නාමයෝජනා ගත් පසු ඡන්දය කල් යයිද ?


වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණයට නාම යෝජනා කැඳවීමේ නිල නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සතියේ නිකුත් කෙරෙනු ඇත. ඊට අදාළ මූලික කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් සකස් කරනු ලැබ ඇතැයි වාර්තා වේ. ඒ සඳහා මූලික පියවර තබමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ගිය සතියේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා සහකාර තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය. දිස්ත්‍රික් ලේකම්වරුන් හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු‍ කටයුතු ගැන දැනුවත් කර ඇත. කොමිෂන් සභාවේ සූදානම අනුව නම්, මැතිවරණය පෙබරවාරි මාසයේ පවත්වා මාර්තු මස 20 වැනිදාට පෙර සභාවල කටයුතු ස්ථාපිත කිරීමට හැකි වනු ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සූදානම එසේ වුවද, මැතිවරණය පැවැත්වීමේ සූදානමක ආණ්ඩුව නැත. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් කියන්නේ මැතිවරණයකට එම පක්ෂ දෙකම බය නැති බවය. එසේ වුව ද ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවලදී කියන්නේ මැතිවරණයක් පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ නැති බවය. එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව එළිපිට මැතිවරණයක් සඳහා සූදානම් වන බව කීව ද මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අකැමැත්ත වැඩි බවය. ඉන් කියැවෙන්නේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක සිටින බව ද යන සැකය බොහෝ දෙනා තුළ හටගෙන ඇත


මැතිවරණය යම් හෙයකින් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත්, එන්නෙ එකට බව ස්ථිරය. ඒ සඳහා පක්ෂ දෙකේ එකඟතාව පළ වී අවසන්ය.

හැටනව ලක්ෂය කඩන අලු‍ත් සන්ධානය

 

 පොහොට්ටුව සහ එජාපය එකට එකතු වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, 43 වැනි සේනාංකය, අනුර යාපා කණ්ඩායම සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය යන පක්ෂ හා කණ්ඩායම් අලු‍ත් සන්ධානයක් ගොඩනැගීමට මුලපුරමින් සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, නිදහස ජනතා සභාවත් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත. එම පක්ෂ හා කණ්ඩායම් අතර ගිය සතියේ සාකච්ඡා වට ගණනාවක්ම මේ සම්බන්ධයෙන් පැවැත්විණි. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ නිදහස ජනතා සභාව අතර සාකච්ඡා පැවැත්වූ අතර, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ෂාන් විජයලාල් ද සිල්වා සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු සහභාගි වූහ. නිදහස ජනතා සභාව වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරු සහභාගි වූහ. ඔවුන් ගිය සතියේ සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර, හිටපු ජනපති මෛත්‍රීගේ නිල නිවසේදී පෙරේදා ද ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රීලනිපයේ චමිල ලියනගේ, ධම්ම දිසානායක මෛත්‍රී සමඟ ඊට සම්බන්ධ වූ අතර, නිදහස ජනතා සභාව වෙනුවෙන්, ඩලස්, ජීඑල්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඩලස්ලාගේ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සමඟ ද සාකච්ඡා කර ඇති අතර, 42 වැනි සේනාංකයේ චම්පික රණවක ද හමුවී සාකච්ඡා කළේය. චම්පික රණවක සමග සාකච්ඡාව පැවැත්වුණේ ජී.එල්. පීරිස් ඇමතිවරයාගේ නිවසේදීය. ජී.එල්. සමග ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු ඊට සම්බන්ධ වූ අතර, අලු‍තින්ම සෑදෙන සන්ධානය සඳහා චම්පිකගේ ද එකඟතාව පළ වී ඇතැයි වාර්තා වේ.


මේ අතර, නිදහස ජනතා සභාව අනුර යාපා මහතාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සමග ද සාකච්ඡා ආරම්භ කර ඇත. අනුර යාපා මහතා සමග සිටි කණ්ඩායමේ කිහිප දෙනෙකු මේ වන විට ඉන් ඉවත්ව ආණ්ඩුවට සහ සමගි ජන බලවේගයට සම්බන්ධ වී ඇතැයි පැවසේ. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න සහ සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ අයවැයට පක්ෂව ආණ්ඩුව සමග එක්ව ඡන්දය දුන් අතර, තවත් මන්ත්‍රීවරයෙකු සමගි ජන බලවේගය සමග සම්බන්ධවීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. පියංකර ජයරත්න හා ජයරත්න හේරත් යන දෙදෙනා අනුර යාපා කණ්ඩායම සමඟ තවදුරටත් සිටින බව ද දැනගන්නට ඇත.


ශ්‍රීලනිපය, ඩලස්, විමල්ලා, ගම්මන්පිලලාගේ කණ්ඩායම එක්ව පිහිටුවන සන්ධානය අලු‍ත් නමකින් හා අලුත් ලකුණක් යටතේ පිහිටුවිය යුතු බවට ද අදහස් ප්‍රකාශ වී ඇත. පිරිසක් යෝජනා කර ඇත්තේ එම සන්ධානයට සමගි ජන බලවේගය ද සම්බන්ධ කර ගත යුතු බවය. ආණ්ඩු විරෝධී ඡන්ද බෙදීයාමට ඉඩ නොදී එකට එකතු කළ යුතු බව ඔවුන්ගේ තර්කය වී ඇත. තවත් පිරිසකගේ අදහස ඊට වෙනස්ය. මෙසේ පිහිටුවන නව සන්ධානයේ ඉලක්කය වී ඇත්තේ පොහොට්ටුවට පසුගිය ජනාධිපතිවරණයේ දී ලැබුණු හැටනව ලක්ෂයේ ජනවරම ඉවත් කර ගැනීමය. සමගි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු පක්ෂ එක්ව පිහිටුවන සංධානයකින් එය කරගැනීම ගැටලු‍සහගත බව තවත් පිරිසකගේ මතය වී ඇත. ඔවුන් කියන්නේ සමගි ජන බලවේගය වෙනම තරග කරන අතර, විපක්ෂයේ සෙසු පක්ෂ එක්ව නව සන්ධානයක් යටතේ තරග කර පොහොට්ටුවට ලැබුණු හැටනව ලක්ෂය කැඩිය යුතු බවය.


එම නව සන්ධානය පිහිටුවීමේ කටයුතු සාර්ථක වී ඇති බව ඊට සම්බන්ධ වූ පක්ෂ නායකයෝ කිහිපදෙනෙක්ම සඳහන් කළහ. ඒ පිළිබඳ තවත් සාකච්ඡාවක් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවසේදී පැවැත්විණි. ඊට ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ලලිත් එල්ලාවල ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.

 

 

රාජ්‍ය ඇමැතිගේ රෙදි ගැලවූ කොරියන් නියෝජිතයා

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ඉකුත් බදාදා පැවැති උත්සවයකදී දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපතිවරයා රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයක් එල්ල කළේ ඔහු සහ ඔහුගේ නිලධාරීන් විනාඩි තිහක් පමණ ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමිනි. ඔහුගේ ප්‍රකාශය ඇමතිවරයා ඉලක්ක කරගෙන කළ ප්‍රකාශයක් වුවද ඇතැම් වචන දෙස බැලූ විට එය රාජ්‍ය ඇමතිවරයාගේ පමණක් නොව, මුළු රටේම රෙද්ද ගැලෙව්වා හා සමානය. ඔහු කීවේ ප්‍රමාද වී වැඩ කිරීම මේ රටේ සංස්කෘතිය වී ඇති බවය.


හිටපු ඇමැතිට හූ සංග්‍රහයක්

රාජගිරිය ප්‍රදේශයේ දී හිටපු කැබිනට් ඇමැතිවරයකුට එහි සිටි පිරිසකගෙන් විරෝධයක් එල්ල වූයේ ගිය සතියේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරන හිටපු ඇමැතිවරයා පෞද්ගලික නිවසේ සිට සිය වාහනයෙන් යමින් සිටියදී රාජගිරිය නගරයේදී මෙම විරෝධතාව එල්ල වී ඇත. එය ගණනකට නොගත් හිටපු ඇමැතිවරයා පිම්මේම වාහනයෙන් පිටව ගිය බව දැනගන්නට ඇත. ආණ්ඩුවේ කටකාර මන්ත්‍රීවරයෙකු වන හෙතෙම කඳුකර පළාතක් නියෝජනය කරන්නකු බව ද පැවසේ.

සමාජ මාධ්‍ය ප්‍රසන්නට පහරදෙයි

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පසුගිය සතියේ මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව කළ ප්‍රකාශයක් ගිය සතියේ සමාජ මාධ්‍ය තුළ කැලඹීමට ලක් කළේය. වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී සිටි ප්‍රසන්න හමුවීමට ආ තරුණයන් කිහිපදෙනෙකු එහි වෙළෙඳ සල් කිහිපයක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය බව ප්‍රසන්නට පවසා තිබිණි. ඔවුන් හඳුනාගත් ප්‍රසන්න එක්වරම ඔවුන්ට කියා තිබුණේ මල්ලිලා දැකලා පුරුදුයි අරගලයේ හිටිය නේද කියාය. අරගලයට යාම ගැන ඔහු ඔවුන්ට දැඩි විවේචනයක් එල්ල කළේය. මේ ප්‍රකාශය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පළවීමත් සමඟ සමාජයේ බොහෝ දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසන්නට දැඩි විවේචනයක් එල්ල විය. ඒ ගැන දැන ගත් අගමැති දිනේෂ් ගුණවර්ධන ද ප්‍රසන්නට කතා කර සිද්ධිය ගැන විමසා සිටියේය. ඔහු ඇසුවේ ප්‍රසන්න සෝෂල් මීඩියාවලින් ඔයාට හොඳටම ගහන්නෙ මොකද කියාය. අරගලයේ හිටපු තරුණයන් හතර දෙනෙක් මාව හම්බවෙන්න ආවා. මං එයාලත් එක්ක කතා කළා. ඒගොල්ලො මම දන්න අයනේ. මම කියන්න ඕන දේ කෙළින්ම එයාලට කිව්වා යැයි ප්‍රසන්න කීවේය. අගමැතිවරයා කීවේ ඔයා ඉතින් කියන්න ඕන දේ කෙළින්ම කියන මිනිහනෙ කියාය.

සජිත් පනස් වැනි පාසල් බසයත් බෙදයි

පසුගිය සතිය මුළුල්ලේම විපක්ෂ නායක සජිත් සම්පූර්ණයෙන්ම වාගේ කාර්යබහුල වූයේ ඔහුගේ මූලිකත්වයෙන් සිදු කරන ප්‍රධාන පෙළේ වැඩ කටයුතු තුනක් හේතුකොටගෙන ය.
ඒ, සක්වල, හුස්ම සහ බස්රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ය.


“අලු‍ත් අවුරුද්දට කලින් බස්රථ 50ක් පරිත්‍යාග කිරීම සම්පූර්ණ කරන්න ඕනෑ”‍
සජිත් සිය කණ්ඩායමට උපදෙස් දී තිබුණේ එසේය. ඒ අනුව ඇතැම් දිනවල බස්රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය.
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පරිත්‍යාග කරන 45 වැනි බස්රථය කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයටත්, 46 වැනි බස් රථ ය අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයටත් ප්‍රදානය කිරීම සිදුකොට එදිනම 47 වැනි බස්රථය පො/තෝපාවැව ජාතික පාසලට ප්‍රදානය කිරීමට පිටත් විය.
ඊට පසුදා නාවුලට ගිය සජිත් ශ්‍රී නාග ජාතික පාසලට 48 වැනි බස් රථය පරිත්‍යාග කරනු ලැබීය. 49 වැනි බස් රථය බෙන්තර ගාමිණී ජාතික පාසලට පරිත්‍යාග කළ සජිත් 50 වැනි බස් රථ පරිත්‍යාග කිරීමේ කඩඉම අඟහරුවාදා සම්පූර්ණ කරයි.


සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන යටතේ පරිත්‍යාග කරන රෝහල් උපකරණ ත්‍රිකුණාමලය රෝහලට ප්‍රදානය කිරීම ද පසුගිය සතියේ සිදුවූ අතර මඩකළපුව රෝහලට ද රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමක් සිදුවිය.
“ඇස් කන් තියෙන ඕනම මනුස්සයෙකුට පේනවා මේ මනුස්සයත් මොන තරම් වැඩ කරනවද කියලා. ඒවටත් හිනා වෙනවා කියන්නේ දේශපාලන නිවටයෝ”‍
පොළොන්නරුවේ දී කිංස් නෙල්සන් කීවේය.


“සමහරුන්ට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නායකතුමා බස් එක ඩ්‍රයිව් කරගෙන යන එක”‍
“ගොඩක්ම රිදිලා තියෙන්නෙ ජේවීපී එකට.”‍ නලින් බණ්ඩාර කීවේය.
සජිත් විසින් ගෙන යනු ලබන මේ වැඩසටහන් පිළිබඳව දිගින් දිගටම ඇතැම් සුළු පිරිසකගෙන් සිදුවන අවලාද, අපහාස, උපහාස පිළිබඳව මන්ත්‍රීවරුන් පමණක් නොව සාමාන්‍ය ජනතාව පවා කතා කළේ වේදනාවෙන් ය.
“බස් ගිනි තියපු අය බස් එකක් දෙනකොට හිනා වෙනවා. පොදු දේපළ විනාශ කරපු අය කොහොමත් පොදු දේපළවලට ඉරිසියා කරනවා.”‍ යන යන සෑම තැනකදීම ජනතාව කීවේ එවැනි කතාය.


“මේ වන විට ප්‍රධාන රෝහල්වල වේදනා නාශක ඖෂධ, බෝවන රෝග සඳහා ලබාදෙන සරල ඖෂධ ඇතුළු ජීවිතාරක්‍ෂක ඖෂධ දක්වා ඖෂධ රැසක හිඟයක් ඇති වී තිබෙනවා කියලා වාර්තා වෙනවා.


දෛනිකව සිදු කිරීමට සැලසුම්කර ඇති ශල්‍යකර්ම සීමා කිරීමට සිදුවෙලා කියලත් වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් ප්‍රධාන රෝහල්වල මාසයකට පමණ ප්‍රමාණවත් ඖෂධ තොග තිබිය යුතුයි. අවාසනාවකට බොහෝ රෝහල්වල තියෙන්නෙ දින කිහිපයකට ප්‍රමාණවත් ඖෂධ පමණයි. මේක ඉතාම භයානක තත්වයක්.”‍
එහෙම කීවේ ගයන්ත කරුණාතිලක ය.


“අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ.”‍ එහෙම කීවේ මහලේකම් රංජිත් ය.
“ආණ්ඩුව මිනිසුන්ගේ ජීවිත බිලිගන්න වැඩ කරනවා. අපි මිනිස් ජීවිත බේරා ගන්න වැඩ කරනවා. ආණ්ඩුව මිනිසුන්ගේ හිස මත බර පටවනවා. අපි මිනිසුන්ගේ හිතේ තියන බර සැහැල්ලු‍ කරන්න වැඩ කරනවා”‍ හර්ෂ කීවේය.


මේ අතර මඩකළපුව රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කළ අවස්ථාවේ සජිත් සංවේදී කතාවක් කළේය.
“අපි මිනිසුන්ට හුස්ම ගන්න උදව් කරන එක, මිනිසුන්ගේ හුස්ම හිර කරන කල්ලි වලට විහිළුවක් වෙන්න පුළුවන්. අපි මිනිස්සුන්ගෙ ජීවිත සුරක්ෂිත කරන්න කටයුතු කරන එක, මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිත කරන කල්ලිවලට පීඩාවක් වෙන්න පුළුවන්. අපිට පුළුවන් හැටියට මිනිස්සුන්ට ශක්තියක් වෙන එක, මිනිස්සුන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන කල්ලිවලට වේදනාවක් වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ.


අපි පාසල්වලට බස් දෙනකොට සමහරු හිනහා වෙනවා. අපි පාසල්වලට පරිගණක විද්‍යාගාර දෙනකොට සමහරු හිනහා වෙනවා. අපි මේ රටේ රෝහල් පද්ධතියට හුස්ම හරහා උදව් කරනකොටත් සමහරු හිනා වෙනවා. හොරුන්ට මල්මාලා දාන රටක, දේශපාලන ඩීල් කාරයින්ට පූජාසන හදන රටක, වේදිකාවල අනෙක් එකාව විවේචනය කර කර පුරාජේරු කයිවාරු කාරයින්ට අත්පොළසන් දෙන රටක අපි කරන සමාජ සත්කාරවලටත් හිනාවෙන සමහරු ඉන්න එක පුදුමයක් නෙවෙයි.
අපිට හිනාවෙන සමහරුන්ගේ දරුවෝ අපි පරිත්‍යාග කරන බස් රථවල නැගිලා සමහරවිට ඉස්කෝලේ යයි. ඒ නිසා මේ ගැරහුම් අවමාන අවලාද අපිට හොඳට පුරුදුයි”‍ සජිත් කීවේය.


එම අවස්ථාවට දෙමළ සන්ධානයේ රාසමානික්කම් මන්ත්‍රීවරයාද සහභාගී වී සිටියේය. ඔහු එහිදී අපූරු කතාවක් කළේය.
“මේ රටේ දෙමළ මිනිසුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙනුත් ඔබතුමා වෙහෙසෙනවා රටේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා. මොන විපක්ෂ නායකයෙක් ද මේ වගේ දේවල් කළේ. සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරු කළේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන රට අර්බුදයට ලක් කරන එක. හැබැයි ඔබතුමා ඊට වඩා ප්‍රගතිශීලී විදිහට වැඩ කරනවා. මම සෑහෙන කාලයක් තිස්සේ මඩකළපුව රෝහලට කැට්ලැබ් එකක් ඉල්ලනවා. අද වෙනකන් ඒක ලැබිලා නෑ. ඔබතුමා බලය නැතිව මේ තරම් විශාල වැඩ කොටසක් කරනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා, ඔබතුමා ඉතාමත්ම ඉක්මනින් රටේ නායකයා වුණාම මඩකළපු රෝහලට ප්‍රමුඛ කාර්යයක් විදිහට සලකලා කැට්ලැබ් එකක් ලබාදෙන්න”‍
තමන් ඒ ඉල්ලීම අනිවාර්යයෙන් ඉටු කරන බවට සජිත් සහතිකයක් දුන්නේය.

ජවිපෙ ආසන සමුළු දිගටම

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ඉකුත් සතියේ රැස්වූ අවස්ථාවේ ආසන සමුළුවලදී ලැබූ අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කළේය. එකිනෙකා තමන්ට ලැබුණු අත්දැකීම් ප්‍රකාශ කර සිටියේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ ගලගෙදර ආසනයේ ගම්මානයක වෙසෙන පවුල් 60 ක ජනතාව ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට තීරණය කරනු ලැබූ බවය. මෙම ගම්මානයේ විවිධ දේශපාලන පක්ෂවල සම්බන්ධ පවුල් සිටි අතර ඔවුන් සියලුම දෙනා ජාතික ජන බලවේගයට එක්වූ බව ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.


සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය. අරගලයේ යෙදුණු පිරිස් මර්දනය කිරීමට ගෙන යන රජයේ වැඩ පිළිවෙළට වි​​රෝධය දක්වමින් මෙහිදී අදහස් හුවමාරු විය. විදුලි බිල වැඩි කිරීම නිසා ජනතාව කබලෙන් ලිපට වැටීම හා ජනතාවගේ ජීවත්වීමේ ගැටලු පිළිබඳව ද මෙහිදී අදහස් පළ විය.


රටපුරා ආසන සමුළු සාර්ථක ලෙස පැවැත්වෙන බවත් ලබන පෙබරවාරි මාසයට පෙර සියලු ආසන සමුළු පවත්වා අවසන් කරන බවත් මෙහිදී කියැවිණි.
මේ අතර ඉතාලිය ඇතුළු රටවල් කීපයක වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව හමුවූ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 22 වැනිදා යළි මෙරටට පැමිණියේය.
පසුදා කුරුණෑගල පැවැති පක්ෂයේ රැළියටද ඔහු සහභාගි විය. සුනිල් හඳුන්නෙත්ති මහතා ජනවාරියේ ජපානයටද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය ජනවාරි අග එංගලන්තය බලා යාමටද තීරණය විය.
කුරුණෑගලින් පසු මීළඟ ජන රැළිය පානදුරේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

ගජබා