණි. හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂම අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ රැසක් ඊට සහභාගිවූහ.ගෝඨාභයත් මහින්දත්, අගමැතිත් ඉන්දිය මහ කොමසාරිස්වරයාත් එකම මේසයේ අසුන්ගෙන සිටියහ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයෙන් ගිය පසු නිල උත්සවයකට සහභාගි වූ පළමු අවස්ථාව එයයි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා කොස්ගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට ද සහභාගී විය. ඒ ඔහු ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සිටි චමින්ද කරුණාරත්න ගේ පුත්‍රයාගේ මංගල උත්සවයටය. ගෝඨාභය කොළඹ සිට යද්දි රමේෂ් පතිරණ ඇමතිවරයාද ඔහුගේ වාහනයෙන්ම උත්සවයට සහභාගී විය.
ඔවුන් යද්දි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ද සිටි අතර ඔවුහු ආගිය තොරතුරු කතා කරමින් බොහෝ වේලාවක් එහි රැඳී සිටියහ.

ශ්‍රීලනිපයට එරෙහිව නිමල්  සිරිපාලගෙන්  ටී ෂර්ට් කණ්ඩායමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා මෙවර පළාත් පාලන මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු‍ම පළාත් පාලන ආයතන සඳහා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර ඇත. ඒ ටී ෂර්ටය ලකුණ යටතේ ය. ඔහු එම කණ්ඩායම් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බදුල්ලට තරඟ කරන පළාත් පාලන අපේක්ෂකයන්ට එරෙහිවය.

නිරුත්තර රටක උත්තරය!

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල දැඩි ලෙස කාර්ය බහුල වී සිටින්නේ මැතිවරණ මෙහෙයුම් කටයුතු අතරත් සමාජ සත්කාරක වැඩසටහන් නතර නොකිරීමත් නිසාය. සියලු‍ම වැඩ කටයුතු අතරවාරයේ දී මැතිවරණ මෙහෙයුම් කමිටුවේ කටයුතු ගැනත් ඔහු වැඩි අවධානයක් යොමු කර තිබුණේය.
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගයේ පළමු රැළිය ලබන 29 වැනිදා කුරුණෑගල දී ආරම්භවීමට නියමිතය. සමගි ජන බලවේගය කුරුණෑගලින් මැතිවරණ ව්‍යාපාරයක් පළමු වතාවට ආරම්භ කරන්නේ මෙවරය. ‘නිරුත්තර රටක උත්තරය’ යන තේමාව සහිතව මෙවර මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ සංවිධාන කටයුතුවල වැඩි බරක් පැවරී ඇත්තේ නලීන් බණ්ඩාරට සහ මරික්කාර්ටය. සමගි ජන බලවේගයේ මෙහෙයුම් කමිටු ප්‍රධානියා වන ඔහු පළමු රැලියේ වැඩි බරක් කරට ගෙන කටයුතු කරන්නේය.


සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සෑම දිනකම උදෑසන පක්ෂ කාර්යාලයේ දී රැස් වන්නේය. ඇතැම් සාකච්ඡා සඳහා සජිත් ද සහභාගී විය.
‘‘මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙලා තියෙනවා”‍ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
‘‘මේවා නාටක. ඡන්දය කල්දාගන්න එක එක නාටක දැන් රග දක්වනවා. ජනතා මතය කොතැනද තියෙන්නේ කියලා දන්න නිසා තමයි මේ බය වෙලා ඉන්නේ”‍සජිත් කීවේය.
‘‘ඔබතුමා හැම ඡන්දයකදීම වැඩිම රැස්වීම් ප්‍රමාණයක් කතා කරනවානේ. මේපාර රැස්වීම් ගණන 80කට සීමා කළා”‍ නලීන් බණ්ඩාර කීවේය.
‘‘ඒ වුණාට දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් ශක්තිමත්ව රැස්වීම් පවත්වන්න ඕනෑ”‍ සජිත් යෝජනා කළේය.
‘‘ඔව්. නායකතුමා සහභාගී වන රැස්වීම් 80ක් සංවිධානය කරලා තියෙනවා. ආසන මට්ටමේ රැස්වීම්, බිම් මට්ටමේ, කොට්ඨාස මට්ටමේ, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ රැස්වීම් තවත් සංවිධාන කරනවා”‍ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය.


‘‘හැම අපේක්ෂකයෙක්ම තමන්ගේ කොට්ඨාසයේ තියෙන හැම ගෙදරකටම යන්න ඕනෑ. පාට පක්ෂ බේදයක් නැතිව හැම ගෙදරකටම ගිහින් අපේ වැඩපිළිවෙල ගැන පැහැදිළි කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙන්නේ”‍ රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.
‘‘කාන්තා නියෝජනයට වැඩි අවස්ථාවක් දීලා තියෙන්නේ අපේ පක්ෂය නේද”‍සජිත් ඇසුවේය
‘‘ඔව්. කාන්තා නියෝජනයට සහ තරුණ නියෝජනයට වැඩි අවස්ථාවක් දෙන්න කියලා ඔබතුමාමනේ කිව්වේ. ඒ නිසා අපිට කාන්තා නියෝජනය හා තරුණ නියෝජනය වැඩි කරගන්න පුලු‍වන් වෙලා තියෙනවා. අනෙක් හැම පක්ෂයකට වඩා අපේ පක්ෂයේ තමයි මේ නියෝජනය ඉහළ මට්ටමක තියෙන්නේ”‍ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය කීවාය.
‘‘අපි කාන්තා සහ තරුණ නියෝජිතයන් දෙදහකට වැඩි පිරිසකට මැතිවරණයට ඉදිරිපත්වෙන්න අවස්ථාව ලබාදී තිබෙනවා”‍ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
‘‘රට පුරාම කරපු සමීක්ෂණ වාර්තා කීපයක් අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව අපිට වැඩි වාසියක් තියෙනවා”‍මුජිබර් රහුමාන් කීවේ කොළඹ නගර සභාව ගැනත් වැඩි විස්තර ඉදිරිපත් කරමින්ය.


‘‘පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වය ගන්න විසිදාහක වැඩි පිරිසක් ආවා. ඒ හැමෝටම අවස්ථාව දෙන්න බැරි වුණත්, ගමේ වැඩවලට ඔවුන් සම්බන්ධ කරගන්න ඕනෑ. ගම් මට්ටමේ ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කළාට පස්සේ ගම් මට්ටමින් කමිටු හදන්න. ඒ කමිටුවලට මේ අය පත් කරන්න. පක්ෂයේ ගම් මට්ටමේ ක්‍රියාකාරී වැඩවලට සම්බන්ධ කරගන්න”‍සජිත් උපදෙස් දුන්නේය.


‘‘නායකතුමා කියපු විදියට ආචාර ධර්ම පද්ධතියත් හඳුන්වලා දෙනවා”‍ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසුවේය.
‘‘ඔව්. ඒ ආචාර ධර්ම පද්ධතිය හැම මන්ත්‍රීවරයෙකුටම ලබාදෙන්න. කිසිම මන්ත්‍රීවරයෙක්ට, කොමිස් ගන්න, කොන්ත්‍රාක් ගන්න, පගා ගන්න අවස්ථාව දෙන්නේ නෑ”‍ සජිත් තදින් කීවේය.
මේ අතර සර්ව පාක්ෂික සමුළුවට ද සජිත් සහභාගී විය. ඒ අතරම ව්‍යවස්ථා සභාවටද සහභාගී විය.


‘‘මැතිවරණ කොමිසම වෙනස් කිරීමට කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. මැතිවරණ කොමිසම හැරුණුකොට අනෙකුත් කොමිෂන්වලට ඉල්ලු‍ම්පත් කැඳවීමට තීරණය කළා. කෙසේ වෙතත් මැතිවරණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක පවත්නා මැතිවරණ කොමිසම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එය කිසිසේත් කළ නොහැකි දෙයක්. පවතින මැතිවරණ කොමිෂන් සභාව මෙලෙසම ක්‍රියාත්මක විය යුතුයි. කෙසේ වෙතත් ජනතාවගේ පරමාධිපත්‍යයට විරුද්ධව කටයුතු කිරීම බරපතළ වරදක්”‍ සජිත් කීවේ තමන්ගේ හිතවතුන් කිහිපදෙනෙක් සමගය.

ජාතික ජන බලවේගය ව්‍යාපාරිකයන් හමුවෙයි

ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුව පසුගිය සතියේ කොළඹ ගලධාරි හෝටලයේදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 800ක පමණ පිරිසකට මේ සඳහා ආරාධනා කර තිබුණත් ආරාධනා නොමැතිව පැමිණ සිටි පිරිසත් සමඟ 1200 ක පමණ පිරිසක් සහභාගි වී සිටීම නිසා රථ වාහන පාලනය කිරීම හා ශාලාව තුළ ආසන පැනවීම සම්බන්ධයෙන් දැඩි වෙහෙසක් ගැනීමට සංවිධායකයන්ට සිදුවිය.


ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විසින් මෙහෙයවන ලද මෙම ව්‍යාපාරික හමුවේ මූලික පරමාර්ථය වී තිබුණේ සිය රජයක් යටතේ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පැහැදිලි කරලීමයි. ව්‍යාපාරික ජනතාව තුළ යම් සැක සංකාවක් තිබුණ නම් එය දුරුකර පක්ෂය ක්‍රියා කරන ආකාරය පැහැදිලි කිරීම මෙහිදී සිදුවිය.
ප්‍රධාන පෙළේ ආයතන ගණනාවක අයිතිකරුවන් හා ඉහළ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.


මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික ජනබලවේගය රජයක් යටතේ රටේ සංවර්ධනයට පෞද්ගලික අංශයේ සහාය ලබා ගන්නා බව හා ඔවුන්ට අවශ්‍ය සහන ලබාදෙන බවය. අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම, ආරක්ෂාව හා අලෙවි කරන පහසුව, වෙළෙඳපොළ දිරිගැන්වීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පැහැදිළි කළේය.


ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය අනිල් ජයන්ත, මහා චාර්ය ජගත් කුමාර, මහා චාර්ය සීතා බණ්ඩාර හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්ම මත්මීහු එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්හ. මෙහිදී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද කතා කළාය.


මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ඉකුත් සතියේදී නාමයෝජනා භාරදෙනු ලැබූ අතර තරුණ හා කාන්තා නායකත්වයට එම පක්ෂය ප්‍රමුඛ ස්ථානය ලබාදී තිබුණි.
ජාතික ජන බලවේගයේ අම්බලන්තොට රැළිය 30 වැනිදා ප.ව. 3.30ට පැවැත්වීමටද තීරණය කර ඇත.

ලංකාව පිරිනමන උසස්තම සම්මානයෙන්  කරුට හරසර දක්වයි

ශ්‍රී ලංකාභිමානී සම්මානයෙන් කරු ජයසූරිය මහතා පුද ලබන බවට සඳහන් ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග දේශපලන හා දේශපාලන නොවන විවිධ පාර්ශවයන් හි බොහෝ පිරිස් වෙතින් කරු ජයසූරිය වෙත සුබ පැතුම් ගලා එමින් පවතී. ඒ අතර මහානායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන්, දේශපාලකයන් විද්වතුන්, සිවිල් සමාජ නායකයන් මෙන්ම විදේශ රාජ්‍ය දූත මණ්ඩල සාමාජිකයන් රැසක් ද වේ.


කරු වෙත පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජය මගින් ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයයි. එකී සම්මානය නිල වශයෙන් ප්‍රදානය කිරීම පෙබරවාරි මස 03 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. මෙයට පෙරද ඉහළම මට්ටමේ දෙස් විදෙස් සම්මාන ගණනාවකින් කරු බුහුමන් ලබා ඇත. දේශීය වශයෙන් සැලකීමේ දී සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරිය යන දෙපාර්ශවයෙන් ම මෙන්ම රාමඤ්ඤ හා අමරපුර යන නිකායන් මගින්ද කරුට ගෞරව නාම සම්මාන ප්‍රදානය කර තිබේ. එමෙන්ම රාජ්‍ය මට්ටමින් ද දේශබන්ධු නාමය පිරිනමා ඇත.


විදේශ රාජ්‍යයන් මෙන්ම කීර්තිමත් විදේශ ආයතන රැසකින් ද මෙයට පෙර විවිධ සම්මාන පුදකරමින් කරු අගයා තිබීම ද විශේෂත්වයකි. ඒ අතරින් ජපානයේ අධිරාජයා විසින් සිය උත්තරීතර මිතුරන්ට ප්‍රදානය කරන ‘උදාවන සූර්යයා’ සම්මානය කරු වෙත පුද කරමින් ශ්‍රී ලාංකිකයෙකු වෙත දැක්විය හැකි ඉහළම ගරුත්වය පුද කර තිබේ. එයට අමතරව ඉන්දියාවේ අබ්දුල් කලාම් ආයතනය ආසියාවේ අභිමානය සම්මානය පුද කරමින් ද නෙදර්ලන්තය ශාන්ත ලාසරස් සම්මානය කරු වෙත ලබා දෙමින් ද මෙයට පෙර හරසර දක්වා තිබේ.

 

ගජබා