තෙල් වර්ජනය ගැන ජනපතිගෙන් කංචනට පණිවිඩයක්


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරටට හිමිවුව ද අර්බුදය අවසන් නැත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහනයක් හිමිවුව ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ගත යුතු පියවර රාශියක් ඉතිරිව ඇත. ජනපති රනිල් වෙහෙසෙන්නේ ආර්ථිකය නගා සිටුවීමේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටය. එය අතුරේ යන්නකට සමානය.


ජනපති රනිල් ඉකුත් ඉරිදා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකිර්ණය වෙත ගියේ ඔහු අගමැති ලෙස 2016 දී ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ද සිතෙහි දරාගෙනය. එම ස්ථානයට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ඇමැති බන්දුල ගුණවර්ධන, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සේම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හා ක්‍රීඩා ඇමැති උපදේශක සුදත් චන්ද්‍රසේකර ද පැමිණ සිටියහ.


ක්‍රීඩා සංකිර්ණය නිරීක්ෂණය කිරීමට යාමට පෙර ඔහු නිලධාරීන් හා සාකච්ඡාවක් වෙනුවෙන් අසුන් ගත්තේ ක්‍රීඩා සංකීර්ණ සාකච්ඡා ශාලාවේය. එහිදී ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිලධාරියකු කරුණු දක්වන්නට විය. ඔහු ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ජනපතිට වැටහී ගියේ එය ක්ෂණිකව සකස් කළ වාර්තාවක් බවටය. තමන් ඉදිරියේ බොරු රඟපෑමක් ඔහු කරන බව දැනගත් ජනපති ඔහුගේ කතාව නවතන ලෙස ඉල්ලා සිටියත් දිගින් දිගටම ඔහු අදහස් දැක්වීම නිසා ජනපතිට කතාව නවතන ලෙස උස් හඩින් කීමට සිදුවිය.
“2016 න් පස්සේ මම ඉදිරිපත් කළ මේ ක්‍රීඩා විශ්වවිද්‍යාල යෝජනාව ගැන හැරිලවත් බලලා නෑ. දැන් ඒක ගැන බොරු කතා කරන්න එපා. අපි වියදම් කරන හැම ශතයටම අපි වගකියන්න ඕනෑ” ජනපති කීවේ උස් හඬිනි.


අර්ජුන රණතුංග ද ක්‍රිකට් ක්‍රීඩාව ගැන අදහස් දැක්වූ අතර පසුව ජනපති ඔහුට කීවේ තමන්ට ඔහු හඳුනා ගැනීමට නොහැකි වූ බවය. එහි සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද කීවේ තමන්ට ද එකවර ඔහු හඳුනා ගැනීමට නොහැකි වූ බවය.


ඉන් පසු පිරිස ගියේ ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමටය. එහිදී බේස් බෝල් ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෝ පිරිසක් ද ජනපති අසලට පැමිණියහ.
“සර් අපි බේස්බෝල් ක්‍රීඩා කරනවා. ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන එකම කණ්ඩායම අපි. මේක ජාත්‍යන්තරයට ගෙනියන්න උදව් කරන්න.” එහි සිටි දරුවෝ ඉල්ලා සිටියෝය.
ජනපති වහාම මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පාලනාධිකාරිය වෙත උපදෙස් දුන්නේය. එහි සිටි එක් ක්‍රීඩකයෙක් ජනපති වෙත බේස් බෝලයක් පෙන්වමින් එහි අගය කියද්දී ජනපති කීවේ “අපි මේ බෝලය විපක්ෂයට පාස් කරමු” කියාය. ජනපතිගේ පිළිතුරෙන් රැඳී සිටියවුන්ට සිනහව නවතා ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට පැමිණි ආයෝජකයන් ජනපති රනිල් මුණ ගැසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එදින සවසය. හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ජනපති මෙහිදී කීවේය.


එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නිලධාරීන් පිරිසක් ද එදින ජනපති මුණ ගැසුණේය. විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් ද මේ අවස්ථාවට එක්ව සිටියේය. හරිත බලශක්ති සමුළුව සඳුදා පෙරවරුවේ පැවැති අතර ඊට දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද සහභාගී වී සිටියේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවටයක් 28 හා 29 දිනවල දී පැවැත්විණි. මෙහි ප්‍රධාන කාර්ය භාරය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සංවිධානය කරනු ලැබීය.


ජනපති කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ ඉකුත් බදාදාය. ඒ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නැයි ලද ආරාධනාවකට අනුවය. ජනපති රනිල් ආනන්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වී තිබුණේ මීට වසර ගණනාවකට පෙර විදුහල්පති වී.එස්. කුඩලිගමගේ යුගයේදී ය.
ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු ජනපතිට ප්‍රධාන ආරාධිත දේශනය ඉංග්‍රීසි බසින් ආමන්ත්‍රණය කරන ලෙස ඉල්ලමින් ඉංග්‍රිසි බසින්ම ආරාධනයක් කරනු ලැබීය. එම අරාධනය පිළිගෙන සභාව ඇමැතීමට පැමිණි ජනපති “ ගොඩක් අය මට ඉංග්‍රීසියෙන් කතා කරන්න ආරාධනා කරනවා. හැබැයි ආනන්ද විද්‍යාලයේ සම්ප්‍රදාය සිංහල මවු බසින් කතා කිරීම.” යැයි සිනහසෙමින් එසේ කී ජනපති සිංහල බසින් කතාව කරගෙන ගියේය.


විද්‍යාලයේ අතීතය ගැනත් වර්තමානය ගැනත් කතා කළ ජනපති අනාගත තාක්ෂණය ගැන කතා කරද්දී පැමිණ සිටි සැවොම මුහුණට මුහුණ බලා ගත්තේ ඔහුගේ ඇති නව තාක්ෂණ දැනුම ගැන මවිතයට පත් වෙමිනි. ටික්ටොක්, ෆෙස්බුක් සේම ඒ. අයි තාක්ෂණය ගැනත් ඔහු කතා කළේය. ජනපති​ට තේ පැන් සංග්‍රහය සඳහා කැඳවාගෙන ගියේ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය විධායක මණ්ඩලයේ සිසුන් විසිනි.


ජනපති තේ පැන් සංග්‍රහය භුක්ති විදිද්දී ඒ අසලට පැමිණි ආදී ආනන්දියෙකු වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න “ ටික් ටොක්, ෆෙස්බුක්, වට්ස්ඇප් ගැන නම් යම් දැනීමක් තියෙනවා. හැබැයි මේ අලු‍ත් චැට් ජී.පී.ටි ගැන නම් දන්නේ නෑ ජනාධිපතිතුමා.” කීවේය.
“මම හැමදාම අලු‍ත් අලු‍ත් තාක්ෂණය ගැන හොයනවා. අපි හැමදාම අලු‍ත් ලෝකයත් එක්ක අප්ඩේට් වෙන්න ඕනෑ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමා.” ජනපති කීවේ සිනාසෙමිනි.
විදෙස් සමාගම් තුනකට තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් පවරා දීමට ඇමැති මණ්ඩලය ගත් තීන්දුවට එරෙහිව තෙල් සංස්ථාවේ සේවකයන් ආරම්භ කළ උපවාසය වර්ජනයක් දක්වා දුරදිග ගොස් ඇති බව ජනපති දැනගත් මොහොතේම ඔහු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට කතා කොට මේ ගැන සොයා බලන ලෙස දැනුම් දුන්නේය.


ඔහු වහාම මේ ගැන බලශක්ති ඇමති කංචන විජේසේකර අමතා සාකච්ඡා කළේය. “අපි මේ ගැන අවස්ථා කිහිපයකදීම වෘත්තිය සමිති හමුවෙලා කතා කළා නේද?” සාගල කාංචන ඇමතිගෙන් විමසා සිටියේය.


“ඔව් අපි තුන් හතර වතාවක් මේ ගැන කතා කළා. හැබැයි එයාලා සමාගම් 3 කට අලු‍තින් ෂෙඩ් 50 බැගින් 150 ක් හදන්න දෙන යෝජනාවට එකඟ නෑ. මේ ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කරන්න.” ඇමැති කංචන ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට කීවේය.


“ඔබතුමා නිවැරදී දේ කරන්න. ජනාධිපතිතුමා ඔබතුමාත් එක්ක ඉන්නවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා.” කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමති දැනුම්වත් කළේය.
විදෙස් සමාගම් 3 ට ඉන්ධන පිරවුම්හල් 150 ක් අලු‍තින් ඉදි කිරීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම්වලට ඉදිරි මාස දෙක තුළ අත්සන් තැබීමට නියමිතය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු පිරිසක් ඉකුත් සතියේ ඉන්දියානු මහකොමසාරිස් නිල නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක් වූවේය. එහිදී ලංකා රජය හා ජනාධිපති සමඟ තවදුරටත් එක්ව වැඩ කටයුතු කිරීමට සූදානම් බව ඉන්දීය නියෝජිතයන් ඔහුට දැනුම් දී තිබුණි.
ජනපති රනිල් පැරණි පාර්ලිමේන්තු සගයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ ජෝශප් මයිකල් පෙරේරා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය. පක්ෂයේ සිය සගයා වෙනුවෙන් සිය ශෝකය පළ කළ ජනපති සුළු වේලාවක් එහි ගත කොට නික්ම ගියේය.
පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත්ව ඔහු සෘජුව පැමිණියේ “අයි.එම්.එෆ් සහ ඉන් ඔබ්බට” යන මැයෙන් වූ සාකච්ඡාවේ මුඛ්‍ය දේශනය කිරීමටය. එහි සාකච්ඡා මේසයට ද එක්වීමට ජනපති කටයුතු කරමින් ව්‍යාපාරිකයන්ට හා වෘත්තීකයන්ට මේ පිළිබඳ පවතින ගැටලුවලට පිළිතුරු දීමට ද අමතක නොකළේය.


ජනපති රනිල් සති අන්තයේ අනුරාධපුරය බලා පිටත්ව ගියේ අලු‍ත් සහල් මංගල්‍යයට සහභාගීවීමට සහ ගුවන් හමුදා උත්සවයකට එක්වීමටය.

ත්‍රිකුණාමලයට ඉන්දීය තෙල් පිරිපහදුවක්

සතියේ කැබිනට් රැස්වීම් ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන්ධන ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවිය විදේශීය සමාගම් තුනකට පැවරීම සම්බන්ධ යෝජනාව සඳුදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූ ප්‍රධාන යෝජනාවක් විය. ඊට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා කීවේ ත්‍රිකුණාමලේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඉන්දියාව අවසරය ඉල්ලා ඇති බව ය. තමා සිංහල අලු‍ත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවේ සංචාරයක යෙදෙන බවත් එහිදී මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.


පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධ අවුල ද එහි දී මතුවිය. ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් උණුසුම් වාදයක් මතු වූ අතර, එහිදී පොහොට්ටුවේ බොහෝ දෙනා ඉල්ලා සිටියේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් නොදෙන ලෙස ය. අරගලයේ දී ආණ්ඩුව බේරා ගැනීම සඳහා පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එම තනතුර දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. මේ සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් කතා බහ ඇති වූ බැවින් ජනාධිපතිවරයා කීවේ නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක්, පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දෙන බවය. ඒ අනුව වත්මන් පොලිස්පතිවරයාට තවත් මාස තුනක කාලයක් සේවයේ සිටීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ඇමැතිධුර නැතිව කලකිරුණු පොහොට්ටු මන්ත්‍රීලා

ඇමතිකම් අපේක්ෂාවෙන් බොහෝ කාලයක් බලා සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හත් අට දෙනෙකු සිටින්නේ දැඩි කලකිරීමකින් බව දැනගන්නට ඇත. ඔවුන්හේ නම් පසුගිය කාලයේ ජනාධිපතිවරයා වෙත පොහොට්ටුවේ ප්‍රබලයන් විසින් යවනු ලැබ තිබුණි. ඔවුන් දිගින් දිගටම බලා සිටියේ තමන්ට අද හෙටම ඇමතිකමක් ලැබෙනු ඇතැයි කියාය. එවැන්නක් සිදුවන බවක් තවමත් පෙනෙන්නට නැති බැවින්, මේ පිරිස දැඩි කලකිරීමට පත්ව සිටිති. සමහරු ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට මෙන්ම පොහොට්ටුවේ රැස්වීම්වලට ද සහභාගි නොවී සිටීමට තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ

ප්‍රසන්න රනිල්ට  සෙට් වෙලාද?

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වෙයි. ඔහු සිය හිතවතුන් සඳහා ඉකුත් සති අන්තයේදී බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී සුහද හමුවක් සූදානම් කර තිබූ අතර, එහි සංවිධාන කටයුතු කරට ගෙන තිබුණේ ප්‍රසන්නගේ මාධ්‍ය ලේකම් අනුර ප්‍රදීප් කුමාර ය. පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු මාධ්‍යවේදියෝ පිරිසක් ද ඊට සහභාගී වී සිටියහ. ප්‍රසන්න ඊට සහභාගි වන විට තරමක් ප්‍රමාද වී තිබූ නමුත්, පැමිණ සිටි පිරිසට සංග්‍රහ කිරීම ඒ වන විටත් ආරම්භ වී තිබිණ. තරමක් ප්‍රමාද වී පැමිණි ප්‍රසන්න මාධ්‍යවේදීන්ගේ මේසයක් ළඟ ඉදගත්තේ ප්‍රමාදය ගැන සමාව අයදිමිනි. ජනාධිපතිතුමාට ඔබතුමා නැතුවම බෑ වගේ නේද ප්‍රසන්න පුටුවේ ඉදගන්නවාත් සමග මාධ්‍යවේදියෙක් විමසීය. ඔව් මල්ලි ඉතිං අපි ඉඳගන්න පැත්තෙ කෙලින් හිට ගන්නවනේ, ජනාධිපතිතුමා ඔය පුටුවේ වාඩි කරවන්න අපි කණ්ඩායමක් විදියටනෙ තීන්දුව ගත්තේ. ඉතිං ඒ තීන්දුව ගත්තා වගේම අපි එතුමාත් එක්ක දිගටම ඉන්න ඕනෑ එහෙම නැතුව මාරු වෙලා යන්න අපට බෑ. ‘‘ප්‍රසන්න කීවේ ය.”‍ හැබැයි කාලයක් රනිල් පේන්න බැරුව හිටියා නේද මාධ්‍යවේදියෙකුගෙන් තවත් ප්‍රශ්නයකි.”‍ ඔව්, කාලයක් මම මෛත්‍රීටයි, රනිල්ටයි දෙන්නටම කුඩුවෙන්න ගැහුව. හැබැයි අපි දැන් ජනාධිපතිතුමත් එක්ක ඉන්න නිසා එතුමා ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්නවා ”‍ප්‍රසන්න කීවේය.


ඒ අතරේ සිය නිවසට ගිනි තැබීම මෙන්ම පාර්ලිමේන්තුව අල්ලන්නට ආ අරගලකරුවන්ගෙන් පාර්ලිමේන්තුව බේරා ගැනීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ප්‍රසන්න මාධ්‍යවේදීන් සමග කතාබහ කළේ මුහුණ දෙන්නට වූ ත්‍රාසජනක අත්දැකීම් ද පැහැදිලි කරමිනි.

  ෆවුසිත් හෙලිකොප්ටරයට නගියි ද?

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතාගේ දියණිය මාධවී වීරසිංහගේ විවාහ මංගල උත්සවය ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වුණේ කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී ය. ඒ සඳහා ආරාධනා ලැබ සිටි දේශපාලනඥයන්ගේ විශේෂත්වයක් තිබිණි. එනම් ඒ සියලු‍ දෙනාම පාහේ වෛද්‍ය වීරසිංහගේ කඳවුර නියෝජනය කරන පිරිසක් වීමය. ඉන් පරිබාහිරව හිටියේ ජාතික ලැයිස්තුවෙන් මෑතක දී පාර්ලිමේන්තුවට පත්වූ ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයා පමණය. ඔහු වෛද්‍ය වීරසිංහගේ ළඟම මිත්‍රයෙකි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා ,වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිලාන් පෙරේරා, අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ. ඔවුහු සියලු‍ දෙනාම පාහේ හෙලිකොප්ටරය කණ්ඩායම නියෝජනය කරන්නෝය. කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ ඇතුළු ඔහුගේ පාසල් මිත්‍රයන් රැසක් ද පැමිණ සිටි අතර, දේශපාලනයේ තොරතුරු මෙන්ම ආගිය තොරතුරු ද එහිදී කතාබහට ලක්විය.

සිසුපරපුර වෙනුවෙන් සජිත්ගේ මැදිහත්වීම

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පසුගියදා විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනු ලැබූ අතර, එහි තවත් ඉදිරි පියවරක් ලෙස කටුනායක ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ සිසුන් පිරිසක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් හමුවී සාකච්ඡා කළේය.
මේ පිළිබඳව සජිත් අවශ්‍ය සියලු‍ තොරතුරු දැනගෙන එම ස්ථානයේදීම විෂය භාර ඇමැති සුසිල් ප්‍රේම ජයන්තට ඇමතුමක් ගත්තේය.
‘‘එතනින් බිහිකරන්නේ ඉංජිනේරුවෝ. ඔවුන් මේ රටට ඉතාම වැදගත්. ඒ නිසා මේ පාඨමාලාවට සහභාගී වන සිසුන්ට සහනයක් අරන් දෙන්න”‍ සජිත් සුසිල්ගෙන් ඉල්ලු‍වේය.
‘‘හරි විපක්ෂ නායකතුමා මං ඒ අයත් එක්ක සාකච්ඡාවක් කරනවා.”‍
සුසිල් දැනුම් දුන්නේය.


‘‘අපිට හිතාගන්න බෑ ඔබතුමා මොනතරම් ප්‍රායෝගිකව මේකට මැදිහත් වුණාද කියලා. මෙතනට එන කල්ම අපි විශ්වාස කළේ නැහැ ඔබතුමා මේ තරම් ක්‍රියාකාරී ප්‍රායෝගික නායකයෙක් කියලා. බොහොම ස්තූතියි විපක්ෂනායකතුමනි”‍ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සිසුන් සජිත්ට ස්තුති කළේ එහෙම ය.
”‍ඒක මගේ වගකීම. මේ වැ​ඩේ කරනකම් මං ඔබ එක්ක ඉන්නවා.”‍
සජිත් උත්තර දුන්නේය.


දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”‍සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු”‍ සහ නවීන පරිගණක පරිත්‍යාග කරන ‘‘සක්වල”‍ වැඩසටහන අදියර 23 ක්‍රියාත්මක වෙද්දී මාස කිහිපයක් අත්හිටුවීමට සිදුව තිබුණේ අවශ්‍ය පරිගණක උපාංග ලංකාවට ගෙන්වීමට නොහැකිව තිබූ හෙයිනි.
මේ පිළිබඳව සජිත් දිගින් දිගටම අදාළ අංශ සමඟ සාකච්ඡා කළ අතර ඒ හේතුවෙන් අදාළ උපකරණ ගෙන්වා ගැනීමට හැකි විය. ඒ අනුව පසුගිය සතිය තුළ පාසල් තුනකට අත්‍යාවශ්‍ය පරිගණක උපාංග සහිත සුහුරු පන්ති කාමර තුනක් ආරම්භ කිරීමට සජිත්ට හැකිවිය.
දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ තිස්වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් විශේෂ සක්වල වැඩසටහන් තිහක් දියත් කිරීමට සජිත් තීරණය කළේය.
‘‘රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ පාසල් දරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අප්‍රමාණ කැප වෙච්ච නායකයෙක්. ඒ වගේ ශ්‍රේ‍ෂ්ඨ නායකයෙක් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක මහා පුණ්‍යකර්මයක්”‍


නැදිගම්වල විදුහලේ ගුරුවරයෙක් විපක්ෂනායක සජිත්ට කීවේය.
‘‘විපක්ෂනායකතුමනි, අපි ජීවත් වෙන්නේ සයිබර් යුගය කියලා සමහරු කියනවා. හැබැයි පරිගණකයක් තියා රේඩියෝවක් වත් නැති ගෙවල් මේ ප්‍රදේශවල පවා තියෙනවා. එහෙම එකේ ඔබතුමා මේ කරන ​​ෙශ්‍ර්ෂ්ඨ වැඩ කටයුත්ත පිළිබඳව අපි ණයගැතියි. මෙච්චර මෙහෙවරක් කරන ඔබතුමාගේ වැඩවලට හිනහ වෙන්න සමහරු ඉන්න බව අපි දන්නවා. ඒ නිසා ඔබතුමා වෙනුවෙන් මම මෙහෙම කියනවා.


ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලු‍වන්නම්


නුඹයි මගේ පුතා උතුම් පාසලක දැරියක් විපක්ෂනායකතුමාගේ මෙහෙවර අගය කළේ එස්. මහින්ද හිමියන්ගේ ඒ කවිය සිහිපත් කරමිනි.
‘‘සමහර වෙලාවට ඉංග්‍රීසි ඉගෙන ගන්න යද්දී ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කියලා කියයි. සිංහල විතරක් ඇති කියයි. එහෙම නෙවෙයි විය යුත්තේ. ආදරණිය දුවේ පුතේ ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්න. පුළුවන් නම් හින්දි චීන භාෂාත් ඉගෙන ගන්න. ඇයි දන්නවද ලෝකයේ වැඩිම ජනගහනය ඉන්න රටවල් ඒවා. අපි ඒ රටවල්වල වෙළෙඳපොළ තරණය කරලා අපේ නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාව ඒ භාෂා අවබෝධය ශක්තියක් වෙනවා. ඒ වගේම ඉගෙන ගන්න පුලු‍වන් හැම භාෂාවක්ම ඉගෙන ගන්න. හැම පාසලකම භාෂා විද්‍යාගාරයක් තිබෙන්න ඕන. අපේ අදහස ඒකත් ඇති කිරීමයි.
විෂය නිර්දේශ සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. විද්‍යා තාක්ෂණ ඉංග්‍රීසි ඉංජිනියරින් සහ ගණිතය ආදී ස්ටීම් එඩියුකේෂන් ඇති විය යුතුයි. ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ වැඩිම ඉල්ලු‍මක් තිබෙන්නේ මේකට.”‍
සජිත් සිය කතාවේ දී කීවේය.


සුහුරු පන්ති කාමරයට අවශ්‍ය කරන පරිගණක මෙවලම් මෙන්ම පාසල් පුස්තකාලවලට විශාල ප්‍රමාණයේ සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ 5 ක් ලබාදීමට ද සජිත් කටයුතු කොට තිබේ.
සමගි ජන බලවේගයේ "THE BLUE PRINT” ආර්ථික සමුළුව ගාලු‍ දිස්ත්‍රික් බලමුළුව පසුගිය දා ගාල්ලේ දී පැවැත්විණි.
තිරසර සංවර්ධනයක් සහිත රටක් ගොඩනැගීම උදෙසා වූ සමගි ජන බලවේගය ආර්ථික දැක්ම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මෙම සමුළුව සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර , ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් එම වැඩසටහන රට පුරා දිස්ත්‍රික් වශයෙන් ක්‍රියාත්මක වෙයි. සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ආර්ථික විශේෂඥයින් මෙන්ම ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එක්විය.
‘‘පහුගිය දවස්වල ව්‍යාජව හදලා තිබුණු රැලි සේරම මේ වෙනකොට බිඳ වැටිලා ඉවරයි. ඇත්තටම රට ගොඩනගන වැඩපිළිවෙළ හරියටම විද්‍යාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නෙ සමගි ජන බලවේගය විතරයි.”‍ එම අවස්ථාවට එක්ව සිටි ව්‍යාපාරිකයෙක් කීවේය.


‘‘අරයගෙන් මෙයාගෙන් ඉල්ලගෙන ඇඳුම් ඇඳ ගන්නවා කියන සමහරු රට හදන්න එන්නෙත් ඉල්ලගෙනම තමයි. අපි හරි අභිමානවත් කියලා අල්ලපු ගෙදර මනුස්සයාගෙන්, අහල පහළ යාලු‍ හිතමිතුරන්ගෙන් ඉල්ලගෙන කාලා ජීවත් වෙන රටක් හදන්න නායකයෝ ඕනෑ නෑ. අපි ඔය හැමෝටම කියන්නේ සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ කියවලා බලන්න කියලා”‍
තවත් ව්‍යාපාරිකයෙක් කීවේය.


”‍මේ රටේ ප්‍රශ්න විසඳන්න තියෙන ප්‍රායෝගිකම විසඳුම වගේම උත්තරයත් තියෙන්නේ මෙතන කියලා මේ blueprint වැඩසටහනට ආවම තේරුණා”‍
දෙසීයකට වැඩි ව්‍යාපාරික ප්‍රජාවක් එම අවස්ථාවට එක්ව සිටි අතර සමගි ජන බලවේගයේ ආර්ථික වැඩසටහන පිළිබඳව ඔවුන් තුළ මහත් ප්‍රසාදයක් ඇතිව තිබුණි.

71 අප්‍රේල් සැමරුව ආසන මට්ටමින්

පනස් දෙවැනි අප්‍රේල් සමරුව ලබන 5 වැනිදා ස්ථාන 3කදී හා ආසන මට්ටමින් පැවැත්වීමට ජාතික ජනබලවේගය පසුගිය සතියේදී තීරණය කළේය.
ඒ අනුව කළුතර දී පැවැත්වෙන සමරු උත්සවය පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්ද, මාතලේ පැවැත්වෙන සමරුව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ද, වැල්ලවායේ සමරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
ප්‍රධාන ගුණ සමරු උත්සව තුනට අමතරව ආසන මට්ටමින් අභ්‍යන්තර සමුළු පැවැත්වීමට ද තීරණය කළේය. එම පක්ෂය අප්‍රේල් විරු සමරුව ආසන මට්ටමින් රටපුරා පවත්වන පළමු අවස්ථාව මෙය වෙයි. අරගලයේදී දිවි පිදූවන් සැමරීමට අමතරව ඔවුන් දිවි පිදීමට හේතු වූ කරුණු, අද පවතින තත්ත්වය සාමාජිකයන්ගේ කැපවීම යනාදී මාතෘකා යටතේ ආසන සමරු පැවැත්වීමට නියමිතව ඇත.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අප්‍රේල් 15 වැනිදා කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. අප්‍රේල් 16 හා 17 යන දිනවලදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමට නියමිතය.


එහිදී රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව හා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යභාරය යන මාතෘකා මත පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පවත්වයි.
මේ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය ගිය සතියේදී පක්ෂ මූලස්ථානයේදී රැස්විය. හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය බණ්ඩාර, වරලත් ගණකාධිකාරි සුනිල් ගමගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන යන වැඩ පිළිවෙළ පිළිබඳව සාකච්ඡා විය.
පාඩු ලබන ආයතනවලට අමතරව ලාභ ලබන ආයතනත් පෞද්ගලීකරණය කිරීමට රජය පියවර ගැනීම පිළිබඳව හා රාජ්‍ය ආයතන 88 ක් විකිණීමෙන් ලැබූ වාසියක් නොමැති බවද මෙහිදී සාකච්ඡා විය.


පෞද්ගලීකරණ වැඩ පිළිවෙළ යටතේ බොහොමයක් ආයතන මිලදී ගනු ලබන්නේ විදේශ රාජ්‍යයන්ට අනුබද්ධ ආයතන මගින් වීම නිසා මෙම ගනුදෙනු පිළිබඳව සැක

විදෙස් දූත මණ්ඩල දෙකක් කරු හමුවෙයි

ගෙවුණ සතිය තුළ දී ප්‍රමුඛ විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත කණ්ඩායම් දෙකක් කරු ජයසූරිය මහතා හමුවිය. එහිදී ප්‍රථමයෙන්ම කරු හමුවන්නට පැමිණියේ දකුණු කොරියා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ලෙස නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ලී ජින්බොක් මහතාය. 


ඔහු අමරසේකර මාවතේ පිහිටි කරු ගේ නිවසට පැමිණියේ පහළොස් දෙනෙකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් ද සමගය. එහිදී සාකච්ඡාවට බඳුන් වූවේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා කොරියාවට ලබාදිය හැකි සහය පිළිබඳවය. එමෙන්ම දෙරටේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ ඇති වැදගත්කම කෙරෙහිය. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා කොරියානු රජය හා ආයෝජකයන් ලබාදී ඇති සහය තමන් මහත් සේ අගය කරන බව සඳහන් කළ කරු ශ්‍රී ලංකාව නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට යොමු වූ සමාරම්භක යුගයේදී ඔවුන් සමග ඇතිකරගත් ව්‍යාපාරික සබඳතා අනෙකුත් ආසියානු රටවල් ආදර්ශ කරගත් අන්දම ද සිහිපත් කර තිබේ. එමෙන්ම එහිදී කරු කොරියානු විශේෂ නියෝජිතයාගෙන් ඉල්ලීමක් ද කළේය. ඒ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා කොරියාව ලබාදෙමින් සිටින රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කරන ලෙසටය. එයට යහපත් ප්‍රතිචාර දැක්වූ කොරියන් විශේෂ නියෝජිතයා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දීමට තම රට සූදානම් බව ප්‍රකාශ කිරීම තම දූත පිරිසේ අරමුණ බවද සඳහන් කර සිටියේය.


ශ්‍රී ලකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා කරු හමුවන්නට පැමිණියේ පසුගිය බදාදාය. මහ කොමසාරිස්වරයා කරුට මුලින්ම සුබපැතුවේ කොළඹ ආනන්ද විද්‍යාලය මගින් කරුට පිරිනමන ලද ගෞරව සම්මානය ගැනය. ආනන්ද විද්‍යාලය විසින් සිය ආදි ශිෂ්‍යයෙකු වෙත පුදකරන ඉහළම සම්මානය වන ආනන්දාභිමානී සම්මානය කරුට පිරිනමන්නට කටයුතු කර තිබුණේ එදින පෙරවරුවේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ය. එදින මහ කොමසාරිස්වරයා සමග පැවැති සාකච්ජාවේදී කරු සඳහන් කර ඇත්තේ ඉතා පොහොසත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් අනුගමනය කරන රටක් ලෙස හා සංහිඳියාව ඉහළින්ම ගරු කරන ජනතාවක් වෙසෙන රටක් ලෙස තමන් සැමවිටම කැනඩාවට ගරු කරන බවයි. සංකා පවතින බවද මෙහිදී පෙන්වා දුන්නේය.

ගජබා