ප්‍රශ්නවලට අලුත් පිළිතුරු සොයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අලුත් ගමනක


රටේම අර්බුදයට ලක්ව ඇති පොහොර ප්‍රශ්නය තවමත් විසඳී නැත. ගොවීන් පොහොර ඉල්ලා තැන තැන උද්ඝෝෂණ විරෝධතා කරද්දී ආණ්ඩුව කියන්නේ මහ කන්නයේ වගාවට අවශ්‍ය කාබනික පොහොර නියමිත වෙලාවට ගෙනැවිත් දෙන බවය. ඒත් ආණ්ඩුව කියන දේ ගොවීන් අහන්නේ නැත. ගොවීන් කියන දේ ආණ්ඩුව අහන්නේත් නැත. රට ගැන සිතා සද්භාවයෙන් ගත් තීන්දුව ආපසු හරවන්නේ නොමැති බවට වන අදහසක ජනාධිපතිවරයා ද සිටී.


පොහොර ප්‍රශ්නය හේතුවෙන් වැඩියෙන්ම අපහසුතාවයට පත්ව සිටින්නේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. ගොවි උද්ඝෝෂණවලදී වැඩිම විවේචනයක් එල්ල වන්නේ ඔහුටය. එපමණක් නොව ඔහුගේ පඹයන්ද පුච්චති. පඹයන් හදා පහර දෙති. ඒ මොනවා කළත් මහින්දානන්දට ගානක් නැත. පො​හොර ප්‍රශ්නය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කළේ ඉකුත් සතියේය. එහෙත් එම ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය කුමක්ද යන්න තවමත් දැනගන්නට නැත. මේ අතර ආණ්ඩුවේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කියන්නේ තමන් රෑ හතෙන් පසුව මළ ගෙවල්වල නොයන බවය. ඒ පො​හොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ගම්වල තියෙන තත්ත්වය දන්නා නිසාය.


සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ද පොහොර ප්‍රශ්නය හා රසායනික වල්නාශක, කෘමිනාශක ප්‍රශ්නය මාතෘකාවක් විය. ඇමැතිවරුන් ගණනාවක්ම ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළහ. එහෙත් කාබනික වගාව ව්‍යාප්ත කිරීමට ගත් තීන්දුව ආපස්සට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වී​මේදී ද අවධාරණය කළේය. කෘෂිකර්ම ඇමැතිවරයා කීවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් කඩිනමින් ලැබෙන බවය. එහි පළමු තොගය ලෙස දියර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් පසු දිනම ඉන්දියාවේ සිට ගුවනින් රැගෙන එන බව ඔහු කීවේය. ඊළඟ ගැටලුව වූයේ කෘෂිරසායන ප්‍රශ්නයයි. වගාවලට කාබනික පො​ෙහාර යෙදුවත්, කෘමි උවදුරු ආදිය මර්දනය සඳහා කෘෂි රසායන නොමැති වීම ගැටලුවක් බව ඇමැතිවරයා කීය. ඒ සඳහා සාම්ප්‍රදායික ක්‍රම හෝ ගොවීන් අතරට ගොස් නැති බව ඔවුන්ගේ අදහස විය. ඒත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් කිසිවකුගෙන් නොලැබිණි.


මේ අතර, ආණ්ඩුවේ හවුල් පක්ෂ ද මේ වන විට තරමක අවුලක සිටින බව පෙනේ. ඒ ඔවුන් ආණ්ඩුව එතරම් ගණන් නොගන්නවාය යන අදහසිනි. යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යැව්වේ ඉකුත් හත් වැනි දාය. ලිපිය යවා හරියටම සතියකට පසු, එනම් ඉකුත් දාහතර වෙනිදා ජනාධිපතිවරයා එම ලිපියට පිළිතුරු යැව්වේය. ඒ ලිපියේ පිටපත්, ලිපියට අත්සන් තැබූ පක්ෂ නායකයින් සියලු දෙනාට වෙන වෙනම යැවීම ද විශේෂත්වයකි. ජනාධිපතිවරයා එම ලිපිය යවා තිබුණේ සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් දීම ප්‍රතික්ෂේප කරමිනි. පක්ෂ නායකයන් එවා තිබූ ලිපියේ යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් මතු කළ කරුණු සත්‍යයෙන් තොර බව ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි. එම පක්ෂවලට ඇති කරුණු කාරණා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී හෝ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ හැකි බවත් දේශපාලන කාරණා සම්බන්ධයෙන් පොහොට්ටුවේ නායකයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ එහි ජාතික සංවිධායක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෝ හමු වී සාකච්ඡා කළ හැකි බවත් දැනුම් දී තිබිණි. ඒ ලිපියට ජනාධිපතිවරයාගෙන් ලැබණු පිළිතුරු ලිපිය ගැන හවුල් පක්ෂ සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. ලිපිය ලැබුණු දිනට පසු දිනම හවුල් පක්ෂවල නායකයෝ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට රැස්වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වීරසුමන වීරසිංහ, දයාසිරි ජයසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ. එහිදී සාකච්ඡාවට ලක්ව ඇත්තේ යුගදනවි ගිවිසුම සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙනි. මේ අතර, හවුල් පක්ෂවල නායකයන් මේ ගැන කතා කරන්නට ඊයේ (23) දිනයේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී රැස්වීමටද තීරණයක් ගත්හ. ඊයේ උදේ දහයට රැස්වීමට නියමිතව තිබූ මෙම හමුව දීර්ඝ සාකච්ඡාවක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ බවද වාර්තා විය. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හවුල් පක්ෂවල මතයද මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පැවසේ.
ජාතික නිදහස් පෙරමුණ ‘‘තෙවැනි මග’’ මාසික සඟරාව එළිදැක්වීමේ උත්සවයක් ගිය සතියේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවති අතර, දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක නියෝජිතයෝ ද ඊට සහභාගි වූහ. බෙංගමුවේ නාලක හිමි, අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ. එහිදී විමල් වීරවංශ ඇමැතිවරයා අමුතු කතාවක් කළේය. ඔහු කිව්වේ ප්‍රශ්නවලට අලුතෙන් පිළිතුරු සොයා ගන්නට සිදුව ඇති බවය. ඒ සඳහා සංවාදමය වේදිකාවක් එම සඟරාව හරහා ගොඩනගන බව ඔහු කීවේය. එය ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳ එක්තරා ඉඟියක් විය හැකි යැයි එහි සිටි සමහරු ද කියන්නට වූහ.


 

 

 

කුඩා පක්ෂවල ප්‍රශ්න අගමැති එක්ක කතා කරන්න

 

 

 


 

මාස කීපයක් තිස්සේ ඇදී ගිය ගුරු වර්ජනය ද මේ වන විට නිමාවට පත්වී තිබේ. ආණ්ඩුව මෙන්ම ගුරු සංගම් ද එක්තරා ආකාරයක නම්‍යශීලී ප්‍රතිපත්තියකට යොමුවීම ඊට හේතුවය. ආණ්ඩුව හා ගුරු සංගම් කුමක් කීවත් එය පාසල් දරුවන්ගේ පැත්තෙන් ජයග්‍රහණයකි. වර්ජනය නතර කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් මෙන්ම ගුරු සංගම්වල නියෝජිතයන් ද එකිනෙකා විවේචනය කර ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. මේ අතරේ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කළ ප්‍රකාශයක් හේතුවෙන්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ගිය සතියේ දැඩි අපහසුතාවට පත් වූ බව පෙනේ. කොමියුනිස්ට් පක්ෂය පසුගිය කාලයේ කටයුතු කළේ ගුරු සංගම්වල ඉල්ලීම් සාධාරණීකරණය කරමින් වර්ජනයට සහාය පළ කිරීමේ ක්‍රියාමාර්ගයකය. කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ද වන රාජා කොල්ලුරේ ගුරු වර්ජනයට එරෙහිව කළ ප්‍රකාශය නිවැරදි කරමින් එහි ප්‍රධාන ලේකම්වරයා පසුදිනම විශේෂ නිවේදනයක් මාධ්‍යයට යොමු කළේය. ඉන් කියා සිටියේ කොමියුනිස්ට් පක්ෂය ගුරුවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් දිගටම පෙනී සිටින බවය. මේ අතර කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද ගිය සිකුරාදා රැස්වූයේ කොල්ලුරේගේ ප්‍රකාශයත් සමග ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සැලකිල්ලට ගනිමිනි.


මේ අතර, ජනාධිපතිවරයා ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන් අද හවස 06.00 ට ජනාධිපති මන්දිරයට කැඳවා ඇත. ඒ ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් වෙනුවෙනි. පොහොර ප්‍රශ්නය වත්මන් දේශපාලන තත්ත්වය ආදී කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇති අතර මන්ත්‍රීවරුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති බව වාර්තා වේ.


ජනපති බ්‍රිතාන්‍ය සංචාරයක


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතිඅන්තයේ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහභාගිවීමට නියමිතය. එහි පැවැත්වෙන පරිසර සමුළුවකට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර, ඊට රටවල් 50ක පමණ රාජ්‍ය නායකයන් සහභාගිවීමට නියමිතව ඇත. එම සමුළුවට විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද සහභාගී වන අතර, තවත් හමුවීම් කිහිපයක් තිබෙන නිසා ඔහු හෙට දිනයේ බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතය.


පසු පෙළින් යෝජනාවක්


ඇමැති මණ්‍ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට පෙර එහි නිවැරදි බව තහවුරු කරන නිර්දේශයක් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් රජයට යෝජනා කර ඇත.


අමාත්‍යාංශ ලේකම්වරයා එහි පරිපාලනය බාරව සිටින නිලධාරියා වන අතර ඇමැතිවරයා බොහෝ විට විෂය දැනුම නොමැති නිසා ලේකම්වරයාගේ නිර්දේශය ලබා ගැනීමෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකි වන බව ඔවුන්ගේ අදහස වී තිබේ.


විදුලි දුම්රිය අත්හිටුවීමෙන් රුපියල් කෝටි 14400 ක පාඩුවක් දැරීමට සිදුවීම, දින දෙක තුනක පමණ කාලයක් රඳාපවතින දියර පොහොර ගෙන්වීම, කෙරවලපිටිය තාප බලාගාරය ඇමරිකාවට පැවරීම යනාදී වශයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා හදිසි අවශ්‍යතා වශයෙන් සලකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිළිබඳව කරුණු දක්වන ඔවුන් ඕනෑම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් නිර්දේශය ලබා ගැනීමත් තීන්දු තීරණ ගැනීම සඳහා කාලයක් ලබාදිය යුතු බවත් මෙමගින් ඉල්ලා ඇත.


රජයේ වැඩ පිළිවෙළ වඩාත් නිවැරදිව හා යහපත්ව සිදු කර ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද ඔවුහු පවසා ඇත.

 


 

 

 

පොහොර නැතිව ගොවීන් සුසුම් හෙලනවා

 

 

 

 

 


 


නිමල් -චාමර පැටළෙති

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැස්විය. පොහොර ප්‍රශ්නය, රටේ දේශපාලන තත්ත්වය ආදිය සාකච්ඡා කරන අතරේ බදුල්ලේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල කළේය. මුදල් ඇමතිවරයා ගම්වලට වෙන් කරන මුදල් නිමල් ඇමතිවරයා තමන්ගෙ පස්සර ආසනයටද පැමිණ තමන්ගේ අනුදැනුමකින් තොරව මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බවට චාමර සම්පත් චෝදනා කළේය. ඔහු සිය විවේචනය කළේ දේශපාලනයට එහා ගිය පෞද්ගලික කාරණා ද ඇදගනිමිනි. එහෙත් ඔහුගේ කතාවලට උත්තර දෙන්නට නිමල් සිරිපාල ඇමතිවරයා උත්සාහ නොගත්තේ ය. දැඩි ආවේගයෙන් කෑගැසූ චාමර සම්පත් මන්ත්‍රීවරයා රැස්වීම අවසාන වෙන්නට පෙර ඉන් පිටව ගියේය.


චාමර පිටව ගිය පසු ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් විවේචනය කරන්නට වූහ. මෙවැනි ක්‍රියා මන්ත්‍රී කණ්ඩායම තුළ සිදු නොවිය යුතු බව කී ඔවුහු ඔහුට අවවාද කරන්නැයි හිටපු ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කළහ. මේ අතර නැගීසිටි පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා දේශපාලනය තුළ විවිධ කුමන්ත්‍රණ සිදුවෙමින් පවතින බව කීවේය. මහින්ද අමරවීර, නිමල් සිරිපාල යන ඇමැතිවරුන් ද එහිදී අදහස් දැක්වූ අතර ගාල්ලේ ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පක්ෂයේ තීන්දු තීරණ සම්බන්ධයෙන් කතා කළේය. ඔහු කිව්වේ පක්ෂය ගන්නා තීන්දු කල් නොයවා කඩිනමින් ගත යුතු බවය.


ගොවි සටනට සජබ එක්වෙයි


ගොවි ජනතාවගේ ගැටලු‍ ගැන අවධානය යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරම්භ කළ ගොවි හදගැස්ම වැඩසටහන දිවයින පුරාම ක්‍රියාත්මක වන්නේ සියලු‍ම ගොවි ජනතාව හමුවෙමින්ය. පසුගිය සතියේ දී අම්බලන්ගොඩ මීටියාගොඩට සජිත් පැමිණියේ කුරුඳු වගාකරුවන්ගේ ගැටලු‍ගැන විමසමින්ය. ගයන්ත කරුණාතිලක, අම්බලන්ගොඩ ආසන සංවිධායක ආනන්ද අබේවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග එහි ගිය සජිත් බොහෝ වේලාවක් කුරුඳු වගාකරුවන් සමග සාකච්ඡා කරමින් සිටියේය.


“ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම කුරුඳු වුණාට දැන් කුරුඳුවලටත් කණ කොකා හඬන්න හදන්නේ. පෝර නැතිව අපිට මේ වගාව කරගෙන යන්න බෑ”‍ කුරුඳු වගාකරුවෝ පැවසූහ.


“ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ඇතුළු සියල්ල සර්ව සම්පූර්ණයි කියා වායු සමීකරණය කළ පාර්ලිමේන්තුව ඇතුළේ මැති ඇමතිවරුන් කයිවාරු ගැසුවාට මහපොළොව ඇතුළේ එය සහමුලින්ම අසත්‍යයක්. තමන්ට අවශ්‍ය පොහොර ටික නැතිව ගොවිජනතාව සුසුම් හෙළමින් සිටිනවා. පාර්ලිමේන්තුවේ පෙන්වන ලෝකය ගොවිබිම තුළ නෑ”‍ සජිත් කීවේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දැඩි ලෙස විවේචනය කරමිනි.
“අපි ආණ්ඩුවට හොද පාඩමක් උගන්වනවා”‍ කුරුඳු වගාකරුවෝ පැවසූහ.


ගාල්ලේ සිට තිස්සමහාරාමයට ගොවීන් හමුවීමට ගිය සජිත් කොහොඹගහ පැළැස්ස ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති අත්බටුවේ හේමාලෝක නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ගෙන අනතුරුව ප්‍රදේශයේ ගොවි ගැටලු‍ විමසන ගොවි හදගැස්මට එක්වූයේ හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, පළාත් සභා මන්ත්‍රී ලාල් චන්ද්‍ර ඇතුළු මහජන නියෝජිතයන් සමගය.


“ජීවන වියදම දිනෙන් දින උත්සන්න වෙමින් ජනතාවට දරාගත නොහැකි තරම් අසරණ වෙලා. අනෙක් අතට මේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව ද ව්‍යසනකාරී අඩියකට තල්ලු‍ කිරීමට ආණ්ඩුව කටයුතු කරලා”‍ සජිත් කීවේ තරමක ආවේගයෙන් යුතුවය.


තිස්සමහාරාමයට ගිය සජිත් සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ දී පාක්ෂිකයන් හමුවිය. ඒ අතර පක්ෂ කාර්යාල කිහිපයක් විවෘත කිරීමට ද එක්විය.


ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජනතාව පෙළගස්වමින් “පාලකයන් හිතුමතේ - ජනතාව හාමතේ”‍ මැයෙන් විරෝධතා මාලාවක් ද ආරම්භ කළේය.


“ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොළ හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව, ආර්ථික පීඩාවේ වේඳනාව නැගෙමින් පවතිනවා”‍ සජිත් කීවේය.

 

සජිත් තානාපතිවරුන් හමුවේ


ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) හා සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.


“කොරෝනා මර්දන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි ස්තුතිවන්ත වෙනවා.”‍ සජිත් පැවසුවේය.


දශක ගණනාවක් ඈතට දිවෙන ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව තානාපතිතුමන් විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.


“සමගි ජනබලවේගය හරිත පක්ෂයක් කළා. ඒ හරහා ”‍හරිත ව්‍යාපෘතිය”‍, හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන සහ Project Leopard ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඊට අවශ්‍ය අනුග්‍රහය ලබාදෙන්න”‍ විපක්ෂ නායකතුමා ජපාන තානාපතිතුමන්ගෙන් ඉල්ලීමක් ද කළේය.


ඒ පිළිබඳව ස්වකීය විශේෂ අවධානය යොමුකරන බව පැවසූ තානාපතිවරයා ඒ සඳහා අනුග්‍රහය ලබා දෙන බව ද පැවසීය.


සූම් කතා


මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වුවත් සජබ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ සිකුරාදා උදෑසනය. එහෙත් සූම් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුණේය.


“දැන් පාස්පෝට් කන්තෝරුව ළඟ ලොකු පෝලිමක් හැමදාම තියෙනවා. තරුණයන් විශාල ලෙස රට හැරයමින් සිටිනවා. තරුණයන් පාස්පෝට් පෝලිමකට ඇදලදාපු ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා”‍ සජිත් කීය.


“තරුණයන්ගේ අපේක්ෂා භංගවුණාම රටට යන කලදසාව මොකක්ද?”‍මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රශ්න කළේය.


“දැන් මේ ආණ්ඩුවට ඕනෑ කොහෙන් හරි ඩොලර් ගේන්න. කාන්තාවන් විදේශගතවීමට තිබුණ නීති පැත්තකට දාලා”‍ මනුෂ නානායක්කාර කිය.


“දැන් මාස ගණනක් පාරේ හිටපු ගුරුවරුන්ගේ ප්‍රශ්නයට ආණ්ඩුවට විසඳුම් දෙන්න බැරිවුණා. එහෙම ආණ්ඩුවක් ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට උත්තර දෙන්නේ කොහොම ද?”‍ නලීන් බන්ඩාර ප්‍රශ්න කළේය.
“ගුරුවරුන් නැවත ඉස්කෝලෙ යන ගමන් අරගලය ඉස්සරහට අරගෙන යන තීරණයට අපි ශක්තියක් දෙන්න ඕනෑ”‍ රෝහිණී කවිරත්න කළ යෝජනාවට සියල්ලෝම අනුමැතිය දැක්වූහ.

 

රනිල් එජාපය තරුණයන්ට බාරදෙයි


එජාප පාක්ෂිකයන්ට ඩිජිටල් කාඩ්පත හඳුන්වා දෙයි


එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කළ ඉකුත් අඟහරුවාද‌ා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ දිනයක් විය. මෙම කාඩ්පත් මගින් සියලු සාමාජිකයන් ලියාපදිංචි කිරීම සිදුකරන අතර පක්ෂයේ ප්‍රධානියකු හමුවීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය ඔස්සේම ඔවුන් හමුවීමට අවස්ථාව ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.


මෙම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ‘පක්ෂය තරුණයින්ට බාර දෙනවා’ කියමින් දිනුක් කොළඹගේ, ෂෙහාර හේරත් හා කනිෂ්ක රාජපක්ෂ යන තිදෙනා වේදිකාවට කැඳවීය. ‘ජ්‍යෙෂ්ඨයො ලෙස අපි මේ අයගෙ පිටුපසින් ඉඳගෙන උපදෙස් දෙනවා.’ එසේ කී රනිල් වික්‍රමසිංහ මහතා අමුත්තන් සමග අසුන් ගත්තේය.
දිවංගත ඩී.එස්. සේනානායක මහතාගේ උපන්දිනය ද‌ා මෙම කාඩ්පත් නිකුත් කිරීම සිදු වූ අතර එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් රටට සිදුවූ සේවය පහද‌ා දුන්නේය.


පසුගිය බ්‍රහස්පතින්ද‌ා පාර්ලිමේන්තු රැස්වීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.


ආර්ථික වශයෙන් වැටී සිටින රට ගොඩගැනීමට නම් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවිය යුතු බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී කීවේය.


මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය ද‌ා ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කිරීම වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති චාම් උත්සවය අමතා රුවන් විජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.


ලේ හැලීමකින් තොරව ලබා ගත් නිදහස පවත්වා ගෙන යමින් රටට විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් තිබෙන බව ද ඔහු මෙහිදී කීවේය.


පක්ෂයේ කළමනාකරණ කමිටුවට ද සහභාගි වූ රුවන් විජයවර්ධන මහතා එම කමිටුවේ ප්‍රගතිය සොයා බැලුවේය.


සෙනසුරාද‌ා දිනයේ කලවානේ පැවැත්වෙන උද්ඝෝෂණය පිළිබඳව ද සොයා බැලූ ඔහු එය සංවිධානය කරනු ලබන සමන් රත්නප්‍රිය මහතාට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් උද්ඝෝෂණය පවත්වන ලෙසට ද දැනුම් දුන්නේය.

 

 

-ගජබා-