පුංචි ඡන්දයට හැදෙන සන්ධාන


දේශපාලන පක්ෂවල මෙන්ම පොදුවේ රටේ ම කතාබහට මේ දිනවල ලක්ව ඇති මාතෘකාව වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයයි. දේශපාලන පක්ෂවලට එය අතිශයින් වැදගත් සාධකයක් වී ඇත්තේ එය මේ මොහොතේ ඔවුන්ගේ තිබෙන ජනමතය කුමක්ද යන්න තක්සේරු කර ගැනීමට තිබෙන හොඳම අවස්ථාව වන බැවිනි. ආණ්ඩුව මැතිවරණය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොමැති වුවද විපක්ෂයේ පක්ෂ නම් වැඩි උනන්දුවක සිටින්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙනි. ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ වසරකින් කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් නොතබා වහාම පවත්වන ලෙසය.


මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඔවුන් කලින් කියා සිටියේ දෙසැම්බර් අග සතියේ දී මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත්කරන බව ය. මේ අතර විපක්ෂයේ පක්ෂ ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ මැතිවරණය වහා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කරන ලෙස ය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම, නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත.එම පෙත්සම් දෙක ලබන ජනවාරි මස 18 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එ් සඳහා සහාය ලබාදීමට එක් වී සිටිති.


මැතිවරණය පැවැත්වීමට නිශ්චිත තීරණයක් නැති නමුත්, දේශපාලන පක්ෂ ඒ සඳහා කඳවුරු බඳිමින් සිටින බව පැහැදිලිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ වන සමගි ජන බලවේගය, විමල් වීරවංශලාගේ උත්තර සභාගය, ඩලස්ලාගේ නිදහස ජනතා සභාව, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ රට පුරා යමින් ජනයා පෙළගස්වමින් සිටින්නේ මැතිවරණය ඉලක්ක කර ගනිමිනි .


දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර ඇත. සමගි ජනබලවේගය අපේක්ෂකයන් තෝරා ගැනීම ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඒ සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.


මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද පක්ෂයේ මැති ඇමැතිවරුන් පළාත් මට්ටමෙන් පොහොට්ටු කාර්යාලට කැඳවමින් සිටී. ඉකුත් සති දෙක පුරාම ඔහු මැති ඇමැතීන් කැඳවමින් මැතිවරණයට ඇති සූදානම ගැන පැහැදිලි කළේය. මේ අතර පොහොට්ටුවේ ඇතැම් මැති ඇමැතිවරුන් එම රැස්වීමට නොපැමිණි බවද වාර්තා විය. නොපැමිණි මැති ඇමැතින් සඳහා ගිය සතියේද සාකච්ඡා කිහිපයක් කැඳවා තිබූ නමුත් ඇතැම් පිරිස් ඊට ද සහභාගී නොවූ බව වාර්තා විය.

 

පුංචි ඡන්දයට එන දේශපාලන සන්ධාන

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ඒ සඳහා සන්ධානගතව තරග කිරීමට ප්‍රධාන පක්ෂ කීපයක්ම දැනටමත් සූදානමින් සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් නිල නොවන මට්ටමෙන් දැනටමත් එක් වී ඇති නමුත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට එම පක්ෂ දෙක සන්ධානගතව තරග කිරීමට දැනටත් තීරණය කර හමාරය. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පසුගියදා කියා සිටියේ එජාපයත් පොහොට්ටුවත් එක්ව පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් බවය. අවස්ථාව සහ ජනතාවගේ අභිලාෂය අනුව පක්ෂයකට ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැටලු‍වක් නොවන බව ඔහු කීවේය.


මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු අඟහරුවාදා ජනාධිපති කාර්යාලට කැඳවීය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර, පොහොට්ටුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් එහිදී පවසා තිබුණේ, අදාළ බල ප්‍රදේශවල ජනතාවට සේවය කර ඇති බැවින් මැතිවරණයකට යාම ගැටලු‍වක් නොවන බවය. එහෙත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ආදී ගැටලු‍ නොමැතිව මැතිවරණයකට යාමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්නැයි ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. මේ සාකච්ඡාවට සාගර කාරියවසම් මහ ලේකම්වරයා ද සහභාගි වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ද ගිය සතියේ පැවති බව වාර්තා වේ. වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආදිය සම්බන්ධයෙන් ද පක්ෂ දෙක එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම ගැන එහිදී සාකච්ඡා වූ බව දැනගන්නට ඇත.


පොහොට්ටුවවත් එජාපයත් සන්ධානගත වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශලාගේ උත්තර සභාගය සහ ඩලස්ලාගේ නිදහස ජනතා සභාව පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් නිල නොවන මට්ටමින් සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ. උත්තර සභාගයේ විධායක සභාව ඉකුත් සඳුදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවති අතර, එහිදී සාකච්ඡා වී ඇත්තේ නව සන්ධානයක් පිහිටුවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙනි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. නව සංධානයක් පිහිටුවීමේ අපේක්ෂාව තිබුණ ද සභාගයේ හවුල් පක්ෂ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු දිගටම කරගෙන යා යුතු බවද එහිදී තීරණය කර ඇත. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගිය සතියේ අනුරාධපුරයේ දී ප්‍රකාශ කළේ නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට තිබෙන සූදානම ගැන ය. විමල්ලාගේ කණ්ඩායමේ පිරිසක් මේ පිළිබඳව ශ්‍රීලනිපය සමග සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත.


ඩලස්, ජී.එල්. කණ්ඩායමේ නිදහස ජනතා සභාවද පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර සිය නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ආචාර්ය චරිත හේරත්, ලලිත් පියුම් පෙරේරා මෙන්ම පොහොට්ටුවේ හිටපු වෘත්තිය සමිති නායකයෙකු වන සුමිත් විජේසිංහ ඒ සඳහා සම්බන්ධ වී සිටින බව දැනගන්නට ඇත. සුමිත් විජේසිංහ පොහොට්ටුවේ වෘත්තිය සමිති නායකයකු පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීප මිත්‍රයෙකි. හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මෙන්ම, සභානායක ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය. මහින්දගේ ගම් පළාතේම අයකු වන ඔහු මේ වන විට නිදහස් ජනතා සභාව සමඟ සම්බන්ධ වී සිටී.
අයවැය විවාදය අවසන් වීමත් වසර අගවීමත් නිසා මේ දිනවල මැති ඇමැතිවරුන් වැඩි දෙනකු සිටින්නේ කොළඹින් පිටය. සමහර මැති ඇමැතිවරුන් විදේශ ගතවෙලා ය. ඒ නිසා මේ දිනවල දේශපාලන කටයුතු සිදුවන්නේ ද මන්දගාමීව බව පැහැදිලිය.


ඒ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුතාට පහරදීමේ සිද්ධිය ද දේශපාලන කරළියේ කතාබහට ලක්ව තිබේ. ආණ්ඩුවේ ඇතැමුන් මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී පක්ෂයට ද චෝදනා කරමින් සිටී. ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී ද මේ සිද්ධිය පැයකට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක්විය. පේරාදෙණියේ ඇතිව තිබෙන තත්ත්වය ඉතා බරපතළ බව ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙන්ම ආචාර්ය විජේදාස රාජපක්ෂ යන ඇමැතිවරු ද දැඩි ලෙස පැහැදිලි කරන්නට වූහ. ඔවුන් කියාසිටියේ මැයි නව වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය විශ්වවිද්‍යාලවලට ද ගොස් ඇති බවය. එය මැඩපැවැත්වීමට වහා පියවර ගත යුතු බව ඔවුහු කියා සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කීවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමා ඉල්ලා ඇති බව ය. එය ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියා සිටියේය.

 

සම්මේලනයට ආ සෙනඟ මැද සජිත් සිරවූ හැටි

ලංකාවේ එදා මෙදා තුර දේශපාලන පක්ෂයක් පවත්වනු ලැබූ දැවැන්තම මහා සම්මේලනය පැවැත්වීමේ ඓතිහාසික වාර්තාව සමගි ජන බලවේගය පසුගියදා උරුම කර ගත් බවත් 30,000කට වැඩි ජනකායක් කොළඹට කැඳවූ බවත් එම පක්ෂය කියයි.


සාමාන්‍යයෙන් පක්ෂයක සම්මේලනය උදෙසා පැමිණෙන්නේ ආරාධනය ලැබූ තෝරාගත් කොටසක් පමණි.
‘සමගි ජන බලවේගය කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ දේශපාලන පක්ෂය. ඒ පක්ෂය ගන්න තීන්දු තීරණ මොනවද කියන එක රටේ ජනතාව දැනගන්න ඕනෑ. ඒ නිසා අපිත් විවෘතවම ජනතාවට ආරාධනා කරමු”‍ සම්මේලනය ආරම්භ කිරීමට සති දෙකකට පමණ පෙර විපක්ෂ නායක සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට එහෙම පැවසීය.
‘ඔව් ඒක හොඳයි, හෝල් එකක් ඇතුළෙ කොටුවෙලා පක්ෂයේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්න ක්‍රමය අපි වෙනස් කරන්න ඕනෑ. අපි මේක රටේ පොදු මහජනතාව එක්ක සමරමු”‍ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අදහස වූයේ ද එයයි.


ඒ අනුව පසුගිය සතියේ එකොළොස්වැනිදාට සම්මේලනය පැවැත්වීමට ඔවුහු තීන්දු කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත් සංවිධාන කටයුතු සඳහා කණ්ඩායමක් පත් කළේය.
මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම සකස් කළ අතර එහි ප්‍රචාරක යාන්ත්‍රණයෙන් වැඩි බරක් පැටවුණේ නලින් බණ්ඩාර සහ මරික්කාර් ට ය. නලින් බණ්ඩාර පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී වන අතර මරික්කාර් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ය.
එනිසා ඔවුන්ට මෙහි වැඩි වගකීමක් පැවරී තිබුණි. පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක එම වැඩසටහන සඳහා ජාතික වශයෙන් මැදිහත් විය. මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර සියලු‍ම කටයුතු සංවිධානය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.


සම්මේලන මෙහෙයුම් කමිටුව ඇතැම් දිනවල දවසකට දෙතුන් වතාව රැස්විය. ඒ බොහෝ රැස්වීම්වලට පක්ෂ නායක සජිත්ගේ ද සහභාගිත්වය සිදුවනු දැකිය හැකි විය.
ආසන මට්ටමේ සිටින සියලුම සංවිධායකවරුන්ට ද වගකීම් පැවරීමට මහ ලේකම්වරයා කටයුතු කළේය. සමගි ජන බලවේගය අභිනව කාර්යාලයේ සිට බොහෝ සංවිධාන කටයුතු සිදු වූ අතර ඊට පරිබාහිර බොහෝ තැන්වල දී රැස් වෙමින් ද ප්‍රචාරක කමිටුව මීට අදාළ කටයුතු සංවිධානය කරනු ලැබීය.
‘පෙරළියට මඟ හදන කරළියට ගොඩවන්න”‍ සම්මේලනයේ තේමාව බවට තෝරා ගැනිණි.


‘අපි නිකම්ම විපක්ෂයේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි විපක්ෂයේ ඉඳගෙන රටට වැඩ කරපු දේශපාලන පක්ෂයක්. මේ සම්මේලනයේ දී අන්න ඒ කාරණාවත් රටට පණිවිඩයක් විදිහට යන්න ඕනෑ”‍ සජිත් සංවිධායකයින්ට උපදෙස් දුන්නේය.


‘අපි සම්මේලන භූමියට පෙළපාලි දෙකකින් එන්න සැලසුම් කරල තියනවා. ඒකට හේතුව මේ වෙනකොටත් අපිට ආරංචි වෙලා තියෙනවා එන්න ඉන්න ජනතාව විශාල යි කියලා.”‍මරික්කාර් කීවේය.


‘ආරංචි වෙන විදිහට ගෝල්ෆේස් වහන්න පුළුවන් තරමින් සෙනඟක් එන්න බලාගෙන ඉන්නවා. අපිට ලැබිල තියෙන්නේ කැම්බල් එක. ඒනිසා විශාල පිරිසක් විතරක් නෙවෙයි ලොකු තදබදයක් ඇති වෙන්නත් පුළුවන්. හොඳම දේ තමා රැස්වීම ක්‍රමානුකූලව යන අතරේ පෙළපාලි දෙකෙන් ජනතාව කැම්බල්වලට එන එක.”‍ එහෙම කිව්වේ මුජිබර් ය.
සංවිධායකයන් ඇත්ත වශයෙන්ම අනපේක්ෂිත ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ පැමිණෙන ජනකාය වැඩි බව වාර්තා වීමත් එක්ක ය.
‘කැම්බල් එකේ ඉඩ මදි කියන්නේ එළිය අතුරු සිදුරු නැතිව පිරෙනවා. හැම සංවිධායකයන්ට ම වගකීම දෙන්න තමන්ගේ කණ්ඩායම හරියට පාලනය කරගන්න කියලා”‍ මහ ලේකම් රංජිත් උපදෙස් දුන්නේය.


සම්මේලනය පැවැත්වීමට සැලසුම් කොට තිබුණේ සවස දෙකට ය.
ලංකාවේ හතර දිග්භාගයෙන් එන විශාල ජනකාය හේතුකොටගෙන සංවිධායකයින් වහාම තීන්දු කළේ පෙළපාලි දෙකකින් කැම්බල් වෙත පැමිණෙන්නට ය. එක් පෙළපාළියක් බොරැල්ලෙන් ද, අනෙක් පෙළපාලිය දෙමටගොඩින් ද ආරම්භ විය.
‘දැනටම 25000කට වැඩි සෙනගක් ඇවිත් ඉන්නවා. මේ සෙනඟට කැම්බල් එක හැරෙන්නවත් මදි. එනිසා පෙළපාලි දෙක කැම්බල්වලට එනකම් රැස්වීම ආරම්භ කරමු”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


‘මගේ අවුරුදු පහළොවක දේශපාලන ජීවිතයට මේ වගේ සෙනගක් සම්මේලනයකට එනවා දැකලා නෑ.”‍ හර්ෂ ද සිල්වා කීවේය.
මීට සමගාමීව කැම්බල් පිටිය ඇතුළත සුවිශේෂී මෙහෙයුමක් ද සිදුවෙමින් තිබුණි.


එතෙක් මෙතෙක් දේශපාලන පක්ෂයක සම්මේලනයක් උදෙසා ඉදිවූ දැවැන්ත ම වේදිකාව ඉදිකොට තිබුණේ මෙවර සමගි ජන බලවේගය සම්මේලනයට ය.
6000කට වැඩි පුටු වේදිකාව ඉදිරිපිට පනවා තිබූ අතර දහවල් එක හමාර වන විට ඒ පුටු සියල්ල පිරී ඉතිරී ගොස් අවසන්ය.
නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ මෙහෙයුම් පද්ධතියක් එහි ක්‍රියාත්මක වූ අතර පැමිණෙන ජනකාය ගණනය කිරීමේ ක්‍රමවේදයක් ද ඔවුන් විසින් සකසා තිබීම විශේෂ විය. ප්‍රධාන වේදිකාවට අමතරව දැවැන්ත පුළුල් තිර කිහිපයක්ම ඉදිකොට තිබුණි.


මාධ්‍යවල පහසුව උදෙසා සම්පූර්ණ සම්මේලනයම සජීව විකාශයක් ලෙස දෙනවාට අමතරව විපක්ෂ නායක මාධ්‍ය අංශයේ සහ සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයේ ඒකාබද්ධව මෙහෙයුමක් සිදුකොට තිබුණි.


ඒ අනුව සම්මේලනයේ සිදුවන සියලු‍ කටයුතුවල පට වීඩියෝ සහ සටහන් ඒ මොහොතේම මාධ්‍යට මුදා හරින්නට කටයුතු යොදා තිබිණි.
ඊට ආසන්න දිනවල පැවති මහා වර්ෂාව හේතුකොටගෙන කැම්බල් පිටිය මඩ වගුරක සිරි ගෙන තිබුණි.
ඒ හේතුකොටගෙන ක්‍රීඩාංගණයේ රැඳී සිටීම පවා අපහසු මට්ටමක පැවතුණි. එහෙත්, ඒ කිසිවක් මායිම් නොකර ජනතාව කැම්බල්පිටියට පැමිණියහ.
දහවල් දෙකට ආරම්භ කිරීමට නියමිතව තිබූ සම්මේලනය ආරම්භ කිරීමට සිදුවූයේ තුන හමාරටය. 

 

සජිත් සෙනග අතර සිරවූ හැටි

විපක්ෂ නායක සජිත් සම්මේලන භූමියට පැමිණීමට නියමිතව තිබුණේ ප්‍රධාන ගේට්ටුවට එපිටින් පිහිටි ස්ථානයකිනි. රැලියට සහභාගී වීමට පැමිණි සජිත්ට ඔහුගේ ආරක්ෂකයන් මෙන්ම සංවිධායකයන් ද කියා සිටියේ ක්‍රීඩාංගණය ඉදිරිපිට අතිවිශාල සෙනගක් සිටින හේතුවෙන් ඇතුළු වීම පහසු නොවන බවය.


ඒ අනුව සජිත් සිය කණ්ඩායමට උපදෙස් දුන්නේ පිටත සිටින ජනතාවට ආචාරකොට ඇතුළට යමු යැයි කියාය.


‘එළියේ ඉන්න බොහෝ දෙනෙකුට ඇතුළට එන්න වෙන්නේ නෑ. නමුත් ඒ අය දුර බැහැර ගෙවාගෙන ආවේ. අඩු තරමේ ඒ අයට ස්තූති කරලාවත් ඇතුළට යන්න ඕනෑ”‍ සජිත් කීවේය.
කෙසේ වෙතත් ආරක්ෂකයන්ගෙන් ඊට අවසර නොලැබුණි. එහෙත් සජිත් කැම්බල් ක්‍රීඩාංගණය ඉදිරිපිට දී සිය වාහනයෙන් බිමට බැස ජනතාව අතරට ගියේය. පැමිණ සිටි දස දහස් ගණනක ජනතාව උද්යෝගයෙන් ඔල්වරසන් දෙමින් සිය නායකයා පිළිගත්හ.


එම පරිශ්‍රයෙන් ක්‍රීඩාංගණය ඇතුළට ඒමට විපක්ෂ නායක සජිත්ට බොහෝ වේලා ගත විය. ක්‍රීඩාංගණය තුළට පැමිණි සජිත්ට දැකගත හැකි වූයේ අතුරු-සිදුරු නැතිව පිරී ඉතිරී ගිය දැවැන්ත ජන ගඟකි.


පැමිණ සිටි ජනතා සම්මේලනයේ අමතන්නට වේදිකාවට ගොඩ වූ සජිත්ට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.


මහා සංඝරත්නය ඇතුළු අන්‍යආගමික නායකයින් විශාල පිරිසක් ද එම ස්ථානයේ රැඳී සිටි අතර විපක්ෂය නියෝජනය කරන ඩලස් කණ්ඩායමේ පිරිසක් ද ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය. සමගි ජන සන්ධානයේ නායකයින් රැසක් ද ඊට පැමිණ සිටි අතර දෙස් විදෙස් නියෝජිතයෝ විශාල පිරිසක් ද වූහ.


සම්මේලන න්‍යාය පත්‍රය ප්‍රකාරව නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමේ කටයුත්ත සිදු වූ අතර මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් 2023 වසරේ සමගි ජන බලවේගය නායකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කරනු ලැබීය. පැමිණ සිටි පාක්ෂිකයන් අත්පොළසන් දෙමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබීය.
පක්ෂ නායකයාට අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් කටයුතු කිරීමේ ඉඩප්‍රස්ථාවට තිත තබමින් සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාව එහි නායකයා විසින් සිදු කරනු ලබන සියලු පත් කිරීමක්ම කළමනාකරණ කමිටුවේ නිර්දේශයන්ට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියට යටත් කර ඇත.


සමගි ජන බලවේගය මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර, සභාපතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ලෙස හර්ෂ ද සිල්වා තේරී පත්වූ අතර ඒ නම් යෝජනා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනි.

ජවිපෙ නායකයන්ගේ යුරෝපා සංචාරය

ජාතික ජනබලවේගය මෙහෙයවන ජනතා විරෝධතාවයේ දෙවැන්න ලබන 23 වැනිදා ප.ව. 3.00ට කුරුණෑගල නගරයේ දී පැවැත්වීමට නියමිතය. මෙම විරෝධතා ව්‍යාපාරයේ තුන්වැන්න පානදුරේ පැවැත්වීමට ද තීරණය කර ඇත.


අයවැය විවාදයෙන් පසු පසුගිය 9 වැනිදා පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා යුරෝපයේ සංචාරයක නිරත විය. යුරෝපයේ ජීවත්වන ශ්‍රීලාංකිකයින්ගේ ඉල්ලීම මත සංචාරය සංවිධානය කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කමිටුව මගිනි. මෙම සංචාරය අතරතුර ඔහු ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශ​යේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද ගියේය.


මීට පෙර නොතිබුණු ආකාරයට ජ.වි.පෙ. නායකයාට එහිදී විශාල පිළිගැනීමක් තිබුණි. එහිදී සාර්ථක ජනහමු කීපයක්ම පවත්වා ඇත. මිලානෝ නගරයේ පැවැති  ජනහමුවට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ශාඛා සමිති ලේකම්වරයකු ද වේදිකාවේ සිටීම විශේෂත්වයක් විය.


ඉතාලියේ   වෙසෙන ශ්‍රීලාංකිකයින් හමුවීමෙන් අනතුරුව ජ.වි.පෙ. නායකයා ජර්මනිය හා ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවිය. අවසාන ජනහමුව පැවැත්වූයේ ප්‍රංශයේ පැරිස් නුවරදීය.

කරුගේ උත්සාහයට කොළ එළි දැල්වෙයි

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස කරු ජයසූරිය මහතා මෑත කාලයේදී මැදිහත් වූ කරුණු දෙකක් කෙරෙහි රජයේ මෙන්ම සංඝ සමාජ නායකත්වයේ ද අනුමැතිය ලැබීම නිසා සාර්ථක වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒවා නම් ​​ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත සඳහා ප්‍රධාන නිකායයන් තුනෙහිම එකඟත්වය පළවීම හා ආගමික ස්ථානයන්හි අධික විදුලි ගාස්තු අවම කරගැනීම සඳහා කරු ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපතිවරයාගේ හා රජයේ එකඟත්වය ලැබීමයි.


සෑම පාර්ශවයකම අවධානය මේ වන විට භික්ෂු කතිකාවතට යොමුවී තිබේ. ශ්‍රී ලංකා අමරපුර නිකාය දැනටමත් ඒ සඳහා එකඟත්වය ලබාදී ඇතැයි කියවේ. ඒ ගැන තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උත්තරීතර සංඝ සභාව මෙම මස 16 වැනිදා රැස්වීමට නියමිතය. සියම් මහා නිකායේ මල්වතු මහා නායක හිමියන් මේ වන විටත් සිය එකඟත්වය පළ කර ඇති අතර ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා මහානායක හිමියන්ගේ කැඳවීමකට අනුව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සමග කරු ජයසූරිය මහතා ද 18 වැනිදා මහනුවරට යාමට නියමිතය.


වැඩිවන විදුලි බිල හේතුවෙන් ආගමික ස්ථානයන්ට දරන්නට සිදුව ඇති අධික වියදම වළකාගැනීම සඳහා කරු ඉදිරිපත් කළ විකල්පය කෙරෙහි රජය මේ වන විටත් එකඟත්වය පළකර තිබේ. ඒ අනුව පෞද්ගලික අංශය මැදිහත් කරගනිමින් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලය උපයෝගී කරගනිමින් විදුලි බලය ලබාදීමේ සැලැස්ම වහාම ක්‍රියාත්මක කරවන ලෙස ජනාධිපතිවරයා සිය ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

 

ගජබා