පැයකට ගැලවුණු ගෑස් ලොක්කාගේ පට්ටම


ආන්දෝලනාත්මක මෙන්ම අර්බුදකාරී සතියක් ගෙවී ගියේය. පොහොර අර්බුදය, ගෑස් අර්බුදය, ඩොලර් අර්බුදයට අමතරව ගිය සතිය වන විට ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය ද රටේ ගමන්මගට දැඩි බලපෑමක් එල්ල කළේය. එම අර්බුද විසඳෙන පාටක් ද තවමත් පෙනෙන්නට නැත. කෙසේ වුවද ඉදිරි කාලය දැඩි අභියෝගාත්මක සහ අර්බුදකාරී කාලයක් වනවාට නම් සැකයක් නැත .


ඇමැතිට හොරෙන් මණ්ඩලය ලයිට් කපයි.


විදුලි බලාගාරයක් අක්‍රියවීමෙන් සහ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පසුගිය සතියේ විදුලිය කප්පාදුවක් සිදු විය. විදුලිය කප්පාදුවට මහජන උපයෝගීතා කොමිසමෙන්ද අවසරය ලැබී තිබූ අතර, විදුලිය කපන ආකාරය පිළිබඳ සටහනක් ද මණ්ඩලයෙන් නිකුත්විය. එසේ තිබියදී විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ දිගින් දිගටම කීවේ කිසිදු විදුලිය කැපීමක් සිදු නොවන බවය. විදුලිය කපා තිබියදී ද ඔහු මාධ්‍ය හමුවේ පවා කීවේ විදුලිය කැපීමක් නොකරන බවය. මේ නිසා බොහෝ දෙනා කිව්වේ ඇමැතිතුමාටවත් නොදන්වා මණ්ඩලය විදුලිය කපන බව ය.


ලිට්‍රෝ සභාපති යවා ආපසු ගෙන්වයි


ගෑස් අර්බුදය හේතුවෙන් ලිට්රෝ සමාගම පත්ව ඇත්තේ දැඩි අර්බුදයකට ය. ගෑස් අර්බුදය ලිට්රෝ සමාගම පමණක් නොව ආණ්ඩුවත් ආණ්ඩුවේ නායකයනුත් බරපතළ අර්බුදයකට ඇද දැමුවේය. මාස කීපයක් තිස්සේ පවතින මේ අර්බුදය විසඳන්නට සමාගමට ද හැකියාවක් නොලැබුණු තැන රටපුරා ගෑස් පෝලිම් ද ඇති විය.
මේ අතරවාරයේ ගිය සතියේ බදාදා ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ඉවත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් නිකුත් කරන ලද ලිපියකිනි. ලිට්‍රෝ සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින සමාගමක් බැවින් ලිට්‍රෝ සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ද තෙශාර ඉවත් කරනු ලැබීය. එස්.ආර්. ආටිගල ඔහු ඉවත් කරමින් නිකුත් කළ ලිපියේ සඳහන් වූයේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඔහු ඉවත් කළ බවය. තෙශාර වෙනුවට පත් කරනු ලැබ සිටියේ පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ය. බදාදා උදේ වරුව වන විට මේ පුවත රට පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය. එය මාධ්‍යවලට ද ප්‍රවෘත්තියක් විය.


මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ලිට්‍රෝ සමාගමේ ගෑස් කර්මාන්තශාලාව බලන්න බ්‍රහස්පතින්දා උදේ කෙරවලපිටියට ගියේ ය. මේ ගමනට වෙළඳඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ, අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මෙන්ම ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ද පැමිණ සිටියහ. පසුගිය කාලයේ ගෑස් සංයුතිය හේතුවෙන් පිපිරවීමට ලක්වූ ගෑස් ලිප් ආදියත්, ගෑස් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතුත් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පසුව එහි නිලධාරීන් සමග සාකච්ඡාවක් ද පැවැත්වීය. මේ අතරවාරයේ තෙශාර ජයසිංහ ජනාධිපතිවරයාට එස්එම්එස් පණිවුඩයක් පෙන්වමින් කීවේ තමා ලිට්රෝ සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර ඇති බවය. ඒ අසල සිටි මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගලට කතා කළ ජනාධිපතිවරයා ‘‘දිගටම සභාපති මෙයා’’ යැයි කීවේය. තෙශාර ජයසිංහ ඉවත් කරමින් නිකුත් කළ ලිපිය ද වහා අවලංගු කරන්නැයි ජනාධිපතිවරයා ආටිගලට උපදෙස් දුන්නේය. පැයකට පමණ පෙර ඉවත් කරන ලද තෙශාර ජයසිංහ ජනාධිපතිවරයාගේ නියෝගය මත නැවතත් ලිට්‍රෝ සභාපති පුටුවට පත්විය.


සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පැවැත්වූණේ ජනාධිපති කාර්යාලයේ දී ය. ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා කිසිවක් මෙවර ඉදිරිපත් නොවූ අතර, සහල් ප්‍රශ්නය ද සාකච්ඡාවට ලක්විය. සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමට සහ සහල් මිල පාලනය සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ආනයනික සහල් රුපියල් එකසිය පහට අඩුවෙන් දිගටම ලබාදිය හැකි බවත් ඒ සඳහා සතොස හා හා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කරන බවත් ඔහු කීවේය. ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.


අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව පසුගිය කාලයේ ආරංචි පැතිර ගියද ඉකුත් සතිය වන විට සිදුවූයේ අමාත්‍යංශ කිහිපයක විෂය පථය වෙනස්වීමක් පමණි. කැබිනට් සංශෝධනය සඳුදා සිදුවන බවට මුලින් ආරංචි පැතිර තිබිණි. එදින රාත්‍රී ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඇමතිවරුන් හය දෙනෙකුගේ සහ රාජ්‍ය ඇමතිවරුන් සිව් දෙනෙකුගේ අමාත්‍යාංශවල විෂය පථ පමණක් වෙනස් කර තිබිණි. ලොහාන් රත්වත්ත කලින් දැරූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය මෙවර අහෝසි කර තිබූ අතර එහි විෂයපථය අලි සබ්රි ඇමතිවරයාගේ අධිකරණ අමාත්‍යංශ යටතට පත් කර තිබුණි. මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ආයතන කිහිපයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති ආර්ථික සංවර්ධන සහ බුද්ධ ශාසන අමාත්‍යංශය යටතට පත් කර තිබිණි. පළාත් සභා ඡන්ද විමසීම් පනත සහ පළාත් පාලන ජන්ද විමසීම් පනත පැවතියේ රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමැතිවරයාගේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය යටතේය. නමුත් එය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ රාජ්‍ය සේවා හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් කර තිබුණේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයෙනි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාද ගැසට් නිවේදනයක් නිකුත් කළේ පළාත් පාලන ආයතනවල නිල කාලය තවත් වසරකින් දීර්ඝ කරමිනි. එය කළ හැකි වූයේ ජනාධිපතිවරයා නව ගැසට් නිවේදනයෙන් පළාත් සභා ඡන්ද විමසීම් පනත ජනකගේ අමාත්‍යාංශයට ගැසට් කර තිබූ බැවිනි.
ආණ්ඩුව ගිය සතියේ තවත් වැදගත් කටයුතු දෙකකට මුල පිරුවේය. එකක් කොළඹ වරාය නගරයේ ඉදි වූ සැහැල්ලු‍ යාත්‍රාංගණය සහ පදික මංතීරුව විවෘත කිරීමය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ ඇමැතිවරයාද ඊට සහභාගී වූහ. ඇමැති රෝහිත අබේගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ඊට සහභාගි වූහ. වරාය නගරය ආණ්ඩුව විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා දරණ දැඩි උත්සාහයේ එක් ප්‍රතිඵලයකි. එය ආණ්ඩුවට වගේම රටටත් බෙහෙවින් වැදගත් බව පැහැදිලිය.


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සඳහා මුල පිරුණේ ද ගිය සතියේය. ඊටද ජනාධිපතිවරයා අගමැතිවරයා සහ මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වූහ. නැගෙනහිර ජැටිය පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූවකි. එය සැලසුම් කර තිබුණේ ඉන්දියාවේ අදානි සමාගමට දීමට ය. එසේ වුවත් ආණ්ඩුවේ ම ඇමැතිවරුන් පිරිසකගේ මෙන්ම වෘත්තීය සමිති ගණනාවක ද දැඩි විරෝධය හමුවේ ආණ්ඩුව එම තීරණය හකුලා ගත්තේය. බටහිර ජැටිය ඉන්දියාවට දී නැගෙනහිර ජැටිය වරාය අධිකාරියෙන් ම ඉදිකරන්නට ආණ්ඩුව තීරණය කළේය. එදින මුල පිරුවේ ඒ සඳහා ය.


සුසිල්, අනුර යාපා, චන්දිම, විදුර චන්ද්‍රිකාගේ උත්සවයට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම, හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දින සමරු උත්සවය ඉකුත් සතිඅන්තයේ පැවැත්වුණේ ගාලු‍මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියස දී ය. ඒ වෙනුවෙන් උත්සව දෙකක් සූදානම් කර තිබූ අතර එකක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මූලිකත්වයෙනි. ඊළඟ උත්සවය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. චන්ද්‍රිකාගේ උත්සවයට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා මෙන්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ද පැමිණ සිටීම දේශපාලන කරළියේ වැඩි කතා බහට ලක් විය. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද ඊට පැමිණ සිටියේය උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකටද හිටපු ජනාධිපතිනිය ආරාධනා කර තිබූ නමුත් ඔවුන් කිසිවකු පැමිණ සිටියේ නැත. උත්සවය නිමා වී චන්ද්‍රිකා මැතිනිය පිටත්ව යාමත් සමඟ සුසිල් ඇතුළු පිරිස ද එම ස්ථානයෙන් පිටත්ව ගියහ. ඔවුන් කිසිවෙක් ඊළඟ උත්සවයට සහභාගී නොවූහ. චන්ද්‍රිකාගේ උත්සවයෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ද සහභාගිත්වයෙනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද අඟහරුවාදා කොළඹ මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයා ගේ නිවසේදී රැස්විය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර සහ චාමර සම්පත් දසනායක යන තිදෙනා හැරෙන්නට ශ්‍රීලනිපයේ සෙසු මැති ඇමතිවරු ඊට සහභාගී වූහ. වර්තමාන දේශපාලන තත්ත්වයත් සංවිධායකවරුන් පත් කිරීමේ දී ඇති ඇතිවූ ගැටළුකාරී තත්ත්වය ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් වූ අතර මොණරාගල දිස්ත්‍රික්කයට අලු‍තින් පත් කරන ලද දිස්ත්‍රික් සංවිධායකවරයෙකු සම්බන්ධයෙන් ජගත් පුෂ්ප කුමාර මන්ත්‍රීවරයා විරෝධය පළ කළේය. ඔහු කීවේ එම දිස්ත්‍රික් සංවිධායකවරයා ඉවත් නොකළොත් තමා ඉවත් වන බවය. හිටපු ජනාධිපතිවරයා නාම යෝජනා මණ්ඩලයට උපදෙස් දුන්නේ ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් කැඳවා නැවත සාකච්ඡා කරන ලෙසය. මේ දිනවල රට පුරා සිදුකෙරෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද කතාබහට ලක්විය. ශාන්ත බණ්ඩාර සහ දුමින්ද දිසානායක යන දෙදෙනා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවට සහ ආණ්ඩුවට එරෙහිව කරන චෝදනා තරමක් සැර වැඩි බවකි. ඊට පිළිතුරු දුන් හිටපු ජනපති මෛත්‍රි කීවේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලදී ආණ්ඩුව පක්ෂයට කරන කෙනෙහිලිකම් සහ ආණ්ඩුවේ වැරදි ගැන කතා නොකර සිටින්නේ කොහොමද කියා ය. ‘මේගොල්ලෝ මගේ කාලයේදී මට කරපු දේවල් එක්ක බලද්දි මේවා මොනවද’ හිටපු ජනාධිපතිවරයා කීවේය. පොහොර ප්‍රශ්නය, ගොවියගේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැතුව මම කොහොමද පාක්ෂිකයන් අතරට යන්නේ. හිටපු ජනාධිපතිවරයා කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා කතා කළේය.”‍ පක්ෂයේ වැඩපිළිවෙළ ගැන, අඩුපාඩු ගැන දීර්ඝ සංගායනාවක් කරන්ඩ ඕනෑ. 2018 පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපට වැරදුණු තැන් කොතනද කියලත් සමාලෝචනයක් කරොත් හොඳයි. එතකොට අපේ අඩුපාඩු බලාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ අපි මහ ඡන්දෙට දිස්ත්‍රික්ක දෙකකට විතරක් වෙනම තරග කරපු එක ප්‍රායෝගික නෑ. ඒක අපි ගත්ත වැරදි තීන්දුවක්. ඒක අල්ලගෙන තමයි මේගොල්ලෝ අපිට ගහන්නෙ”‍ ශාන් කීවේය .


හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව සම්බන්ධයෙන් කරන ප්‍රකාශ සැර වැඩි බවට දුමින්ද සහ ශාන්ත බණ්ඩාර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ශාන් පැහැදිලි කළේය. පොහොට්ටුවේ අය අපට දොස් කියනවා ඇති. නමුත් ආණ්ඩුව කරන වැරදි ගැන, අපට කරන කෙනෙහෙලිකම් ගැන කියන එක හොඳයි”‍ ශාන් කීවේය. මේ සාකච්ඡාවේදී අදහසක් ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ මැතිවරණයකදී පොදුජන පෙරමුණ හෝ සමගි ජන බලවේගය සමග එක් නොවී වෙනම සන්ධානයක් ලෙස ඉදිරිපත් විය යුතු බවය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් බ්‍රහස්පතින්දා උදේ අනුරාධපුර රුවන්වැලිසෑය ඉදිරිපිට දී ආශිර්වාද පූජාවක් ද පැවැත්වීය. එය සංවිධානය කර තිබුණේ මොණරාගල ආසනයට අලු‍තින් පත් කර සිටින ශ්‍රීලනිප සංවිධායකවරයා විසිනි. රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායකවරයාත් ශාන් විජයලාල් මන්ත්‍රීවරයාත් ඊට සහභාගි වූ අතර සෙසු මන්ත්‍රීවරුන් දක්නට ලැබුණේ නැත. විශාල පිරිසක් ද සහභාගි වූ මේ රැස්වීමට අනුරාධපුරයේ දුමින්ද දිසානායක රාජ්‍ය ඇමතිවරයා සහභාගි වී සිටියේ නැත. කැකිරාව ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන ඔහුගේ සහෝදරයා සහභාගි වී සිටියේය.


හිටපු ජනාධිපතිවරයා රුවන්වැලිසෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ද බැහැදැකීමෙන් අනතුරුව ආශිර්වාද පූජාවට සහභාගි විය .


විපක්ෂ නායක සජිත් උතුරේදී තැබූ වාර්තාව !


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දෙසතියකට ආසන්න කාලයක් මුළුල්ලේ ගතකළේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක ය.


‘‘සමගි ජන බලවේගයේ හුස්මක්”‍ සහ ‘‘සක්වල”‍ යන සමාජ සත්කාරක වැඩසටහන් ද රැගෙන විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කළ අතර ඒ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කිරීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.


සක්වල වැඩසටහන හරහා පාසල් කිහිපයකටම සුහුරු පන්ති කාමරයකට අවශ්‍ය නවීන පරිගණක සහ ඩිජිටල් පරිගණක පුවරු ලබාදීමට සජිත් කටයුතු කළේය.


සමගි ජන බලවේගයේ හුස්මක් වැඩසටහන හරහා රෝහල් කිහිපයකටම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කළ සජිත් උතුරු නැගෙනහිර පළාත් දෙක ආවරණය වන ලෙස විවිධ වැඩසටහන්වලට එක්විය.


සංචාරය පුරාම සජිත්ට දැක ගන්නට හැකි වූයේ ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන විවිධාකාර ගැටලු‍ පිළිබඳව ය.
සජිත් සිය උතුරු නැගෙනහිර සංචාරය ආරම්භ කළේ ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයට පරිගණක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කරමිනි. එතැන් සිට ඔහු පසුගිය දොළොස් වැනි දා තෙක් උතුරේ සංචාරය නිරත විය.


එදා මෙදාතුර විපක්ෂ නායකයෙකු වැඩිම කාලයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කළ පළමු වතාව මෙය වන අතර ප්‍රදේශයේ ජනතාවගෙන් විපක්ෂ නායකවරයාට ලැබුණේ විශාල දිරිගන්වන සුළු ප්‍රතිචාරයකි.
‘‘මීට කලින් එක එක නායකයෝ එනවා, පොරොන්දු වෙනවා, යනවා. සමහර නායකයෝ අපි ඒ අයට අයිති නෑ වගේ සලකලා අපිව පැත්තකට කරලා තියෙනවා. බලය නැතිව තියෙද්දිත් ඔබතුමා මේ විදිහට ඇවිල්ලා පුළුවන් විදිහට යමක් කරන එක ගැන අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා”‍ එම විදුහලේ දෙමව්පියෝ පිරිසක් සජිත්ට කීහ.


‘‘අපි මේ ජීවත් වෙච්චි කාලේ කිසි දවසක විපක්ෂ නායකවරයෙක් මේ විදිහට පාසල් වලටවත් හොස්පිටල් වලටවත් උදව් කරනවා අපි දැකලා නෑ.”‍


බොහෝ දෙනා කීවේ එවැනි කතා ය.


‘‘දේශපාලකයෝ දේශපාලනය කරන බව ඇත්ත. හැබැයි අපි ඊට වඩා වෙනස් වෙන්නේ දේශපාලනයට වඩා අපි කරන්නේ දේශ සේවය. මිනිස්සුන්ට අපි පුළුවන් විදිහට යමක් කරන්න ඕනෑ. අපේ වැඩපිළිවෙලේ අරමුණ තමයි රටට අගයක් එකතු කිරීම”‍ සජිත් උත්තර දුන්නේය.


සිය සංචාරයේදී එම ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිත නැංවීම උදෙසා වන ස්වකීය ප්‍රතිපත්තිය ද පැහැදිලි කිරීමට විපක්ෂ නායකවරයා අමතක නොකළේය.


විශේෂයෙන්ම ප්‍රදේශයේ සර්වාගමික ස්ථානවලට ගොස් ආශිර්වාද ලබා ගැනීමට ද අමතක නොකළ විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර සමගි ජන බලවේගය සංවිධායකවරුන් විසින් සංවිධානය කරනු ලැබූ ජනහමු කිහිපයකටම ද එක් විය.

 

මාධ්‍ය වාරණ ගැන සජිත්ගේ මතය !


උතුරු නැගෙනහිර මාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමු කිහිපයකටම සජිත් එක්විය.


‘‘මාධ්‍ය වාරණය සම්බන්ධව ඔබතුමා ගේ අදහස මොකක්ද?”‍


උතුරේ මාධ්‍යවේදියෙක් සජිත්ගෙන් ඇසුවේය.


‘‘මොකටද වාරණ' කිසිම මාධ්‍යයකට කිසිම විදිහකට වාරණ නොදැමිය යුතුයි කියන ප්‍රතිපත්තියේ තමයි මම ඉන්නේ. වාරණ දාලා, බැරියර් දාලා මාධ්‍යයේ කට වහන්න කාටවත් අයිතියක් නෑ”‍ සජිත් උත්තර දුන්නේය.
”‍ඔබතුමාගේ ආණ්ඩුවක් යටතේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍යයට වාරණ නොදමන බවට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?”‍ තවත් මාධ්‍යවේදීයෙක් ඇසුවේය.
‘‘මගේ වචන විශ්වාස කරන්න. ඒ වගේම මගේ ඉතිහාසය පරීක්ෂා කරන්න. මානව නිදහස මානව අයිතිවාසිකම් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය මගේ ජීවිතයේ තේමා පාඨ. සමහරු යෝජනා කරනවා මාධ්‍යයට ආචාරධර්ම තියෙන්න ඕනෑ කියලා. එක අතකට මං විශ්වාස කරනවා, ආචාරධර්ම මාධ්‍ය විසින්ම සකස් කර ගත යුතුයි කියලා. අනෙක් පැත්තෙන් වාරණය ගැන කතා කළොත් මගේ අදහස වෙන්නේ කිසිවෙක් මාධ්‍යයට වාරණ නොදැමිය යුතුයි. ඒ වගේම මාධ්‍ය ස්වයංවාරණයක යෙදුනම ඇති”‍ සජිත් උත්තර දුන්නේය.


ණය වාරිකය ගෙවීම ගැන සජබ තීන්දුව!


මේ අතර ලබන 18 වැනිදාට ආණ්ඩුවට විශාල ණය වාරිකයක් ගෙවීමට සිදුව තිබේ. මූල්‍ය අතින් බරපතළ අගාධයකට වැටී තිබෙන තත්ත්වයක් තුළ සමගි ජන බලවේගය ප්‍රධානීන් මේ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කළේය.


‘‘මහලොකු ප්‍රගතිශීලි ආණ්ඩුව. මේ වෙලාවේ රට ගන්න දෙයක් නැතුව වැටිල තියෙන්නෙ. හැබැයි රෑ දවල් මහන්සි වෙන්නේ සුද්දන්ට ණය ටික ගෙවලා දාන්න”‍. ඉරාන් වික්‍රමරත්න එහෙම කීවේ ය.
‘‘ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ගෙවන්න ආණ්ඩුව දත කනවා. කොළ සංචිතවල රං සංචිත භාගයකට ආසන්න ඉවරයි. මේ ආණ්ඩුව මරණ තුනක් තියාගෙන පැණි කනවා”‍ හර්ෂ කීවේය.


‘‘ළඟදීම ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගෙවන්න තියෙනවා. මොනව කරන්නටත් පෙර ජනතාව ජීවත් කරන්නට ඕනැ. ජනතාවට අවශ්‍ය ආහාර ටික, ඖෂධ ටික, ඉන්ධන ටික ලබාදීම මේ ආණ්ඩුවේ වගකීම. ඉන්ධන නැතිවුණොත් රටේ කර්මාන්ත පද්ධතියම, ජන සමාජයම කඩාගෙන වැටෙනවා. ආණ්ඩුවට සැලැස්මක් නැද්ද මේ ප්‍රශ්නය වලට විසඳුම් ලබා දෙන්න. ආණ්ඩුව දක්ෂ රටේ ආර්ථික ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ආණ්ඩුව කරන්නේ ජාතීන් ජාතීන්, ආගම් අතර වෛරය පතුරවලා අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරන එක”‍ සජිත් කීවේය. මුලතිව් හි පැවති රැළියකදීත් සජිත් ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය.


එජාප ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විවෘත වෙයි


එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය පසුගිය සතියේ විවෘත කිරීම පක්ෂයට විශේෂත්වයක් විය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ කාර්යාලය විවෘත කෙරුණි. දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන නියෝජිතයන් පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. දිස්ත්‍රික්කයේ පැරණි සාමාජිකයන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටි අතර ඔවුන් රුවන් විජයවර්ධන මහතා වටකරගෙන දැඩි උනන්දුවෙන් ඉල්ලා සිටියේ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක හිටපු නායකයන්ගේ පුණරාගමනය අවශ්‍ය බවය.
මේ අවස්ථාවේ රුවන් වැනි අවංක නායකයෙක් රටට අවශ්‍ය බව ඔවුහු තරයේ කියා සිටියහ. මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් කණ්ඩායමක් කඩා ගෙන ගියාම කවුරුත් හිතුවෙ පක්ෂය වැටෙයි කියලයි. නමුත් දැන් පක්ෂයේ අගය හා නායකයාගේ අගය ගැන හැ​මෝටම වැටහී ඇති බවය. රටේ අද උද්ගත වී ඇති ප්‍රශ්න විසඳීමට හැකියාව තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බවද මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.


රජයේ සේවකයන් ඇතුළු පිරිසට රුපියල් 5000 ක් දීමට රුපියල් මිලියන 229 ක් අවශ්‍ය වන බව කී ඒ මහතා අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කර නැති බව ද ප්‍රකාශ කළේය.


මීට අමතරව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පාසල් දරුවන් පිරිසකට ත්‍යාග ලබාදීම ද සියඹලාපේ දී සිදු කළේය. බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී චතුර පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත් වූ තරගවල ත්‍යාග ප්‍රදානය මෙහි දී රුවන් විජයවර්ධන මහතා අතින් සිදුවිය.
බිගයම සියඹලාපවත්ත ප්‍රදේශයේ ළමා උද්‍යානය විවෘත කිරීම ද රුවන් විජයවර්ධන මහතා අතින් සිදුවිය.
ගිය සතියේ දී පක්ෂයේ ප්‍රගතිය සමාලෝචන රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින ආර්ථික අහේනිය සම්බන්ධයෙන් කරුණු පෙන්වා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ගමන් මාර්ගය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැන ද අදහස් ප්‍රකාශ කළේය.


මහර ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයේ ප්‍රබල පොහොට්ටු සාමාජිකයන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂට එක්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සිදු වූ අතර ඒ අවස්ථාවට නියෝජ්‍ය නායකවරයා සහභාගි වූයේය.
කොළඹ දිස්ත්‍රික් සංවිධායක කමිටුව හා යොවුන් පෙරමුණ හිටපු සාමාජිකයන් පිරිසක් ද ගිය සතියේ දී රුවන් විජයවර්ධන මහතා හමුවී සාකච්ඡා කළහ.


චීනයට අමතක නොවන කරුගේ හිතවත්කම


චීන - ලංකා රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් සම්පූර්ණවීම හා නව චීනය සමග නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකරගෙන අවුරුදු 65ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. එහි ප්‍රධාන ආරාධිතයන් වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා ය. ඒ සඳහා ආරාධනා කර තිබුණේ 50ක් තරම් වූ සීමිත පිරිසකටය. කරු ජයසූරිය මහතාට ද එහිදී ලැබුණේ විශේෂ අවධානයකි.


කරුගේ චීන මිත්‍රත්වය බොහෝ දුර අතීතයකට හිමිකම් කියන්නකි. ඔහු මුලින්ම සංචාරයක් සඳහා චීනයට ගොස් ඇත්තේ මෙයට වසර 53කට පෙර 1965 වසරේදී ය. එපමණක් නොව 1965 වසරේ සිට 1982 දක්වා ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කර ඇති රබර් තොග අතරින් වැඩිම පංගුවක් අපනයනය කර ඇත්තේ ද එවකට කරු ජයසූරිය සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද පෞද්ගලික අංශයට අයත් සමාගම් විසිනි.
කරු ජයසූරිය කෙරෙහි චීන ජනතාවගේ මිත්‍රශීලීත්වය වර්ධනය වීමට හේතු වූ තවත් එක් වැදගත් කරුණක් තිබේ. 80 දශකයේ දී චීනය තුළ රබර් වගා කිරීම සඳහා චීන රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලද්දේ හයිනාන් ප්‍රාන්තය කේන්ද්‍රගත කරගෙනය. ඒ සඳහා චීන රජය තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව යන රටවලින් තාක්ෂණික හා අනෙකුත් සහයෝගය අපේක්ෂා කර තිබේ. එවකට පුද්ගලික අංශයේ සමාගම් ගණනාවකම ප්‍රධානත්වය දරා ඇති කරු වෙත ද ඒ සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. එහි දී නොපැකිලිවම ඊට ප්‍රතිචාර දක්වමින් රබර් ඇට මිලියනයක් කරු විසින් චීනයට ලබා දී ඇත්තේ මුදලට නොව පරිත්‍යාගයක් ලෙස ය. අද දවසේ පවා චීනය එය මහත් සේ අගය කරයි. එදා එම උත්සවයට සහභාගි වෙමින් සිටිය දී ද ඒ ගැන බොහෝ දෙනෙකු සිහිපත් කර ඇත.

 

 

-ගජබා-