නියඟය විදුලිය ජලය අර්බුධ අතරේ පොඩි පොඩි සන්ධාන


මේක අපේ මහගෙදරනේ 

බදාදා සවස පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ජනපති එක්වූවේ පක්ෂ නායකයා ලෙසටය. පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකයා නොමැතිව කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය නොහැකිය. පක්ෂ නායකයා පැමිණීමට ප්‍රථම කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කෙමෙන් කමෙන් පැමිණෙන්නට වූහ.

කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් නොවුන ද ඇමති හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර ද සිරිකොතට පැමිණෙනු එහි සිටියවුන්ට දැක ගන්නට හැකිවූනි. ඔවුන් මේ ගැන කසුකුසු නගද්දී ඔවුන් දෙපළ ගියේ පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක ගේ නිල කාමරයටය.

ඔවුන් දෙපළ නිල කාමරයට ඇතුළු වෙද්දී “අපේ ආරාධනාව පිළිගෙන පැමිණීම ගැන සතුටුයි.” සාගල කීවේ ඔවුන් දෙපළ පිළිගනිමිනි. “මේක අපේ මහගෙදරනේ.” දෙදෙනා පිළිතුරු බැන්දේ එකටය.


නායකයා පැමිණ කෘත්‍යාධිකාරි මණ්ඩලය ආරම්භ වන තෙක් ඔවුන් එහි රැඳෙමින් රටේ ප්‍රශ්න කතා බහ කරන්නට වූහ. කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ගෙන් නව දෙනෙකු හැර සෙසු සියල්ලෝම ඊට පැමිණ සිටියහ. මෙම නව දෙනා මෙයට සහභාගී නොවන බව කල් තියා දැනුම් දී තිබුණේ විවිධ හේතු ඉදිරිපත් කරමිනි.


කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භයේදීම පක්ෂ නායක ජනපති රනිල් විසින් ඇමැති හරීන් හා මනුෂ දෙපළ පිළිගනිමින් සමාව අයදීමට යටත්ව ඔවුන් නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයට එක් කරගන්නා බව කීවේ කාගෙත් සිනා මැදය.


පක්ෂ මහලේකම් සම්මේලන දිනයට අනුමැතිය ගැනීමෙන් පසු 77 වැනි සංවත්සර සම්මේලනය පැවැත්වීමට අදාළව 14 දෙනෙකුගෙන් සමන්විත සංවිධාන කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා ගත්තේය. 

ජපන් ගීයට මනූෂගෙන්  තබ්ලා වාදනයක්  

ඇමැති මනූෂ හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල ජපානයේ සිට මෙරටට පැමිණ සිටින රාජ්‍ය ඇමති ෆුජිමාරෝ ඇතුළු දූත පිරිසට රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කළේ කොළඹ අවන්හලකදීය. ජනපති උපදෙස් මත සංවිධානය වූ මෙම රාත්‍රි භෝජන සංග්‍රහය රසවත් එකක් වූවේ සිංහල හා ජපන් ගීතවලින් සවන් පිරී ඉතිරී යාම නිසාවෙනි.
ඇමැති මනූෂ තබ්ලා ගසද්දී ෆුජුමාරු ඇමැති ඇතුළු පිරිස ගීත ගයන්නට වූහ. අවසානගේ ගී ගයමින් නටමින් මොවුන් විනෝද වූවේ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය අගය කරමිනි.

මෙහෙන් ජපන් එහෙන් සිංහල

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මුණගැසුණේ ජපන් විදේශ ඇමති සමඟ පැමිණි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ අයිවස් කිචරෝය.

මෙරට ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් යෝජනා 4 ක් මහලේකම්වරයා විසින් ජපන් අධ්‍යක්ෂවරයා වෙත යොමු කළේ මේ හමුවේදීය. ඉංග්‍රීසි භාෂාවෙන් ආරම්භ වූ මෙම කතා බහ අවසන් වූවේ ජපන් හා සිංහල භාෂාවන් ගෙනි.  ඒ ඔවුන් දෙදෙනා සමුගනිද්දී මහලේකම් රංගේ ජපන් භාෂාවෙන් ඔහුට සුබ පතද්දී, ජපන් අධ්‍යක්ෂවරයා සිංහලෙන් සුබ පැතීමත් සමඟය. මහලේකම් මේ ගැන විමසද්දී ඔහුට දැන ගැනීමට ලැබුණේ අයිවස් කිචරෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව ඉගෙන ගෙන ඇති බවය.

මහලේකම්ට ජපන් භාෂාව ඉගෙනීමට ආරාධනා කරමින් අධ්‍යක්ෂ අයිවස් කිඩරෝ සමුගත්තේ ලේකම් රංගේ ඉදිරිපත් කළ යෝජනා ජපන් රජයට බාරදෙන බව කියමිනි.

තියන වතුර ටික කුඹුරට දෙනවාද? විදුලියට දෙනවාද?  

ගෙවී ගිය සතියේ රටේම කතාබහට ලක් වූයේ දේශපාලනයට එහා ගිය වෙනත් කාරණා සම්බන්ධයෙනි. රටේ ඇතිවෙමින් තිබෙන නියඟය ඉන් එක් කරුණකි. දෙවැන්න වතුර බිල පසුගිය සතියේ වැඩිවීමය. 
නියඟය දිනෙන් දින උග්‍ර වෙමින් තිබිය දී වගා බිම් ද විනාශ වීමේ බරපතළ තර්ජනයකට ලක්ව ඇත. උඩවලව ජලාශය සිඳීයාම නිසා  කුඹුරු අක්කර හැත්තෑ පන්දහසක් පමණ විනාශ වී යාමේ අර්බුදයකට ලක් වෙමින් තිබෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ද ගිය සතියේ කීවේය. 


ඔහු එහි බරපතළකම තේරුම්ගෙන මේ කාරණය කැබිනට් මණ්ඩලයට ගෙන ගියත්, වාර්තා වන අන්දමට නම් ඒ සම්බන්ධයෙන්  කැබිට්ටුවේ එතරම් අවධානයක් යොමු වී ඇති බවක් නොපෙනේ. ඔහු කියා තිබුණේ සමනල වැවෙන් විදුලිබල නිෂ්පාදනයට දෙන වතුර ප්‍රමාණය අඩුකර, මෙම කුඹුරු ප්‍රමාණය බේරා ගැනීම සඳහා උඩවලව ජලාශයට ජලය මුදා හරින ලෙස ය. 


සමනල වැවේ වතුර උඩවලව ජලාශයට මුදා හැරියහොත් දකුණු පළාතේ පැය කීපයක් විදුලිය විසන්ධි කිරීමට  සිදුවන බවත්, එහෙත් වැදගත් වන්නේ කුඹුරුවලට වතුර දීම බවත් ඇමැතිවරයා කියා තිබිණි. එහෙත් වාර්තා වන අන්දමට අමරවීර සමග හිට ගත්තේ, වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ පමණය. ඔහු කීවේ ද කුඹුරු සඳහා වතුර ලබාදිය යුතු බවය. අනිත් ඇමැතිවරුන් එකහෙළා කියා තිබුණේ, විදුලිය කැපීමට එකඟ විය නොහැකි බවය.

පොහොට්ටුවේ අර්බුදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මේ වන වනවිට බරපතළ අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී. මහ මැතිවරණයේ දී පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 144ක් ලැබුණ ද කණ්ඩායම් ගණනාවක් අවස්ථා කිහිපයක දී ඉන් ඉවත් විය. පිරිසක් ආණ්ඩුවේය. පිරිසක් විපක්ෂයේ ය. තවත් සමහරු ස්වාධීන වෙලාය. 

 

අලු‍ත්ම තත්ත්වය නම් නිමල් ලන්සා ඇතුළු කණ්ඩායමක් පොහොට්ටුවේ තවත් පිරිසක් එක්කර ගනිමින් නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කිරීමය. මෙම  කණ්ඩායම පොහොට්ටුවේ  මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් තම කණ්ඩායම සමග එක්වන ලෙස ඉල්ලීම් කරමින් සිටී. නිමල් ලන්සා උග්‍ර බැසිල් වාදියෙකි. එපමණක් නොව, ඔහු සමඟ එක්ව සිටින එස්. අමරසිංහ ද උග්‍ර බැසිල් වාදියෙකි. මේ දෙදෙනාම දැන් බැසිල්ගෙන් ඈත් වී ජනාධිපතිවරයාට එක්ව සිටිති. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීම ය.

මේ තත්ත්වය පොහොට්ටුවේ අනාගතයට  එතරම් සුබදායක නැත. ඇතිව තිබෙන  තත්ත්වය හමුවේ පොහොට්ටුවේ නායකයන් ද කලබල වෙලා ය. පොහොට්ටුවේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගිය  සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූයේ මේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ය. වාර්තා වන අන්දමට මේ හමුව සිදුව ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන තිරු නඩේශන්ගේ නිවසේය. 


බැසිල් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ලන්සලාගේ මේ ක්‍රියාදාමයට ඉඩ  නොදෙන ලෙසය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නොලැබීම එතරම් ගැටලුවක් නොවන නමුත්, මෙය ගැටලු‍වක් බව ඔහු එහි දී ප්‍රකාශ කර ඇත. මේ හමුව සිදුව ඇත්තේ ඉකුත් ඉරිදා හවසය. 


පහුවදා උදේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  නිමල් ලන්සා ජනාධිපති කාර්යාලයට  කැඳවීය. ලන්සා ජනාධිපති කාර්යාලයට අලු‍තින් කැඳවන්නට ද දෙයක් නැත. මාස කීපයක සිට ඔහු සිටින්නේ ජනාධිපති කාර්යාලයේය. ඔහු ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර, ඔහුට ඒ වෙනුවෙන් එහි වෙනම කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක් ද දී ඇත. ඔහුගේ  කණ්ඩායමේ ප්‍රබලයකු වන, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර සිටින්නේ ද ලන්සා  සමගය. ඔහු ද ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකි. කෙසේ හෝ ගිය සතියේ සඳුදා උදේ  තමා වෙත කැඳවූ ලන්සාට ජනාධිපතිවරයා බැසිල් කියා තිබූ කාරණා ගැන දැනුම් දී ඇත. ලන්සාගේ ක්‍රියාමාර්ග නතර කරන්නට ඉල්ලීමක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඉදිරිපත් වී නැත. බැසිල් කියා තිබූ දේ පමණක් ලන්සාට පවසා ඇත. ඔහු  කටයුතු කරන්නේ ද ජනාධිපතිවරයාගේ අනුදැනුම මත බව දැන් පැහැදිලිය.

ලන්සලා, නිමල්ලා රනිල්ගේ  ගුණවයති 

කොළඹ මහගමසේකර මාවතේ පිහිටි මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිල නිවසේ දී ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ හදිසි රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබිණි. ඊට ආණ්ඩුවේ සුසිල් ප්‍රේම ජයන්ත, නලින් ප්‍රනාන්දු යන ඇමැතිවරු ද, පොහොට්ටුවෙන් ගැලවී ස්වාධීනව සිටින ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, පියංකර ජයරත්න, නිමල් ලන්සා යන මන්ත්‍රීවරු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ. 
ජනාධිපතිවරණය දේශපාලන කටයුතු මෙන්ම  ජනාධිපතිවරණය ගැන සලකා නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. මධුවිත තොලගාමින් පිරිස කතාබහ කරමින් සිටින අතර අමරවීරගේ බිරිඳ ඔවුන්ට රාත්‍රී කෑම සූදානම් කර තිබිණි.


කතාබහ යන අතරේ ප්‍රියංකර ජයරත්න කිව්වේ, පොහොට්ටුවේ අය කලබල වී ඇති බවය. බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හමු වූයේ ද ඒ නිසා බව ප්‍රියංකර කියද්දී ”‍ඕවා ගණන් ගන්න එපා මචං අපි ආප්පයක් කාලා අපේ වැඩ කරමු’’ යැයි අනුර යාපා හිනාවෙමින් කීවේය.


සුසිල් ප්‍රේමජයන්ත කිව්වේ ‘‘අමරවීරගේ ගෙදර ආප්ප නං වරදින් නැහැ, හැබැයි ආප්ප කන්න නම් බයයි’’ යනුවෙනි.

ජෝන් සෙනෙවිරත්න කීවේ ‘‘පොහොට්ටුවේ අයට  මුල මතක නෑ. ඒ ගොල්ලෝ ඔය විදියට හැසිරෙන්නේ ඒ නිසා’’ යැයි කියාය. ‘‘පොහොට්ටුවට පාන් කියා ගන්න බැරිව හිටියේ පාරෙ බැහැල යන්නත් බැරි වුණා. හැබැයි දැන් ඒවා මතක නෑ”‍ නිමල් සිරිපාල කීවේය. ලන්සා කීවේ ඒක නං ඇත්ත, ජනාධිපතිතුමා තමයි පාරේ බැහැලා යන්න හරි හදලා දුන්නේ. එහෙම තියෙද්දී පොහොට්ටුවේ අය ඉස්සරහට දාලා ජනාධිපතිතුමාටත් ගහනවා කියාය.

මේ පිරිස සූදානම්  වන්නේ ජනාධිපති වරණයේ දී රනිල්ට සහාය දී නව සන්ධානයක් ගොඩ නැගීමට බව කෙරුණු කතාබහවලින් පැහැදිලි විය. මේ අනුව ඔවුන්ගේ අදහස වූයේ මෙම සන්ධානය ගොඩනැගීමේ කටයුතු කඩිනම් කළ යුතු බවය.


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස් මෙන්ම කුමාර වෙල්ගම ඇතුළු කණ්ඩායම සමඟ ද සාකච්ඡා කිරීමට එහිදී තීරණය විය.

පොහොට්ටුවේ ජගත් සජිත්  එක්ක සෝමාවතිය වඳියි 

පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරයකු වන එස්.ඒ.ඩී. ජගත් කුමාර ගිය සතියේ පොළොන්නරුවේ පැවති සමෘද්ධි  නිලධාරීන්ගේ සංගමයේ සමුළුවකට සහභාගී වීමට ගිය  අතරේ සෝමාවතිය වැඳ පුදා ගන්නට ද ගියේය. ඔහු  යද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය බිරිය ජලනි ප්‍රේමදාස සමඟ පැමිණ සිටියේය.
මෙවර සෝමාවතියේ කඨින පින්කමේ දායකත්වය දරන්නේ ජලනි ප්‍රේමදාස මහත්මිය බැවින් වස් ආරාධනාව කරන්නට සජිත් සහ බිරිය දෙදෙනාම පැමිණ සිටියහ.
ජගත් දුටු සජිත් කීවේ අන්න  ඔයාලගේ සමෘද්ධියේ කට්ටිය  ඇවිල්ල මං  හමුවුණා. සමෘද්ධිය අහෝසි වෙන්න අපි ඉඩ දෙන්නෙ නෑ. අස්වැසුමට තෝරගෙන තියෙන්නෙ වැරදි නිර්ණායක අනුවයි”‍ කියාය.


‘‘අපි දැන් පූජාවට සම්බන්ධවෙනවා. ඔයත් අපිත් එක්ක එන්න”‍ යැයි සජිත් ජගත්ට කීවේය. ඒ අනුව ඔහු ද සජිත් සමඟ පෙරහරෙන්ම ගොස් පූජාවට සම්බන්ධ විය. මේ කටයුතු හමාර වන්නට ඔන්න මෙන්න තිබිය දී තවත් පුද්ගලයෙක් ආවේය. ඒ රාජ්‍ය ඇමැති සිරිපාල      ගම්ලත් ය.

ෂාන් වතුර නාලා 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී  පැවැත්වෙන මැතිවරණ සඳහා සූදානම් වෙමින් ආසන මට්ටමේ පවත්වන රැස්වීම් මාලාව අම්බලන්ගොඩ ආසනයෙන් පසුගිය දා ආරම්භ විය. අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සභාපතිවරයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන්  විජයලාල් ද සිල්වා මහතාගේ සංවිධායකත්වයෙන් පැවති එම රැස්වීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ. 


රැස්වීම් මාලාවේ ආරම්භය බැවින්, රථ පෙළපාලි ඇතුළු අංග රැසක් ද ඒ සඳහා සූදානම් කර තිබිණි. රැස්වීම පැවැත්වුණේ ගෝනාපිනුවල හෝටල් ශාලාවක ය.
රැස්වීම යන අතරේ සංස්කෘතික අංග කිහිපයක් ද එක්කර තිබු අතර, එහි එක් අංගයක් වූයේ ප්‍රකට ගායක ක්‍රිස්ටෝපර් පෝල් ගේ ‘‘වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා’’ ගීතයට ඉදිරිපත් කළ නර්තනයකි. 


එය  වේදිකාවේ ඉදිරිපත් වෙද්දී සභාවේ සිටි පිරිසක් ද මැදට පැන ඒ අනුව නටන්නට වූ අතර, රැස්වීමේ සංවිධායකවරයා වූ ෂාන්ට ද  ඔවුන්ගෙන් බේරුමක් නොවීය. පසුව ෂාන් ද ඔවුන් අතරට එක්ව නටන්නට විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නටන්නට  ඉදිරිපත් නොවූයේ බොහොම අමාරුවෙනි. 

ඔහු සිය කතාවේ දී කීවේ තමාට නටන්නට ආස හිතුණත්  බොහෝ අමාරුවෙන් තදකරගෙන සිටි බවය. ‘‘තමා ඔවුන් සමග එක්ව නැටුවේ නම් සමාජ මාධ්‍ය කාර්යන් පසු දින තමා නා වන බව’’ ඔහු කීවේ පිරිස හිනස්සවමිනි

මේ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ගේ කණ්ඩායම ද ගිය  සතියේ, නාවල පක්ෂ කාර්යාලය දී රැස් වී, දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදුණි. මහාචාර්ය ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඊට සහභාගී වී සිටි අතර, එහිදී තීරණය කළේ දැනට පවත්වාගෙන යන රැස්වීම් මාලාව දිස්ත්‍රික් මට්ටමින් තවදුරටත් පවත්වාගෙන යන්නට ය.

උත්තර ලංකා විරෝධයට  සැරසෙයි  

මේ අතර  උත්තර ලංකා සභාගය ද  පක්ෂ මූලස්ථානයේ දී සඳුදා රැස්වූ අතර, වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. විමල්  වීරවංශ සහ කොමියුනිස්ට් පක්ෂයේ  ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ ඊට සහභාගී නොවූහ. ජනාධිපතිවරණය කලින් පැවැත්වීමේ සූදානමක් ඇති බවට  එහිදී සාකච්ඡා වූ අතර, ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව රට පුරා මතයක් ඇති කරන්නට ද තීරණය විය. මේ අතර 53 හර්තාලයට වසර හැත්තෑවක් පිරෙන  ලබන දොළොස් වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාවේ ඇතුළු කණ්ඩායම් එක්ව සැමරුම් උත්සවයක් පවත්වන්නට ද තීරණය විය.

සජිත් මිහින්තලේදී පොරොන්දුව

විපක්ෂ නායක සජිත් පසුගිය සතිය ගතකළේ අනුරාධපුරය මිහින්තලය ඇතුලු රජරට ප්‍රදේශයේය. ඒ අනුව සජිත්  මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අතර මිහින්තලා පුදබිමේ පැවැති අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.


  රටේ ලක්ෂ 220ක් වූ ජනතාව නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යවන අපේක්ෂකයන් ජනතාව ගැන සිතිය යුතු වුවත් පසුගිය කාලයේ බෙහෙත් විශවීම නිසා පුද්ගලයන් කිහිප දෙනකු මියගිය බවත් අවමංගල්‍ය ශාලා, රෝහල් ඉදිරිපිට අනාදිමත් කාලයක තිබුණත් එහි අරමුණ රෝහලට පැමිණෙන සියලු‍ දෙනාම මැරෙනවා කියන එක ⁣නොවන බවත් මිහින්තලා පුදබිමේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහිදී පැවසීය.


“මේ වන විට රටේ වෛද්‍යවරු රට හැර යනවා. ඒ වගේම බුද්ධිමතුන් රට හැර යනවා. මේවට වගකියන පුද්ගලයකු දැන් සොයාගන්න නෑ. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සමහර මැතිඇමැතිවරු බෙහෙත් පෙත්තෙන් පවා පගා ගන්නවා.”‍   නාහිමිපාණන් වහන්සේ පැවසූහ.

පසුගිය කාල⁣යේ මිහින්තලා නගරය අවට කිසිදු තැබෑරුමක් නොතිබුණත් පසුගිය දිනක සිට ළමුන් 8000ක් ඉගෙන ගන්නා රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය ඇමැතිවරයකුට අයත් බියර් තැබෑරුමක් ස්ථාපනය කළා.  මේ නිසා කිසි දිනක තැබෑරුමක් , මස් කඩයක් නොමැති නගරයක් ලෙස පැවැති මිහින්තලය නගරයේ ඒ වාර්තාව ⁣වත්මන් රජය විසින් බිඳ දැමුවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න”‍ උන්වහන්සේ  ඉල්ලා සිටියහ.

“ලබන වසරේ මිහින්තලයේ පොසොන් පෙරහරට, සති පිරිතට සහ ආලෝක පූජාවට මොන වගේ පිරිවැයක් යයිද අපේ හාමුදුරුවනේ?”‍  සජිත් එහිදී විමසීය.
“ඇස්තමේන්තු කරල තියෙන විදිහට කෝටි තුනක් හතරක් අතර ප්‍රමාණයක් යනවා”‍  නාහිමිපාණන් වහන්සේ පිළිතුරු දුන්හ.
“ඒ කටයුත්ත සහ වගකීම මම බාර ගන්නවා අපේ හාමුදුරුවනේ. සමගි ජන බලවේගයේ බෞද්ධ උපදේශන කමිටුව හරහා දායක වීමට සූදානම්”‍සජිත් එම අවස්ථාවේදී පැවසීය.
 “දේශපාලනඥයෝ විවිධ පොරොන්දු දෙනවා. නමුත් ඔබතුමා එහෙම නෑ කියලා මම දන්නවා.”‍ නාහිමියෝ පැවසූහ.


“සංස්කෘතික ඇමැතිවරයා ලෙස මිහින්තලා පුදබිමේ ලක්ෂ 3200ක වැඩ කටයුතු සිදු කළා. එම කටයුතු පසුගිය රජය සමයේ නැවැත්තුවා. මම යමක් පොරොන්දු    වුෙණාත් ඒක අනිවාර් යයෙන්ම ඉෂ්ට කරනවා අපේ හාමුදුරුවනේ”‍   සජිත්  පැවසීය.

■ ගජබා