නමට පමණක් ඇමැති කවුද?


  • තෙල් ගේන්න ගම්මන්පිල ඩොලර් ඉල්ලයි
  • ගෑස් සිලින්ඩරයක් පුපුරායාම නිසා සිව් දරු මවක මියයාම ගැන තොරතුරු ලැබුණ වහාම සජිත් ඒ ගැන සොයා බැලු‍වේය. විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඔහු පක්ෂයේ නීතීඥ කණ්ඩායමක් කැඳවූවේය.
  • බැසිල් ඉල්ලීමක් කළේ ලබන වසරේ සංවර්ධන කමිටු වලින් කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මේ මස විසිපස් වැනිදාට පෙර දැනුම් දෙන ලෙසය.

 

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ දී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරනු ලැබීම දේශපාලන කරළියේ ද ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ. සැසිවාරය අවසන් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව හැරුණුකොට කෝප් කමිටුව ඇතුළු කාරක සභා සියල්ලම අහෝසි වනු ඇත. ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන තර්කය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට බලය ඇති බවය. එසේ වුව ද ආණ්ඩුවේ ම සමහර මැති ඇමැතිවරුන් සැසිවාරය මේ මොහොතේ අවසන් කිරීම සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයකින් කතා කරන බවක් පෙනෙන්නට නැත. 

 

ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු මෙන්ම, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ හිටපු සභාපතිවරයා වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ මේ මොහොතේ සැසිවාරය අවසන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොවන බවය. කෝප් කමිටුවත්, කෝපා කමිටුව සහ මුදල් කාරක සභාවත් පහුගිය කාලයේ ආන්දෝලනාත්මක කටයුතු රැසකට අත ගසා තිබූ බව පැහැදිලිය. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්ය. පසුගිය කාලයේ කෝප් කමිටුව තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් ආන්දෝලනාත්මක සිද්ධි රැසක් රටට හෙළි කළේය . කමිටු සභාපතිවරයා ලෙස ඔහු නැවත පත්වේදැයි යන්න ද පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කිහිපදෙනකු විමසා සිටි අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ සිදුවන දේවල් දෙස බලා සිටින බවය. කෝප් කමිටුව, කෝපා කමිටුව සහ මුදල් කමිටුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් යම් පැහැදීමකින් නොසිටි බවද වාර්තා විය.


පාර්ලිමේන්තු සැසිය කල් තැබූ ජනාධිපතිවරයා ඉකුත් සතියේ පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු වෛද්‍ය පරීක්ෂණ සඳහා පිටත්ව ගිය බව ද මාධ්‍යවල වාර්තා විය .


තෙල් ගේන්න ගම්මන්පිල ඩොලර් ඉල්ලයි


ජනාධිපතිවරයා නොමැති නිසා ගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සඳුදා සවස පහට පමණ රැස්වූ කැබිනට් රැස්වීම රාත්‍රී 9:30 පමණ දක්වා ඇදී ගියේ කැබිනට් පත්‍රිකාවලට අමතරව ආර්ථික අර්බුදය සහ ඩොලර් ප්‍රශ්නය සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කිරීම හේතුවෙනි. බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඩොලර් නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසක් පමණ වරායේ සිරවී ඇති බව ආනයනකරුවන් ප්‍රකාශ කර ඇති බව ය. “අල, පරිප්පු, ලූනු, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම කන්ටේනර්වල අඩංගු බවත්, නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් පරිප්පු පවා හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේය. අනතුරුව කතා කළේ උදය ගම්මන්පිල ඇමැතිවරයාය. ඔහු කිව්වෙ ඊට වඩා බරපතළ අර්බුදයක් සම්බන්ධයෙනි .“පරිප්පු නැති වුණොත් කවුපි හරි කන්න පුළුවන්”‍ හැබැයි තෙල් නැති වුණොත් මුකුත් කරන්න හම්බ වෙන්නේ නෑ. ලබන මාසෙට තෙල් ගෙන්වන්න ඩොලර් මිලියන හාරසිය විස්සක් අවශ්‍යයි. ඒත් සංස්ථාවට ඩොලර් නෑ. රුපියල් වලින් නම් ඒක හොයාගන්න පුළුවන්. ඩොලර් මිලියන 420ක් හොයාගන්න විදියක් නෑ”‍ගම්මන්පිල කීවේය.


වාසුදේව ඇමැතිවරයා යෝජනා කළේ ඉන්ධන ඉල්ලු‍ම අඩු කිරීම සඳහා කූපන් ක්‍රමයකට යා යුතු බවය. ඇමැතිවරු කිසිවකුගෙන් ඔහුගේ යෝජනාවට තල්ලු‍වක් නොලැබිණි. විමල් වීරවංශ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු ඇමතිවරු පිරිසක්ද ඩොලර් ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහ. වැඩිදෙනෙකු කීවේ මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ සහායක් ලබා ගත යුතු බව ය. සියලු‍ කතාබහ අසා සිටි බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා අනතුරුව කතා කළේය. ඔහු කිව්වේ ඩොලර් අර්බුදයක් තිබෙන බව පිළිගන්නා බවය. එය මගහරවා ගැනීම සඳහා ජපානය, චීනය, රුසියාව ඇතුළු මිත්‍ර රටවල් සමග සාකච්ඡා කර ගෙන යන බව කී බැසිල් තමා ඉන්දියාවේ කළ සංචාරය සාර්ථක වූ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරන බව කී හෙතෙම එහෙත් දැඩි කොන්දේසිවලට යටත්ව කටයුතු කිරීමට සූදානම් නොමැති බවද සඳහන් කළේය. ඒත් මේ කතා බහ අවසන් වූයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගන්නා අවසන් ක්‍රියාමාර්ගය කුමක්ද යන්න තීරණය කිරීමකින් තොරවය.


නමට පමණක් ඇමති කවුද?


කැබිනට් රැස්වීම හමාර වී එළියට එද්දී ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක් භාර කැබිනට් ඇමැතිවරකු සිය ඇමැති සගයන් සමග අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ මම කැබිනට් ඇමැති වුණාට මට කරන්න මොකුත්ම නෑ. ඔක්කොම කරන්නේ රාජ්‍ය ඇමැතිවරයා බවය. තමා නමට පමණක් ඇමැති බව ඔහු කීවේ දැඩි කලකිරීමකිනි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ හමුවක් අඟහරුවා දා අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ සංවර්ධන කමිටුවල කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ මහතාත්, විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇමතිවරුන් ඊට සම්බන්ධ නොවූයේ ඔවුන් එදින පෙරවරුවේ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීම හේතුවෙනි. ජී.එල්. සහ චමල් යන දෙදෙනාත් අගමැතිවරයා සමඟ හෙලිකොප්ටරයෙන් හම්බන්තොට බලා පිටත්ව ගිය අතර, නාමල් රාජපක්ෂ ඇමැතිවරයා සහ චීන තානාපතිවරයා හම්බන්තොට වරායට පැමිණ ගියහ. මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවේදී බැසිල් ඉල්ලීමක් කළේ ලබන වසරේ සංවර්ධන කමිටු වලින් කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මේ මස විසිපස් වැනිදාට පෙර දැනුම් දෙන ලෙසය.

 

බැසිල්ගේ අමාත්‍යංශයේ වැඩ බලන්න ජී.එල්.


ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ සිය බිරිය ද සමඟ පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගියේය. ඔහු ලබන විසිඅට වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව දැනගන්නට ඇත. බැසිල් ඇමරිකා ගිය නිසා වැඩබලන මුදල් ඇමැතිවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පත් කරනු ලැබීය.


වසරකින් කල් ගිය පුංචි ඡන්දය


පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන පෙබරවාරි මාසයේ අවසන් වීමට නියමිතය. එහෙත් මේ මොහොතේ ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවේ සූදානමක් නැත. ඒ වෙනුවට ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඡන්දය වසරකින් කල් දැමීමටය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉකුත් දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි. ඔහු ඉල්ලා ඇත්තේ පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමා, පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමටය. එය කැබිනට් මණ්ඩලය තුළ පසුගිය සතියේ සාකච්ඡාවට ලක් වූයේ නැත. ජනධිපතිවරයා දැනුම් දී තිබුණේ පළාත්පාලන ඇමැතිවරයාට ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසය.


වසර දෙකකට පසුව එන ජතික යෞවන ක්‍රීඩා උළෙල


ජාතික යෞවන ක්‍රීඩා උළෙල ගිය වසරේදී පැවැත්වීමට නොහැකි විය. ඒ වෙනුවට ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වීමට විෂයභාර ඇමැති නාමල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ පිළිබඳ සාකච්ඡාවක් ගිය සතියේ පැවැත්වුණේ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙනි. නාමල් ජාතික තරුණ සේවා සභාපති දමිත් වික්‍රමසිංහට කීවේ මහා භාණ්ඩාගාරය ඩොලර් අර්බුදයකට මුහුණ දී ඇති බැවින් පෞද්ගලික අංශයේ සහාය ඇතිව ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙසය.


පොහොට්ටුවේ අයට කට පරිස්සම් කරගන්න අමරවීර කියයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මහින්ද අමරවීර කැබිනට් ඇමැතිවරයෙකි. ඔහු ගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ ආණ්ඩුව කරන ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවය. ආණ්ඩුව දිගට ගෙන යාමට නම් පොහොට්ටුවේ සමහරුන් කට පරිස්සම් කර ගත යුතු බව ඔහු කීවේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ සහ බස්නාහිර පළාතේ සංවිධායකවරුන්ගේ හමුවක් පක්ෂ මූලස්ථානයේදී පැවැත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එය පැවැත්වුණේ වැඩමුළුවක් ආකාරයෙන්ය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන දම්ම දිසානායක ඇතුළු පිරිසක්ද එහිදී දේශන කිහිපයක් පැවැත් වූහ. අලු‍තින් පත් කරන්නට යන ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා විය පොහොර හිඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන්ද එහිදී හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වීය. ඔහු කීවේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙන්ම ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ආණ්ඩුව ජනතාවට වගකිවයුතු බවය.


සජබ මන්ත්‍රීවරුන් කතානායකගේ සාදය වර්ජනයේ


පාර්ලිමේන්තුවේ අය වැය විවාදය අවසානයේදී කතානායකවරයා විසින් ලබාදෙන රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී වූයේ නැත. ඒ වෙනුවට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස විසින් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සූදානම් කර තිබුණි.
කතානායකවරයාගේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සහභාගී නොවීමට ගත් තීරණය ගැන සියල්ලන්ම සිටියේ පොදු අදහසකය. ඒ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් කතානායකවරයාගේ රාත‍්‍රී භෝජන සංග්‍රහයත් අවශ්‍ය නැති බවය.


‘‘කතානායක හරියට ආණ්ඩුවේ කතානායක වගේනේ වැඩ කරන්නේ. එයාට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් අපි ඩිනර් එකට යන්න ඕනෑත් නෑ’’ එස්.එම්. මරික්කාර් කීවේය.
‘‘ආණ්ඩු පක්ෂයේ සංවිධායක නැගිටලා මොනවා හරි කියපු ගමන් කතානායකගේ තීරණයත් රිවස් වෙනවා. දැන් කතානායකත් ආණ්ඩුව වගේම තමයි. රිවස් ආණ්ඩුවට හරියන රිවස් කතානායක කෙනෙක් ඉන්නේ’’ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කතානායකගේ තීරණ ගැන අපූරු විග‍්‍රහයක් කළේය.
මන්ත‍්‍රීවරුන් අසුන්ගෙන සිටි මේසයෙන් මේසයට ගිය සජිත් ඔවුන් සමග දීර්ඝ වේලාවක් කතා කරමින් සිටියේය. බොහෝ දේශපාලන කරුණු ගැන ඔහු කතා කළේය.


‘‘මහලේකම්තුමා අර සාකච්ඡා ටික කොහොමද?’’සජිත් ඇසුවේය.
‘‘මට දැන් කට්ටිය හොරාට හොරාට කතා කරනවා. මමත් එක එක තැන් දාගෙන ඒ අය හමුවෙනවා’’මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘ඒකේ ඩීටේල් අපිටවත් දැන්ම කියන්න එපා. අවශ්‍ය අවස්ථාවේදී අපි අවශ්‍ය දේවල් කරමු’’සජිත් කීවේ රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා දෙසට හැරෙමිනි.


‘‘අපි අර අය හමුවෙන එකත් ඉක්මනට දාගනිමු. කණ්ඩායම් වශයෙන් හමුවෙමු’’සජිත් රාජිතට යෝජනා කළේය.


‘‘ආණ්ඩුවේ කලකිරිලා ඉන්න මන්ත‍්‍රීවරුන් ඉන්නවා. ඒ අයට අපිත් එක්ක එකතුවෙන්න පාරක් හදන්න ඕන. මහලේකම්තුමා ඒ වැඩකටයුත්ත කරගෙන යනවා. සිවිල් සංවිධාන එකතු කරගැනීමේ වැඩේ රාජිත සේනාරත්න ඇමැතිතුමා කරගෙන යනවා’’සජිත් පැහැදිළි කළේය.


මාධ්‍ය සාකච්ඡා සජබ කාර්යාලයට


පසුගිය සතියේදී පක්ෂයේ මාධ්‍ය සාකච්ඡා සියල්ල පැවැත්වුණේ සමගි ජන බලවේගය කාර්යාලයේය. මෙම මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ගැන සාකච්ඡා කරන අතරවාරයේදී මන්ත‍්‍රීවරුන්ට ලැබුණු ආරංචියකින් කියැවුණේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇති බවය.


ඒ අතරම තවත් ටික වේලාවකින් දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බවය.


මේ සමගින් සජිත් සූම් සාකච්ඡාවක් කැඳවූයේ ඇතිවන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය.
‘‘එකවරම පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම පිටුපස සැඟවුණ න්‍යායපත‍්‍රයක් තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග මුදල් කාරක සභාව, කෝප් කමිටුව, කෝපා කමිටුව අහෝසි වෙනවා. පසුගිය කාලයේදී සිදුවූ සීනි බදු වංචාව ගැන මුදල් කාරක සභාවට තමයි කරුණු අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණේ. මුදල් කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් නෙමෙයි. ආණ්ඩුවේ ඉන්න අනුර ප‍්‍රියදර්ශන යාපා ඇමැතිවරයා තමයි එහි සභාපතිවරයා විදියට කටයුතු කරන්නේ. මේ අය සොයා ගත් සීනි බදු වංචාව දැන් කෝපා කමිටුවට ඇවිත් තියෙනවා. දැන් සීනි බදු වංචාවේ වාර්තාව සභාගත කරන්න බෑ’’ සජිත් දීර්ඝ පැහැදිළි කිරීමක් කළේය.


‘‘පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කළත් හදාගෙන ගිය වාර්තා සියල්ලම සභාගත කරන්න අවස්ථාව දෙන්න කියලා පොදු එකගතාවයක් ඇතිකරගනිමු. ඒ කමිටුවල සිටි අයම මේවාට යළිත් පත් කළොත් පහසුවෙන් ඉතිරි වැඩ ටික අවසන් කරගන්න පුලු‍වන්’’ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා අලු‍ත් යෝජනාවක් කළේය.
‘‘ආණ්ඩුවේ අයම තමයි රාජපක්ෂලාගේ හොරකම්වලට විරුද්ධව කතා කරන්නේ. දැන් හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීතුමාලා, අපි මුදල් කාරක සභාවේ ඉඳලා සීනි වංචාව ගැන කරුණු අනාවරණය කරගත්තා. සීනි බදු වංචාවට හවුල් වුණ කෙනා ලොක්කන්ව සිංගප්පූරු එක්කගෙන ගියා කියලා තමයි සමාජ මාධ්‍යයේ කතා වෙන්නේ’’ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘මේ හොරකම් වහගන්න තමයි සේරම දේවල් කරන්නේ. ඒවා යට යන්න නොදී ඉදිරියට ගැනීමට අපි අවශ්‍ය කටයුතු කරන්න ඕනෑ’’ ජේ. සී. අලවතුවල මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘ආයෝජන මණ්ඩලයේත් ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා කෝප් එකේ ඇදෙන්න තිබුණා’’ ඉරාන් වික්‍රමරත්න මන්ත‍්‍රීවරයා කීවේ ජනාධිපතිවරයාගේ තීරණය නිසා අහෝසිවී යන කෝප් කමිටුව ගැනය.


‘‘ආයෝජන මණ්ඩලයට ලොක්කෝ ටිකක් බඳවාගෙන ඒ අයට ලක්ෂ ගණනක් වැටුප් දීලා. මේ ගැන කෝප් කමිටුවේ සොයා බැලු‍වා. රුපියල් කෝටි 335ක මුදලක් වියදම් කරපු ආකාරය ගැන කෝප් කමිටුවේදී ප‍්‍රශ්න කළා. ඒවාට සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කැමැති වුණේ නෑ’’ සජිත් සැඟවුණ කරුණක් අනාවරණය කළේය.


‘‘ඒ ගැන විමර්ශනය කරන්න එපා කියලා කෝප් කමිටුවට තර්ජනය කරන්න තරම් මේ අයට හයියක් ලැබුණේ කොහොමද කියලා අපි සොයා බලන්න ඕනෑ’’ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා කීය.


‘‘මෙච්චර වියදම් කරලා ආයෝජන මණ්ඩල ආයෝජකයෝ අරගෙන ඇවිත් තියෙනවාද? ආයෝජකයින්ගෙන් කොමිස් සහ කප්පම් ගන්න ගිය නිසා ආයෝජකයෝ එන්නේ නෑ. ඒ වගේම තමයි ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළ වැටිලා’’ සජිත් කීය.


සජිත්ගෙන් නීති ආධාර


ගෑස් සිලින්ඩරයක් පුපුරායාම නිසා සිව් දරු මවක මියයාම ගැන තොරතුරු ලැබුණ වහාම සජිත් ඒ ගැන සොයා බැලු‍වේය. විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඔහු පක්ෂයේ නීතීඥ කණ්ඩායමක් කැඳවූවේය.
‘‘දැන් රට පුරාම ගෑස් ලිප් පුපුරනවා. ටැංකි ලීක් වෙනවා. ගිය සතියේදී දරුවෙක් ගෑස් පුපුරනවාට බයේ උඩ තට්ටුවකින් පැනලා කකුලක් කඩාගෙන තිබුණා. දැන් අම්මා කෙනෙක් මියගිහින්. මේවාට අපි මැදිහත්වෙන්න ඕනෑ. මේවාට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ජනතාවට අවශ්‍ය නීතිමය ආධාර ලබාදෙමු’’ සජිත් යෝජනා කළේය.


‘‘ඒ වෙනුවෙන් ලංකාවේ ඕනෑම තැනකදී නීතිමය සහාය දෙන්න නීතීඥ කණ්ඩායමක් රට පුරාම සූදානම් කරන්නම්’’ ජනාධිපති නීතීඥ තිසත් විජයගුණවර්ධන එම වගකීම කරට ගත්තේය.


‘‘ගෑස් ප‍්‍රශ්නයට පාරිභෝගික කටයුතු ඇමැතිවරුන්ට දෙන්න උත්තර නෑ. කොමිටි දාන එකද ආණ්ඩුවේ විසඳුම වෙන්නේ. ඒ නිසා වන්දි ලබාගැනීමට අවශ්‍ය සියලු‍ම නීතිමය සහාය ලබාදෙමු. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පක්ෂ මූලස්ථානයට ලබාදෙන ක්‍රමවේදයක් හදන්න’’ සජිත් උපදෙස් දුන්නේය.


එළවළු මිලදී ගන්න වෙලා තියෙන්නේ කරල් හැටියට
එජාප නියෝජ්‍ය නායක


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගියදා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීමටය.


මීට අමතරව නියෝජ්‍ය නායකවරයා ජාතික යොවුන් පෙරමුණේ පැරැණිම ක්‍රියාකාරීන්ගේ හමුවකටද සහභාගි විය. මෙම හමුව ජාතික සේවක සංගමයේ මූලස්ථානයේදී පැවැත්වුණි. පක්ෂයේ වැඩ කටයුතු සඳහා යොවුන් පෙරමුණේ පැරැණිම ක්‍රියාකාරීන්ගේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.


සතිපතා පැවැත්වෙන සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රුවන් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණි.


එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පාරිභෝගික ජනතාවට එළවළු මිලදී ගැනීමට සිදුවන්නේ කරල් වශයෙන් බවයි. බෝංචි කරලක් රුපියල් 15ක්, කැරට් අලයක් රුපියල් 25ක්, කොස් මදුලක් රුපියල් 10ක් වැනි මිලකට මිලදී ගැනීමට සිදුවන බව ප්‍රකාශ කළ ඒ මහතා ඩොලර් අර්බුදයට විසඳුමක් ලබා ගත හැක්කේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවද ප්‍රකාශ කළේය.


සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආකෘතියක්


හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා මේ වනවිට නායකත්වය දෙනු ලබන්නේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරටය. එකී ව්‍යාපාරය මේ දිනවල වඩාත් උනන්දුවක් දක්වන්නේ රටට යහපත් ආණ්ඩුකරණයක් උදෙසදා වන මැදිහත්වීම් කෙරෙහිය. වත්මන් රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටින්නේ යැයි කියන පසුබිමක සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රමුඛ මූලධර්ම හා මූලික ආකෘතියක අන්තර්ගතය ඇතුළත් යෝජනාවලියක්ද පසුගියදා සමාජගත කරන ලදී.
පසුගිය බදාදා කොළඹ දී පැවැති විශේෂ සමුළුවකදී එය මේ රටේ ප්‍රමුඛ ආගමික නායකයන්ද ඇතුළු, සිවිල් හා දේශපාලන ක්‍රියාකාරිකයන් සමූහයක් වෙත ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවට දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක්ද, කතෝලික හා ක්‍රිස්තියානි සභා නියෝජනය කරමින් පැමිණි රදගුරුවරුන් ප්‍රමුඛ පියතුමන්ලා පිරිසක්ද, ඉස්ලාම් හා හින්දු පූජකවරු පිරිසක්ද එක්ව සිටියහ. එය ලංකා ඉතිහාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සර්ව ආගමික සහ සිවිල් සමාජ එකතුවක් එකට එක්වී අවධානය යොමුකරන ලද දුර්ලභ අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.


එමෙන්ම රටේ විවිධ ප්‍රශ්න හා ගැටලු මුල් කරගනිමින් සමාජයේ විවිධ කොටස් ඒකාබද්ධ කර ගනිමින් සිදුකරන සංවාද මාලාවකට ද කරු ජයසූරිය මහතා සම්බන්ධ වෙමින් සිටී.


රටේ පවතින වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒවායෙන් බොහොමයක් සිදු කරන්නේ ZOOM තාක්ෂණය උපයෝගී කරගෙනය. ඒවාට බොහෝ පිරිසක් සම්බන්ධ වෙමින් සිටිති. පසුගිය ඉරිදා එහි 64 වන සංවාදය සිදු කෙරිණි.


මේ අතර පසුගිය සඳුදා කරු ජයසූරිය මහතාගේ නිවසට ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පැමිණියේය. එහිදී ජපාන ශ්‍රී ලංකා සුහදත්වයට ද පදනම් වූ කරුණු කාරණා පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ජපානයට ලබාදිය හැකි සහාය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. ජපානය මේ දක්වා ශ්‍රී ලංකාවට ලබාදී ඇති අනුපමේය සහය පිළිබඳව ද ජයසූරිය මහතා එහිදී ජපාන තානාපතිවරයා වෙත ස්තුතිය පළකර තිබේ.

 

 

 

-ගජබා-