දයාසිරි කැපීමේ මෙහෙයුම


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලයක් තිස්සේ අළු යට ගිනි මෙන් පැවති අර්බුදය ගිය සතියේ එක් වරම පුපුරා ගියේය. ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමත් සමග ය. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ මහලේකම් දයාසිරි ජයසේකර අතර අර්බුදය අද ඊයේ ඇති වූවක් නො වේ. මාස ගණනාවක් තිස්සේ පැවති එම අර්බුදය පුපුරා ගියේ, පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සරයත් සමඟිනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සරය මුලින් පවත්වන්නට තීරණය කර තිබුණේ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ආසනය වන හෙට්ටිපොළ ප්‍රදේශයේ ය. එහි  සංවිධාන කටයුතු සඳහා කමිටුවක් ද පත්කර, උත්සවය සඳහා හට් පවා ගසා තිබිය දී හදිසියේම එය අවලංගු කර කොළඹට ගන්නට මෛත්‍රීපාල සිරිසේන හිටපු  ජනාධිපතිවරයා තීරණය කළේය. ඊට හේතු වූයේ ආණ්ඩුවට එක්ව ඇමැති තනතුරු දරන නිමල් සිරිපාල මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම නැවත පක්ෂයට සම්බන්ධ වීමය. 

ඔවුන් එකහෙළාම කියා සිටියේ පක්ෂ සංවත්සර උළෙල කොළඹ පැවැත්විය යුතු බව ය. ඔවුහු සංවිධාන කමිටුවට ද එක්ව සංවිධාන කටයුතුවලට ද මැදිහත් වූහ. 

එතැනින් නොනැවතුණු ඔවුන් කියා සිටියේ පක්ෂයේ සංවත්සරය කොළඹ පත්වන්නේ නම් ඊට අවශ්‍ය බරපැන දැරීමට තම කණ්ඩායම සූදානම් බව ය. 
ඒ අනුව අවසානයේ පක්ෂ සංවත්සරය ජයවර්ධනපුර කෝට්ටේ ඉම්පීරියල් හෝටලයේ දී පවත්වන්නට තීරණය විය. ඒ සඳහා පක්ෂයේ අරමුදල් වියදම් නොවූ අතර, උත්සව ශාලාව සඳහා වියදම් දැරූවේ  මහින්ද අමරවීර ය. සහභාගි වූවන්ට කෑම බීම ආදි සංග්‍රහ කටයුතු  නිමල් සිරිපාල ඇතුළු කිහිප දෙනෙකු භාරගෙන තිබිණි.
සංවත්සර උළෙල හෙට්ටිපොළින් කොළඹට මාරු කිරීම සම්බන්ධව දයාසිරි ජයසේකර  සිටියේ හිත හොඳින් නො වේ. ඊට එරෙහිව පක්ෂය තුළත් ඉන් පිටතත් ඔහු හඬ නගන්නට විය. එම විරෝධය හමුවේ සංවත්සර කඩාකප්පල් කිරීමේ සැලැස්මක් ඇතැයි සිතූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා  උත්සවයේ සංවිධාන කටයුතුවලට පෞද්ගලිකව මැදිහත් විය

සංවත්සර උළෙල ගිය ඉරිදා සවස පැවැති අතර, ඊට කලින් දිනයේ ද මෛත්‍රී මොනාක් ඉම්පීරියල්  හෝටලයට පැමිණ අවශ්‍ය කටයුතු සොයා බැලු‍වේය. පක්ෂයේ  අර්බුදය නිසා සංවත්සර උළෙලේ  න්‍යාය පත්‍රය පවා කලින් සකස් නොකළ අතර එය  සංවිධායකයන් අතට පත්වූයේ ද එදින දවාලයේය.

උදේ දහය වන විටත් න්‍යාය පත්‍රය නො ලැබී තිබූ අතර,10.30 ට පමණ  න්‍යාය පත්‍රය සංවිධායකයන් අතට ලැබිණි. මේ අතර, උත්සවය කටයුතු සොයා බැලීමට ෂාන් විජයලාල් ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන, දුමින්ද දිසානායක ලේකම්වරයෙකු වන සනත් වත්තෙගෙදර උදේ සිටම පැමිණ අවශ්‍ය කටයුතු සංවිධානය කළහ. ඒ අතරේ මෛත්‍රී ද උදේ වරුවේ පැමිණෙන බව දැනුම් දී තිබිණි.


මේ අතරේ දයාසිරි ජයසේකර මහ ලේකම්වරයාද උදේ 10:45 ට පමණ පැමිණියේ ය. න්‍යාය පත්‍රය ලැබී තිබුණේ දයාසිරි එන්නට සුළු මොහොතකට පෙර ය. ඊට  පක්ෂයේ මහ ලේකම්වරයාට නොව අනෙකුත් සංවිධායකයන්ට ය. 


න්‍යාය පත්‍රය ආව ද? දයාසිරි එහි සිටි පිරිස ගෙන් විමසා සිටියේය. න්‍යාය  පත්‍රය තිබුණේ දුමින්දගේ ලේකම්වරයකු  වන සනත් වත්තෙගෙදර අත ය. එය සකස් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් මය. න්‍යාය පත්‍රයට අනුව පිළිගැනීම ෂාන්  විජයලාල් ට පවරා තිබූ අතර, අරමුණ පැහැදිලි කිරීම දයාසිරි ජයසේකරට පවරා තිබිණි. 


දයාසිරිට  අරමුණ පැහැදිලි කරන්නට වෙන්ව තිබුණේ න්‍යාය පත්‍රයේ දෙවැනි අංගය ලෙස ය. අනතුරුව ආචාර්ය චමීර ලියනගේට සංවත්සර කතාව වෙන් කර තිබූ අතර, සුබ පැතුම් ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා දුමින්ද දිසානායක යන පිරිසට  වෙලාව වෙන් කර තිබිණි.
අනතුරුව අගමැතිවරයාගේ කතාව දමා තිබූ අතර අවසාන කතාව ලෙස සඳහන් වූයේ මෛත්‍රීගේ කතාවය.


න්‍යාය පත්‍රය අතට ගත් දයාසිරිට යකා නැග්ගේය. ‘‘ඇයි මගේ කතාව දෙවැනි තැනට දාලා. මගේ කතාව  න්‍යාය පත්‍රයේ පක්ෂයේ නායකයාගේ  කතාවට කලින් කතාව වෙන්න ඕන. පක්ෂයේ සභාපතිතුමාගේ කතාවට කලින් කතාව විදියට මගේ කතාව පහළට දාන්න’ දයාසිරි සනත් වත්තෙගෙදර ට කීවේය.”‍
සර් අපි නෙවෙයි මේක හැදුවේ හිටපු ජනාධිපතිතුමා එවල තියෙන්නෙ අපිට ඒක වෙනස් කරන්න බැහැ යැයි’’ වත්තෙගෙදර කීය.
පසුව දයාසිරිගේ අරමුණ පැහැදිලි කිරීම මෛත්‍රීගේ කතාවට කලින් දැම්මේ ය. එහෙත් ගැටලු‍ව වූයේ සංවත්සර උළෙල ආරම්භ වී සියලු‍ කතා අවසන් වීමෙන් පසුව අරමුණ පැහැදිලි කිරීම විහිළුවකි. සංවිධායකයන් මෛත්‍රීට කතා කර ඇතිව තිබෙන අර්බුදය දැනුම්  දැනුම් දුන් අතර, මෛත්‍රී කිව්වෙ එහෙනම් පිළිගැනීම කරන ෂාන්ටම අරමුණ පැහැදිලි කිරීමත් කරන්නැයි  දැනුම් දෙන ලෙසය. 


ඒ අනුව පිළිගැනීමත් අරමුණ පැහැදිලි කිරීමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂාන්ට පැවරුණු අතර, දයාසිරිගේ කතාව මෛත්‍රීගේ කතාවට කලින් දැමිණි.

ටික වෙලාවක් යද්දී දුමින්ද දිසානායක ද එතැනට පැමිණියේය. ඔහු දයාසිරි ළඟට ගොස් කිව්වේ, දයාසිරි ඔයයි මම  අතර ප්‍රශ්න තියෙන බව ඇත්ත. අපි ඒවා පස්සේ විසඳාගමු. උත්සවයේ දී අවුළුවන කතාවක් කරන්න එපා’’ කියා ය.

ඒකට ද දයාසිරිට යකා නැග්ගේ ය. ’’මම අවුළුවන්නෙ  නැහැ. හැබැයි පක්ෂය ගෙනිහින් යූඑන්.පී. එකට හේත්‍තු කරන්න දෙන්න බෑ.’’ දයාසිරි  තදින් කීවේ ය.
මේ අතර, සංවත්සර උත්සවයේ තවත් විශේෂ දෙයක් සිදුවිය. නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු පිරිස කතා කරද්දී ඊට අත්පුඩි ගසමින් ප්‍රතිචාර දැක්වීමට වෙනම කණ්ඩායම් කිහිපයක් ශාලාවේ තැන් තැන්වල සූදානම් කර තිබිණි. නිමල් සිරිපාල, අමරවීර, දුමින්ද කතා කරද්දී ඒ පිරිස අත්පොළසන් දෙමින් උණුසුම් ලෙස ප්‍රතිචාර දැක්වූයේ  ඔවුන් සමග විශාල පිරිසක් සිටින බව පෙන්වමිනි.
තමාගේ කතාවේ දී ඔවුන්ගෙන් යම් විරෝධයක් එල්ල වේදැයි යන සැකය මත දයාසිරි හිතාගෙන ආ කතාව නොකළේ ය. ඔහු සිය කතාවේ දී තරමක විවේචනයක් පමණක් ඉදිරිපත් කළේ ය. ආණ්ඩුවට එක් වූ පිරිසට ඔහු සිය කතාවේ දී යම් විවේචනයක් එල්ල කළ අතර, ඔහු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා තීරණය කර මේ ගමන යා යුතු බව ය. 

එමෙන්ම පක්ෂයේ සියලු‍ සියලු‍ දෙනා එකතු වීම ගැන සතුටු වන බව ද ඔහු කීවේ ය. කෙසේ හෝ  අර්බුද හා විවේචන මැද  පක්ෂය සංවත්සර උළෙල නිමා වූ අතර, අවසානයේ දී සභා තොමෝ සතුටින් විසිර ගියා ය.

සංවත්සර උළෙල හොඳින් කළ ද, ඇතුළේ නායකයන් අතර ගැටුම දිගින් දිගට ම පැවතුණි. උත්සවය පැවැත්වී හරියටම ගත වූයේ දින දෙකකි. දයාසිරි ජයසේකර, තිලංග  සුමතිපාල සමග එක්ව  පක්ෂයේ බලය අල්ලා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට සභාපති මෛත්‍රීපාල සිරිසේනට දැනගන්නට ලැබිණි. තවදුරටත් බලා නොසිට දැඩි තීන්දුවක් ගැනීමට තීරණය කළේය.


පක්ෂයට සම්බන්ධ නීතිඥවරුන් කිහිප දෙනකුද කැඳවූ මෛත්‍රී සඳුදා රාත්‍රියේම දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ගැසුවේ ය. රාත්‍රියේ ම දයාසිරිට ඊ-මේල් පණිවුඩයක් මගින් ලිපිය යැවූ මෛත්‍රී හිටපු මහ ඇමැති සරත් ඒකනායක වැඩ බලන මහලේකම් ලෙස පත් කළේය. 
මහ රෑම සරත් ඒකනායකට දුරකථන ඇමතුමක් ගෙන ඒ බව දැනුම් දී පත්වීම් ලිපිය ගැනීමට මේ පාන්දර නිවසට පැමිණෙන්නැයි  කීවේ ය.  ඒ සමගම පක්ෂයේ කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නේ  පසුදින කාර්යාලයට නොඑන ලෙස ය. පක්ෂ කාර්යාලය පසුදින වසා දමන ලෙස ද මෛත්‍රී එහි පාලක ලේකම්වරයාට දැන්වී ය.
මේ අතර පහුවදා උදේම දයාසිරි ඉවත්කිරීමේ  ලිපිය දයාසිරි පදිංචි ව සිටින හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ නිවෙසට සේවකයෙකු අත යැවී ය. ඒ අතර තවත් පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් දයාසිරිගේ ලිපිනයට  යොමු කළේ ය.


සංවත්සර උළෙල පැවැති දිනට කලින් දින පැවති මාධ්‍ය හමුවේ දී ‘‘පක්ෂයේ යටින් කැපිල්ලක් තිබෙනවා නේ’’ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට දයාසිරි ජයසේකර කීවේ ‘‘යටින් නෙමේ,  උඩින්ම තමන්ට කැපිල්ලක් තිබෙන බව ය. එසේ කියා දවස් තුනක් යන්නට මත්තෙන්  සඳුදා රාත්‍රිය වන විට ඔහු පක්ෂයේ  මහලේකම් ධුරයෙන් ද ඉවත් කර තිබිණි.
දයාසිරි සඳුදා මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ තමා ඉවත් කළේ ආණ්ඩුවට එක්ව පසුව පක්ෂයට සම්බන්ධ වූ පිරිසගේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස බව ය. මෛත්‍රී තමාට පියකු බවත්, ඒ පියා පුතාගේ බෙල්ල කපනු ඇතැයි නොසිතූ බවත් දයාසිරි   කීවේ ය.
පසුදින මෛත්‍රී පක්ෂ කාර්යාලයට ගියේ වැඩබලන ලේකම් ලෙස පත් වූ සරත් ඒකනායක වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වීම වෙනුවෙනි. සාමාන්‍යයෙන් වැඩ බලන ලේකම්වරයෙකු වැඩ භාරගැනීමේ අවස්ථාවට පක්ෂයේ  නායකයා සම්බන්ධ නොවූවත් ඒ අවස්ථාවේ ඔහු ඊට  සම්බන්ධ වූයේ දයාසිරි ඉවත් කළත් පක්ෂයට ගැටලු‍වක් නොවන බව පෙන්වීමට ය. එම පක්ෂයේ කාර්ය මණ්ඩලයට නිවාඩු දී තිබූ අතර, පක්ෂ කාර්යාලය ද වසා දමා තිබිණි.
දයාසිරි වෙනුවෙන් උත්තර සභාගයත්  නිදහස් ජනතා සභාවත් පෙරට එයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ අර්බුදයත් සමග ශ්‍රීලනිපය උත්තර සභාගය හා නිදහස ජනතාව සභාව  එක්ව පිහිටුවා ගනු ලැබූ නිදහස  ජනතා සන්ධානයේ  විධායක සභාව ඉකුත් බ්‍රහස්පතින්දා හවස වෝටර්ස් එජ් හෝටලයේ දී රැස් විය. එය කැඳවනු ලැබුවේ එම සන්ධානයේ ලේකම්වරයා ද වන තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ය. ඔහුත් දයාසිරිත් පසුගිය කාලය පුරා සිටියේ එකට ය. 


එනිසා දයාසිරි වෙනුවෙන් මේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ තිලංග සුමතිපාල ය. 
රැස්වීමට මහාචාර්ය ජීඑල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, උදයන  කිරිඳිගොඩ ඩිලාන් පෙරේරා, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
ඊට අමතරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකවරු කිහිප දෙනෙක් ද පැමිණියහ. තිලංග මෙම රැස්වීම කැඳවීමේ අරමුණ පැහැදිලි කළේය. දයාසිරි අයින් කිරීම කුමන්ත්‍රණයක් බවත්, ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා නිදහස ජනතා සන්ධානය සූදානමින් සිටිය යුතු බවත් ඔහු කීවේ ය. අනතුරුව කතා කළේ දයාසිරි ජයසේකරය. 

තමන් පක්ෂය සමඟත්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙනුත්  දිගින් දිගටම පෙනී සිටි බව ඔහු කීවේ ය. පක්ෂයට අලු‍තෙන් එක්වූ ආණ්ඩුවට ගිය කණ්ඩායමේ කුමන්ත්‍රණයක් මත තමා ඉවත් කළ බව කී දයාසිරි තමා මීට එරෙහිව දේශපාලන වශයෙන් මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද කීවේ ය. ඒ සඳහා සියලු‍ දෙනාගේ සහාය අවශ්‍ය බවත් ඔහු කියා සිටියේ ය.

මහාචාර්ය ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, අසංක නවරත්න, මහාචාර්ය චරිත  හේරත් ඇතුළු පිරිසක් ද අදහස් දක්වමින් දයාසිරි  ඉවත් කිරීම වැරදි බව කියා සිටියහ. ජී.එල්. කීවේ දයාසිරි ඉවත් කිරීම නීතිමය වශයෙන් ද වැරදි බව ය. 
එම  පිරිස දයාසිරි ඉවත් කිරීමට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයාට ලිපියක් භාර දීම සඳහා ලිපියකට ද අත්සන් තැබූහ.

ඩී.වී. වෛරසය පාර්ලිමේන්තුවටත්

පාර්ලිමේන්තුවේ ලොබියේ දී ගිය සතියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කතාබහක නිරතව සිටියහ. මහින්දානන්ද අලු‍ත්ගමගේ, නිමල් ලංසා, ඩී.වී. චානක, කංචන විජේසේකර ඇතුළු පිරිසක් එහි වූහ. නාමල් කීවේ චානකගේ මඟුල් ගෙදර ගියපු බොහෝ දෙනකුට වෛරස් උණ හැදුණ බව ය.
‘‘ඒකට කියන්නෙ ඩී.වී. වෛරසය කියලයි. නාමල් කියද්දී නිමල් ලන්සා ඩී.වී. චානකට පාඩමක් කළේ සාර්ථක විවාහ දිවියක් ගෙන යන හැටි කියමිනි. අනතුරුව චැනල් ෆෝ සිද්ධිය ගැන ද කතාබහට ලක්විය. 


චැනල් ෆෝ එකේ අයට රාජපක්ෂලා එක්ක ජන්මාන්තර වෛරයක් තියෙනවා. ඒකයි අපි බලයට එන්න පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියලා කියන්නේ”‍ නාමල් කියද්දී කංචන විජේසේකර ද නාමල් වෙනුවෙන් ඉදිරිපත් විය.


‘‘2018  පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගෙන තිබුණා. ඉතින් අපිට ජනාධිපතිවරණය මහා මැතිවරණය ජයග්‍රහණය ගැන හොඳ විශ්වාසයක තිබුණ. අපි මොකට ද බෝම්බ පුපුරුවලා බලයට එන්නෙ  යැයි කංචන ද කීවේ ය.
මේ අතර බදාදා නිමල් ලන්සා, කාවින්ද ජයවර්ධන, උද්දික ප්‍රේමරත්න, මොහොමඩ්  මුසම්මිල් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තු ලොබියේ කතාබහ කරමින් සිටිය දී, ඒ ආසන්නයේම තවත් තැනක දයාසිරි ජයසේකර, ලලිත් එල්ලාවල, උපුල් ගලප්පත්ති ඇතුළු කිහිප දෙනෙක් කතා බහ කරමින් සිටියහ.
මෛත්‍රී  පාර්ලිමේන්තුවට එන ගමන් ලලිත් එල්ලාවල දැක කොහොම ද ලලිත්’’ කියමින් ඔහුගේ  පිටට තට්ටුවක් දැමීමේ  හිනාවෙමිනි. ඒ සමඟම දයාසිරි දුටු මෛත්‍රී කිසිවක් නො වූ ගානට ‘‘ආ කොහොමද දයා’’ යැයි කියද්දී, දයාසිරි ද හිනාවක් පාමින්  ‘‘කොහොම ද සර්’’  යැයි ඊට ප්‍රතිචාර දැක්වීය. 
‘‘පේනවා නේද ඒ ගොල්ලන්ගෙ නායකතුමාට ගේම දෙන්නත් පුළුවන්, ගේම දීලා කතා කරන්නත් පුළුවන්, කතා කරලා ගේම දෙන්නත් පුළුවන්’’ කාවින්ද, ලන්සා සමග කීවේ අවට සිටි පිරිස ද සිනා ගන්වමිනි.

චැනල් ෆෝ නිසා කෙහෙළිය බේරෙයි...

අඟහරුවාදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවෙන් පිටතට පැමිණෙද්දී පාර්ලිමේන්තු ලොබියේ මැති ඇමැතිවරු පිරිස වට කරගත්තේ ය. ඒ අතර සෞඛ්‍ය ඇමැති කෙහෙළිය ද සිටියේය. ‘‘අද ඔයාට හොඳයි කට්ටිය කතා කරන්නේ චැනල් 4 ගැන’’. ජනපති කී දේට සැමට සිනහව නතර කරගන්නට නොහැකි විය.
‘‘ඔව් මෙතුමා බොරුවට නේ බය වෙලා හිටියේ. එදා විපක්ෂය  විශ්වාසභංගය දාපු දවසෙම ඒක ගත්ත නම් විපක්ෂයට ලකුණු දා ගන්න  තිබුණා’’ඇමැති ප්‍රසන්න කීවේ එවැන්නකි.
‘‘ඔව් දැන් විශ්වාසභංගයක් ගන්නවා. ඒ අතර දේශීය ආදායම් පනතත් ගන්නවා. තව පැත්තකින් චැනල් 4ත් ගන්නවා. මේකෙන්  විශ්වාසභංගය යට යනවා.’’ මන්ත්‍රී වජිර කියද්දී ජනපති ද හිස සැලුවේ එය අනුමත කරමිනි.

තව කෑලි කපන්න එපා....

එජාප පක්ෂ සංවත්සරය සමරන අවස්ථාවේ දී කේක් ගෙඩියක් ගෙනවිත් තිබූ අතර පහන් සිළු දැල්වීමෙන් අනතුරුව නායකයන් කේක් ගෙඩිය කැපීමට සූදානම් වෙද්දී ඊට හරස් කැපුවේ මහලේකම් රංගේය. ‘‘ලලිත්-ගාමිණි පක්ෂයෙන් කෑල්ලක් කපාගෙන ගියා. සජිත් තවත් කෑල්ලක් කපාගෙන ගියා. කපලා කපලා දැන් ඉවරයි. තව කපන්න දෙයක් නෑ. ඒ නිසා ගිහින් වාඩි වෙමු. කපලා වෙන් කරන්න නොවෙයි දැන් තියෙන්නේ එක මිටකට එක්වීමටයි.’’ මහලේකම් රංගේ  කියද්දී සාගල හා වජිර කීවේ ‘‘මහලේකම්තුමා කියන එකෙත් ඇත්තක් තියෙනවා’’ කියාය.

තලතා ඡන්දය නොදී යයි 

දේශීය ආදායම් සංශෝධන පනත බ්‍රහස්පතින්දා සම්මත කර ගැනීමට තිබුණි. ඡන්ද විමසීම තිබුණේ සවසය. උදේ සිට පාර්ලිමේන්තුවේ සිටි සජබ මන්ත්‍රිනී තලතා අතුකෝරළ ඡන්දයට කලින් පිටව යෑම ගැන සජබ මන්ත්‍රීවරුන්ගේ කසුකුසුවක් ඇති විය. ඇය පෞද්ගලික හේතුවක් නිසා ඡන්දයට පෙර පිටව ගියාද නැද්ද යන්න මන්ත්‍රීවරු දැන සිටියේ නැත. එසේම රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියද සහ මන්ත්‍රී රාජිත සේනාරත්නද ඡන්දයට පැමිණ සිටියේ නැත. 

හලෝ දයා කොහොමද?

මහලේකම්කම අහිමි වූ දයාසිරි බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සමග කතාබහර කරමින් සිටියේය. එහි සිටියේ උපුල් ගලප්පත්ති සහ ලලිත් එල්ලාවලය. මේ කතාබහ යන අතරේ මෛත්‍රී එතනින් යන්නට ආවේය.

දයාසිරි දුටු සැනින් “ හලෝ දයා කොහොමද? ” කියා මෛත්‍රී ඇසුවේ කිසිවක් සිදු නොවුණු ගානටය. ඒ වෙලාවේ “ සර් එවපු ලියුම කියව කියව ඉන්නේ. සර් ඉතින් හිනාවෙලානේ බෙල්ල කපන්නේ ” කියා දයාසිරි කිව්වේය. මෛත්‍රී එයට හිනා වෙද්දී උපුල් ගලප්පති කිව්වේ “ සර් හෙලිකොප්ටරේට කළෙත් ඔය ටිකමනේ” කියාය. මේ වෙලාවේ මෛත්‍රී “ දේශපාලනේ හැටි ඔහොම තමයි පුතා ” කියා උපුල්ගේ පිටට තට්ටුවක් දමා යන්න ගියේය.

 

■ ගජබා