පුතා නිසා ගෙදර ගිය රාජ්‍ය ඇමැති


 

රාගම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි කේන්තියකින් පසුවිය. අරුන්දික පසු දිනම උදේ ජනාධිපති කාර්යාලට ගොස් ජනාධිපතිවරයා හමුවිය. ජනාධිපතිවරයා ඔහුට දැඩිව දැනුම් දී තිබුණේ වහාම තනතුරෙන් ඉවත් වන ලෙස ය. රාගම සිද්ධියෙන් තමාත් ආණ්ඩුවත් අපහසුතාවට පත් වූ බව සඳහන් කර තිබූ ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව ද සඳහන් කර තිබිණි.

 

සිදුවීම් රැසක් හේතුවෙන් ඉකුත් සතියේ දේශපාලන කරළිය අතිශයින් ගිනියම් විය .ඉන් ප්‍රධාන තැනක් ගත්තේ තල්, පොල්, කිතුල් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට පහර දුන් බව කියන සිද්ධියයි .එහි ප්‍රධාන චෝදනාවක් අරුන්දික ප්‍රනාන්දුට ද එල්ල විය. ඊට ප්‍රධාන හේතුව වූයේ නේවාසිකාගාර භූමියට කඩා වැදුණු පිරිස අතර සිටි අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරු සහ ඔවුන් පැමිණි අමාත්‍යාංශයට අයත් වාහනයක් සිසුන් විසින් අල්ලා පොලිසියට බාර දෙනු ලැබීමය. ඒ නිසාම ඇමැතිවරයාට ද ඉන් ගැලවීමක් නොවීය.


රාගම වෛද්‍ය පීඨ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙද්දී අරුන්දික දිගින් දිගටම කියා සිටියේ ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. තමා සම්බන්ධ බව පරීක්ෂණයකින් ඔප්පු වුවහොත් ඇමැති ධූරයෙන් යන බව ඔහු කලින් කීවේය.


රාගම සිද්ධියට අරුන්දිකගේ පුතා සම්බන්ධ බවට ආරංචිය ලැබීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිද්ධිය වූ දිනයේ උදේ අරුන්දිකට දුරකථනයෙන් කතාකර දැනුම් දී තිබුණේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ය. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු අයට කඩිනමින් දඬුවම් දෙන බව ජනාධිපතිවරයා කියා තිබිණි. මේ අතර අරුන්දිකට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට ද දැනුම් දී තිබිණි. අරුන්දික එදින පස්වරුවේ අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. ඔහු කියා තිබුණේ මේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව ය. එසේ වුවද ඔහු එදිනම රාත්‍රියේ සිය පුත්‍රයා නීතිඥයකුගේ මාර්ගයෙන් පොලිසියට භාර දුන්නේය. රාගම සිද්ධියට පැමිණි අරුන්දිකගේ පුත්‍රයා තවත් පිරිසක් සමග වාහනයකින් පලාගිය බවට ඒ වනවිටත් පොලිසියට තොරතුරු ලැබී තිබිණි. 


රාගම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි කේන්තියකින් පසුවිය. අරුන්දික පසු දිනම උදේ ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමුවිය. ජනාධිපතිවරයා ඔහුට දැඩිව දැනුම් දී තිබුණේ වහාම තනතුරෙන් ඉවත් වන ලෙස ය. රාගම සිද්ධියෙන් තමාත් ආණ්ඩුවත් අපහසුතාවට පත් වූ බව සඳහන් කර තිබූ ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව ද සඳහන් කර තිබිණි. එබැවින් අරුන්දිකට ඇති හොඳම දෙය සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම බව ජනාධිපතිවරයා ඔහුට කියා තිබිණි. ජනාධිපතිවරයා හමුවීමෙන් පසු අරුන්දික කෙලින්ම ගියේ බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයට ය. ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත එවේලේම යැවූ ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ තමා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ඊට සුළු මොහොතකට පෙර යැවූ බව ය. තම පුතා මේ සිද්ධියට සම්බන්ධවීම වැරදි බව ඔහු පිළිගත්තේය. මේ සිද්ධියෙන් තමා නිවැරැදිකරුවකු බව ඔප්පු වුවහොත් නැවත එම අමාත්‍යාංශය ලැබෙනු ඇතැයි ඔහු කීවේය.


කලගෙඩිහේනේ බිත්තර ප්‍රහාරය:

කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයෙ සමුළුවකට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධ සිද්ධිය ද ගිය සතියේ දේශපාලන කරළිය කැලඹීමට පත් කළේය. එයට පැමිණි දෙදෙනෙක් එහි සිටි පිරිස් විසින් අල්ලා පොලිසියට භාර දෙනු ලැබූහ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නායක ප්‍රසන්න රණතුංග ඇමතිවරයටත් නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් ආයතනයටත් චෝදනා එල්ල විය. ජනතා විමුක්ති පෙරමුණ ද එය දිගින් දිගටම කියා සිටියේ ය.


මෙම සිද්ධිය වෙද්දී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා සිටියේ සීගිරියේ ය. සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් සඳහා සහභාගිවීමට ගොස් සිටි ප්‍රසන්නට සිද්ධිය ගැන ආරංචිය දැන ගන්නට ලැබුණේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙනි. නාමල් කීවේ කලගෙඩිහේනේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් මීට ප්‍රසන්නගේ නමද ගෑවී ඇති බවත්ය. ඒත් ප්‍රසන්න කීවේ තමා ඒ කිසිවක් නොදැන සිටි බවය. එවෙලේම ගම්පහ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද කතා කළ ප්‍රසන්න සිද්ධිය ගැන විමසා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි දැනුම් දුන්නේය.


ඒ සමගම ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද කතා කර සිද්ධිය දැනුම් දුන්නේය. තමා දඹුල්ලේ සිටින බවත්, මේ ගැන කිසිවක් නොදන්නා බවත් ප්‍රසන්න කීවේය. පොලිස්පතිවරයාට කතා කළ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වගකිව යුතු අය නීතිය හමුවට ගෙනෙන්නැයි දැනුම් දුන්නේය. ප්‍රසන්න බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට ද කතා කළේය. ඔහු ඒ ගැන පැහැදිලි කරද්දී බැසිල් කිව්වේ මේ චෝදනා ගණන් ගත යුතු නැති බවය. තමාට ද මෙවැනි චෝදනා ඕනෑ තරම් එල්ලවන බව ඔහු කීවේය. ප්‍රසන්න ජනාධිපතිවරයාටත්, පොලිස්පතිවරයාටත් ලිපියක් යවමින් ඉල්ලීමක් කළේ මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පුද්ගලයන් හෙළිදරව් කිරීමට පියවර ගන්නා ලෙසය.


කැබිනට් රැස්වීමට ආ විදුලිය ප්‍රශ්නය


කැබිනට් රැස්වීම ගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. විදුලි අර්බුදයත් ඉන්ධන අර්බුදයත් කැබිනට් රැස්වීමේ දී දිගින් දිගටම සාකච්ඡාවට ලක්විය. පෞද්ගලික අංශයේ මහා පරිමාණ විදුලි බලාගාර දෙකකින් මණ්ඩලයට විදුලිය මිල දී ගැනීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ගාමිණී ලොකුගේ ඇමැතිවරයාය. ඉන්ධන හිඟයත් ජලාශවල ජල මට්ටම විශාල ලෙස පහළ යාමත් නිසා ආයතන දෙකකින් වහාම විදුලිය මිලදී ගැනීමට ඔහු යෝජනා කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟ නොවීය. ජනාධිපතිවරයා කීවේ මාස 6 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයේ බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විවෘත ටෙන්ඩර් කැඳවන ලෙස ය. ප්‍රධාන පෙළේ ආයතන දෙකට ද ඊට ඉදිරිපත් විය හැකි බව ජනාධිපතිවරයා කීවේය.


පොහොට්ටුව රට පුරා යයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන සතියේ සිට රටපුරා රැස්වීම් මාලාවක් පළාත් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇත. එහි පළමුවැන්න ආරම්භ වන්නේ ලබන බදාදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීය. ඒ සඳහා සහභාගි වන ලෙස පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පොහොට්ටුවේ සියලු‍ම මැති ඇමතිවරුන් ට, ආසන සංවිධායකවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත. එහි සඳහන්ව ඇත්තේ එන්නත්කරණ ක්‍රියාවලිය හරහා කොවිඩ් මර්දනයට රජය ගෙන ඇති සාර්ථක පියවර ගැනත්, ඉකුත්දා ආරම්භ කළ අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සම්බන්ධයෙනුත් ජනතාව දැනුවත් කිරීම සඳහා මේ රැස්වීම් මාලාව පැවැත්වෙන බව ය. මේ අතර ගිය සතියේ දී මාධ්‍ය හමුවක් කැඳවා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කීවේ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුය යන්න තමාගේ අදහස බවය. අගමැතිවරයාත් ඒ අදහසේ සිටින බව කී ඔහු මෙම රැස්වීම් මාලාව මැතිවරණය ද ඉලක්ක කරගනිමින් පැවැත්වෙන බව කීවේය. ඔහු එම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙනි.

 

‘‘මේක ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ආණ්ඩුවක් නේ. මේ වගේ ෂෝ එකක් දානවා මිසක් නිදහසේ අර්ථ ගැන තේරුම් අරගෙන වැඩ කරන්නේ නැහැ”‍ තිස්ස අත්තනායක කීවේය.

 


ශ්‍රීලනිපයත් සූදානමින්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සමස්ත ලංකා කාරක සභාව සති අන්තයේ කොළඹට කැඳවා ඇත. එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී ඊයේ (05) රැස්වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලනිපය සමස්ත ලංකා කාරක සභාව කැඳවා ඇත්තේ බොහෝ කාලයකට පසුවය. වත්මන් දේශපාලන තත්ත්වයත් ඉදිරි සැලසුම් හා මැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා කාරක සභාව කැඳවනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.


ජී එල් - සුමන්තිරන් හමුවක් යාපනයේ


විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගිය සති අන්තය ගත කළේ යාපනයේ ය. රජයේ වැඩපිළිවෙළ ආයෝජන සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජී.එල් එක් එක් පළාත්වලට යමින් සිටින අතර ගිය සතියේ යාපනයට ගියේය. අධිකරණ ඇමැති අලි සබ්රි ද මේ ගමනට එක්ව සිටියේය. යාපනය විශ්වවිද්‍යාලයේ රැස්වීමකටත්, ආයෝජකයන් විද්වතුන් ඇතුළු පාර්ශවවල හමුවීම් කිහිපයකටත් සහභාගි වූ ජී.එල් නැවතී සිටි හෝටලයේ උදේ කෑමට එන්නැයි දෙමළ ජාතික සංධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාට ද ආරාධනා කර තිබිණි. ඒ අනුව සුමන්තිරන් ද ඔහුගේ ආරාධනය පිළිගෙන උදේ කෑමට පැමිණියේය. අලි සබ්රි, ජීවන් ත්‍යාග රාජා, සෙන්දිල් තොන්ඩමාන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. සුමන්තිරන් ජී.එල්. ගෙන් ඉල්ලීමක් කළේය. ඔහු කීවේ යාපනයේ වනාන්තරවලට වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය වැඩි බවය. එබැවින් මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට යාපනේ ඉඩම් ප්‍රමාණවත් නොවන බව කී සුමන්තිරන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලා තුලනයක් ඇති කරන ලෙසය. මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් දැනුවත් කරන බව ජී.එල්. කීවේය.


පරාක්‍රම සමුද්‍රය ඉදිරිපිටට දහස් ගණනක ගොවි සේනාවක්!


අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙල ඇතුළත් ‘‘සමගි ගොවිජන ප්‍රකාශනය”‍ දේශයට දායාද කිරීමේ අවස්ථාව ඉකුත්දා පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට දී පැවැත්විණි. එ් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.


උත්සවයට සහභාගි වීමට ප්‍රථම සජිත් පොළොන්නරුව ගල් විහාරයට ගියේය. එහි විහාරාධිපතීන් වහන්සේ හමු වූ සජිත් උන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව උත්සව සභාවට පැමිණියේය.
අදාළ උත්සවයේ සංවිධාන කටයුතු පැවරී තිබුණේ නලින් බණ්ඩාරට ය. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය දේශපාලන අධිකාරියේ සහාය උපරිමයෙන් ලබාගෙන එම කටයුත්ත මනාව සංවිධානය කොට තිබුණි.


උත්සවය පැවැත්වුණේ පරාක්‍රම සමුද්‍රය ඉදිරිපිට විශාල ගස් සෙවණක ය. දහස් ගණනක ගොවි ජනතාව ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය. සජිත් රැස්වීම් භූමියට පැමිණියේ ඉතා සතුටින්ය.
‘‘වෙල්ඩන් නලින් ඔයා ලස්සනට වැඩේ කරලා තියෙනවා”‍ සජිත් නලීන්ට සුබ පැතුවේය.
‘‘කිංග්ස්ලා ගොඩක් උදව් කළා සර්”‍ නලින් කීවේය.
”‍කිංග්ස් කොහොමත් වැඩකාරයනෙ. අනික, කිංග්ස්ගේ තාත්තා කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැප වෙච්ච නායකයෙක්”‍ සජිත් සිහිපත් කළේය.


ගොවි සමුළුව අමතා සජිත් කළ කතාව බොහෝ දෙනෙකුගේ විශාල ඇගයීමට ලක් විය.
‘‘නිදහසින් පසුව මේ රටේ බිහිවුණු සෑම ආණ්ඩුවක්ම පක්ෂ භේදයකින් තොරව ගොවි පරපුරට ඒ සමාජයීය පිළිගැනීම ඒ ගරුත්වය ලබා දෙන්නට කටයුතු කළා. මඩ සෝදා ගත් කල රජකම සඳහා වුව ද ගොවියා සුදුසුයි කියන ඒ ගෞරවය පරපුරට ලබා දුන්නා. එහෙව් ගොවියාගේ ආත්ම ගරුත්වය මේ ආණ්ඩුව කෙළෙසලා දැම්මා. රටට ජාතියට බත සපයන ගොවියා රටටත් ජනතාවටත් වස කවන්නන් හැටියට මේ වර්තමාන රජය හංවඩු ගැහුවා”‍ සජිත් කීවේය. 


රන්ජන් සජිත්ට කීවේ මොනවාද ?


සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට සජිත් පසුගියදා උදෑසනක ගියේය.
ඒ වන විට රංජන් නිදහස් කර ගැනීමේ අරගලයට සමගි ජන බලවේගය අවශ්‍ය සියලු‍ පිඹුරුපත් සකසමින් සිටියේය.


කෙසේ වෙතත් නිදහස් දිනය දවසේ රන්ජන් නිදහස් කරතැයි බොහෝ දෙනා තුළ දැඩි අපේක්ෂාවක් විය. අන් කාටත් වඩා ඒ පිළිබඳව දැඩි අපේක්ෂාවක් තිබුණේ රංජන්ට ය.
‘‘මං හිතනවා මාව නිදහස් කරයි කියලා”‍


රන්ජන් සජිත් සමග කියා තිබුණේය. රන්ජන්ගේ සුව දුක් බැලූ සජිත් පිටතට පැමිණ නැවත වතාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ රංජන් නිදහස් කරන ලෙස ය.
‘‘ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස් කම වෙනුවෙන්.” යැයි සජිත් පැවසීය. එහෙත්, නිදහස් දා නිදහස් වන සිරකරුවන්ගේ ලැයිස්තු තුළ රන්ජන් ගේ නම සඳහන් නොවීය.

 


සජබ නිදහස් උත්සවය වර්ජනය කළේ ඇයි?


නිදහස් උත්සවයට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත්ට ද ආරාධනා පත්‍රයක් ලැබී තිබුණේය. ඒ පිළිබඳව ඔහු තම මන්ත්‍රී කණ්ඩායම සමග අදහස් හුවමාරු කර ගැනීමට ද අමතක නොකළේය.


‘‘මේ බෙදා මේ රටේ තියෙන තත්ත්වය ඉතාම අවදානම්. මිනිස්සු ජීවත් වෙන්නේ මැරි මැරී. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. නිදහස අභිමානයෙන් සමරන එක ගැන ගැටලු‍වක් නැහැ. හැබැයි මේ නාස්තිකාර සෝබන බොරු වියදම් කරලා කරන සැණකෙළිවලට අපිට එකඟ වෙන්න බෑ”‍ සජිත් කතාව ආරම්භ කළේ එහෙමය.


‘‘නායකතුමා කියන කතාව ඇත්ත. මේ වෙලාවේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා කොහොමද උත්සවයක් කරන්නේ?.බොහොම චාම්ව ට නිදහස් දිනය සමරන්න තිබුණ. ලෝකේ හැම රටක්ම කරන්නේ එහෙම.”‍ මහ ලේකම් රංජිත් කීවේය.


‘‘මේක ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ආණ්ඩුවක් නේ. මේ වගේ ෂෝ එකක් දානවා මිසක් නිදහසේ අර්ථ ගැන තේරුම් අරගෙන වැඩ කරන්නේ නැහැ”‍ තිස්ස අත්තනායක කීවේය.


‘‘දැන් නං මේ ආණ්ඩුව ලෝකෙටත් මරගාතේ ගෙදරටත් මරගාතේ”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
”‍අපි මොකද්ද කරන්නෙ කියලා සාකච්ඡා කරලා තීන්දුවක් ගමු. ඒක ජාතික උත්සවයක් බව ඇත්ත. හැබැයි මේ ජාතික උත්සව​ෙය අර්ථය ආණ්ඩුව නැති කරලා තියෙන්නේ”‍ එහෙම කිව්වේ අශෝක් අබේසිංහ ය.
මන්ත්‍රි කණ්ඩායම් සාකච්ඡාව අවසාන වුණේ නිදහස් උත්සව උළෙලට සහභාගි නොවන බවට සමගි ජන බලවේගය සහ විපක්ෂ නායකවරයා තීන්දු කිරීමෙන් අනතුරුවය.


‘‘මේ ගැන විශේෂ නිවේදනයක් මහ ලේකම් තුමාගේ අත්සනින් නිකුත් කරන්න”‍
සජිත් උපදෙස් දුන්නේය.


එජාප යොවුන් පෙරමුණ යළි අරඹයි


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී හමුවූ අවස්ථාවේදී මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.


මහ බැංකුව විදෙස් ශ්‍රමිකයන්ට රටට ඩොලර් එවන්න කියන කොට මුදල් ඇමැති කියනවා හොර පාරෙන් රටට ඩොලර් එව්වට කමක් නැහැ කියල. පුදුම මුදල් ඇමැති කෙනෙක්. යුද්ධය කාලෙ කළු කඩෙන් ඩොලර් අරගෙන ආයුධ ගත්තා කියලත් මුදල් ඇමැතිවරයා කියල තියෙනවා’’ රුවන් මෙම ප්‍රකාශ කළේ හැඟුම්බරවය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු නිසා පක්ෂ ක්‍රියාකාරින් රැස්වූයේ පක්ෂ නායකයාගේ නිවසේදීය. ජනතා විමුක්ති පෙරමුණ රැස්වීමට කුණු බිත්තර ගැසීම, ප්‍රදීප් ජයවර්ධන මහතාට කුණු බිත්තර ගැසීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සහ විදුලි කප්පාදුව මෙහිදී සාකච්ඡාවට භාජනය වූ ප්‍රධාන මාතෘකා අතර විය.


මේ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේදී කඩිගමුවේ ප්‍රේමානන්ද හිමියන්ගේ ආදාහන උත්සවයට සේනානායක පවුල වෙනුවෙන් සහභාගි වී ගුණකථනයක්ද සිදු කළේය.
පාලටුවේ ජිනරතන හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මහනුවර මල්වතු විහාරස්ථානයේදී පැවැති අතර රුවන් විජයවර්ධන මහතා එයටද සහභාගි වූයේය.


පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයට විශේෂත්වයක් වූයේ යොවුන් පෙරමුණ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමය. යොවුන් පෙරමුණ වගකීම් බාරව සිටින නීතිඥ ෂෙහාර හේරත් හා දිනුක් කොළඹගේ යන මහත්වරු නායක රනිල් වික්‍රමසිංහ හා රුවන් විජයවර්ධන යන මහත්වරුන් හමු විය.


මෙහිදී දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ආසනයෙන් ආසනයට ගොස් තරුණ, තරුණියන් ජාතික යොවුන් පෙරමුණ වටා ඒකරාශී කර ගැනීමට මෙහිදී සැලසුම් කළ අතර එහි වැඩි වගකීම රුවන් විජයවර්ධනට පැවරීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.


සෝභිත හිමියන්ගේ තවත් සටනකට කරු අත ගසයි


අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ මූලික වූ තවත් එක් සද්කාර්යකට පසුගිය සතියේදී කරු ජයසූරිය මහතා එක්විය. ඒ සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය නැවත සක්‍රීය ලෙස කරළියට ගෙනඒමේ වැඩසටහනකටය. මාදුළුවාවේ හිමියන් අමද්‍යප තරුණ සංවිධානය ආරම්භ කර ඇත්තේ මෙයට වසර 47කට පෙරදීය. මේ වන විට රට පුරා තරුණ ජීවිත බිලිගනිමින් ඇති මත් වසංගතයෙන් අනාගත පරපුර බේරා ගැනීමෙහි ඇති වැදගත්කම පිළිබඳව ර​ටේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා ඇතුළු වගකිවයුතු චරිත ගණනාවක් සමග පසුගිය කාලය පුරා කරු විවිධ සාකච්ඡා ගණනාවක් සිදුකර ඇත. අමද්‍යප තරුණ සංවිධානය නැවත සක්‍රීය කරලීම එහි එක් ප්‍රතිඵලයකි. 

 

මේ අතර පසුගියදා එළිදැක්වුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෙන එන්නට සූදානම් වන සංශෝධන පිළිබඳව කරු රටේ ප්‍රමුඛ දේශපාලනඥයන් රැසක් සමග මෙන්ම නීතිඥයන් කණ්ඩායමක් සමග ද සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීය.

 

 

-ගජබා-