දහතුනේ කලබලේ


පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඉකුත් සිකුරාදා දිනයේ දී සලකා බැලිණි.


මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලා සහ එය වළක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබුණේ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සැලසුම් කර ඇති බැවින්, එය නතර කිරීමේ අවශ්‍යතාවක් අධිකරණයට නොමැති බවය. ඒ අනුව මැතිවරණය ලබන මස නවවැනිදා පැවැත්වෙනු ඇත.


මැතිවරණය පැවැත්වේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතතාව හේතුවෙන් මැතිවරණ සටනට බැස තිබුණේ සමගි ජන බලවේගයක් ජාතික ජන බලවේගයත් පමණි. විපක්ෂයේ සෙසු පක්ෂ ද මැතිවරණ කටයුතු ආරම්භ කර තිබුණත් එතරම් උනන්දුවක් දක්නට නොලැබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද මැතිවරණය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නොතිබිණි. ඊට හේතු වූයේ මැතිවරණය කල් යනු ඇතැයි ආණ්ඩුව දැඩිව විශ්වාස කළ බැවිනි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සඳුදා හැන්දෑ වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මුලින්ම කතාබහට ලක්වුණේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පසුදා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය ගැන ය. ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට කිව්වේ ඔයාල සියලු‍ දෙනාම මෙම විවාදයට සහභාගි වන ලෙස ය. මන්ත්‍රීවරයකු නැගී සිටිමින් කියා සිටියේ ”‍සර් මේකට විපක්ෂය එන්නේ නෑනේ කියාය. ඒගොල්ලො ආවොත් ඒගොල්ලන්ගෙ අදහසත් ඉදිරිපත් කරන්න පුළුවන්. එයාල ආවත් නැතත් ඔයාලා විවාදය කරගෙන යන්න ජනාධිපතිවරයා කීවේ.


මේ අතරවාරයේ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා විමසා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියාය ‘සර් අපිටනං ඡන්දෙ කරන්න සල්ලි නෑ’ ජයතිලක කීවේය. ඔබතුමාට සල්ලි තියෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ, හැබැයි මට නං ඡන්දවලට දෙන්න සල්ලි නෑ යැයි ජනාධිපතිවරයා කීවේය. ඡන්දය තියෙනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. හැබැයි අපට ඡන්ද කරන්න සල්ලි නෑ ජනාධිපතිවරයා නැවත කීවේය.


මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධයෙන් සරත් වීරසේකර මන්ත්‍රීවරයා වෙනත් කතාවක් මතු කළේය. සරත් ගේ කතාවට ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගියේය. ඔබතුමා ඕවා කතා කරලා නිකං විපක්ෂයට අලු‍ත් මාතෘකා හදලා දෙන්න එපා යැයි ජනාධිපතිවරයා සරත්ට කීවේය.

ජවිපෙ ප්‍රසන්නගේ නිවෙසට යයි

සතියේ තලවතුගොඩ ප්‍රදේශයේ කැන්වසින් යන අතරේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ නිවසටද ගොඩ විය. ඔවුන් පැමිණි විට ප්‍රසන්නගේ නිවසේ ආරක්ෂකයන් පැමිණ කීවේ මේ ප්‍රසන්න රණතුංග ඇමැතිතුමාගේ ගෙදර කියාය. පිරිස හැරී යන්නට සූදානම් වෙද්දී සද්දය ඇසී ප්‍රසන්න පැමිණ ආරක්ෂකයාට කීවේ ඔවුන්ට නිවසට    පැමි​ෙණන ලෙස දන්වන්නැයි කියාය. ඔවුන් කීවේ මේ ඔබතුමාගේ ගෙදර කියලා අපි දන්නේ නෑ කියාය. ‘ඒකට කමක් නෑ. ගෙවල් ගිනි තියන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන එක හොඳයි’ ප්‍රසන්න කීවේය .ඔහු ඔවුන්ට සිසිල් බීම සංග්‍රහයක් ද කරන්නට අමතක නොකළේය.

පාර්ලිමේන්තුවට ආ එළ ෆවුසි

කොළඹ මහ නගර සභාවට සමගි ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ඒ.එච්.එම්. ෆවුසි මහතා පත් කරනු ලැබ සිටී. ඔහු ඉකුත් දා පාර්ලිමේන්තුවට පැමිණ එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. ඔහු දිවුරුම් දී ඉඳගන්නට ආණ්ඩු පක්ෂය දෙසට යද්දී චම්පික රණවක මන්ත්‍රීවරයා ඔහුට දැනුම් දුන්නේ විපක්ෂය අනෙක් පැත්තේ කියාය. ඒ අනුව ෆවුසි විපක්ෂයේ පසුපෙළට පැමිණ ඉඳ ගත්තේය. ඔහු ඉඳ ගනිද්දී කතා කරමින් සිටියේ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාය. ෆවුසි මහාමාර්ග හා ප්‍රවාහන ඇමැතිවරයා සමයේ රටේම අවධානය දිනාගත් ඇමැතිවරයෙකි. ඒ කාලේ ඔහුට කීවේ එළ ෆවුසි කියාය. එකල බසයක් දුටු විටත් කීවේ එළ ෆවුසි කියාය. එදිරිමාන්න ඒ ගැන සිය කතාවේදී අදහස් දක්වමින් කීවේ තමා එකල පාසල් ගියේ එළ ෆවුසි බසයෙන් බවය. ෆවුසිද ඔහුගේ කතාව අනුමත කරමින් හිස සැලු‍වේ.


මේ අතර නිදහස ජනතා සන්ධානයේ විධායක සභාව ඉකුත් අගහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රැස් විය. දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල ෂාන් විජයලාල් ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල්. පීරිස් මහාචාර්ය චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. වැඩි අවධානයක් යොමු වූයේ ඡන්ද ව්‍යාපාරය ගැනයි. ඡන්දය පැවැත්වේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවක් ඒ වනවිටත් පැවැති බැවින්, ප්‍රචාරක කටයුතු දහ වැනි දා උසාවි තීන්දුවත් සමඟ සිදු කිරීමට තීරණය විය. උසාවියෙන් ලැබෙන තීන්දුවත් සමඟ සති අන්තයේ සිට ප්‍රධාන රැස්වීම ආරම්භ කිරීමට ද නිදහස ජනතා සභාව තීන්දු කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ද පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි. එය ඊයේට යොදා ගෙන තිබුණේ අධිකරණයේ තීන්දුවත් සමඟ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද යම් මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි පැවසේ. ඊට හේතුව වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙළිකොප්ටරයෙන් තරග කරන කණ්ඩායමට ඇප මුදල් බැඳීමට පක්ෂයෙන් මුදල් දුන් බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනාවක් හේතුවෙනි. ශ්‍රීලනිපය ඇතැම් දිස්ත්‍රික්කවලට හෙලිකොප්ටරයෙන් තරග කරන අතර ඇතැම් දිස්ත්‍රික්කවලට තනිව තරග කරයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු‍ම ‍ පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ හෙළිකොප්ටරයෙනි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඈප මුදල් බැඳීම සදහා ඔවුන්ට මුදල් දීම සම්බන්ධයෙන් පක්ෂයේම සමහරුන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

බෑන් කී මුන් ජනපතිට දුන් සහතිකය

නිල නොවන මට්ටමේ සාක් සම්මේලනයක් ඉකුත් සතියේ කොළඹ නගරයේ දී පැවැත්විණි. ඒ දකුණු ආසියානු කලාපයේ ඇමතිවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණ සිටීම නිසාය. මෙරට 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් දකුණු ආසියානු කලාපයේ මෙන්ම ලෝකයේ රටවල් බොහෝ ගණනක රාජ්‍ය නායක කාරකාදීහු මෙරටට පැමිණ සිටියෝය.
ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, භුතානය, මාලදිවයින වැනි දකුණු ආසියානු කලාපයේ රටවල අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙහි පැමිණ සිටියේ ජනපති රනිල්ගේ ආරාධනාවෙනි. ජපාන රාජ්‍ය ඇමැතිවරයෙකු හා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ද මෙරටට පැමිණ සිටියේ නිදහස් උළෙලට සහභාගීවීමටය.
මෙරටට පැමිණි දකුණු ආසියානු කලාපයේ ඇමතිවරුන් ජනපති මුණ ගැසුණේ ඉකුත් ඉරිදාය. රාජ්‍යයන් අතර පවතින මිත්‍රත්වය ගැන මෙන්ම කලාපය මුහුණ දෙන ගැටලු ගැන ද මෙහිදී ඔවුහු සාකච්ඡා කළේහ. කණ්ඩායම් වශයෙන් හා තනි තනිව පැවැති මෙම හමුවෙන් පසු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල කීවේ “සර් කොහොම හරි නිල නොවන සාක් සමුළුවක් පැවැත්වූවා නේද” යනුවෙනි.


“ඔව්, ඔව් සාක් කලාපයේ රටවල ඇමැතිවරු රාජ්‍ය ඇමතිවරු ඔක්කොම ඇවිල්ලානේ.” යනුවෙන් ජනපති ලේකම් සමන් ඒකනායක කියද්දී අසල සිටියවුන්ට ප්‍රධානීන්ගේ කතාව පැහැදිලි වූවේ එවිටය.


මෙරට 75 වැනි නිදහස් උළෙල ඉතා ගාම්භීර හා චාම් ලෙස පැවැතියේ ගාලු‍මුවදොරදී ය. නිදහස් උත්සවය පැවැති භූමියට ආරාධිතයන් රැගත් නවීන රථ පැමිණෙද්දී සාමාන්‍ය කාර් රථයක් පැමිණෙන අයුරු දැක බොහෝ දෙනෙක් ඒ කවුදැයි සොයන්නට වූවේ හුන් තැනින් නැගිටය. සාමාන්‍ය රථය ප්‍රධාන අමුත්තන්ගේ පීඨිකාව අසල නතර කළ පසු සැවොම මවිත කරමින් ඉන් බැස ආවේ ජනපති ලේකම් සමන් ඒකනායකය.


නිදහස් දිනයත්, රාජාසන කතාවත් හේතුවෙන් ජනපති රනිල්ට සතියේ මුල් දින කිහිපය ඉතා කාර්ය බහුල විය. ඉරුදින ඉන්දියානු රජයෙන් නොමිලේ ලැබෙන බස් රථ පිළිගත් ජනපති එදිනම ජපන් රජයෙන් පොලිසියට පිරිනැමුණු වාහන ද බාර ගත්තේ ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදීය.
ගංගාරාම විහාරස්ථානය වෙත ජනපති ගියේ නවම් පෙරහැරේ මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීමටය. එම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ඇරයුම් ලැබ පැමිණ සිටි අතර, ජනපතිවරුන් දෙපළටම අසුන් පනවා තිබුණේ ද එකම ස්ථානයක ය.
දෙදෙනාට දේශපාලන කරුණු ගැන මෙන්ම වෙනත් කරුණු ගැන ද කතා බහ කරන්නට එයින් අවස්ථාව උදාවී තිබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැන් කි මූන් සඳුදා මෙරටට පැමිණියේ ගෝලීය හරිත වර්ධන ආයතනයේ සභාපතිවරයා ලෙසය. මෙරට හරිත ආර්ථිකයක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර බොහෝ කරුණු සාකච්ඡා කෙරුණි. ගෝලීය හරිත වර්ධන ආයතනය හා සම්බන්ධ වෙමින් එහි සභාපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් බොහෝ කාර්යභාරයක් ඉටු කරමින් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන හා ඔහුගේ කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්හ.


පරිසර අමාත්‍යාංශය සමඟ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමෙන් පසු ජනපති හමුවූ බැන් කී මූන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ලෙස මෙරටට පැමිණි අවස්ථා ද සිහිපත් කරමින් ජනපති හා සාකච්ඡා කළේය. මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දකුණු කොරියාව උපකාර කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ජනපති රනිල් ඉදිරියේය. සියලු සාකච්ඡා අවසානයේ බෑන් කී මූන් ජනපතිට හොඳ සහතිකයක් ද ලබා දී ගියේය. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැකි නායකයා රනිල් බව කියමිනි.
ජනපති රනිල් අප්‍රිකානු රටවල තානාපතිවරුන් මුණගැසුණේ අඟහරුවාදාය. අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික ගැටලුව මෙන්ම ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුව ද සමාන බැවින් සියල්ලෝම එක්ව මේ ආර්බුදවලින් මිදෙමු යැයි ජනපති ඔවුනට පණිවුඩයක් ලබා දුන්නේය.
ජනපති බදාදා පාර්ලිමේන්තු පැමිණියේ රාජාසන කතාව කිරීමටය. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ඔහුට රට දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව තිබුණි. නිදහස් දිනයේදී ද රාත්‍රියේ ඔහු ජාතිය අමතා ප්‍රකාශයක් කළ අතර බදාදා පාර්ලිමේන්තුවේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ජනපතිගේ කතාව අසන්නට සභාවට නොපැමිණි නමුත් පැමිණ සිටි පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම් ජනපති සභාවට පැමිණෙද්දී හූ කියමින්, කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගියහ. ජනපති සිය කතාව අවසන් කොට තේ පැන් සංග්‍රහ පැවැති පාර්ලිමේන්තු භෝජනාගාරය වෙත ගියේ ආරාධිතයන් ද සමගිනි.
මෙහිදි ජනපතිගෙන් බොහෝ දෙනෙක් විමසා සිටියේ මෙවැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නේ කෙසේද කියාය. මෙය ඔබගේ දේශපාලන අනාගතයට සුබදායි නැහැ නේදැයි එහි පැමිණි තානාපතිවරුන්ද විමසා තිබුණි.


“මම හැමදාම තිත්ත ඇත්ත කතා කළා. මට හැමදාම රට ලැබුණේ අමාරු අවස්ථාවලදීයි. මම ඇත්ත කතා කරන්න ගිය නිසා තමයි හැමදාම පරාජය වුණේ. මට දැන් අවුරුදු දෙකහමාරක කාලයක් ලැබිලා තියෙනවා. මගේ වගකීම ඇත්ත කතා කර රටට හරි දේ කරන එකයි. එය බොහෝ අප්‍රසන්න වේවි. ඒත් අනාගතයේදි සැවොම මම කළ දේ හරි කියාවි.“ ජනපති කීවේ එවැන්නති.


“ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්න පාර්ලිමේන්තුවට එන කොට ඒක අහන්න එන්න බෑ. හැබැයි විවාදයට එන්න ඒ අයට පුළුවන්. ඇත්තටම මේ දේශපාලනය ගැන ලැජ්ජයි.” ඇමති ප්‍රසන්න කීවේ එතන සිටි මන්ත්‍රීවරුන්ටය.
“රාජාසන කතාව කරන්න ජනපති පාර්ලිමේන්තුවට එන කොට හූ කියලා කෑ කෝ ගහලා ලෝකයටම අපේ පාර්ලිමේන්තුව ගැන වැරදි පණිවුඩයක් දුන්නා. තානාපතිවරුත් ඒ වෙලාවේ ගැලරියේ හිටියා.” මධුර විතානගේ ද පිළිතුරු දුන්නේ කනගාටුවෙනි..


“අපේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන ජනතාවගේ විශ්වාසය ගිලිහිලා ගිහින් තියෙන්නේ මේ වගේ වැඩ හින්දා තමයි.” දොළවත්ත මන්ත්‍රීවරයාගේ අදහස එය විය.
“වියත්මඟ කියාගෙන එකක් අටවගෙන හිටපු ජනාධිපතිතුමාව අමාරුවේ දාලා දැන් මේ අය සුදනෝ වෙන්න හදනවා. රටේ අද තියන සියලු‍ ප්‍රශ්නවලට වගකියන්න ඕනේ මේ අයම තමයි” වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කියද්දී එහි සිටි මන්ත්‍රීවරු හිස සැලූහ.


මේ අතර ජනපතිට එහි සිටි නිලධාරියෙකු කීවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණයක නිතරත වන බවය. එම භික්ෂූන් වහන්සේලාට ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු මුණගැසී ලේඛනයක් බාරදිය යුතු බවට දැනුම් දෙන බව පොලිස් නිලධාරීන් විසින් එහි සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැනුම්වත් කළේය. ඔහු වහාම පාර්ලිමේන්තු නිලධාරියෙකු එම ස්ථානය වෙත පිටත් කර හැරියේය.


ඔහු රැගෙන ආ ලිපිය මුලින්ම දුටු මන්ත්‍රී වජිර කීවේ මේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රසිද්ධ කළ පැරණි ලිපියක්නේ කියාය. එහි සිටි සියලු මන්ත්‍රීවරුන් එය දුටුවේ එවිටය. උද්ඝෝෂණයට පැමිණි භික්ෂූන් වහන්සේලා ජනපතිට බර දෙන ලෙස දී තිබුණේ ඔවුන් සැකසු ලිපියක් නොව මහනාහිමිවරුන් මාධ්‍යයට නිකුත් කර තිබූ නිවේදනය ය.
“මහනායක හාමුදුරුවරු කතිකාවත් පනත ගෙනාපු වෙලාවේ විරුද්ධ වුණ මේ හාමුදුරුවරු අද මහනායක හමුදුරුවන්ගේ ලිපියක් අරගෙන ඇවිල්ලා 13 එපා කියනවා. ජනාධිපතිතුමා පොලිස් බලතල දෙන්නේ නෑ කියලා රාජාසන කතාවේදි ප්‍රසිද්ධියේ කිව්වානේ.” ඇමැති බන්දුල ද කතාවට එකතුවූවේය.
ජනපති රනිල් ළඟට එම අවස්ථාවේ පැමිණි මන්ත්‍රී මනෝ ගනේෂන් ජනපතිගේ ප්‍රකාශයට සුබපැතුවේය.” මොන අභියෝග ආවත් ඔබතුමා එක ප්‍රතිපත්තියක හැමදාම හිටපු එක ගැන අපි ආඩම්බර වෙනවා.” මනෝ කීවේ ජනපතිගේ කනට ළංවෙමින්ය.


බදු වැඩිවීමත් සමඟ වෘත්තීයවේදීන්ගේ උද්ඝෝෂණ ගැන මාතෘකාව ඇදී ආවේ එවිටය. මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා විමසුවේ බදු බර වැඩිවීම ගැනය.
“අපි බදු අය කරන ක්‍රමයේ වෙනසක් කරනවා. නිලධාරීන්ගේ වාහනයට, රියදුරාට හා නිල නිවාස වෙනුවෙන් වටිනාකමක් සකසා බදු අය කළ ක්‍රමය වෙනස් කරනවා.” එහි සිටි රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා කීවේ සැමට සුබ පණිවුඩයක් දෙමිනි.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපතිට දුරකතන ඇමතුමක් දෙමින් මහාචාර්ය ආශූ මාරසිංහ කීවේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය ගැන සොයා බලන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකට ලිපියක් බාරදී ඇති බවයි. “ඒ ගැන කතානායකතුමා පිළිතුරක් දෙයි. අපිට ඒකට කරන්න දෙයක් නැහැනේ.” කියමින් ජනපති ඇමතුම විසන්ධි කළේය.


එදින මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසුණු ජනපති රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේ හැකි තරම් වියදම් සීමා කරමින් ආර්ථිකය පවත්වාගෙන යන ලෙසයි. එසේම තමන් රට බාර ගන්නා අවස්ථාවේ ඩොලර් මිලියන 200 ක් වූ සංචිතය ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නැංවීමට කැපවුණු මහ බැංකු අධිපති ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ස්තූති කිරීමට ද ජනපති අමතක නොකළේය.


එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ද මේ දිනවල ඉතා කාර්ය බහුල වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අදාළව දිනපතා පැවැත්වෙන රැස්වීම් හේතුවෙනි. නියෝජ්‍ය නායක රුවන්, ජාතික සංවිධායක සාගල, උපනායක අකිල යනාදී නායකයන් අපේක්ෂකයන් කැඳවමින් උපදෙස් ලබා දුන්නේ මැතිවරණය කරගෙන යන ආකාරය සම්බන්ධයෙනි.

විපක්ෂය රාජාසන කතාව වර්ජනය කරයි

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීන්දු කළේ මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අවස්ථාවේදී ය.
‘මේ වෙලාවේ රාජාසන කතා කරලා විහිළු සපයමින් ඉන්න වෙලාවක් නෙවෙයි. රට මේ තරම් බරපතළ අර්බුදයක තියෙද්දිත් රාජාසන කතාවලින් ඇති පලක් නැහැ.”‍
මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘ඔව්, මගේ අදහස අපි පාර්ලිමේන්තුව වර්ජනය කරමු කියලා”‍  විපක්ෂ නායක සජිත් සේවය
ඒ පිළිබඳව සෙසු මන්ත්‍රීවරුන්ගේ කරුණු විමසූ අතර, ඔවුන් ගේ අදහස වුණේ ද ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ධනය කළ යුතු බවය.
සජිත් පසුගිය සතියම යොදා ගත්තේ ජන රැලි සඳහා සහභාගි වන්නටය.


බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන සියල්ල ආවරණය කිරීමට සජිත් කටයුතු කළ අතර ඔහු නොනැවතී රැස්වීම්වලට සහභාගි විය.
අතිවිශාල ජනකායක් ඒ සියලු‍ රැස්වීම්වලට සහභාගී වී සිටීම සජිත්ගේ ඉමහත් සතුටට හේතු වූ අතර ඒ තුළින්, මැතිවරණ සටනට නව පණක් ලැබුණි.
තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බව සජිත් ප්‍රකාශ කළේ මහියංගණයේ පැවති රැලියේ දී ය.


ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කරන වත්මන් පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟක් සමඟ පැමිණෙන බවත් සජිත් සඳහන් කළේය.
අලි - පොහොට්ටු ආණ්ඩුව එළවා දැමීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මහියංගනයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් පැවසීය.
කෙසේ වෙතත්, වඩිවෙල් සුරේෂ් විසින් සංවිධානය කර තිබූ ජනරැලියට සහභාගිවීමට සජිත්ට නොහැකි වූයේ රැස්වීම සඳහා පැමිණෙමින් සිටි අතරවාරයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙනි.


වඩිවෙල් ගේ රැස්වීමට 8000 කට අධික පිරිසක් පැමිණ සිටි අතර සජිත්ට අවශ්‍ය වූයේ එම රැස්වීමට කෙසේ හෝ පැමිණෙන්නට ය.
එහෙත් කිලෝමීටර් 5ක් පමණ දුර ගෙවා ගෙන එන අතර වාරයේ දී අසනීප තත්ත්වය තරමක් වැඩි වී තිබුණි. එනිසා ඔහුට වෛද්‍ය උපදෙස් ලැබුණේ වහාම පැය කීපයක් හෝ විවේක ගන්නා ලෙසය.


නායකයා ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් දැවැන්ත රැස්වීමක් සංවිධානය කළ වඩිවේල් සජිත්ගේ අසනීප තත්ත්වය පිළිබඳ දැන සිටියේ නැත. සජිත් නොපැමිණීම හේතුවෙන් මදක් කනගාටු වූ ඔහු ක්ෂණිකවම මාධ්‍යයට කීවේ තමන් ඉල්ලා අස්වන බව ය.
කෙසේ වෙතත් ටික වේලාවක් යන විට සිදුවී ඇති තත්ත්වය පිළිබඳව වඩිවෙල්ට දැනගන්නට ලැබුණි. මහලේකම් රංජිත් ඇතුළු පිරිස වඩිවෙල් ද කතා කොට සත්‍ය තත්ත්වය අවබෝධ කර දුන්නේ ය.


මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව පැමිණෙනතුරු සමගි ජන බලවේගය බලාගෙන සිටියේ දැඩි නොයිවසිල්ලකින් ය. දෙගිඩියාවෙන් සිටි බොහෝ දෙනාගේ සැකය පහවෙන තීන්දුවක් ලැබීමත් සමඟ සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ආධාරකරුවන් ඇතුළු සියලු‍ දෙනාම සතුටින් උද්දාමයට පත් වූහ.
මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේ ය.
ජනතාවගේ අයිතියක් වන, සර්වජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ය.


‘සමහරු මැතිවරණය කල්දාන්න කුමන්ත්‍රණය කරද්දී, සමහර විකල්ප කණ්ඩායමුත් මැතිවරණය කල් දානකන් හොරගල් අහුලද්දී අපි තමයි මැතිවරණය වෙනුවෙන් කෙළින්ම පෙනී හිටියේ”‍


සජිත් කීවේය.


‘අපි මැතිවරණයක් ඉල්ලු‍වේ අද ඊයේ නෙමේ. අපි මැතිවරණයක් ඉල්ලු‍වේ මේ ආණ්ඩුව යන ගමන වැරදියි කියලා දැනගත්ත දවසෙ ඉඳල.”‍  මහලේකම් රංජිත් කීවේය.
‘එදා අපේ නායකතුමා මැතිවරණයක් ඉල්ලනකොට ජේවීපී එකේ අනුර දිසානායක කීවා නායකතුමාගේ මොළේ පරික්ෂා කරන්න ඕන කියලා. හැබැයි ඒ කරලා මාස කීපයයි ගියේ. මෙන්න අනුර කුමාර මැතිවරණයක් ඉල්ලනවා”‍. නලින් බණ්ඩාර කීවේය.
‘රෑට රෑට රනිල්ලා එක්ක ඩීල් දාන සමහරු දැන් මහ ලොකුවට අපිට චෝදනා කරනවා. හැබැයි අපි නම් ඒවගේ තුට්ටු දෙකේ ඩීල් දාන්නෙ නෑ”‍
එහෙම කීවේ මරික්කාර් ය.


‘අපි කවදාවත් රාජපක්ෂලා දිනවන්න කැන්වසින් ගිහිල්ලා නෑ. හැබැයි ඔය අද සුදනෝ වෙන්න හදන ගොඩක් අය පෝලිමේ ගිහින් රාජපක්ෂලා වෙනුවෙන් කැන්වසින් ගියා.  ගයන්ත එහෙම කීවේය.


මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග සමගි ජන බලවේගය නව ජවයකින් මැතිවරණ සටන ආරම්භ කිරීමට තීන්දු කොට තිබේ.
‘ඔය හදලා තියෙන බොරු රැලි ටික දවසකින් හේදිලා යන හැටි බලාගන්න හැමෝටම පුළුවන්. මේ මැතිවරණය අපි දිනන්නේ උඩින්.”‍  එහෙම කීවේ මුජිබර් ය.

ජවිපෙ නායකයා නැගෙනහිර පළාතේ රැස්වීම්වල

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකළපුව එරාවුර් හි පැවැති ජන රැළියේ දී එරාවුර් නගර සභා​වේ හිටපු උපනගරාධිපති අබුහතීෆ් මහතා වේදිකාවට නැගීම පසුගිය සතියේ විශේෂ සිද්ධියක් විය. අබුහතීෆ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් සිටි අයෙකි.
අනුර කුමාර දිසානායක මහතා ගිය සතියේ මඩකළපුව හා ත්‍රිකුණාමලයේ මහජන රැලිවලට සහභාගි වී සිටියේය.


ප්‍ර​දේශයේ ජනතාව ස්වේච්ඡාවෙන් මෙම රැස්වීම්වලට සහභාගි වී සිටියහ. ත්‍රිකුණාමලයේ රැස්වීම් මුතූර් හා කින්නියා යන ප්‍රදේශවලදී පැවැත්වුණි.
මඩකළපුවේ රැස්වීම් චෙන්කලම් එරාවුර්පත්තු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේත් කෝරලෙයිපත්තු වෙහාරෙයි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේත් පැවැත්වුණි.
මෙම රැස්වීම්වලදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ සිංහල දේශපාලනඥයන් දකුණේ ජාතිවාදය වපුරද්දී නැගෙනහිර ඇතුළු මුස්ලිම් දේශපාලනඥයන් මුස්ලිම් ජාතිවාදය ඇවිස්සීමට පියවර ගත් බවයි. ජාතිවාදය වපුරමින් ජනතා ඡන්දය ලබා ගෙන පාර්ලිමේන්තුවට ගිය මුස්ලිම් දේශපාලන නායකයන් ගෝඨාභයගේ කරට අතදමාගෙන ඔවුන්ගේ වැඩ කරගත් බවද ඔහු කීවේය.


මඩකළපුව හා ත්‍රිකුණාමලය පළාත් පාලන ආයතනවලට ජාතික ජන බලවේගයේ අලුත්ම කණ්ඩායම් ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා මුස්ලිම් දේශපාලනඥයන් ඇමැතිවරුන් ලෙස පත්ව සිටියත් ජනතාවගේ මතය ඉදිරිපත් නොකළ බවද ප්‍රකාශ කළේය.


මීට අමතරව ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ විශ්‍රාමික සාමුහිකය සෙනසුරාදා මහරගමදී අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබුණි.
දොඩම්ගස්ලන්ද, රිදීගම ආසන සමුළුව හා ගල්ගමුව රැලිය ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතය.

දස දෙසින් කරුට සම්මාන

මේ රටේ පුරවැසියෙකුට ලබාදිය හැකි උසස්ම සම්මානයෙන් කරු ජයසූරිය සම්මානිත කරන ලද්දේ පසුගිය සතියේය. එදා එම සම්මානය ප්‍රදානය කරන අවස්ථාවට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රටේ ප්‍රධාන දේශපාලනික නායකයෝ රැසක්ම සහභාගි වී සිටියහ. ජනපති, අගමැති හා කතානායක යන රටේ මුල් පුරවැසියන් තිදෙනාට අමතරව දේශපාලන පක්ෂ ගණනාවක ප්‍රමුඛ දේශපාලන චරිත ගණනාවක් ඒ අතර වූහ. 


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හරියටම නියමිත වේලාවට උත්සව ශාලාවට ඇතුළු වුණේ කරුට සුබපතමිනි. එතැන් සිට ගෙවුණු සතිය තුළ එක දිගට දස අතින්ම කරුට සුබපැතුම් ගලාගෙන එන්නට විය. ඒ අතර වූ එක් සුවිශේෂි චරිතයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයෙකු වන බෑන් කී මූන් මහතාය. බෑන් කී මූන් කරුට සුබපතමින් කියා ඇත්තේ සක්‍රිය දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසුව ද කරු රට වෙනුවෙන් සිදුකරමින් සිටින සේවාව තමන් අතිශයින්ම අගය කරන බවය. එහිදී විශේෂයෙන්ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රටේ දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා සිදුකරන මැදිහත් වීම් අගය කර ඇති ඔහු එය මෙවැනි දුෂ්කර වකවානුවක ඉතා වැදගත් බව ද පෙන්වා දී තිබේ.

 

ගජබා