පුංචි ඡන්දයට පෙරලෙන ගල්


දෙදහස් විසිදෙක වසර ගෙවී දෙදහස් විසිතුන නව වසර උදා වූයේ ගිය සතියේය. ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින රටේ ජනතාවට නව වසරේ හෝ අලු‍ත් බලාපොරොත්තුවක් ඇති වේ යැයි තවමත් විශ්වාසයක් නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ පරණ දේශපාලන කතාම තොරොම්බල් කරකර, කතා සාප්පු පැවැත්වීම පමණි.


මේ අතර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව  විසින් ගිය සතියේ නිල නිවේදනය නිකුත් කරනු ලැබීය. ඊට අනුව, නාම යෝජනා කැඳවීම මේ මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අතර කාලය තුළ සිදු කෙරෙනු ඇත. නාමයෝජනා කැඳවීමේ දින වකවානු පවා ප්‍රසිද්ධියට පත් කරනු ලැබූවද  ඡන්දය  නිසියාකාරව පැවැත්වෙනු ඇතැයි විශ්වාසයක් තවමත් බොහෝ දෙනෙකුට නැත. ආණ්ඩුව කියන කරන කතාබහ අනුව නම්, බොහෝ දෙනා කියන්නේ නාමයෝජනා ගැනීමෙන් පසුව වුවද  ආණ්ඩුව ඡන්දය කල් දැමීමේ සූදානමක ඇති බවය. ඊට අවශ්‍ය පූර්ව සූදානමද ආණ්ඩුව  පැත්තෙන් ප්‍රකාශ වී හමාරය. එජාප පත්කළ මන්ත්‍රී වජිර  අබේවර්ධන  ඉකුත් සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ මුදල් අච්චු ගසා පළාත් පාලන මැතිවරණය පැවැත්වුහොත් රටේ උද්ධමනය තවදුරටත් වැඩිවිය හැකි බවය. ඉන් නොකියා කීවේ ඡන්දය මේ අවස්ථාවේ අනවශ්‍ය දෙයක් බවය. මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හුවාදක්වමින් ඉකුත් සතියේ  ප්‍රවෘත්තියක් පළ වූයේ, තිබෙන මුදල් ටික වැය කර ඡන්දය පැවැත්වුවහොත් ලබන කන්නයේ ගොවීන්ගේ වී මිලදී ගැනීමට මුදල් නොමැති වන බවය. ආණ්ඩුව පැත්තෙන් මේ කෙරෙන කියන කතා දෙස බලන විට බොහෝ දෙනෙකු කියන්නේ ආණ්ඩුවේ  ඡන්දය කල්දැමීම නමැති බළලා මල්ලෙන් එළියට පැන ඇති බව ය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඉකුත් බ්‍රහස්පතින්දා උදේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයට  කැඳවනු ලැබුවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි. එය කැඳවනු ලැබූයේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා විසිනි. පොහොට්ටුවේ මැති ඇමතිවරුන් හතළිහක් පමණ සහභාගී වූ එම  සාකච්ඡාවේ දී  පළාත් පාලන මැතිවරණයට මුහුණදීම  සහ ඒ සඳහා සූදානම්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා කීවේ  ඡන්දය පැවැත්වුවත් නැතත් අපි දැන්ම සූදානම් විය යුතු බවය. මේ අතර ආණ්ඩුවේ එක්තරා ඇමතිවරයකු  කීවේ පළාත්පාලන මැතිවරණය කල් දමන ලෙස සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු ඉල්ලා ඇති බව ය. ඡන්දය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ නැති බව ඔහු ප්‍රකාශ කළේ යැයි ද ආණ්ඩුවේ ඇමැතිවරයා කීවේය. සාකච්ඡාව  හමාරවීමෙන් අනතුරුව පිරිස එළියට එද්දී ඇතැම් මන්ත්‍රීවරුන් කීවේ පාලන ආයතනවල පොහොට්ටුවේ සිටින පිරිසම  ඉදිරිපත් කරන්නේ නම්, පොහොට්ටුව දිනවීමේ අවශ්‍යතාවක් නැති බව ය. සමහරුන් කීවේ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කිරීම් ඊට වඩා සුදුසු බවය.


මේ අතර පළාත්  පාලන මැතිවරණය  සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කරමින් පොදුජන පෙරමුණ  ඉකුත් බ්‍රහස්පතින්දා  කළුතර දිස්ත්‍රික්කයේ  ඇප තැන්පත් කළේය. කළුතර ඇප තැන්පත් කිරීමට සහභාගි වූයේ රෝහිත අබේගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, පියල් නිශාන්ත, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, කංචන ජයරත්න ඇතුළු පිරිසකි. 2018පළාත් පාලන  මැතිවරණයේ දී ද පොදුජන පෙරමුණ මුලින්ම ඇප මුදල් තැන්පත් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙනි. ඒ අනුව යමින් මෙවරද කළුතරින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළේය. පොදුජන  පෙරමුණේ සූදානම වී ඇත්තේ ලබන සතිය වන විට සියලු‍ම දිස්ත්‍රික්කවල ඇප තැන්පත් කිරීම අවසන් කිරීමට ය. පොහොට්ටු කාර්යාලයේ රැස්වීමට සහභාගි වූ මැති ඇමැතිවරුන් අතර මේ සිද්ධිය ද කතාබහට ලක්විය. කළුතර පොහොට්ටුවේ ඇප තැන්පත් කිරීමට සහභාගි වූ පිරිස දෙස බැලූ විට පොහොට්ටුව වෙනස් වී නැති බව පැහැදිලි යැයි ඔවුහු කියා සිටියහ. මේ තත්ත්වය තුළ පොහොට්ටුව සමග දිගට  කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් තීන්දු කිරීමට සිදුවන බව ඔවුහු කීහ.

පොහොට්ටුව  එජාපය පුංචි ඡන්දෙට වෙන වෙනම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය  පළාත්පාලන මැතිවරණයට එක්ව තරග කරනු ඇතැයි පසුගිය  කාලයේ කතාබහ පැතිර ගියේය දැනට කෙරී ඇති සාකච්ඡා අනුව පැහැදිලි වී ඇත්තේ, පක්ෂ දෙක වෙන වෙනම තරග කර පසුව එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ය. ඒ අනුව යමින්  පොදුජන පෙරමුණත්  එජාපයත් වෙන වෙනම නාමයෝජනා භාර දෙනු ඇතැයි පැවසේ.

සම්බන්ධන් බලන්න මහින්ද යයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා සම්බන්ධන් මහතා  නැවතී සිටින නිවෙසට ගියේය. සම්බන්ධන්  මහතාගේ පුතා සහ දුව ද සිටි අතර, මහින්ද ඔවුන් සමඟ බොහෝ වේලාවක් කතාකරමින් සිටියේය. එහිදී සම්බන්ධන් මහින්දගෙන් විමසා සිටියේ උතුරේ ප්‍රශ්නය  විසඳීමට ජනාධිපතිවරයා මූලික වී සිටින බැවින්  හිටපු ජනාධිපතිවරයා ලෙස ඊට  සහයෝගය දක්වන්නේ ද කියාය. හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ, ඒ සම්බන්ධයෙන්  ලිඛිත යමක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳව සලකා බලා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ය.

මෛත්‍රීලා ඩලස්ලා විමල්ලා හෙලිකොප්ටරයට නගිති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගයත් පළාත් පාලන මැතිවරණයට  නව සන්ධානයක් ගොඩ නැගීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළේ මීට සති ගණනාවකට  පෙර සිටය. මේ සාකච්ඡා ගිය  සතිය වන විට තීරණාත්මක තැනකට පැමිණ තිබිණි. මුල දී සාකච්ඡා වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත්    සන්ධානයක් ගොඩනැගීම් පිළිබඳවය. එහෙත් ඊට සම්බන්ධ වූ ඇතැම් පාර්ශව කියා තිබුණේ පැරණි සන්ධාන වෙනුවට අලු‍ත්ම සන්ධානයක් ගොඩනැගීම වඩා ප්‍රායෝගික බව ය. ඒ අනුව  ඉකුත් බ්‍රහස්පතින්දා මේ  සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවට නිදහස ජනතා සභාවේ සහ උත්තර  ලංකා සභාගයෙත් නියෝජිතයෝ සහභාගි වූහ. ශ්‍රීලනිප වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද  සිල්වා, අංගජන්  රාමනාදන්, දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු ද  ඩලස්ලාගෙ කණ්ඩායම වෙනුවෙන්   ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් ද, උත්තර  සභාගය වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. ශ්‍රීලනිපය මුල්කරගත් නව සන්ධානයක් ගොඩනැගීම  සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර, විවිධ පාර්ශ්ව අදහස් දක්වමින් කියා තිබුණේ අලු‍ත්ම සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවය. ඒ අනුව එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා එදින හවස තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවසේද රැස්විය. මේ අතර විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී බ්‍රහස්පතින් දා උදේ රැස්විය. ඊට ද විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, වෛද්‍ය වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඔවුන්ගේ අදහස වූයේ අලු‍ත්ම සන්ධානයක් ගොඩනැගීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවය. කලින් කතාකරගත් පරිදි  තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට යළි රැස්වූහ. ශ්‍රීලනිපයෙ, නිදහසේ ජනතා සභාවේ සහ  උත්තර සභාගයේ පිරිස් ද ඊට  සහභාගි වූ අතර, ඒ පිරිස කියා සිටියේ මෑතකදී ආචාර්ය නාලක ගොඩහේවා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කරන ලද නිදහස ජනතා පෙරමුණ මේ සඳහා යොදා ගැනීම වඩාත් සුදුසු බවය. ගොඩහේවාගේ පක්ෂය ලියාපදිංචි කරනු ලැබුවේ මීට මාස කීපයකට පෙරය. එය සන්ධානයක් ලෙස පරිවර්තනය කළ යුතු බව ඔවුන්ගේ යෝජනාව විය. එහි ලකුණ හෙලිකොප්ටරයයි. ඒ අනුව පිරිස තීරණයක් ගත්තේ නිදහස ජනතා පෙරමුණ සන්ධානයක් බවට පත්කර හෙලිකොප්ටරය යටතේ මැතිවරණයට මුහුණදිය යුතු බවය. ඒ පිළිබඳ අවසන් තීරණය මේ සති අන්තයේ දී ගැනීමට නියමිතව තිබිණි.


 කෙසේ වුවද නව සන්ධානය නායකයන් නොහැකිව මෙහෙයුම් මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යාමට ද තීරණය කර ඇත. ප්‍රධාන පාර්ශව 3 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගයත්  නියෝජනය වන පරිදි  මෙහෙයුම් මණ්ඩලයක් ඒ සඳහා පත් කරනු ඇත. මැතිවරණය  මෙහෙයවීම එම කමිටුව විසින් සිදු කරනු ලැබේ. සන්ධානයේ කටයුතු සඳහා ලේකම්වරයෙකු පත් කරන අතර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ සඳහා  දයාසිරි ජයසේකර හෝ ශ්‍රීලනිපය වෙනත් මන්ත්‍රීවරයකු  පත්වීමට නියමිතය. තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නිදහස ජනතා පෙරමුණ යටතේ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ශව තුනේම නියෝජිතයෝ  මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එහි සභාපතිවරයා ඇතුළු නියෝජිතයන්  හමුවූහ. නව සන්ධානයකින් තරග කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව එහි සිදුවෙන වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔවුහු කියා සිටියහ.


මේ අතර එම සන්ධානය සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ හතළිස් තුන්වන සේනාංකය සහ අනුර ප්‍රියදර්ශන යාපාගේ කණ්ඩායම ද සම්බන්ධ කරගැනීමට මේ වන විට  සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒ පිළිබඳ සාකච්ඡාවක් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ දී බ්‍රහස්පතින්දා පැවති අතර ඊට ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය  චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් ද  සහභාගී වූ අතර, අනුර ප්‍රියදර්ශන යාපාගේ  කණ්ඩායම වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා,  චන්දිම වීරක්කොඩි සහ ජයරත්න හේරත් යන මන්ත්‍රීවරු සහභාගි වූහ. මේ අතර නිදහස ජනතාව සභාවේ දී නියෝජිත පිරිස චම්පික රණවක මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

සතියකදී බස්රථ දොළහක් පාසල්වලට

විපක්ෂ නායක සජිත් පසුගිය සතිය පුරාම බෙහෙවින් ම කාර්යබහුල වුණේ ඔහු විසින් ක්‍රියාත්මක කරන සක්වල වැඩසටහනට අදාළ බස්රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන නිසාය.
සතියක් තුළ බස්රථ දොළහක් ඔහු පරිත්‍යාග කරනු ලැබීය. එක් දිනක් තුළ පාසල් 4 කට බස්රථ පරිත්‍යාග කිරීම විශේෂත්වයක් විය.


බද්දේගම උඩුගම විද්‍යාලයට බස්‍් රථය ලබාදීමෙන් අනතුරුව සජිත් එහිදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ද අමතක නොකළේය.


එහිදී පන්දු යැවීම සිදු කළේ ගයන්ත කරුණාතිලක ය. ගයන්ත එවූ පළමු පන්දුවට සජිත් හයේ පහරක් එල්ල කළ අතර, ඊළග පන්දුව කඩුල්ලේ ගෑවී නොගෑවී ගියේය.
‘‘ගයන්ත දක්ෂ බෝලර් කෙනෙක්. ඉස්සර ඉඳන්ම එහෙම තමා”‍
තමන් සමග එකට පාර්ලිමේන්තුවට ආ සගයා පිළිබඳව සජිත් එහෙම කීවේ ය.
මේ වන විට සජිත් බස් රථ හැට හතක් පරිත්‍යාග කොට අවසන්ව ඇති අතර ඒ පිළිබඳ සිය ගණන් ගුරුවරුද, දහස් ගණන් දූදරුවෝ ද ප්‍රසාදය පළ කළහ.
මැතිවරණය කල් දැමීම පිළිබඳව කනින් කොනින් ආණ්ඩුව පැත්තෙන් තොරතුරු වාර්තා වන විට සමගි ජන බලවේගය ඊට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
‘‘මේ රටේ සෑම දෙයකටම වඩා වැදගත් වෙන්නෙ ජනතා බලය. දැන් රටේ තියෙන්නේ විකෘති පාර්ලිමේන්තුවක්. මුළු රටම එකතු වෙලා යන්න කියපු අය වංගු ගහලා ඇවිත් අදත් හැංගිමුත්තං කරනවා.”‍
සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට කීවේය.


‘‘ඒ අය සෙල්ලම් කරන්නේ මේ රටේ ජනතාවගේ ජනමතය එක්ක. දැන් ආණ්ඩුව එක එක උප්පරවැට්ටි දානවා, ඡන්දය කල්දාන්න.”‍
මහලේකම් රංජිත් එහෙම කීවේය.
‘‘ඡන්දෙ තිබ්බොත් රට ඉවරයි කියලා දැං බිල්ලො මවනවා. අද මේ රට බංකොලොත්. මීට වඩා වැටෙන්න දෙයක් නැහැ. මුළු ලෝකෙම කියන්නේ ස්ථාවර ජනවරමක් සහිත ආණ්ඩුවක් හදන්න කියලා. ලෝකෙ කිසිම කෙනෙකුට අපේ රටේ පාලනය ගැන විශ්වාසයක් නැහැ.”‍ හර්ෂ ද සිල්වා කීවේ තරමක ආවේගයෙනි.
”‍හැබැයි ආණ්ඩුවේ හෙංචයියෝ ඡන්දෙට බයවෙලා මැතිවරණ සිතියම් අකුලන්න හදනවා.”‍ නලින් බණ්ඩාර කීවේය.


හැබැයි මේ ආණ්ඩුව මතක තියාගන්න ඕනෑ, 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ජනාධිපතිවරයාට අකුලගෙන යන්න වැඩ සිද්ධ කළේ මේ රටේ ජන බලය. එහෙව් ජනාධිපතිට අකුලගෙන යන්න වුණානම් ඊට මෙහා අය ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ.”‍ මරික්කාර් කීවේය.
”‍ජනාධිපතිවරයා කතා කරන්නේ අමාරුයි, බයයි, බෑ, විනාසයි , කියලා. අපි කතා කරන්නේ පුළුවන්, කරමු, හදමු, හැදෙමු කියලා. ඒකයි වෙනස! මේ රට හදන්න, ආණ්ඩුවට බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන්. ආණ්ඩුවට අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපිට අමාරු නෑ. සජිත් කීවේය.
මේ අතර සමගි ජන බලවේගයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ උනන්දුව දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා එවා ඇති අපේක්ෂක ඉල්ලු‍ම් පත්‍ර සංඛ්‍යාව දස දහසකට වැඩි බව වාර්තා වෙයි.


‘‘සමහරුන් බොරු රැලි ගැන කතා කරනවා. රැල්ල තියෙන්නෙ කොතනද කියලා මේ ඉල්ලුම්පත් කන්ද දිහා බලපුවම පේනවා”‍ අශෝක් අබේසිංහ කීවේය.

අතේ පත්තු වූ බොරුව!

හිසෙහි ඇති වූ පිළිකා රෝගී තත්වයකින් මිය ගිය 15 හැවිරිදි පාසල් දියණියකගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානිගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දීමට එම විහාරස්ථානයේ මහා සංඝරත්නය කටයුතු කළහ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම අවස්ථාවට සහභාගී වී සිටි අතර ඇයගේ පැමිණීමට එම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ විරුද්ධ වූ බවට හැඟවෙන පුවතක් පසුගිය සතියේ ප්‍රචාරය විය. හිරුණිකා කියන්නේ එය අසත්‍යයක් බවය.


‘‘සමහර අයට ඕනෑ හිරුණිකා හැරුණත් එතන නිව්ස් එකක් හදාගන්න. ඒ, හාමුදුරුවෝ මාත් එක්ක ඉතාම සුහදව කතා කළා. අනිත් එක උන්වහන්සේ ඉතාම ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමක්. මේ බොරු ප්‍රවෘත්තිය දාලා ඒ අය මට නෙමේ අපහාස කළේ. අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේට.
මේ අසත්‍ය පුවත පිළිබඳව හිරුණිකා එහෙම කීවාය.


‘‘ජනාධිපති එළවන්න ජනාධිපතිගේ ඉස්සරහට ගිහිල්ලා අරගල කරපු හිරුණිකා ගැන ඒ ජනාධිපති වෙනුවෙන් පෙනී හිටපු අය තරහයි තමා. ඒ නිසා ඒවා එච්චර ගණන් ගන්න එපා.”‍ එහෙම කීවේ භික්ෂුන් වහන්සේ නමකි.

ජවිපෙ නායකයා උපන්  ගමේ රැස්වීමේ

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් සතියේ එම පක්ෂයේ තඹුත්තේගම ආසන සමුළුවට සහභාගි විය.


එහි විශේෂත්වය නම් තඹුත්තේගම ඔහුගේ උපන්ගම වීමය. මෙම රැස්වීමට දින කීපයකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති රැස්වීමකට සහභාගි වෙමින් ජනතාව අමතා ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගා තිබුණි. අනුර කුමාර දිසානායක මහතා කතා කරමින් ප්‍රේමදාස යුගයේදී ඝාතනය කළ තම පළා​ෙත්, ගම්වැසියන් හා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ එදා ශිෂ්‍ය නායකයා ගැන සිහිපත් කළේය.


වසන්ත සමරසිංහ මහතා මෙම රැස්වීම අමතා කතා කරමින් සජිත් ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වූ ස්ථානයේම ජනතා විමුක්ති පෙරමුණේ ආසන සමුළුව සංවිධානය කිරීමේ සාකච්ඡාව පැවැති බවත් ඒ අවස්ථාවට සජිත්ගේ රැස්වීමට වඩා වැඩි පිරිසක් සහභාගි වී සිටි බවත් කීය.
මෙම සමුළු රැස්වීමෙන් පසු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් හමුවී රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී විදුලි බිල වැඩි කිරීම, ආර්ථික ගැටලු පළාත් පාලන මැතිවරණය යනාදී කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.


මෙහිදී පළාත් පාලන ඡන්දයට නාමයෝජනා තේරීම පිළිබඳවද කරුණු සාකච්ඡා විය. පළාත් පාලන ඡන්ද දිනා ගැනීම සහ ඡන්ද නොපැවැත්වුණහොත් ඡන්දය ලබා ගැනීම සඳහා අරගල කිරීමද මෙහිදී තීරණය විය. ජනතා විමුක්ති පෙරමුණෙන් නාම යෝජනා භාරදීමේදී දේශපාලනික වශයෙන් පක්ෂය මාරු කළ හා විවිධ චෝදනා ඇති කිසිවකුට නාමයෝජනා ලබා නොදීමට ද තීරණය කළේය.


ඉදිරි දිනවලදී මහනායක මා හිමිවරුන් බැහැ දැකීමටද තීරණය කර ඇති අනුර කුමාර දිසානායක මහතා විශ්‍රාමික පොලිස් නිලධාරීන් පක්ෂයට එක්කර ගැනීම පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙළේය.
මීට අමතරව බොහොමයක් කොට්ඨාසවල විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පක්ෂයට බැඳී කටයුතු කරන බවට අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කෙළේය.


සුනිල් හඳුන්නෙත්ති මහතා ලබන 12 වැනිදා ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමට යන අතර, ආචාර්ය හරිනි අමරසූරිය හා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ මස අගදී මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතය.

බිහිසුණු පරිසර අර්බුදයක් ගැන කරු ජනපතිට කියයි

අද රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදයට අමතරව දැවැන්ත පරිසර අර්බුදයකට ද අප රට අතවනමින් සිටින බව කරු ජයසූරිය මහතා පසුගියදා ජනාධිපතිතුමා වෙත කරුණු දන්වා තිබේ. එහිදී කරු අවධාරණය කර ඇත්තේ මෙම ගැටලුවට නොපමාව පියවර නොගතහොත් බරපතළ සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොව දැවැන්ත ආහාර අර්බුදයකට ද රට ගොදුරු විය හැකි බවය. කරුගේ කරුණු දැක්වීම කෙරෙහි ජනාධිපතිවරයා සිය අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳ සොයා බලා වහාම පිළියම් යෙදීමට සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයට පත්කර ගන්නා අවස්ථාවේදී 29% ක් ව පැවැති රටේ වනගහනය අදවන විට 16% දක්වා පහළට ඇද වැටී ඇත්තේ එම පාලනය පරිසරය කෙරෙහි සාහසික ආකල්පයකින් ගනු ලැබූ දේශපාලන තීරණ හේතුවෙන් වුවත් එහි වන්දිය අවම වශයෙන් රටේ අනාගත පරපුරට හෝ උරුම කර නොදීමට වගබලා ගැනීම සමස්ත සමාජයේම වගකීම වන බව කරු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ගජබා